තවත් නොබෝ දිනකින් ඇරඹෙන ජනාධිපතිවරණ සටන උදෙසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතාව අද සමග සම්බන්ධ කරගතිමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඔහුගේ දියණිය විසින් පැවරූ කැලිෆෝනියා නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස් වුණා. එයට ලබාදුන් සාක්ෂි අනුව ශ්‍රී ලංකා රජය සහ යුද විරුවන් පාවා දී ඇති බවට ඔබ බරපතළ චෝදනාවක් නගනවා. එහි පදනම කුමක්ද?
ඇයි අප මෙය මහා පාවාදීමක් ලෙස සලකන්නේ. එයට හේතු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂලා මේ පාවාදීමට මූලිකව සම්බන්ධ වන පාර්ශ්වය. රාජපක්ෂලා මේ රටේ පෙනී සිටින්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ පියවරුන් ඔවුන් ලෙස සිතමින්. ඒ අනුව ක්‍රියා කරමින් ඒ සමගම ඔවුන් දේශප්‍රේමීන් ලෙසද පෙනී ඉන්නවා. මේ ඊනියා දේශප්‍රේමීන් සියවසේ මහා දේශප්‍රේමීන් ලෙස තමන් විසින්ම උත්කර්ෂයට නංවා ගනිමින් සිටිනවා. සිංහලයන්ට ආදරය කරන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන එකම බලවේගය ලෙස ඔවුන් පෙනී සිටිනවා. ඔවුන්ගේ දේශපාලන බලවේගය ක්‍රියා කරන්නේ එලෙසයි. නමුත් මේ ඊනියා දේශප්‍රේමීන්ගේ ක්‍රියාකාරකම් හුදු වචනවලට සීමා වෙනවා. ඒවා පෞද්ගලික අභිමතාර්ථයන්ම ඉටුකර ගැනීමට භාවිතා කරන එක් වචනයක් පමණයි. ඊනියා දේශප්‍රේමය පිළිබඳව වරෙක ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වූ නේරුතුමා &දේශප්‍රේමය වනාහි තක්කඩීන්ගේ අවසන් තිත්පොළයි* යනුවෙන් ප්‍රකාශ කළා. ඒ නිසා රාජපක්ෂලාගේ දේශප්‍රේමය හුදු වාගාලාපයක්, මුළාවක්, ඇස් බැන්දුමක් පමණයි.
දේශප්‍රේමය රටකට අත්‍යවශ්‍ය දෙයක්. එහෙත් ඔබ රාජපක්ෂවරුන්ගේ දේශප්‍රේමය, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ දේශප්‍රේමය දැඩි ලෙස ප්‍රශ්න කරනවා?
ඕනෑම රටකට දේශප්‍රේමයක් අවශ්‍යයි. දේශ වාත්සල්‍යයක් අවශ්‍යයි. දේශානුරාගයක් අවශ්‍යයි. එය අත්‍යාවශ්‍යම දෙයක්. නමුත් මේ රාජපක්ෂලාගේ දේශප්‍රේමය වෙනස්. එය මැදමූලන දේශප්‍රේමය. ඒ දේශප්‍රේමය වංචනිකයි. ඒ වංචනික බව ඉතිහාසය පුරා ඔවුන් ඔප්පු කර තිබෙනවා. එයට බොහෝ නිදසුන් තිබෙනවා. ඒ සඳහා මෑත උදාහරණය ඇමෙරිකාවේ කැලිෆෝනියා දිසා අධිකරණයේදී සිදු වූ නඩු පැවරීම සහ නඩු තීන්දුව. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා වෙනුවෙන් අභිම්සා වික්‍රමතුංග මෙනෙවිය පැවරූ මෙම නඩුවේදී ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගන්නා ලද ස්ථාවරය අනුව ශ්‍රී ලංකාව පමණක් නොව ඔහුගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාද බරපතළ අවදානමකට ලක්වුණා.
රටක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ බවට චෝදනා එල්ල වුණාම තිබෙන අවදානම කුමක්ද?
පශ්චාත් යුද්ධයෙන් පසු අපේ රටට චෝදනාවක් එල්ල වුණා. ඒ ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුණු බවට නැගෙන චෝදනාව. (Crime Aganaist HUmanity) යුද අපරාධ, වැරදි සිදුවුණා කියන චෝදනාව. දරුස්මාන් වාර්තාවෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් අපට එරෙහිව චෝදනා එල්ල වුණා. රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව යහපාලන ආණ්ඩුවත් දිගින් දිගටම කීවේ මෙවැනි වැරදි අප කිසිසේත් නොකළ බවයි.
ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
බැරිවීමකින් හෝ ගෝඨාභය ජනපති වුවහොත් හෝ වෙනත් අපේක්ෂකයෙක් පත්වුවහොත් සිදුවන ක්‍රියාවලිය කෙබඳු වේවිද? ගෝඨාභයගේ කඳවුර කියනවා 32/1 යෝජනාව ඔවුන් පිළිගන්නේ නැති බව. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගත් යෝජනාවක්. එයට කලින් කළ යෝජනාත් පිළිනොගන්නා බව ඔවුන් කියනවා. එය කීවේ අපට බොරු චෝදනාවක් කරන පදනමින් සහ යහපාලන ආණ්ඩුව මෙම වගන්තියට මෝඩයන් සේ අත්සන් කළා යන පදනමින්. දැන් බොරු කියන්න බැරි සාක්ෂියක් ඉදිරිපත්වී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුවෙනවා. එය අනාගතයේ ඇතිවන අනිවාර්ය තත්ත්වයක්. 2009 යුද්ධය අවසන් වෙලා වසර දහයක් අපට එරෙහිව සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරිව තිබුණා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් සමගින් ප්‍රබල සාක්ෂියක් මතුවෙනවා.
ට්‍රිපොලි හමුදා කඳවුරේ භටයන් ලසන්ත ඝාතනයට සම්බන්ධ බව මේ නඩුවේ සඳහන් වෙනවා. මෙහි සත්‍ය තත්ත්වය කුමක්ද?
ට්‍රිපොලි හමුදා කඳවුරේ සන්නද්ධ භට පිරිසක් මෙම ඝාතනය සිදුකළා කියන සාක්ෂිය මේ නඩු තීන්දුවෙන් මතු කරනවා. එය නියත ලෙසම ශ්‍රී ලංකා රාජ්‍ය මුහුණදෙන විශාලතම අභියෝගයක් වෙනවා. කවුරු ජනපති වුවත් එයින් ගැලවීම අසීරු කාරණයක්.
ජාතිය සහ ආගම මූලික කරගත් ඡන්ද ව්‍යාපාරයක් ගෝඨාභය රාජපක්ෂ විසින් දියත් කර තිබෙනවා. තරුණ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් මේ දේශප්‍රේමය වටා ගොනුවෙනවා. මේ දේශප්‍රේමය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ගෝඨාභයගේ ඊනියා දේශප්‍රේමයේ විජ්ජාවන් නිසා බොහෝ තරුණ කණ්ඩායම් මුළාවට පත්ව තිබෙනවා. මෙවැනි මහා පාවාදීම් නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම බිඳ වැටෙනවා. ගෝඨාභයගේ පරිචය සකස් වී ඇත්තේ යුදමය නිලධාරියෙකු ලෙසයි. යුද හමුදා නිලධාරියෙකුට කළ හැකි දේ තමයි හමුදාමය ක්‍රියාදාමයන්. ඒ හමුදා ක්‍රියාදාමයන්ට අවධානයක් ලැබීමට නම් සෑම විටම සමාජ අර්බුද නිර්මාණය කළ යුතු වෙනවා. ඒ අර්බුදයන් මතු කිරීම ඔහු පසුගිය වසර කිහිපයකදී සාර්ථකව ඉටුකළා. ඒ ඔස්සේ ඉල්ලුමක් සකසා ගෙන තිබෙනවා. ඒ ඉල්ලුම තමයි ගෝඨාභය ආවොත් මේ අර්බුද අවසන් වෙනවා කියන මිථ්‍යාව. ගෝඨභය උගත් පැරණි යුද ශිල්පය හා තාක්ෂණයට වඩා නූතනය වෙනස්. අසිපත්වලින්, බයිනෙත්තුවලින්, තුවක්කුවලින් කරන යුද්ධ ආදිකල්පිකයි. ඒ නිසා ආරක්ෂාවට ගෝඨාභය ආවොත් හරියයි කියන කාරණයම අදිකල්පික මිථ්‍යාවක්. ඔහු ඒ මිථ්‍යාව මත තරුණ පරපුරේ යම් කොටසක් ඒකරාශි කරගෙන තිබෙනවා. එය දහවල් දකින සිහිනයක් පමණයි. බුද්ධිමත් තාරුණ්‍ය තේරුම් ගන්න ඕන ගෝඨාභය කියන්නේ එක් දේශපාලන මිත්‍යාවක් පමණයි කියන එක පිළිබඳව.
