බටහිර සමාජයක ජීවත් වීම අපූර්ව අත්දැකීමක් වන්නේ හැකිතාක් තම ඇවතුම් පැවතුම් තමන් දෙසටම යොමා ජීවත් වීම තුළය. මන්ද බටහිර ආර්ථික අතින් දියුණු සමාජ ආරක්ෂණය සෑම පුද්ගලයෙකුටම සමානව ලැබෙන සමාජයක කිසිවෙකුට සමාජ හා දේශපාලන ප්‍රශ්න පිළිබඳ එතරම් නැඹුරුවක් දැක්විය යුතු නොවේ. එවැනි පරිසරයකදී ආගම හා ජාතියද එතරම් වැදගත් ප්රපංචයක් නොවුණද, පවුල නමැති සමාජ ආයතනය උසුලන ප්‍රමුඛතාව ඉතා ඉහළ තැනක් ගනී. එම නිසාම එවැනි රජයන්ද හැකිතාක් දුරට කටයුතු කරනුයේ පවුල නමැති සමාජ ඒකකය සුරක්ෂිත කිරීමටය. එවැනි සමාජයන්ගේ අපට දැකිය හැකි අනෙකුත් ලක්ෂණය වන්නේ විවාහය යනු ඉතා සීරියස් බිස්නස් එකක් බවයි. එනම් බටහිර දියුණු ශීලාචාර සමාජවල විවාහයක් සිදු කිරීමට හෝ පවත්වා ගැනීමට ඇත්තේ එකම නිර්ණායකයකි. ඒ ප්‍රේමයයි. ප්‍රේමය ඇතුව නොමැතිව ගැහැනුන් හා පිරිමින්ට එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ තහනමක් හෝ බාධාවක් මෙවැනි සමාජවල නැත. එම නිසා මෙම සමාජ ශීලාචාරය සාමකාමීය. එසේම තමන් තුළ ගැඹුරු ප්‍රේමයක් ඇත්නම්, එම ප්‍රේමය මත පදනම්ව පවුලක් ගොඩනැගිය හැකි නම්, එසේ කළ හැකි යැයි විශ්වාසයක් ගොඩ නැගුණේ නම් එම දෙදෙනා විවාහ ගිවිස ගනී හා ඉන් පසු විවාහ වේ. එසේම එම විවාහය පවතිනුයේද එම ප්‍රේමය පවතින තාක් පමණි.
නමුත් ලංකාව වැනි පසුගාමී සමාජවල විවාහය යනු බරපතළ ආර්ථික සමාජ හා දේශපාලන ව්‍යාපෘතියකි. කාන්තාවක හා පිරිමියෙකු විවාහ වීමට ප්‍රථම කුලය, ධනය, ජාතිය හා දෑවැදි වැනි කාරණා තදින් සලකා බලන අතර, එය එසේ සිදු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ සමාජ ආරක්ෂණයක් මෙවැනි තුන්වැනි ලෝකයේ රටවලට නොමැති වීමය. එම නිසා පවුලක් ගොඩනැගීමට ප්‍රථම එහි සුරක්ෂිතභාවය භෞතිකව විසඳා ගැනීමට පුද්ගලයන් පෙළඹේ. මෙහිදී ප්‍රේමය යනු අඩු වැදගත්කමකින් යුත් ප්‍රමුඛත්වයකි. එය විවාහ වුවහොත් ප්‍රේම කළ යුතුයැයි යනුවෙන් ඇති උපකල්පනයකි. මාගේ තක්සේරුව නම්, එය මන්දමානසික තත්ත්වයකි. ප්‍රේමය එසේ ඇතිවන්නක් නොවන අතර, එය මනුෂ්‍ය ජීවිතවල ඇති වන ගැඹුරු හැඟීමකි. එය ඇතිවන්නේ ශරීරයේ ඇති ප්‍රබල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රේමය නිසාම ශරීරයේ රසායනික ක්‍රියාවලියේ විශාල වෙනස් වීම් සිදු වන අතර, එහි එක් අවස්ථාවක් වන්නේ ප්‍රජනනයයි.
