කෞටිල්‍ය හා කේන්සියානු ආර්ථික චින්තන ඇසුරෙන් විමසා බැලීමක්
කෞටිල්‍ය හෙවත් චානක්‍ය හා ජෝන් මෙනාඩ් කේන්ස් යන දෙදෙනාම වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ රාජ්‍ය ආර්ථික උපදේශකයන් වශයෙනි. ඇරිස්ටෝටල් හා සමකාලීන කෞටිල්‍ය, පුරාණ ඉන්දියාවේ මෞර්ය රාජ්‍යවංශික චන්ද්‍රගුප්ත රජුගේ පුරෝහිතයා වශයෙන් කටයුතු කළ අතර, ඔහු විසින් ලියන ලද අර්ථ ශාස්ත්‍රය ග්‍රන්ථයෙන් රාජ්‍ය පාලනය හා රජය ආර්ථික කටයුතුවලට මැදිහත් විය යුතු ආකාරය විස්තර කර ඇත. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් මෙනාඩ් කේන්ස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයා ලෙස සලකන අතර, එම විශ්වවිද්‍යාලයේම මහාචාර්යවරයෙකු ලෙස සේවය අරඹා පසුව බ්‍රිතාන්‍ය රජයේ ආර්ථික උපදේශකවරයෙකු වශයෙන් මෙන්ම පළමු ලෝක යුද්ධයෙන් පසුව ලෝක ජාතීන් ඉදිරිපත් කළ වර්සේල්ස් ගිවිසුම සකස් කිරීමේ විද්වත් කමිටුවේ බ්‍රිතාන්‍ය සාමාජිකයා වශයෙන්ද සේවය කළේය.
ආර්ථික විද්‍යාඥයකු ලෙස කේන්ස් වඩාත් ප්‍රසිද්ධියට හා ගෞරවාදරයට පත්වන්නේ 1929-36 කාලයේ ලොව ඇති වූ ප්‍රථම ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කළ එකම ආර්ථික විද්‍යාඥයා ලෙසිනි. අදටත් භාවිත වන ඔහු විසින් 1936දී ප්‍රකාශයට පත් කළ, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය’ ග්‍රන්ථය මගින් එම අදහස් භාවිත වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන බිහිකිරීමේදී කේන්ස් විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු ලැබීය. මෙම විශිෂ්ටයන් දෙදෙනාම පදනම් කරගෙන ලියනු ලබන මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ, රාජ්‍ය උපදේශක හෝ ජනාධිපති උපදේශකවරයෙකුගේ හෝ උපදේශක සභාවක කාර්යභාරයේ වැදගත්කම පැහැදිලි කිරීමයි.
කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිවූ වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය ලොව දියුණු මෙන්ම නොදියුණු රටවල් සියල්ලම එක සේ පීඩාවට හා පරිහානියට පත් කළ ව්‍යවසනයකි. ලොව මෙතෙක් ඇති වූ දරුණුම ආර්ථික අර්බුදය ලෙස 2020 අර්බුදය සැලකේ. මේ වන විට මිලියන 6ක පමණ ජනගහනයක් මරණයට පත්වී ඇති අතර, ව්‍යවසනයෙන් ලෝක ආර්ථිකයට වූ පාඩුව මිල කළ නොහැක. ව්‍යවසනයේ අවසානයක් පුරෝකථනය කළ නොහැකි ලෙස වෛරසය නව ප්‍රභේද ලෙස පැතිරෙමින් පවතී. එන්නත්කරණය හා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් බොහෝ රටවල් නව සාමාන්‍යකරණයට පත්වෙමින් පැවතියත්, ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වී නොමැත. මේ හේතුවෙන් ගෝලීය භාණ්ඩ හා සේවා සැපයුම් ජාලය තවදුරටත් අඩපණ වී ඇති අතර, ආනයන හා අපනයන මත රඳා පවතින