ජාතික රාජ්‍ය‘යේ සංකල්පය කෙමෙන් වියැකී යනවා. ජාතික ආරක්ෂාවත් එහිදී අභියෝගයට ලක්වන්නක්. මේ ගැන ඔබට අදහසක් තිබෙනවාද?
ගෝලීයකරණය, විශ්ව ගම්මාන සංකල්ප වැනි දේශපාලන හා ආර්ථික ධාරිතාවන් ලෝකයේ චලනය හා න්‍යාය පත්‍ර සකසද්දී අපට කුඩා දූපතක හිඳ ලෝකයට අභියෝග කරන්නට බැහැ. ධීනත්වය, ස්වෛරීත්වය, ජාතිකත්වය වැනි සංකල්ප පවා මෙහිදී අභියෝගයට ලක් වෙනවා. ආරක්ෂාව යන සංකල්පය ගතහොත් එහි කෝණ දෙකක් පවතිනවා.මානව ආරක්ෂාව (Human Security)රාජ්‍ය ආරක්ෂාව (State Security)මානව ආරක්ෂාව යනු ජීවිතයේ මූලික අපේක්ෂාවන් සුරැකීමයි. විවිධ ජන කොටස්වල අභිලාෂයන් සුරැකීම මානව ආරක්ෂාවට අයත් වෙනවා. මානව ආරක්ෂාව ආර්ථික ක්‍රියාවලිය සමග ගැට ගැසෙන්නක්. ආර්ථිකය දුර්වල නම් මිනිසුන් කැරළි ගහනවා. නීතිය මගින් මානව හිමිකම් සුරක්ෂිත නොවේ නම් මිනිසුන් කැරලි ගහනවා. කැරලි ගහනකොට ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා. සහරාන්ලා වගේ ත්‍රස්තවාදීන් එයට අයත් වන්නේ නෑ. එය ආර්ථිකයත් සමග ගැට ගැසෙන්නක්. හමුදා කණ්ඩායමක් රටේ පාලනයට පත්වීම එයට පිළියමක් නොවෙයි. හමුදා බලය ඕන වෙන්නේ අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් රට ආරක්ෂා කරන්න.ජාතික ආරක්ෂාව ඊට වඩා වැදගත් සහ වෙනස් කාරණයක්. ඒ සියල්ලට ගෝඨාභයගේ යුදමය පසුබිම ලඝු කිරීමම දේශපාලන විහිළුවක්. ඊට වඩා දෙයක් එහි නෑ.
සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ඔබේ දේශපාලන කඳවුර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප අගයන්නන්. එවැනි පාලනයක රාජ්‍ය ආරක්ෂාවට හිමිවන ස්ථානය කුමක්ද?
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවක් හිමි වෙනවා. ශක්තිමත් රාජ්‍යයක පැවැත්ම ඉන් තහවුරු කෙරෙනවා. කාර්යක්ෂම වෙළෙඳ පොළ යාන්ත්‍රණයක් ඉන් අවධාරණය කෙරෙනවා. රාජ්‍යයේ වගකීම, වෙළෙඳ පොළ යාන්ත්‍රණය, සමාජ අවශ්‍යතා අනුව ස්ථාවරත්වය සඳහා නියාමනය කර සාධාරණව ධනය බෙදා හැරීම. ඒ වගේම ශක්තිමත් රාජ්‍යයක ප්‍රධාන කාරණය, ජාතික ආරක්ෂාව බවට පත්වෙනවා.
එහිදී අවධාරණයෙන් වෙනසක් වෙන්නේ නෑ. කැනේඩියානු රටවල ලෝකයේ බල සම්බන්නම හමුදා බලය රැඳී තිබෙන්නේ ඒ අනුවයි. ඔවුන් සමාජය නියාමනය කරනවා. දියුණු වෙළෙඳ පොළ යාන්ත්‍රණයක්ද පවත්වාගෙන යනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක හිමි වන්නේ ආරක්ෂාවට බව සහතිකයි. ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය එකම හුස්මක්.
සිසිර චාමින්ද ගමගේ