රාජපක්ෂවරු අවසානයක් නැති උගුලක


ලංකාවේ දේශපාලනයේ ඊළඟ තීරණාත්මක මැතිවරණය බවට ජනාධිපතිවරණය පත් වෙමින් තිබේ. පවතින දේශපාලන තත්ත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිත්‍යනුකූල පසුබිමක් නොමැති අතර, එය පැවැත්විය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් නව මැතිවරණ පනතක් සම්මත කරගත යුතු වේ. ඒ අනුව තාක්ෂණිකව නැවත ලංකාව තුළ පළාත් සභා පිහිටුවීමට ආණ්ඩු ක්‍රමය තුළ ඇති ප්‍රතිපාදන අකර්මණ්‍ය කොට ඇත. එබැවින් ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පවත්වෙතැයි කිව නොහැක. මේ කාරණා අනුව ලංකාවේ ඊළඟ මැතිවරණය වන්නේ ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයයි.

එම මැතිවරණය ලංකා ඉතිහාසයේ අඩුම බලතල සහිත ජනාධිපතිවරයා තේරීම සඳහා පවත්වනු ලබන මැතිවරණයයි. එනම් 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට නියමිත බලතල විශාල ප්‍රමාණයක් මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව එම ධුරයට අහිමි වන අතර,  ඒවායින් වැඩි ප්‍රමාණයක් අගමැතිවරයා සතු වේ. මේ අනුව රටේ බලවත්ම හා තීරණාත්මක තනතුර බවට අගමැති ධුරය පත් වේ.
එක්සත් ජාතික පක්ෂයත්, අවශේෂ පක්ෂත් ජනාධිපතිවරණයට එළඹෙනුයේ ජනාධිපතිවරයා මෙන්ම අගමැති අපේක්ෂකයාද රටට හෙළි කරමිනි. මෙවන් තත්ත්වයක් තුළ පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය හැකි අතර, ජනාධිපති අපේක්ෂකයා තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය බොහෝ විට නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය පදනම් කරගනිමින් එසේම රාජපක්ෂ පවුලට වඩාත් බලවත්ව රට පාලනය කළ හැකි චරිතයක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. ඒ සදහා ඔවුන් සලකා බලමින් සිටිනුයේ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය. පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් ඒ වෙනුවෙන් තිබුණද මහින්ද රාජපක්ෂ සිටිනුයේ ශිරන්ති ජනාධිපති ධුරයටත්, තමන් අගමැති ධුරයටත් ඉදිරිපත්ව රටේ බල කේන්ද්‍රය තම න්‍යෂ්ටික පවුල සතු කර ගැනීමේ චේතනාවෙනි.

එම පිල තුළ රාජපක්ෂවරුන්ගෙන් තොර පැවැත්මක් නොමැති අතර, ජීවිතයේ හත්වැනි දශකයේ කල් ගෙවන මහින්ද රාජපක්ෂගේ එකම අරමුණ තමන්ට ස්වභාවධර්මයෙන් ලැබී ඇති සිමා සහිත කාලය ඉක්ම යෑමට ප්‍රථම නාමල් රාජපක්ෂට හා ඔවුන්ගේ සහෝදරයන්ට රට තුළ ස්ථාවරත්වයක් හා ආරක්ෂාව සකස් කොට දීමටය.

එමෙන්ම දැන් පවතින දේශපාලන තත්ත්වය අනුව රාජපක්ෂවරුන් සිටිනුයේ විශාල අර්බුදයකය. විශේෂයෙන් යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂට එදිරිව බරපතළ මූල්‍ය අපරාධ නඩු දෙකක් ඇසෙමින් පවතී. එසේම තවත් නඩු ගණනාවක් ආරම්භ වීමට නියමිතය. ඉන් සමහරක් ඉතා බරපතළ මනුෂ්‍ය ඝාතන වැනි අපරාධයන්ය. එමනිසාම රටේ බලය ලබාගෙන එම නඩුවලින් නිදහස් වීම ඔවුන්ගේ විශාලතම හා බරපතළම ප්‍රමුඛතාවයි. බලය ලබාගැනීමට හැකියාවක් නොමැති බව හෝ ඒ පිළිබඳ සැකසංකා පවතී නම් ඔවුන් ඊළඟ තෝරා ගැනීමට බොහෝ විට ඉඩ ඇත්තේ ඔවුන්ගේ නිදහස හා ආරක්ෂව වෙනුවෙන් තමන් සතුව ඇති බලය ආණ්ඩුව සමග බෙදාගැනීමයි. දේශපාලන වේදිකාවේ කියන පරිදි වර්තමාන බලාධිකාරිය සමග ඩීල් දැමීමයි. දැනටමත් ඒ සඳහා මූලික පදනම් දමා ඇති බවට කනින් කොනින් ඇසේ.

