රනිල් යටත් නොවේ


26 වැනි කළු සිකුරාදා දිනය ලංකා ඉතිහාසයේ වඩාත් කුමන්ත්‍රණකාරී දිනයයි. එය උඩරට ගිවිසුම දේශීය රදළ නායකයන් හා ඉංග්‍රීසීන්  විසින් අත්සන් කළ 1815 මාර්තු 10 වැනිදාට වඩා බරපතළ දිනයකි. අඩුම තරමින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම දෙපාර්ශ්වය අතර බොහෝ සාකච්ඡා සිදු විය. එසේම ජනතාව සමග ඒ පිළිබඳ සංවාදයක් තිබිණි. එසේම ඒ යුගයේ තිබූ සියලු සමාජ ගිවිසුම්වලට ගරු කිරීමට සියලු දෙනා තුළම අභිලාෂයක් තිබිණි, ගරු කෙරිණි.

නමුත් කළු සිකුරාදා නොහොත් 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදු වූයේ ලංකා ඉතිහාසයේ අශීලාචාරම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයයි. එය තුළ කිසිදු සමාජ ගිවිසුමකට ගරු කිරීමක් නොතිබිණි. ආණ්ඩු ක්‍රමය %අලුයම ලූ කෙළ පිඬක් මෙන්^ ඉවත දැමුවේය. ජනවරම යනු කුමක්දැයි කුමන්ත්‍රණයට සම්බන්ධ වූ කිසිවෙකුටත් අවබෝධයක් නොවීය. 

%රාජපක්‍ෂ - සිරිසේන ජුන්ටාව^ ප්‍රථමයෙන් රනිල් වික්‍රමසිංහට යටත් වන ලෙස විධානය කළේය. නමුත් රනිල් වික්‍රමසිංහ යටත් වීම ප්‍රතික්‍ෂේප කළේය. යටත් වීම වෙනුවට සටන් කිරීම තෝරා ගත්තේය. අරලියගහ මන්දිරය තුළ රැඳී සිටීමට රනිල් ගත් තීන්දුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත් යුක්තිසහගත තීන්දුවයි. එය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගත් ශ්‍රේෂ්ඨතම තීන්දුවයි. එම නිසා සිවිල් ප්‍රජාව ඉදිරියට පැමිණියේය. මධ්‍යම පන්තිය තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටියේය. සියලු දේශපාලන පක්‍ෂ එක පිළකට පැමිණියේය. සියලුම දෙනා යටත් වීම ප්‍රතික්‍ෂේප කළේය.

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ සිවුවැනි දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිහක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොඳින් දැක තිබේ. එසේම රට තුළ පැවැති දීර්ඝ කාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සිට අගමැති ධුරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදු කරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ව්‍යූහාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලබන්නන් ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැඟීමයි. දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය, පාරාජය දෙකම ඔහු හොඳින් අත්විඳ තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොඳින් භුක්ති විඳ තිබේ. 

රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නය. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නය. 

රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු ඇමතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්‍යූහාත්මක වෙනස්කම් හේතුවෙන් මේ වනවිටත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞරුෂයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වෙති. එම ව්‍යූහාත්මක වෙනස්කම් කෙතරම් ප්‍රබලද යත් දශක හතරකට පසුවද ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවය. ඉන් පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකර යෑමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබිණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්‍ෂණ යුගයට ගැළපෙන පරිදි රටේ තරුණ කටයුතුවල විශාල ව්‍යූහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවය. 

එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී ඉදිරිපත් කළ කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙළින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළෙඳ කලාප දශක තුනකට පසුව අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළෙඳ කලාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලු කර්මාන්ත ඇමතිවරු ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සාහ කරනු ලැබුවේ රට පුරා නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතීයන්ය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරයි. ප්‍රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනු ලබන්නේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළෙඳ කලාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය අද තොරතුරු තාක්‍ෂණ යුගයට නොගැළපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය හා ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියකි.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී මීට වසර 25කට, 30කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යූහාත්මක වෙනස්කම් අදද මෙරට අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විද්‍යා පීඨ, වයස් සීමාවකින් තොරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්වවිද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්‍ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගෙනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්‍යූහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මෙරට ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණයන්ය. 

එසේම 2001 - 2004 කාලයේ ඔහු මෙරට අගමැති ධුරය දරමින් ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන අතරම ජාත්‍යන්තරය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව ශක්තිමත් කොට, ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට සාමයෙන් විසඳා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසඳා ගැනීම සඳහා වූ අගමැතිවරයාගේ කැපවීම අනගිභවනීය බව මාගේ හැඟීමයි.

 එසේම 2015 ජනවාරි 08 වැනිදා පරාජය කරන ලද රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට තම පක්‍ෂයත්, රටත් පොලඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් කැපවීම හා  සහයෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් බිහි වී තිබේ. 

එසේම අදත් මේ රටේ ගැලවුම්කරුවා බවට ඔහු පත්ව තිබේ. ඔහුගේ චරිතයේ මා දකින ප්‍රමුඛ ලක්‍ෂණය නම් ඔහුගේ ඇති ශීලාචාර බවයි. සැලකිය යුතු ප්‍රමාණයකින් අශීලාචාර ක්‍රමයකට හා සමාජයකට ශීලාචාර නායකයෙකු ලැබී තිබේ. 



Recommended Articles