ප්‍රජනනය යනු ජීවීන්ට තම වර්ගයාගේ පැවැත්ම උදෙසා ලැබී ඇති අවශ්‍යතාවයි. එම අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගැහැනුන් හා මිනිසුන්ට ලැබී ඇති වරම ප්‍රේමයයි. එහි ඇති ආදේශකය හුදු ලිංගිකත්වයයි.
රාජපක්ෂලා තමන් කැමැති ලෙස ප්‍රේමයෙන් වේලී සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කරයි. රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඉරණම විසඳෙනුයේ පෙම් පලහිලව්වකින් බවටද කතාබහක් ඇතිවිය. නාමල් රාජපක්ෂගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු හෙළි වී නැතිද, ඔහුගේ ප්‍රේමවන්තියන්ට රජයේ මුදල් මිලියන ගණනින් ගෙවා ඇති බවට සමාජය තුළ කතාබහක් ඇතිවිය. ඒ අතින් රාජපක්ෂලා වඩාත් සමීප වන්නේ දියුණු ශීලාචාර බටහිරටය.
එසේම පසුගිය දිනක යෝෂිත රාජපක්ෂ අප්‍රිකාවේ කිලිමන්ජරාවෝ කඳු මුඳුනේදී තරුණියකට ප්‍රේම යෝජනාවක් කරන ඡායාරූප පළ වී තිබිණි. එයද ලෝකයේ ඉතාම අසාමාන්‍ය කඳු මුදුනකදීය. අප්‍රිකාවේ කිලිමන්ජරාවෝ කඳු මුදුනේ හිමෙන් වැසුණු පරිසරය වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ සමග සුරූපී තරුණියක් අබියස දණගසා ප්‍රේමය අයැද සිටීම ආදර හැඟීමකි. එබැවින් රාජපක්ෂවරු වඩාත් සමීප ශීලාචාර බටහිරටය. ඔවුන්ට ප්‍රේමය උදෙසා සීමාමායිම් නොමැත. ඔවුන් අතිශය ධනවත්ය, බලවත්ය, රූමත්ය, ප්‍රමාණික උගතුන්ය. එවැන්නන් තවමත් විවාහ නොවී සිටිනුයේ ඔවුන්ට මෙතෙක් ඔවුන් පතන ප්‍රේමය මුණගැසී නොමැති නිසාවෙනි. ඒ අනුව රාජපක්ෂවරුන්ගේ ඊළඟ පරපුර බටහිර ශීලාචාර සමාජයට සමීපය.
මෙම තත්ත්වය යටතේ රාජපක්ෂවරු දේශපාලනයේත්, රටේ නායකත්වයේත් බැඳ තබන ප්‍රධානතම පහුර වන්නේ ප්‍රේමයයි. මහින්ද රාජපක්ෂ ශිරන්ති මහත්මියට ඇති ප්‍රේමය මත ඇයගේ එක කුස උපන් බාල සහෝදරයා %එයාර් ලංකා^ වැනි ආයතනයක සභාපති ධුරයට පත් කළේය. එසේම ඇයට 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට හෙතෙම දැඩි උත්සාහයක නිරත වන්නේය. එසේම අනෙකුත් රාජපක්ෂවරුද මහින්ද රාජපක්ෂ හා බැඳී ඇති බැම්ම වන්නේ ප්‍රේමයයි. මෙම රාජපක්ෂ ප්‍රේම සමාගම මේ මොහොතේ රටේ ඇති ප්‍රධානම විපක්ෂ බලවේගය වෙයි. අනෙකුත් සෑම අංශයකින්ම රාජපක්ෂවරු ප්‍රේමය සම්බන්ධයෙන් ඉතා ශීලාචාරය. අවංකය. විශ්වාසවන්තය.