මෙමගින් සැබෑ ලෙසම අර්බුදයට යන්නේ විමල් වීරවංශ හා ජොන්ස්ටන් වැනි දැනටමත් නඩුවලින් වරදකරුවන් වීමට ආසන්නව සිටින එම පිලේ පිරිස් ය. ඔවුන්ට එම පිලට බලය ලබාගැනීමෙන් තොර පැවැත්මක් නොමැත්තේය. නමුත් රාජපක්ෂවරුන් සිටිනුයේ වෙනත් මතයකය. එනම් බලය ලබාගැනීම සම්පූර්ණයෙන් සියයට සියක් විශ්වාසදායක ලෙස සාර්ථක නොවන්නේ නම් ඒ වෙනුවෙන් අවංක හා බරපතළ උත්සාහයක් යොදා ආණ්ඩුව අපහසුතාවට පත්කොට ආණ්ඩුව සමග විරසක නොවීමේ ගිවිසුමකය. ඒ එම පවුලේ  ආරක්ෂාවටය. එම නිසාම එදා බරපතළ ගෝෂාවක්ව තිබූ ආණ්ඩු විරෝධය අද සිහින් කෙඳිරියක් බවට පත් වී තිබේ.
අවසාන වශයෙන් කිවයුත්තේ ආණ්ඩුව සහ එයට සම්බන්ධ දේශපාලන බලවේගවලට 2020 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණදීමට සිදු වනුයේ පවුල්වාදයෙන් ඔත්පල වූ,  ජාතිකවාදයෙන් අබලන් වූ, වයස, මරණය අවිනිශ්චිත බව නිසාම දුර්වල වූ කෑලි කැඩී වෙන් වූ ග්‍රාමීය මට්ටමේ නියෝජිතයන්ගේ අශීලාචාර, ගිලිහී ගිය ගෞරවයෙන් යුතු විපක්ෂ  බලවේගයකටය. එය ජයගැනීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂවල වගකීමයි.

එක්සත් ජාතික පක්ෂයෙන් එම අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට මේ වනවිටත් ජනතාවට කියා තිබේ. එය රනිල්, සජිත් විය හැකිය. රනිල් නවීන් විය හැකිය. සජිත් අකිල වීමටද ඉඩ තිබේ. සමහර විට නවීන් අජිත් පෙරේරා වුව වීමට ඉඩ තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ එකඟතාවක් තිබේ. එම මොහොතේදී හොඳම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇත.
කෙසේ වෙතත් රටේ සිවිල් බලවේග හා ජාත්‍යන්තරය තවදුරටත් රාජපක්ෂවරුන් මේ රට පාලනය කරනු ඇතැයි අපේක්ෂා  කරන්නේ නැත. විශේෂයෙන් ඉන්දියාව හා බටහිර අපේ පැරණි මිතුරන් රාජපක්ෂවරුන් බලයට පත්වනවාට විරුද්ධය. රාජපක්ෂවරුන් නැවත බලයට පත්වුවහොත් එය කලාපයේ ආරක්ෂාවටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත්, මානව අයිතිවාසිකම්වලටත් විශාල ගැටලුවක් බව ඉන්දියාව හා බටහිර කල්පනා කරයි.
චීනය රාජපක්ෂවරුන් බලයට පත් වීම අපේක්ෂා කරද්දී මුළු ලෝකයම රාජපක්ෂට විරුද්ධව විශාල බලවේගයක් ක්‍රියාත්මක කරමින් තිබෙනුයේ ඔවුන්ගෙන් මේ ලෝකයේ දේශපාලනයට අනිකුත් ආර්ථික හා සාමාජීය තත්ත්වයන්ටත් විය හැකි හානිය පිළිබඳ තක්සේරුවක් ඇතිවය.

මේ අනුව රාජපක්ෂවරුන්ට බලයට පත්වීම හුදු සිහිනයක් වන තරමට අර්බුදයක ගිලී තිබේ.



Recommended Articles