රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර


සාර්ථක දකුණු ආසියානු තරගාවලියක් නිමා කරමින් පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම සුවිශේෂී කඩයිම පසුකිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතරම, පදක්කම් ජයග්‍රහණය කළ මෙන්ම නොකළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

අනෙක් අතින් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියානු පළමු කාණ්ඩයේ කිරුළ ජයග්‍රහණය කිරීමටද සමත් විය. එම කණ්ඩායමටද සුබ පැතුම් එක්කරමි. එසේම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ජයගත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව සමගින් ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී මතක් කරන්නෙමු.

මෙවර සතියේ මාතෘකාව ලෙස අප තෝරා ගත්තේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමුවීමයි. ලෝකය පුරාම කාබනික පොහොර භාවිත කිරීමෙන් නිෂ්පාදනය කරන ආහාර පාන සඳහා මේ වනවිට දැඩි ඉල්ලුමක් පවතින අතර, ශ්‍රී ලංකාවේද එම තත්ත්වය දැකිය හැකිය.

බොහෝ සුපිරි වෙළෙඳ සැල්වල කාබනික ආහාර පාන වෙනුවෙන් වෙනමම ස්ථාන වෙන් කර ඇති අතර, ඒ සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අනෙක් අතින් කාබනික වගාවන් සිදුකරන ගොවීන්ගේ ආදායමද ඉහළ යෑමට එය හේතුවක් බවට පත්ව තිබේ. 

මේ අනුව යමින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කාබනික පොහොර භාවිතයෙන් වගාකරන ඉඩම් ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කරමින් වසර 2025 වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සියලුම ඉඩම් කාබනික වගාවන් සඳහා යොමුකිරීමේ ඉලක්කගත වැඩසටහනක් අප විසින් ආරම්භ කර තිබේ.

මේ හා සමගාමීව එම වසර වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව නගරය ආශ්‍රිත ප්‍රදේශය හරිත නගරයක් ලෙස ගොඩනැගීමටද අප වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
කාබනික පොහොර භාවිතය පිළිබඳ අදහස් දක්වන ගොවීන් සඳහන් කරන්නේ රසායනික පොහොර භාවිත කිරීම හරහා වැඩි අස්වැනක් ලබාගත හැකි වුවත්, කාබනික පොහොර භාවිතයෙන් ලබාගත හැකි අස්වැන්න අඩු බවයි.

නමුත් මෙහි තවත් අවධානය යොමුකළ යුතු පැත්තක් තිබේ. එනම් කාබනික පොහොර භාවිතයෙන් ලබාගන්නා අස්වැන්නට ලැබෙන මිලයි. සාමාන්‍යයෙන් කාබනික පොහොර භාවිතයෙන් ලබාගන්නා අස්වැන්නට රසායනික පොහොර භාවිතයෙන් ලබාගන්නා අස්වැන්නට ගෙවන මිලට වඩා වැඩි මිලක් නියම වීමයි.

මේ අනුව අස්වැන්න අඩුවුවද අස්වැන්නට ලැබීම හේතුවෙන් ගොවියාට හොඳ ආදායමක් උපයාගැනීමට අවස්ථාව ලැබී තිබේ. අනෙක් අතින් කාබනික පොහොර භාවිතයෙන්ද ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවට මේ වනවිට සොයාගෙන තිබේ.

අප එය අමතක කර අස්වැන්න අඩුවනවා යැයි යන කරුණ පිළිබඳ අවධානය යොමුකර කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අනෙකුත් වාසි පිළිබඳ අවධානය යොමුකළහොත් කාබනික පොහොර භාවිතයෙන් අපට විශාල වාසි ප්‍රමාණයක් ලැබෙයි.

කාබනික පොහොර පරිසරයට අහිතකර නොවන අතර එය ජල මූලාශ්‍රවලට හානියක් ඇති නොකරනු ඇත. කාබනික පොහොර භාවිත කර නිපදවන ආහාර සෞඛ්‍යයට හිතකර වන අතරම මේ වනවිට ඇතැම් පර්යේෂණ තුළින් රසායනික පොහොර භාවිත කිරීම වකුගඩු රෝගයට හේතුවක් ලෙසද හුවා දක්වා තිබේ.

එසේම රසායනික පොහොර ගෙන්වීම වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් පිටරටට ගෙවීමට සිදුවෙයි. අපට ක්‍රමයෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරුවෙමින් රසායනික පොහොර ගෙන්වීම අඩු කළ හැකි නම් විදේශ විනිමයද ඉතිරි කර ගැනීමට හැකියාවක් පවතී.

මේ සියලු කාරණා හරහා පැහැදිලි වන්නේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය හරහා අපට වැඩි වාසි අත්කර ගත හැකි බවයි. යම් හෙයකින් ගොවීන් තමන්ට ලැබෙන ආදායම අඩු බවට තවදුරටත් සිතන්නේ නම් එසේ අඩුවන ආදායම වෙනුවෙන් රජය මැදිහත් වී යම් මූල්‍යමය ගෙවීමක් සිදුකිරීමේ හැකියාව පිළිබඳ අපි අවධානය යොමු කරන්නෙමු. මේ රජය ගොවියා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින රජයක් වන හෙයින් අප කිසිම අවස්ථාවක ගොවියාට අසාධාරණයක් සිදුකිරීමට කටයුතු නොකරන බව මෙහිදී පැහැලිවම සඳහන් කරන්නෙමු. හම්බන්තොටින් ආරම්භ කරන මෙම වැඩසටහන පසුව දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට අපි අදහස් කරමු.

පසුගිය සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක් වූයේ 2019/2020 සිරපා සමය ආරම්භ වී දින කිහිපයක් ගතවන විටම සිරීපාද උඩමළුවේත්, ගමන්ගන්නා මාර්ගයේත් තැනින් තැන දමා තිබූ පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍යයි.

මෙවර සිරිපා සමය ආරම්භයේදීම හරිත සිරීපාද වාරයක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සියලු දෙනාම ඉල්ලා සිටියද ප්‍රායෝගිකව එම තත්ත්වය දැකිය නොහැකි බවට පැහැදිලි උදාහරණ තිබුණි.
ඒ අනුව මෙයටත් විසඳුමක් නිර්මාණය කළ යුතු වෙයි. පොලිතීන් හා ප්ලාස්ටික් පිළිබඳ නීතිරීති තවදුරටත් දැඩි කිරීම එක් විකල්පයක් වන අතර, අනෙක් විකල්ප වන්නේ ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවට විකල්ප හඳුන්වා දීමයි.

නීතිරීති දැඩි කරන අතරේම විකල්ප හඳුන්වාදෙමින් ඒවා ගෘහාශ්‍රිත කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කළ හැකිනම් එයින් ආර්ථිකයටද ශක්තියක් ලබාදීමට අවස්ථාව තිබේ. එසේම මෙම ගෘහාශ්‍රිත කර්මාන්ත සිදුකිරීම සඳහා අඩු ආදායම්ලාභී දිළිඳු ජනතාව යොමුකළ හැකි නම් දුප්පත්කම තවදුරටත් අඩු කිරීමටද කටයුතු කළ හැකිය.

ඉන් අනතුරුව ක්‍රමයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමට මුලපිරිය හැක. ප්ලාස්ටික් හා පොලිතින් වෙනුවෙන් විකල්ප හඳුන්වා දී එය ප්‍රචලිත කිරීමෙන් පසු මුල පිරීමක් ලෙස සංචාරක හෝටල් හා ආගමික ස්ථාන තුළ ඒවා භාවිත කිරීම තහනම් කිරීමෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇත.



Recommended Articles