ගුරු විදුහල්පතිවරුන්ට ඇති වි තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ වන විට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබේ. මේ නිසා සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදුව තිබෙන අතර, ඉදිරියේදී පැවත්වෙන පාසල් විභාග කටයුතුවලටද මේ තුළින් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව 'අද' ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර මහතා සමග කතාබහක නිරත විය.
දරුවන් ඇපයට තබා ගුරු විදුහල්පතිවරු වර්ජනය කිරීම සාධාරණද?
ශිෂ්‍යයෝ ඇපයට ගැනීම, රෝගීන් ඇපයට ගැනීම වැනි තර්ක ගෙනාවොත් වෘත්තීය ගැටලු විසඳා ගැනීමට කාටවත් වර්ජනයක් කරන්න වෙන්නෙ නෑ. වර්ජන විතරක් නෙවෙයි උද්ඝෝෂණයක් කළත් මහජන පීඩාව ඉස්සරහට දැම්මම කිසිම අයිතියක් වෙනුවෙන් සටනක් කරන්න බෑ.
තමන්ට අසාධාරණයක් වුණාම පාලකයෝ සාධාරණය ඉටුනොකරද්දී කම්කරුවෝ වර්ජන කරනවා. එතැනදි කවුරුවත් ඇපයට තබා ගැනීමේ අරමුණක් නෑ. මෙතනදි ගුරු වර්ජනය ගත්තොත් කොහොමත් මේ තර්කය ගේන්න බෑ. මොකද කවුරුහරි කියනවා නම් ඔන්ලයින් වර්ජනය අසාධාරණයි කියලා අපි අහන ප්රශ්නය තමයි එතකොට ඔන්ලයින් කිරීම සාධාරණද? මොකද රටේ දරුවන්ගෙන් 40%ක් විතරයි ඔන්ලයින් වැඩවලට සම්බන්ධ වුණේ.
වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වෙලා තියෙනවා. මෙය සාධාරණ ක්‍රියාවක්ද?
පැහැදිලිවම නෑ. මෙතන යම් අසාධාරණයක් තියෙනවා. එහෙමයි කියලා අපි මේ ක්‍රියාමාර්ගය නොගත්තොත් මොකද්ද වෙන්නේ? ඒකත් සාකච්ඡා කළ යුතුයි. වැටුප් විෂමතා ප්‍රශ්නයට අවුරුදු 24ක් වෙනවා. ගුරුවරයාට, විදුහල්පතිවරයාට කිසිම සාධාරණ වැටුපක් නෑ. රාජ්‍ය සේවය තුළ අඩුම වැටුප් ලබන කණ්ඩායමක් තමයි ගුරුවරු. ලැබෙන සොච්චම ජීවත් වෙන්න ප්‍රමාණවත් නෑ. ඒ නිසා වෙනත් රැකියාවක් නැතිම නම් මිසක ගුරු සේවයට කිසි කෙනෙක් එන්නවත් කැමති නෑ. ආවත්
ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න බැරි නිසා ටියුෂන් ඇතුළු තවත් අමතර බොහෝ දේවල් කරන්න වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ හොඳ අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවද? ගණිත සහ විද්‍යා විෂයන්වලදී මේ තත්ත්වය ඉතාමත් බරපතළයි. බොහෝ පාසල්වල ගුරුවරු නෑ. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ විෂය ධාරාවන්ගේ උපාධිධාරියෙක්ට ගුරු සේවයට එනවට වඩා වැඩි වැටුපක් ගත හැකි වෘත්තීන් තියෙනවා. ඒ නිසා කවුරුවත් ගුරු සේවයට එන්නෙ නෑ.
ගුරුවරු ගුරු සේවය තුළ රඳවා ගැනීම ඉලක්ක කරගෙන 1994 වසරේදි දීපව්‍යාප්ත සේවාවට සමාන වැටුපක් ගුරු විදුහල්පතිවරුන්ටත් දුන්නේ. බීසී පෙරේරා කොමිසම 1997 වසරේදි මේ වැටුප් තල කප්පාදු කළා. ඒ නිසා අපි අද මේ ප්‍රශ්නයට මුහුණ දීල ඉන්නවා. අවුරුදු 24ක් තිස්සේ අපි සටන් කළේ මේ අසාධාරණයට එරෙහිව. හැම ආණ්ඩුවක්ම වැරැද්ද පිළිගත්තා. හැබැයි නිවරදි කළේ නෑ.
