රාජපක්ෂවරු උපතින්ම ගැමියෝය. ඔවුන් ඈත ගිරුවාපත්තුවේ වසර සිය ගණනක් පුරා වාසය කරයි. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වුවද කොළඹ ගල්කිස්සේ ජීවත් වුවද, කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ වාසය කළද රාජපක්ෂවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෝ වෙති.
එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරන්නේද ග්‍රාම්‍ය ඡන්ද පදනමයි. නැතහොත් මහින්ද රාජපක්ෂගේම වචනවලින් කියතොත් බයි ප්‍රජාව නොහොත් බයියන්ය. 2014 කුප්‍රකට අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කොහොමද බයියන්ගේ වැඩ* යැයි කියා එවකට විපක්ෂයේ සිටි රෝසි සේනානායකට අත දික්කර ඇසුවේය. ඉන්පසු උඩ රැවුල අතගා තේජස් ගමන් විලාසයකින් රෝසි සේනානායක දෙස ඇස් කොනින් බලමින් සභා ගැබෙන් පිටත්ව ගියේය. ඒ ගැමිකම තම තේමාව කරගත් මහින්ද රාජපක්ෂය.
රාජපක්ෂවරුගේ ගති ලක්ෂණ තුළ හොඳ නරක දෙකම තිබේ. ඒ ඔවුන්ට ඈත ගිරුවාපත්තුවෙන් සමාජඅනුයෝජනයෙන් පැමිණි ගති ලක්ෂණ මෙන්ම ජානවලින් පැමිණි ගති ලක්ෂණද වේ. මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන්ගේත්, එම පිළේත් දේශපාලනය තේරුම් ගැනීමට නම් රාජපක්ෂවරුන්ගේ පදනම වූ ගම සහ ගැමියා තේරුම් ගත යුතුය.
ගම ලස්සනය. කොළ පාටය. වැව්, ඇළ දොළ, ගංගා, කුඹුරු මගින් එය අමුතු චමත්කාරයක් ඇසට ගෙන දෙයි. ඒ ගම මතුපිටින් බලන්නෙකුටය. නැතහොත් උඩින් බලන්නෙකුටය. නමුත් ඇත්ත ගම මීට වඩා බොහෝ සංකීර්ණ මෙන්ම අවලස්සනය. එම ගම සැබෑ ලෙසම දැක ගැනීමට නම් ගම තුළට යා යුතුය. ගමේ වෙසෙන මිනිසුන් හමු විය යුතුය. එවිට අපට දරිද්‍රතාවයෙන්, කුස ගින්නෙන්, ලෙඩ රෝගවලින් හා අමනකම්වලින් පිරුණු මිනිසුන් හමුවේ. එසේම දුප්පත්කමින්, අවිධිමත්කමින් සකස් වූ නිවාසද, හිතාමතාම අසල්වැසියාගේ වතුර බොන ළිඳ ආසන්නයේ ඉදිකළ වැසිකිළිද දැකගත හැකිය.
පිටින් පෙනෙන සුන්දර ගම අභ්‍යන්තරයේ දුක්ඛ දෝමනස්නයන්ගෙන් පිරුණු ඛේදවාචකයකි. අද ලංකාවේ දේශපාලනයත් සමාජයත් මුහුණදෙමින් සිටින්නේ එම ඛේදවාචකය මැද තම ජීවිතය ජයගත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින් කරනු ලබන බල අරගලයකටය. ඔවුන් අද කටයුතු කරනුයේ ගම තුළ ගැමියෝ කටයුතු කරනා අරාජික ආකල්පයෙන් යුතුවය.
එනම් ගැමියෝ ගමේ කිසිවක් ස්ථිරසාරව, ශක්තිමත්ව තිබෙනවාට විරුද්ධය. මන්දයත් කිසිවෙක් ගම තුළ ශක්තිමත් වන්නේ නම් එය අනෙකාගේ ආරක්ෂාවට තර්ජනයකි. එම නිසා ගම තුළ සියල්ල අනාරක්ෂිතව, අස්ථාවරව පවත්වා ගැනීමට ගැමියෝ පරිස්සම් වෙති. කවුරුන් හෝ එයට අභියෝග කරමින් ශක්තිමත් වන්නේ නම් පළිගැනීමේ ක්‍රියාවලියක් පටන් ගැනීමට ගැමියෝ කිසිදු පැකිලීමක් නොදක්වති.
