ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රට තුළ සිදුකරන වැඩපිළිවෙළ අඩංගු ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද මේ වනවිට එළිදක්වා තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව හා එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව %අද^ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කතාබහක නිරත විය.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පොරොන්දු ඉටුකිරීම
මුදල් සොයා ගැනීමට ක්‍රම‘වේද කිහිපයක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම් රුපියල් බිලියන 850 සිට දෙගුණ කරන්න පුළුවන් කියලා බදු විශ්ලේෂකයන් හා විද්වතුන් පෙන්වා දීලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු තාක්ෂණය හරහා වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීම තුළින් විශාල ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ වගේම කැසිනෝ ව්‍යාපාරවලින්, දුම්කොළ ව්‍යාපාර තුළින්, මත්පැන් ව්‍යාපාර හා රේස්බයිරේස් ව්‍යාපාර තුළින් මීට වඩා බදු ආදායමක් උපයාගන්න පුළුවන් කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒ අනුව බදු ආදායම් ජනතාවට බරක් නොවන ආකාරයට උපයාගන්න පුළුවන්. මේ ආකාරයට හොයාගන්න මුදල්වලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියේ සඳහන් කර තිබෙන පොරොන්දු ඉටුකරන්න පුළුවන්. ඒ පිළිබඳව ජනතාව බියක් ඇතිකරගත යුතු නැහැ.
දේශපාලනඥයෙකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණු කළ හැකිද?
ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ඔහු රටට විශාල වැඩකොටසක් ඉටු කළා. නාගරික සංවර්ධන අධිකාරිය හරහාත් රටට විශාල වැඩකොටසක් ඉටු කළා. මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා රාජපක්ෂවරුන්ට රට හදන්න පුළුවන් කියලා සහතිකයක් ලබාදීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ නිසා නැවත වතාවක් රාජපක්ෂවරුන් මෙරට ගොඩ ගන්නවා.
රාජපක්ෂවරයෙකුම ඉදිරිපත් කිරීම
අපි ජනතා මතයට ඇහුම්කන් දෙනවා. පසුගිය වසර හතරහමාරක කාලය තුළ ගත්තම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළයුතු බවට ජනතාව ඉල්ලා සිටියේ නැහැ. ජනතාව ඉල්ලා සිටියේ රාජපක්ෂ කෙනෙක්. මේ නිසා ජනතා මතයට හිස නවලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළා. එතුමා ජනතාව අතර ජනප්‍රියයි. ජනතාව එතුමාට කැමතියි.
දුප්පතුන් නඟාසිටුවීම
ශ්‍රී ලංකාව මේ වනවිට යැපුම් මානසිකත්වයට පත්වෙලා තියෙනවා. මොකද පසුගිය වසර කිහිපයේදී එක්සත් ජතික පක්ෂය සමෘද්ධි සහනාධාරය ලබාදෙන්න පිරිස් තෝරාගැනීමේදී ජනතාවගේ අඩු ආදායම් තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැහැ. ඔවුන් සැලකිල්ලට ගත්තේ පක්ෂයේ සාමාජිකයෙකු වීම. ආදායම් මාර්ග නොමැති පිරිස් නඟාසිටුවන්න ඕන. 2015ට පෙර තිබුණ අපේ ආණ්ඩු තුළින් ඒක කළා. මේ නිසා අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් ඉහළ ගිහිල්ලා බොහෝ පිරිසකට තනිවම ජීවිතය ඉදිරියට ගෙනයන්න හැකි වුණා. ඒක නිසා අපේ රජයක් යටතේ කෙටි කාලයක් තුළ දුප්පතුන්ට තනිවම නැඟී සිටිය හැකි ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කරනවා.
ජනතාව නඟාසිටුවීම
අපිට කර්මාන්ත තියෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත දියුණු කිරීම තුළින් ජනතාවට ආදායම් ලැබෙනවා. ජනතාවට ආදායම් ලැබීමත් සමග වැඩි වැඩියෙන් ජනතාව ඒ සඳහා යොමු වෙනවා. මේ සඳහා කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මොකද මේ වනවිට ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ නිසා ජනතාව විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීලා ඉන්නේ. මේ තත්ත්වයෙන් ජනතාව මුදවාගන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ප්‍රතිපත්තිය
එතුමාගේ පාලන කාලය තුළ ඉතාමත් පැහැදිලි, නිරවුල්, සමබර විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. ඉන්දියාව අපේ අසල්වාසී හිතවත් රටක්. ඒක නිසා ඉන්දියාව සමග හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්නත්, චීනය ඇතුළු ආධාර කරන රටවල් සමග සහ ඇමරිකාව, යුරෝපය සමගත් සමබර මිත්‍රත්වයක් පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද
මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ සුළුජන කණ්ඩායමක් කරන දෙයක් නිසා. ඒ කණ්ඩායමට ජනතා ශක්තියක් නැහැ. මේ ආකාරයේ සුළු බෙදීමක් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමට කිසිදු බලපෑමක් නැහැ. ඒක නිසා නොවැම්බර් 16 වන දින ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නැහැ.