ඒ වගේම තමයි කොතලාවල පනත සම්මත වුණොත්, රට පුරා උපාධි කඩ ඇරියොත්, පෞද්ගලික පාසල් ඇරියොත් සිදුවෙන හානිය සති දෙක තුනක වැඩවර්ජනයකින් සිද්ධ වෙන හානිය වගේ නෙවෙයි. ප්‍රතිපාදන නැතුව පාසල් වැහිල යනවා. පාසල් නඩත්තු කිරීමේ බරපැණත් දෙමාපියන් මත පැටවෙනවා. මේවට විරුද්ධ වෙන එක වැරදිද?
කොවිඩ් 19 තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනය අහිමි වී තිබෙන දරුවන්ගේ අනාගතය කෙසේ වේවිද?
දැන් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය ඇනහිටල තියෙනවා. එක වාර්තාවකින් කියවෙන විදිහට දරුවන්ගේ මොළය වර්ධනයට සාපේක්ෂව අධ්‍යාපනයක් නොලැබීමෙන් විශාල පසුබෑමක් ඇති වෙනවා. අපි හිතනවා අනෙකුත් සියල්ලටම වඩා මේ වසංගත කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවුණ හානිය බරපතළයි.
මේ නිසා බොහෝ රටවල් මෙම කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට විශේෂ මැදිහත්වීම් කළා. ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් පටන් ගත්තා. හැබැයි අපි කියනවා ඒ අපේ රටේ වගේ නම් නෙවෙයි. ඒ රටවල් ගුරුවරු පුහුණු කළා, දරුවන්ට අවශ්‍ය තාක්ෂණික මෙවලම් නොමිලේ දුන්නා, අන්තර්ජාල පහසුකම් නොමිලේ දුන්නා. මේ කාලය තුළ බොහෝ රටවල් අධ්‍යාපනයට විශාල පිරිවැයක් දරල තියෙනවා. නමුත් අපේ රටේ පාලකයන්ට කිසි වැඩපිළිවෙළක් තිබුණෙ නෑ. ඔන්ලයින් පටන් ගත්තෙත් ගුරුවරු ස්වේච්ඡාවෙන්.
ගුරු විදුහල්පතිවරුන් සියලුම දෙනාට කෝවිඩ් එන්නත ලැබී තිබෙනවාද?
එන්නත ලැබුණෙත් ගොඩක් ප්‍රමාද වෙලා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ආණ්ඩුවට කැක්කුමක් තිබුණ නම් මුලින්ම සියලුම ගුරු විදුහල්පතිවරු සඳහා එන්නත ලබාදී පාසල් ආරම්භ කිරීමට සැලැස්මක් සකස් කරන්න තිබුණා. නමුත් ගුරුවරු ඒ සඳහා අරගල කරන කල් ආණ්ඩුව සංවේදී වුණේ නෑ.
ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වුණත් ටියුෂන් ගුරුවරු අඛණ්ඩව ඉගැන්වීම් සිදුකරනවා. මෙය සාධාරණ ක්‍රියාවක්ද?
අද වෙද්දි පාසල් ගුරුවරුන් නොවන විශාල ප්‍රමාණයක් ටියුෂන් ක්ෂේත්රය තුළ ඉන්නවා. ඒ වගේම ටියුෂන් සංස්කෘතිය තුළ අධ්‍යාපනයේ වැදගත් හරයන් දකින්න ලැබෙන්නෙත් නෑ. වෙළෙඳ පොළ අත දාපු හැමතැනටම සිදුවුණ දේ මේ හරහා අධ්‍යාපනයටත් සිදුවී තිබෙනවා. ඒ නිසා එවැනි කේෂ්ත්‍රයක් තුළ කිසිම සාදාචාරයක් අපේක්ෂා කරන්න බෑ.
ගුරුවරු හිඟයි කියලා වෘත්තීය සමිති සඳහන් කළත් බලධාරීන් කියන්නේ සිසුන් 20කට ගුරුවරයෙකු සිටිනවා කියලා. මෙහි සත්‍යතාවය කුමක්ද?
ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන් සඳහා ගුරු හිඟයක් තියෙනවා. ඒකට හේතු මම මුලින් ප්‍රශ්නයකදී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ ගැටලුව පිළිගෙන තියෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ ගුරුවරු බඳවාගැනීම වෙනුවට ගුවන් හමුදා නිලධාරීන් පාසල්වල ඉගැන්වීමට යාමේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් නිර්මාණය කළේ. ගුරු හිඟයක් නෑ කියන එක තුළ තියෙන්නේ ගුරුවරු බඳවා නොගැනීමට කරන උප්පරවැට්ටියක්. අනෙක් පැත්තෙන් ගුරුවරු නාගරික පාසල්වලට කේන්ද්‍රගත වීමේ ගැටලුවකුත් තියෙනවා. නිසි ස්ථාන මාරු ක්‍රියාවලියක් නොමැති වීම මේකට ප්‍රධාන හේතුවක්. කිසිම ගුරු සංගමයක් කිසිම පාසලක ගුරු අතිරික්තයක් පවත්වාගෙන යාමට එකඟ
නෑ. එහෙම නම් එවැනි අතිරික්තයක් ඇති පාසල් තිබීමට හේතුව තමයි මේ රටේ දේශපාලන ඇඟිලිගැසීම් සමහර පාසල් තුලට පැමිණීම.
