තුන්වැනි ලෝකයේ රටවල් එදිනෙදා මුහුණදෙන බොහෝ ගැටලුවලට එක් හේතුවක් නම් එම රටවල ආයතන පද්ධතිය හා සමාජය අධික ලෙස දූෂණය වී තිබීමය. එය ලෝකයේ දියුණු බටහිර රටවල් කිහිපයක් හැරුණුකොට සෑම සමාජයකම පාහේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ.
ඇතැම් රටවල් කොයිතරම් දූෂිතද යත් එම රටවල් පාලනය කරනුයේ මාෆියා කණ්ඩායම් විසිනි. විශේෂයෙන් අප්‍රිකානු රටවල් හා ලතින් ඇමෙරිකානු රටවල් එහි පෙරමුණ ගනී. දූෂණය මුල් කොටගෙනම විනාශ වූ රටවල් දෙකක් වන්නේ වෙනිසියුලාව හා හයිටියයි. මෙම රටවල් දෙකෙහිම ඇත්තේ අරාජික තත්ත්වයකි. මේවායේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නැත.
හයි හත්තිය ඇති අය එම සමාජය මංකොල්ලකමින් තිබේ. විශේෂයෙන් අධික තෙල් සම්පතින් අනූන වෙනිසියුලාවේ අද තෙල් පොළොවෙන් මතු පිටට ගැනීමටද නොහැකිය. එයට හේතුව වී ඇත්තේ අතරමැදි රාජ්‍ය යාන්ත්‍රණයේ හා සේවකයන්ගේ කප්පම ගෙවූ පසු තෙල් මිල ලෝක වෙළෙඳ පොළට වඩා විසි ගුණයකින් පමණ ඉහළ යෑමය.
එසේම වෙනිසියුලාවේ රජයේ කටයුතු සඳහා සම්බන්ධීකරණයක් පවත්වා ගත නොහැකි අතර, රට නැවතී තිබේ. එරට නීත්‍යනුකූල ආණ්ඩු දෙකක් ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ දෙකක් තිබේ. නමුත් රටේ වතුර නැත. විදුලිය නැත. කෑම නැත. සියල්ල මාෆියාකරුවන්ට යට වී තිබේ. කොටින්ම අර්තාපල් කිලෝවක් ගැනීමට මුදල් නෝට්ටු කිලෝ කිහිපයක් දෙන තරමට උද්ධමනය ඉහළ ගොස් තිබේ.
නමුත් ආසියාවේ තත්ත්වය එතරම්ම අයහපත් නොවේ. මන්දයත් යුරෝපීය පාලකයන්ගෙන් ආසියානු සමාජය, සමාජ ආයතන පවත්වාගෙන යා යුතු ආකාරයත්, ඒවාට ගරු කිරීමටත්, බියවීමටත් ඉගෙනගත් අතර, නීතියේ ආධිපත්‍ය හා එහි ප්‍රතිඵල ගැන ඔවුනට අවබෝධයක් තිබේ. එම නිසාම රාජ්‍ය හා ආණ්ඩුකරණය දෙස ගැඹුරින් බැලීමටත්, එය අපගේ සමාජයේ බරපතළ කාරණාවක් බවටත් පිළිගැනීමක් තිබේ. එම නිසා එළිපිට දූෂණයේ හා වංචාවේ යෙදීමට ඔවුන් බියක් දක්වයි. ඉඳහිට කවුරුන් හෝ එය එළිපිට කරන්නේ නම්, ඒ අපරාධකාරයෙකි.
එමනිසා ලංකාවේ දේශපාලකයෝ, නිලධාරීන් මෙන්ම පොදු ජනතාවද වංචාව, දූෂණය, රාජ්‍ය දේපොළ අයුතු පරිහරණය බරපතළ වරදක් ලෙස සැලකූහ. එය කවුරුන් හෝ සිදුකරන්නේ නම්, සිදුකරන ලද්දේ හොරෙනි. වෙනිසියුලාවේ මෙන් එළිපිට එවැනි දෑ සිදුනොවිණි. කවුරුන් හෝ එවැනි කටයුතුවල යෙදුණි නම් කනින් කොනින් මිනිසුන් ඉතා වේගයෙන් තොරතුරු ලබාගත් අතර රහසක් ලෙස රැකීම ඉතා අපහසු විය. සමහර අවස්ථාවල එවැනි හත් මුතු පරම්පරාවල්ම එම අපහාසයෙන් මිදුණේ නැත. අනිත් අතින් එවැනි කටයුතුවල යෙදෙන්නන්ගේ බලාපොරොත්තුව වූයේ එසේ උපයන අයුතු ධනයෙන් දරුවන්ට ඉගැන්වීම ඉඩමක් කඩමක් ගැනීම, කොළඹ හෝ ගමේ ගෙයක් සෑදීම, වාහනයක් ගැනීම වැනි ප්‍රාථමික කාරණාය.