ගැමියන් පළිගැනීමට රුසියෝය. එය ඉතාම කුඩා පැළ ඉන්නේ, පොල් ගෙඩියේ සිට මගුල් තුලා දක්වා විශාල පරාසයක විහිදේ. පළිගැනීම දෙවැනි වන්නේ ලාංකික ගැමියන්ගේ ආගමටය. මේ මොහොතේ ශ්‍රී ලාංකික දේශපාලනය මුහුණදෙමින් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ පළිගැනීමේ ක්‍රියාවලියටය.
2015 ජනවාරි අට වැනිදා එක්සත් ජාතික පක්ෂය, සිවිල් බලවේග හා මෛත්‍රීපාල සිරිසේන එක්ව පරාජය කළේ වසර 70ක් මේ රට අඛණ්ඩව පාලනය කිරීමට පිඹුරු පත් සාදා, නීති රීති සම්මත කොට රටේ පරිපාලනය අතැඹුලක් සේ තම දෑතට ගෙන සිටි රාජපක්ෂවරුන්ය. ඉන් පසු පසුගිය වසර තුන හමාර තුළ රාජපක්ෂවරුන්ට මුහුණදීමට සිදුවූ දුක්ඛ දෝමනස්සයන්, මදි පුංචිකම්, නොසලකා හැරීම් හා අවාසිවලට පළිගැනීමේ චේතනාවක් ඔවුන් තුළ නොමැති යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය පට්ට මුසාවකි.
රාජපක්ෂවරුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළිගනිමින් සිටියි. ඒ මේ ලෝකයේ ඇති සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පිටුපාමිනි. රාජපක්ෂවරුන් ආර්ථිකයෙන් පළිගනිමින් සිටියි. ඒ ආර්ථිකය කාබාසිනියා කොට නැත්තට නැති කිරීමෙනි. එසේම ඔවුන් ජාත්‍යන්තරයෙන් පළිගනිමින් සිටියි. ඒ ජාත්‍යන්තර මතය අලුයමලූ කෙල පිඩක් මෙන් නොසලකා හරිමිනි. එසේම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කඩා කාබාසිනියා කොට පළිගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මහා පාරට ඇද දමා සුව පහසු රාජ්‍ය පාලනයෙන් අව්ව, වැස්ස, දුක් දෝමනස්නයන් ඇති මහා පාරේ දේශපාලනය තුළට තල්ලු කිරීමෙන් එම පක්ෂයෙන්ද පළිගත්තේය.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පළිගැනීම කුඨප්‍රාප්තිය සිදුවන්නේ දෙසැම්බර් මාසයේ හත් වැනිදා හෝ ඊට පසු දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසුවය. එහිදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානූකූල ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත් රාජපක්ෂවරු මුළු රටම සමග පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇත.
එහිදී සිරිසේන ජනාධිපතිවරයාට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහි නායකයන්ට එකදු පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනා ගැනීමට ඉඩ නොතැබීමට ඔවුන් කටයුතු කරනු ඇත. එසේම මැතිවරණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයාට එරෙහි පළිගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා පාරට ඇද දැමීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමටය.
අනෙක් අතින් ශ්‍රේෂ්ඨාධිකරණය සිරිසේන ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධී යැයි තීරණය කළහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව චේතනාන්විතව කටයුතු කළා යැයි චෝදනාවෙන් ගැලවීමට සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වන අතර, ඔහුට එරෙහිව හැකි ඉක්මනින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දොශාභියෝගයක් ගෙන එනු ඇත. එහිදී රාජපක්ෂවරුන්ට අවුරුදු හතරක් තිස්සේ පුලපුලා බලා සිටි පළිගැනීම සඳහා වූ ස්වර්ණමය අවස්ථාව උදා වේ. අවසාන වශයෙන් කිව යුත්තේ පළිගැනීම කලාවක් නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු එහි පිකාසෝලා බවයි.