සියලු ආර්ථිකයන් දැඩි අවදානමකට හා අපහසුතාවයට පත්ව ඇත. ගෝලීය වසංගතයේ අවදානම පහව යමින් පැවතියත්, රුසියා-යුක්රේන යුද්ධය ලෝක සැපයුම් ජාලය තවදුරටත් අඩපණ කිරීමට හේතු වී ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයන හා අපනයන මත රැඳී පවතින ශ්‍රී ලංකා ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතී. දිගුකාලීන ගෙවුම් ශේෂ හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය අර්බුදය හමුවේ තවත් පීඩාවට පත්ව ඇත. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ජනජීවිතයට මෙන්ම රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන්ද දැඩි බලපෑමක් ඇතිකරන්නකි. එනම් නිදහසින් පසු ශ්‍රී ලංකාව කිසියම් ආර්ථික වර්ධනයක් ලබා සිටියා නම්, එය දශක ගණනාවකින් ආපස්සට හැරවීමකි. වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යසනයට එකම හේතුව කෝවිඩ් 19න් පසු ඇතිවූ ගෝලීය පරිහානියම යැයි කිවහොත් එය වැරදිය. එය නිදහසින් පසු බලයට පත් සියලු රජයන් අනුගමනය කළ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් යැයි කීම නිවැරදිය. සිදුවූයේ ගෝලීය ව්‍යසනයත් සමග රෝගය උත්සන්න වීම පමණි. පාරභෞතික බටහිර සංවර්ධන ආකෘතියේ අන්ධානුකරණයෙන් ඇලී ගැලී සිටි අපට යථාර්ථය තෙරුම් ගැනීමට නොහැකි විය. නිදහසින් පසු අපි දෙපයින් නැගී සිටීමට වඩා උත්සාහ ගෙන ඇත්තේ රටට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීම වෙනුවට පිටරටින් ගෙන්වා හෝ පරිභෝජනය කිරීමටයි. 1954දී ශ්‍රී ලංකාවේ ආර්ථික සැලසුම්කරණයට දායක වූ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් ආර්ථික විද්‍යාඥ ජෝන් රොබින්සන් මැතිනිය මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ගසක් සිටුවීමට පෙර එහි පල භුක්ති විඳීමට තැත්කරන ජාතියක් ලෙසයි. එහි ප්‍රතිඵලය වූයේ නිදහසින් වසර 72කට පසු ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙමින් පැවතීමයි.
අතිගරු ජනාධිපතිතුමන් ජාතිය අමතා ප්‍රකාශ කළ පරිදි ලංකා අර්බුදය එතුමන් නිර්මාණය කළ එකක් නොවුණද, නිදහසින් පසු බලයට පත් සියලු රජයන් ඒ සඳහා එක සේ වග කිව යුතුය. හේතුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය නිසි අත්තිවාරමක් නොදැමීම හා ස්ථීර රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමයි. මීට ස්වාභාවික හේතු මෙන්ම පාලකයන් විසින් නිර්මාණය කළ හේතුද පවතී. මෝසම් කලාපීය රටක් වශයෙන් වර්ෂාපතනය වෙනස් වීම බලශක්ති උත්පාදනය හා කෘෂිකර්මය සඳහා බලපානා බව දන්නා නමුත්, ඉන් මිදීමට කිසිම උපාය මාර්ගික වැඩපිළිවෙළක් මේ දක්වා සකස් වී නැත. එනමුත් වැස්ස අඩු වන විට විදුලිය කැපීමට පියවර ගනී.