රාජපක්ෂවරු බලයට පත්වන තුරු ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ අයුතු ධනවතුන් නොවීය. දේශපාලකයෝ හෝ නිලධාරීන් මුහුදු හතක එහා ධන කුවේරයන් වීමට උත්සහ නොකළේය. ලංකාවේ අයුතු ලෙස ධනවත් වූ බොහෝ දෙනා සාපේක්ෂව බටහිරදී හෝ ඇමෙරිකාවේදී සාමාන්‍ය හුදී ජනයාය. මන්ද එම ධනය එම රටවලදී සොච්චමකි. අනිත් අතින් රට තුළ සොරකම් කිරීමට තරම් ධනයක් නොවුණි. එනම් තේ, පොල්, රබර් විකුණා ඉපයූ ධනය, ඇඟලුම් හෝ පිටරට වැඩකරන කාන්තාවන්ගේ ධනය හැරුණු කොට ලංකාව ඉතාම අඩු බදු අාදායම් සහිත කුඩා ආර්ථිකයක් හිමිව තිබූ රටකි.
රාජපක්ෂලා බලයට පත්වීමට ප්‍රථම ලංකාවේ සිදුකළ විශාල වැඩසටහන මහවැලි වැඩසටහනයි. එයින් ධනවත් වූ බොහෝ ඉංජිනේරුවෝ හා දේශපාලකයෝ අදද දුම්රිය බස්වල ගමන් බිමන් යනවා අපට හමු වී තිබේ. අවසානයේ ඔවුන්ට උරුම වූයේ හොඳින් ඉෙගනගත්, බොහෝ විට පිටරට පදිංචි දරුවන් හා විශාල ගෙවල් පමණි.
නමුත් 2005 වර්ෂයේදී රාජපක්ෂවරු බලයට පත් වූ පසු මෙම තත්ත්වය වෙනස් වූයේ විදුලි වේගයෙනි. ඔවුන් විසින් එතෙක් ලංකාවේ තිබූ උපයාගෙන පරිහරණය කළ ආර්ථිකය චීන ගිනි පොලී ණය මත යැපෙන ආර්ථිකයක් බවට පත් කළේය. චීන ණය ආර්ථිකයේ ප්‍රමාණය විශාල කළ අතර, රට අභ්‍යන්තරයට ණය ලෙස ධනය ගලා ආවේය. රටේ නිලධාරීන් ආයතන හා නීති රීති ක්‍රමවේදයන් සියල්ල චීන ණය ලබා ගැනීමට අදාළ ලෙස ලිහිල් විය.
ඊට සාපේක්ෂකව රාජපක්ෂවරු රටේ සියලුම මර්මස්ථාන තම නෑ පරපුරෙන් පුරවනු ලැබීය. ඒ බොහෝ දෙනාගේ නිජ බිම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. අප දන්නා කියන අයට අමතරව නොදන්නා බොහෝ රාජපක්ෂ නෑසියන් රාජ්‍ය යාන්ත්‍රණයේ සෑමතැනම විය. විශේෂයෙන් සියලුම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයන්හි බලවතුන් මෙන්ම අවශේෂයන් වූයේද රාජපක්ෂ නෑදෑයන් හෝ ඔවුන්ගේ අතවැසියන්ය.
ඔවුන්ගේ ෆැන්ටසීන් වෙනස්ය. ඔවුන්ට ධනවත් වීම යනු ලංකාවේ ග්‍රාමීය උගතුන්ගේ නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ අර්ථයෙන් මෙන් ගෙවල් සෑදීම, කාර් ගැනීමේ අර්ථයෙන් එහාට ගිය විශාල වැඩසටහනකි. ඔවුන්ගේ ලෝකයේ ධනවතුන් වූයේ බිල් ගේට්ස්, වොරන් බෆට්, ටයිගර් වුඩ්ය. ඩොලර් බිලියන ගණනින් යුතු ගුවන්යානා කිහිපයක් හිමි නැව් ගෙදර පිටුපස මිදුලට එන ලුවී විටෝන් වැනි ධනවතුන්ය. එවැනි ධනවතුන්ට ඇමෙරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අක්කර ලක්ෂයේ ඉඩම් කඩම් ඇති අතර ඒවායේ සත්ත්ව පාලනය කරනුයේ නිදහසේය.
ඉතින් රාජපක්ෂ රෙජීමයේ සියලුම දෙනාට අවශ්‍ය වූයේ එවැනි ධනවතුන් වීමටය. ඔවුන්ගේ සියල්ල තිබුණේ ඇමෙරිකාවේය. ලංකාව ඔවුන්ගේ ගොදුරු බිමයි. නැතිනම් රස්සාව කරපු තැනයි.
රටේ ආර්ථිකයට හා සමාජයට මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ අතර, අද අප මුහුණදෙන අමාරුකම් එහි ප්‍රතිඵලය. එම පාලනය තුළ ඉහළ අයට වොරන් බෆට් මෙන් ධනවතුන් වීමට අවශ්‍ය වූ අතර, පහළම අයට කොළඹ ධනපතියන් වීමට අවශ්‍ය විය. එම රාජ්‍ය පාලනයේ අරමුණ වූයේ තරගයට රෙජීමයේ සියලුම දෙනාම ධනවත් වීමය. ධනවත් වීම යනු එකල බලවත් බවේ සංකේතයයි.
එම පාලන කාලය ලංකාවේ සියලුම දක්ෂයන්
හොරු බවට පත් කළ අතර රට හපයක් විය. රාජපක්ෂවරු සියල්ලම පාහේ වොරන් බෆට් මෙන් හෝ
ඒ ආසන්නයටම ආවේය.