පාසල් දහසක් ජාතික පාසල් කරන්න යනවා. මෙය හොඳ දෙයක්ද?
මේකත් තවත් සංදර්ශනයක් විතරයි. ජනප්‍රිය පාසල්වලට දරුවන් දැමීමට ඇතිවී තිබෙන තරගයට හේතුව තමයි පාසල් පද්ධතිය තුළ තිබෙන බරපතළ විෂමතාවය. දරුවන්ගේ පැත්තෙන් බැලුවත් හොඳම පාසල තමයි ළඟම ඇති පාසල. නමුත් ආණ්ඩු තම තමන්ගේ නම් ගහගන්න කළ ව්‍යාපෘති නිසා පාසල් කිහිපයක් පමණක් සංවර්ධනය කළා. ඒකට උත්තරය ජාතික පාසල් දහසක් කියල ලක්ෂ 10ක් දීල දැනටමත් පහසුකම් ඇති පාසල් 1000ක් තෝරාගෙන බෝඩ් ලෑලි එල්ලන එක නෙවෙයි. මේකත් තවත් එක් සංදර්ශනයක් විතරයි.
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ආණ්ඩුවේ සැලසුම්වලට සමහර ගුරු සංගම් විරුද්ධ වෙනවා. ඔබ සංගමයේ මතය කුමක්ද?
මෙතනදි අපි උපාධිධාරීන් බඳවා ගැනීමට විරුද්ධ නෑ. නමුත් ගුරු ව්‍යවස්ථාවලට පිටින් විභාගයක් නොපවත්වා බඳවා ගැනීමට එකඟ වෙන්න බෑ. මොකද අද උපාධිධාරීන් බඳවාගන්න නිසා අවුලක් නෑ කියල හිටියොත් හෙට මේක පූර්වාදර්ශයක් ලෙස ගෙන දේශපාලන හෙන්චයියෝ ගුරු සේවයට දැම්මත්
විරුද්ධ වෙන්න බැරිවෙනවා. ඒ නිසා අපි එවැනි තත්ත්වයකට ඉඩ දිය යුතු නෑ.
ගුරුවරු දීපව්‍යාප්ත සේවා වැටුප් තල ඉල්ලීම සාධාරණද?
මෙවැන තර්කයකට බලපා ඇති හේතුව තමයි 94 ගුරු සහ විදුහල්පති සේවා දීපව්‍යාප්ත සේවා මට්ටමට ගෙන ඒමට බලපෑ හේතු පිළිබඳව ඇති අනවබෝධය. මෙතනදි අරමුණ වුණේ ගුරු සේවයේ ගුණාත්මකභාවය. ඒ කියන්නේ ගුරු සේවයේ වැටුප්තල සෙසු රාජ්‍ය සේවාවන්වලට පහළින් තැබීමෙන් සිදුවන දේ තමයි ගුරු සේවයට දක්ෂයෝ එන්නෙ නෑ. දක්ෂයෝ රඳවාගන්න බෑ. මොකද වැඩි වැටුපක් සහිත වෘත්තියකට යන්න පුළුවන්කම තියෙද්දි කවුරුත් අඩු වැටුපක් සහිත
වෘත්තියක් තෝරා නොගැනීම. එතකොට වෙන්නේ ගුරු සේවයට එන්නේ වෙන වෘත්තියක් නොමැතිනම් විතරයි. එතකොට ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය පිරිහෙනවා. ඒක අනෙකුත් සේවාවන්ටත් බලපාන කාරණයක්. මොකද මේ සියලු වෘත්තීන් සඳහා අධ්‍යාපනය දෙන්නේ ගුරුවරු. ඔවුන්ගේ ප්‍රමිතිය එකී වෘත්තීන්ටත් බලපාන එක වළක්වන්න බෑ. ඒ නිසා ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම තියෙන හැම රටකම ගුරුවරයාට ඉහළම වැටුපක් ගෙවනවා. ඒ නිසා විවිධ විෂයන්වල දක්ෂම කොටස් ගුරු වෘත්තියට ආකර්ෂණය වෙනවා. ඒකෙන් ගුරු වෘත්තියේ ප්‍රමිතිය විතරක් නෙවෙයි, සෑම වෘත්තියකම ප්‍රමිතිය ආරක්ෂා වෙනවා.