කලින් කලට බලයට පත්වන රජයන් විසින් ගනු ලබන අධූරදර්ශී අමනෝඥ ප්‍රතිපත්ති නිසා අප විසින්ම නිර්මාණය කර ගත් ප්‍රශ්න කන්දකි. රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කර ගැනීම මීට උදාහරණයකි. මෙලෙස නිර්මාණය වී ඇති ශ්‍රී ලංකා අර්බුදයේ වර්තමාන ස්වරූපය දකින විට ඉන් ගොඩ වෙන්නේ කෙසේදැයි තේරුම් ගැනීමටත් අපහසුය. කෙසේ නමුත් ඉන් ගොඩ ඒමට නම් පැහැදිලි දැක්මක් හා ප්‍රතිපත්තියක් සහිත ඉලක්කගත සැලසුම් කළ වැඩසටහනක් තිබිය යුතුය. රාජ්‍ය ප්‍රතිපත්ති, සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ ආයතනවල මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් හා උපදේශකයන්ගේ කාර්යභාරය විය යුත්තේ එවන් උපාය මාර්ගික වැඩසටහක් ඉදිරිපත්කොට එය ක්‍රියාත්මක කිරීමට රජයට මග පෙන්වීමයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ආශ්චර්යය බවට පත්වූ ජර්මනිය මෙන්ම ජපානය මීට කදිම උදාහරණ වේ. ජර්මනිය ගොඩනැගීමේදී මාර්ෂල් සැලැස්ම අනුගමනය කළ අතර, එය පෞද්ගලික හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැඩසටහනක් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියාවේ ආශ්චර්ය බවට පත් වූ ජපානය අනුගමනය කළේ ජපන් සිරිත් හා සාරධර්ම මත පදනම් වූ උපාය මාර්ගික ප්‍රවේශයකි. ජපානය බටහිරට ගැති නොවී ගෝලීය ධනවාදයෙන් වාසි ලබාගත්තේ ජපානයටම ආවේණික වූ කළමනාකරණ හා ශිල්ප ක්‍රම තුළිනි. සර්ව පාක්ෂික සමුළු කැඳවා කාලය හා මුදල් නාස්ති කොට, අර්බුදයේ ගැඹුර නොදකින දේශපාලනඥයන්ට පමණක් තීන්දු ගැනීමට ඉඩ සැලසීමෙන් ඵලක් නැත. සැලැස්මක්, වැඩසටහනක් හෝ මාර්ගෝපදේශයක් සකස්කොට එවන් සමුළුවක් කැඳවන්නේ නම් ඇතැම්විට ඵලදායී විය හැක.
කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය හා කේන්සියානු ආර්ථික චින්තනය මා මාතෘකා කර ගත්තේ වර්තමාන අර්බුදය මැඬලීමට එම චින්තන යෝග්‍ය යැයි පෙන්නුම් කිරීමට නොවේ. රාජ්‍ය පුරෝහිතයන් හෝ උපදේශකයන් වශයෙන් කටයුතු කිරීමේදී, රාජ්‍ය පාලනය ස්ථාවරව පවත්වාගෙන යමින්, ආර්ථිකය ශක්තිමත්ව කළමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදීමේ හැකියාව එම තනතුරු භාර ගන්නන්ට තිබිය යුතුය. චන්ද්‍රගුප්ත මෞර්ය රජුට බටහිර දක්වා සිය දිග්විජය අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය දැනුම, උපාය හා මාර්ගෝපදේශ ලබාදුන්නේ කෞටිල්‍ය විසිනි. ධනය රජෙකුට අවශ්‍ය වන අතර, අධිරාජ්‍යයේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට ධනය ඉපයීම මෙන්ම එය මනා ලෙස කළමනාකරණය කිරීම කළයුතු බව පෙන්වා දුන් කෞටිල්‍ය, සිය රටවැසියන් සතුටින් තබාගැනීම රජුගේ මූලික වගකීම බව ප්‍රකාශ කළේය. මේ අනුව රජතුමා ක්‍රියාවට නැංවිය යුතු 14 වැදෑරුම් කාර්යාවලියක් ඔහු විසින් ඉදිරිපත් කර ඇත. පුරාණ ඉන්දියානු ග්‍රන්ථයක් වුවත්, කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය පිළිබඳව ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත මහාවංශය තුළිනි. පසුව විවිධ මූලාශ්‍ර යටතේ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් වී ඇත. වර්තමාන වෙළෙඳ පොළ අර්ථ ක්‍රමයට කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය සමපාත කළ නොහැකි වුවත්, ඔහු විසින් සඳහන් කර ඇති වෙළෙඳ පොළ නියාමනයේ රාජ්‍ය කාර්යභාරය, කෘෂිකර්මය, වෙළෙඳාම පිළිබඳ කරුණු අදටත් වලංගු බව පිළි ගනී. බටහිර දේශපාලන චින්තකයෙකු වන මකියාවෙලී මෙන් කෞටිල්‍යද දේශපාලනයේ කූට හා උපායශීලී න්‍යායාචාර්යවරයෙකි. මොහුගේ චින්තනය ප්‍රායෝගික වුවත් අමානුෂික බව ඇතැම් විචාරකයන් පෙන්වා දී ඇත. චන්ද්‍රගුප්ත බලයට පත්කිරීම සඳහා නන්ද අධිරාජයා පැරදවීමට ඔහු විසින් අනුගමනය කරන ලද අමානුශික කූට උපක්‍රම මීට නිදසුන්ය. කෙසේනමුත් පාලකයා අවබෝධයෙන් හා විචාරශීලීව කටයුතු කළ යුතු බව කෞටිල්‍ය පෙන්වා දී ඇත.