මැතිවරණ නීති උල්ලංඝනය
සමස්තයක් ලෙස බොහෝ පක්ෂ මැතිවරණ නීතියට අනුව කටයුතු කරනවා. සුළු සුළු මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් තියෙන්න පුළුවන්. අතීතය හා සලකා බැලීමේදී මැතිවරණ නීති කඩකිරීම ගොඩාක් අඩුවෙලා තියෙන්නේ. අද දවස ගත්තාම ඉතාමත් සාමකාමී ලෙස මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යනවා. අපේ පක්ෂය ගත්තාම ඉතාමත් නීතිගරුක ආකාරයට මැතිවරණ ප්රචාරක කටයුතු කරගෙන යනවා.
රාජපක්ෂ පවුල් පාලනයක් බිහිවීමේ චෝදනාව
රාජපක්ෂවරුන් තමයි රටට විශාල වැඩකොටසක් කළේ. නමුත් රාජපක්ෂවරුන් සමග වෛරයකින් සිටින සුළු පිරිසක් විවිධ කතා කියනවා. රාජපක්ෂවරුන් ඉතිහාසයේ ඉඳලම බලයට ආවේ පස්සෙ දොරින් නෙවෙයි. ජනතාවගේ ඡන්දයෙන්. ජනතා ආශිර්වාදයෙන්. රටේ ජනතාව කැමති රාජපක්ෂවරුන් නම් ඒ දේවල් සිද්ධ වෙන්නේ ජනතාවගේ කැමැත්ත මත. එහෙම නැතිව සුළු පිරිසක් කියන ආකාරයට නෙවෙයි.
බණ්ඩාරනායක මැතිනිය ඉන්න කාලයේ මේක බණ්ඩාරනායකවරුන්ගේ පාලනයක් කියලා කිව්වා. මෙතන තියෙන්නේ පුද්ගලයා පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. ක්‍රම‘වේදය තුළයි. මොකද පවුල් පාලනයක් තියෙනවා කියන කාලවල තමයි රට දියුණු වුණේ. යහපාලනයක් දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුව ගෙවී ගිය වසර හතර හමාර තුළ කරපු දේවල් ජනතාව දන්නවා. නොවැම්බර් 16 වන දිනට එන ප්‍රතිඵලය තුළින් බලාගන්න පුළුවන් ජනතාව කැමති කාටද කියලා.
පොහොට්ටුව තුළ හොරු ඉන්න බවට නැගෙන චෝදනා
හොරු ගැන කියමින් තමයි 2015 ජනවාරි 08 බලයට පත්වුණේ. හැබැයි ගෙවී ගිය කාලය තුළදී එකම පුද්ගලයෙක්වත් හොරෙක් කියලා ඔප්පු කරන්න බැරි වුණා. වර්තමාන ආණ්ඩුව ජනතාවගේ ඡන්දය ලබාගත්තේ හොරු ගැන කියලා. එහෙම කියලා දේශපාලන පළිගැනීම් නම් විශාල ලෙස සිදුකළා. එහෙම බැලුවාම ගෙවී ගිය කාලයේ සිදුවුණේ දේශපාලන පළිගැනීම් ව්‍යාපෘතියක් පමණයි. ඒක නිසා මේ ආණ්ඩුව අද වන විට පුස්සක් බවට පත්වෙලා තියෙනවා.
විරැකියාවට විසඳුම් ලබාදීම
ආර්ථික දියුණුව සලකා බැලීමේදී මේ රටේ අධ්‍යාපන ක්‍රම‘වේදය වැඩිදියුණු කරන්න යෝජනා කරලා තියෙනවා. මොකද භාෂාමය හැකියාව, නව තාක්ෂණික දැනුම, තොරතුරු තාක්ෂණය, පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කළයුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළවල් තියෙනවා. මීට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍ර, සංචාරක ක්ෂේත්‍ර මූලික කරගනිමින් රැකියා බිහිකිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරනවා. මේ හරහා විරැකියාවට විසඳුම් ලැබෙනවා.
ණය ලබාගැනීම
ණය කියන එක ලෝකයේ සෑම රටක්ම ගන්න දෙයක්. දළජාතික නිෂ්පාදිතය සැලකිල්ලට ගෙන ණය ලබාගැනීම සිදුකරනවා. ඇමරිකාව ගත්තාම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 212%ණය ලබාගෙන තියෙනවා. කරන්න තියෙන්නේ ණය කළමනාකරණය කර ගැනීමයි.
2015ට පෙර තිබුණ අපේ ආණ්ඩුව රට භාරගන්නකොට රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 101%ක්. ඒත් අපි වර්තමාන ආණ්ඩුවට රට භාරදෙනකොට එම ප්‍රමාණය 73%යි. අද වනවිට එම ප්‍රතිශතය 98%ක් බවට පත්වෙලා තියෙනවා. අපි නැවත වතාවක් රට භාරගන්නවා. පස්සේ මේ තත්ත්වය පහත දැමීමට කටයුතු කරනවා.
වර්තමාන ආණ්ඩුව මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා. අපි නිවැරදි ලෙස ආර්ථික කළමනාකරණය කරලා රට ගොඩගන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වගේ එක එක චෝදනා කර කර ඉන්නේ නැහැ.
අපේක්ෂකයා ඇමරිකන් ජාතිකයෙකු ලෙස නැගෙන චෝදනා
එතුමා ඇමරිකානු පුරවැසිභාවය දැරුවා. එතුමා සහ එතුමාගේ පවුලේ අය ඉලක්ක කරගෙන තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගෙන තියෙනවා. මේ වනවිට එතුමා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඒක නිසා කවුරුවත් ඒ ගැන ගැටලුවක් ඇතිකර ගතයුතු නැහැ.