රොබර්ට් නෙස්ටා මාර්ලේ හෙවත් බොබ් මාලේ නම් ගායකයා, සංගීතඥයා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ ජනප්‍රිය වන්නේ හුදෙක් ඔහුගේ කලාව නිසාම නොවේ. ඔහුගේ ජීවන ක්‍රමයද ඔහුගේ ජනප්‍රියත්වය කෙරෙහි විශාල වශයෙන් බලපෑවේය. එම ජීවන ක්‍රමය සැලකෙන්නේ %රස්තාෆාරියන්වාදය^ (Rastafarianism) ලෙසිනි. මෙම රස්තාෆාරියන්වාදයේ විවිධ ලක්‍ෂණ ලංකාවේ තරුණයන් ඇතැම් විට උකහා ගෙන ඇති බවක් මගතොටදී පෙනෙයි.
එහෙත් රස්තාෆාරියන් ව්‍යාපාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට වැඩි දැනුමක් ඇතැයි සිතිය නොහැකිය. රස්තාෆාරි නම් වූ මෙම ආගමික ව්‍යාපාරය මෑත කාලයේදී නිර්මාණය වූ ආගමකි. එය %ආබ්‍රාහිමික ආගමක්^ (Abrahamic religion) ආගමක් වන අතර, 1930 දශකයේදී පමණ ජැමෙයිකාවේදී දියුණුවට පත් වූවකි. එහෙත් එම ආගමික ව්‍යාපාරයේ මුල් ඇදී යන්නේ ඉතියෝපියාවටය.
අත්ලාන්තික් සාගරය හරහා වහල් වෙළෙඳාම කළ යුගය දක්වා එහි ඉතිහාසය ඇදී යන අතර, ඔවුන් තුළ අප්‍රිකානු විශ්වාසයන් සහ අභිචාර පිළිබඳ විශ්වාසයක් පැවැතිණි. ඒ ඔස්සේ කිතුනු දහම සමග මිශ්‍රව රස්තාෆාරි ව්‍යාපාරය ගොඩනැගිණි. රස්තාෆාරි ව්‍යාපාරයේ ප්‍රධාන ලක්‍ෂණයක් නම්, බෙර වාදනය කිරීම, බැති ගී ගායනය, ආධ්‍යාත්මික බලයෙන් අසනීප සුවපත් කිරීම වැනි දෑය.
1930 වසරේදී ඉතියෝපියා අධිරාජ්‍යයා ලෙස හෙයිලි සෙලාස්සින ඔටුනු පැලඳීම රස්තාෆාරි අභිචාරවලට හුරු වූ ජනතාව දුටුවේ ආධ්‍යාත්මික නායකයෙකුගේ ඔටුනු පැලඳීමක් ලෙසිනි. එබැවින්, ඔවුන් ඉතියෝපියා අධිරාජ්‍යයා සිය ආධ්‍යාත්මික නායකයා ලෙස සලකන්නට වීම රස්තාෆාරී ව්‍යාපාරය ශක්තිමත් ලෙස වර්ධනය වීමට අවකාශ සැලසීය.
පසුව බොබ් මාලේගේ ජනප්‍රියත්වයත් සමගින් රස්තාෆාරි ව්‍යාපාරය තවත් පුළුල් ලෙස ජනප්‍රිය වන්නට විය. මේ වන විට ලොව පුරා රස්තාවරුන් මිලියනයක් පමණ සිටිතැයි විශ්වාස කෙරේ. රස්තාෆාරි ව්‍යාපාරයේ මූලික දර්ශනයක් නම්, සොබාදහමට අනුකූල ලෙස විසීමය. බටහිරුන්ගේ බලපෑම නිසා අප්‍රිකාවේ මිනිසුන් සොබාදහම සමග සම්බන්ධතාව විනාශ වී ගිය බව රස්තාවරු විශ්වාස කරති. වැඩිහිටියන්ට ගරු කිරීම ඔවුන්ගේ දහමේ අනිවාර්යයකි.
රස්තාවරුන් ලොව පුරා වැඩි වශයෙන්ම ජනප්‍රිය වී ඇත්තේ ගංජා (Ganja) භාවිතය හේතුවෙනි. ඔවුන් එය සිදු කරන්නේ ආධ්‍යාත්මික අභිචාරයක් ලෙසිනි. එය ශුද්ධ වූ ඖෂධයක් (Holy herb) ලෙස ඔවුහු සලකති.
රස්තාවරුන්ට අනන්‍ය වූ සංගීතයක් ඇත. රස්තාවරුන් විශ්වාස කරන්නේ තමන්ගේ සංගීතය තුළ අසනීප සුව කිරීමේ ගුණයක් ඇති බවයි. මෙහිදී විවිධ බෙර වර්ග ගණනාවක් භාවිත කෙරේ. රෙගේ සම්ප්‍රදායට පෙර ජැමෙයිකාවේ නිර්මාණය වූ ස්කා සංගීත ශෛලිය කෙරෙහි බලපෑවේ රස්තාවරුන්ගේ සංගීත රටාවය. ස්කා සංගීතය තුළින් රස්තාවරුන්ගේ දේශපාලනික සහ සමාජ අදහස් ජනගත කෙරිණි.
1960 දශකයේ අගභාගයේදී රෙගේ සංගීතය වඩාත් ජනප්‍රිය වූ අතර, එය ඔස්සේද සමාජීය සහ දේශපාලනික ප්‍රශ්න විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. කළු ජාතිකයන්ට ඓතිහාසික වශයෙන් සිදු වූ අසාධාරණයන් මෙම නිර්මාණ කෙරෙහි වැඩි වශයෙන්ම බලපෑවේය. 1970 දශකය මැද භාගය වන විට රෙගේ සංගීතය ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසිද්ධියක් දිනා ගත්තේය.
රස්තාවරුන් තමන්ගේ ප්‍රධාන වර්ණ ලෙස රතු, කොළ සහ රන් යන වර්ණ භාවිත කරන අතර, එම වර්ණ ලබා ගන්නේ ඉතියෝපියානු ජාතික කොඩියෙනි. ශ්‍රී ලංකාවේද රස්තාෆාරියන් ආකාරයේ හිස්වැසුම් පැලඳ සිටින තරුණයන්ගේ හිස්වැසුම්වල දැක්වෙන්නේද එම වර්ණයි.