කෞටිල්‍ය මෙන් නොව කේන්ස් නූතන යුගයේ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර, එනිසාම ඔහු ඉදිරිපත් කළ මුදල් හා සේවා නියුක්තිය පිළිබඳ න්‍යාය, අදටත් බොහෝ රටවල් අනුගමනය කරනු ලබන ප්‍රායෝගික න්‍යායක් බවට පත්ව ඇත. 1930 ප්‍රථම ගෝලීය ආර්ථික අර්බුදය සමනය කිරීමේ ක්‍රමවේදය වශයෙන් ඉදිරිපත් කළ කෙන්සියානු චින්තනයේ හරය වන්නේ මිල උච්චාවචනය තුළින් සිදුවන ආර්ථික අර්බුදයකදී රාජ්‍ය මැදිහත්වීම වැදගත් බවයි. එය රාජ්‍ය වියදම් වැඩි කිරීම හා සමාහාර ඉල්ලුම වැඩි කිරීම මගින් පාරිභෝගිකයන් හා ආයෝජකයන් දිරිගැන්වීමෙන් වෙළෙඳ පොළ අසමතුලිතය තුලනය කළ හැකි බව පෙන්වා දුනි. ධනවාදී වෙළෙඳ පොළ අර්ථ ක්‍රමයේ කලින් කලට ඇතිවන කම්පන මගින් සිදුවන ආර්ථික අවපාත සමනය කිරීමට ධනවාදය අසමත් වීම නිසා, ඊට විකල්පයක් ලෙස කෙන්සියානු චින්තනය අනුගමනය කිරීමට බොහෝ රටවල් පෙලඹුණි. මේ අනුව 1980 දශකය දක්වාම ලොව බොහෝ රටවල් අනුගමනය කළ මෙම න්‍යාය රටක අය වැය තුලනය සඳහා භාවිත කළ උපාය මාර්ගය විය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් සිදුකරනු ලබන රාජ්‍ය මැදිහත්වීම මෙම න්‍යායේ පදනම වූ අතර, රාජ්‍ය වියදම් හා පොලී අනුපාත වෙනස් කිරීමෙන් සිදුවන ප්‍රසාරණාත්මක බලපෑම මගින් එය සිදුකරනු ලැබීය. 1930 ආර්ථික අර්බුදය ආරම්භ වූ එක්සත් ජනපදය මෙන්ම එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් මෙම න්‍යාය අනුගමනය කිරීමෙන් අර්බුදය සමනය කිරීමට පියවර ගනු ලැබීය. එසේ වුවත්, පසුකාලීනව එනම් 1980 දශකයෙන් පසුව ක්‍රියාත්මක වූ නව ලිබරල්වාදී ආර්ථික චින්තනය හා මූල්‍යවාදී ප්‍රතිපත්ති මගින් කේන්ස් න්‍යාය විවේචනයට ලක්වන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීම හා ප්‍රසාරණාත්මක ක්‍රම මගින් රාජ්‍ය අය වැය තුලනය කිරීමෙන් සිදුවන්නේ රාජ්‍ය ණය බර හා උද්දමනය වැඩි වන බවයි. කෙසේ නමුත් වර්තමාන ගෝලීය ධනවාදයේ බිඳවැටීම් හමුවේ බොහෝ රටවල රාජ්‍ය මැදිහත් වීම වැඩි වෙමින් පවතී.
වසර 70කට ආසන්න කාලයක් ගෙවුම් ශේෂ හිඟයෙන් පෙළෙන ශ්‍රී ලංකාවද රාජ්‍ය අය වැය හිඟය පියවා ගැනීම සඳහා අනුගමනය කරනු ලැබුවේ ප්‍රසාරණාත්මක තුලන ප්‍රවේශයයි. එනම් රාජ්‍ය අය වැය හිඟය දේශීය හා විදේශීය ණය මූලාශ්‍ර මගින් පියවීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ රජය ණය උගුලක පැටලීමයි. වර්තමානය වන විට ඒකපුද්ගල ණය බර රුපියල් ලක්ෂ 9ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත. ණය ලබාගැනීමේ උපරිම තත්ත්වයට ළඟා වී ඇති ශ්‍රී ලංකාව වර්තමානය වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇත. කේන්ස්ගේ නියමය පරිදි රජයකට සියලු ආර්ථික බර දැරිය නොහැක. එසේ නම් විකල්පය වන්නේ නව ලිබරල්වාදී දර්ශනය අනුව රාජ්‍ය වියදම් අඩු කිරීම, බදු වැඩි කිරීම හෝ එම ක්‍රම දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමයි. යහපාලන රජය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබුවේ එම ප්‍රතිපත්තියයි. එහෙත් ජනතාව එය ප්‍රතික්ෂේප කළ අතර, පසුව බලයට පත් රජය බදු ප්‍රතිපත්තියද වෙනස් කරන ලදී. එසේ නම් විකල්ප ප්‍රතිපත්තිය විය යුත්තේ කුමක්ද? අකමැත්තෙන් වුවද කිව යුත්තේ වර්තමාන ගෝලීය සන්දර්භය තුළ නව ලිබරල්වාදී ආර්ථික ගැළපුම් ප්‍රතිපත්ති හැර විකල්පයක් නැති බවයි. තිබේ නම් එය ජර්මනියේ ක්‍රියාත්මක වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති පමණි. අනෙක් අතට චීනය වියට්නාමය වැනි රටවල් ක්‍රියාත්මක කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ ප්‍රත්පත්තිය හෙවත් ද්විත්ව මාර්ග ප්‍රවේශයද ගළපාගත හැක.
මෙම තත්ත්වය යටතේ ආර්ථික උපදේශකයන්ගේ අවධානය යොමු විය යුත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට බලපාන හේතු සහ ඵල තේරුම් ගෙන යෝග්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමයි. අනිවාර්යයෙන්ම එය සාර්ව ආර්ථික ප්‍රවේශයක් විය යුතු අතර, පැහැදිලි ආර්ථික දර්ශනයක් හා ප්‍රතිපත්තියක් මත පදනම් වූ උපාය මාර්ගික සැලැස්මක් හා වැඩසටහනක් විය යුතුය. ටින්බර්ජන් නම් ආර්ථික විද්‍යාඥයා සඳහන් කරන පරිදි එය ප්‍රතිපත්ති රාමුවක් මත සකස් විය යුතුය. වර්තමානයේ රජය ක්‍රියාවට නංවා ඇති පරිදි රුපියල අව ප්‍රමාණය කිරීමෙන් පමණක් අර්බුදය පාලනය කළ නොහැක. ඊට සම්බන්ධ පොලී අනුපාත හා රාජ්‍ය ආර්ථික වැඩපිළිවෙළද සකස් වීම සිදුවිය යුතුය. මූල්‍ය අරමුදලේ නිර්දේශය වී ඇත්තේද එයයි. මෙහිදී නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා පුරෝකථනය කළ හැකි විශේෂඥ දැනුම ලබාගැනීම වැදගත් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුය.
මහාචාර්ය මහින්ද හේනේගෙදර,
ආර්ථික විද්‍යා අධ්‍යාපනය, කැලණිය විශ්වවිද්‍යාලය