රනිල් පරාජය කළහැක්කේ කෙසේද ?


ශ්‍රී ලංකාව වැනි ඉහළ දේශපාලන සාක්‍ෂරතාවක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්‍ෂ, දේශපාලන නායකයන් හා මත හසුරුවන්නන්ට ඉහළ වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි. ඇතැම් මාධ්‍ය අශීලාචාර ලෙස කටයුතු කරනුයේ එබැවිනි. ඔවුන් රනිල්ට හා එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රහාර එල්ල කරනුයේ එබැවිනි. 

මේ නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා අනාගතය පිළිබඳ විමසා බැලීමේදී අපට පෙනී යනුයේ පවතින ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරීත්වයයි. එම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එක් අතකින් පක්‍ෂ අභ්‍යන්තරයේ නොඉවසිලිමත් බවක් වර්ධනය වී ඇති බවද පෙනීයයි. ඒ පක්‍ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ගේ සිට ජාතික මට්ටමේ නායකයන් දක්වා එල්ල වෙමින් පවතින අභ්‍යන්තර පීඩනය හා එහි අවසාන නැවතුම්පළ වන රනිල් වික්‍රමසිංහ දක්වා එල්ල වීමය.

රජයේ රැකියා පාක්‍ෂිකයන්ට ලබා දීම, රජයේ කොන්ත්‍රාත් පක්‍ෂයට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් පලවා හැරීම වැනි යෝජනා පදනම් කොටගෙන පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මෙම උණුසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බරපතළ ලෙස ගෙන ඇති බව මාගේ විශ්වාසයයි. නමුත් ජනවාරි 08 වැනිදාත්, අගෝස්තු 17 වැනිදාත් මේ රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබා දුන්නේ පාක්‍ෂිකයන්ට අවිධිමත් ලෙස රැකියා ලබා දීමට හෝ රජයේ කොන්ත්‍රාත් නුසුදුස්සන්ට ලබාදී රජයට පාඩු සිදුකිරීමට නොව, වඩාත් සාධාරණ ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටය. 
එහිදී අගමැතිවරයා ජනවරමට අනුව කටයුතු කිරීමට උත්සාහ කරන අතරම පක්‍ෂයේ පීඩනය කළමනාකරණය කිරීමටද උත්සාහ කරයි. මන්ද පාක්‍ෂිකයා ඡන්දපොළට ගෙන යෑම ඕනෑම මැතිවරණයකදී පක්‍ෂයක් මුහුණදෙන ප්‍රධානතම අභියෝගයකි. එම අභියෝගයට එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දෙමින් සිටින අතර, එහි සාර්ථකත්වය මත රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම තීරණය වනු ඇත.

එය එසේ වුවද, අසාධාරණ ලෙස රැකියා ලබාදෙමින් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතැම් පිරිස් කොන්ත්‍රාත්වලින් මුදල් ගසාකමින් අපකීර්තියට පත්වුවහොත් එමගින් විශාල හානියක් පක්‍ෂ යාන්ත්‍රණයට සිදු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ග්‍රාමීය මට්ටමේ නායකයන්ගේ හොර ලේබලය අදත් සෝදා පිරිසිදු කළ නොහැකි පාරාවළල්ලක් බවට එම පක්‍ෂය තුළ පත්ව තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ බැසිල් රාජපක්‍ෂ විසින් ග්‍රාමීය මට්ටමේ නායකයන් වෙත බෙදා දෙන ලද ඊනියා සංවර්ධන ප්‍රතිපාදන ගසාකෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ග්‍රාමීය මට්ටමේ යාන්ත්‍රණය හොරුන්, දූෂකයන් හා රස්තියාදුකාරයන්ගෙන් පිරීගිය එකක් බවට පත්ව තිබේ. 
එම නිසාම කවුරුන් කෙසේ කීවද, මැතිවරණයකදී මධ්‍යම පාන්තික හා මධ්‍යස්ථ ඡන්ද දිනා ගැනීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පවතී. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණයෙන් පිරිසුදු, විශ්වාස කළ හැකි මධ්‍යම පන්තිය හා ගනුදෙනු කළ හැකි මධ්‍යස්ථ ඡන්දවලට කතා කළ හැකි යාන්ත්‍රණයක් ලෙස පවත්වා ගැනීමය. එම නිසා පක්‍ෂ අභ්‍යන්තරයේ උණුසුමට මැති ඇමතිවරු විසඳුම් සෙවිය යුතු අතර, අපේක්ෂා කරන පරිදිම පක්‍ෂ යාන්ත්‍රණය ජනතාවට විශ්වාස කළහැකි, පිරිසුදු, වැදගත් මට්ටමින් පවත්වාගත යුතුයැයි රනිල් වික්‍රමසිංහ සිතයි. 

රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමට කවුරුන් හෝ සිතන්නේ නම් කළ යුතු එක් ව්‍යාපෘතියක් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය බිම් මට්ටමේ සිට ඉහළට අන්තදූෂිත, රස්තියාදුකාර, විනාශකාරී එකක් බවට පත්කිරීමය. එසේ නොවන තාක්කල් ඉදිරි දශකය තුළ එක්සත් ජාතික පක්‍ෂයට බලය හෙබ විය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිසහගත ලෙස පෙනුණේ පක්‍ෂයේ ඇතැම් පිරිස්වලට ආණ්ඩුවේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඇති සීමාකම්වල ඇති අර්ථයෙනි. එසේ නොමැති නම් ආසන 105ක් ගත් එක්සත් ජාතික පක්‍ෂයට දෙකෙන් එකක් සහිත ආණ්ඩුවක් ලැබී තිබේ. නමුත් කකුලෙන් අදින ජනාධිපතිවරයෙකු, සාම්ප්‍රදායික මාධ්‍ය මාෆියාවක් සහිත ප්‍රහාරයන්ට නිරන්තර මුහුණ දෙන ආණ්ඩුවකි. ඒ බව පක්‍ෂයේ පිරිස් හඳුනාගත යුතුය.

දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද පදනම මුළුමනින්ම පාහේ ගනුදෙනු කරනුයේ එක්සත් ජාතික පක්‍ෂය සමගය. මහින්ද රාජපක්‍ෂ රජයේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසාවෙන් සිංහල බෞද්ධ ඡන්ද 70෴යි, 30෴ට බෙදී ඉතාම අපහසු අඩියකට පක්‍ෂය වැටී තිබූ එම මොහොතේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂය සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට ගනුදෙනු කළහැකි, එම පක්‍ෂයේ මූලික හරයන්ට අදාළව පවත්වාගෙන ගියේය. පක්‍ෂ අභ්‍යන්තරයෙන් විශාල පීඩනයක් එල්ලවද්දී කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්‍ෂය බහුවාර්ගික හා බහුආගමික පීල්ලෙන් පිටතට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වැනිදා නැවත බලය ලබා ගත්තේය. කාට හෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්‍ෂයත් පරාජය කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ හැකිතාක් ඉක්මනින් පක්‍ෂයේ මූලික පදනමෙන් මිදී රටේ ජාතික සංහිඳියාවට හානි වන දේශපාලන ව්‍යාපෘතිවල නිරත වීමය. එසේ නොවන තාක්කල් ඉදිරි දශකය තුළ කවුරු මොනවා කිව්වද, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන කුමන ආකාරයකට කටයුතු කළද, එක්සත් ජාතික පක්‍ෂයත්, රනිල් වික්‍රමසිංහත් බලයේ සිටිනු ඇත.

විද්‍යුත් මාධ්‍ය හා රටේ සාම්ප්‍රදායික මාධ්‍යවලට රටේ ජනමතයට කළහැකි බලපෑම ශීඝ්‍රයෙන් අහෝසි වෙමින් යන අතර සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනද එම ආයතන පවත්වාගෙන යෑමේ විශාල අරගලයක නිරතව සිටියි. 
ඔවුන්ට ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලු රාශියකට මුහුණදීමට සිදුව තිබේ. එයට ප්‍රධානතම හේතුව සමාජ ජාල වෙබ් අඩවිවල නැගී සිටීමය. ඉතිහාසයේ කවරදාකටත් වඩා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශීඝ්‍රයෙන් වර්ධනය වී, සරල වී ඇති මොහොතක සමාජ මාධ්‍ය රටේ ජනගහනයෙන් මිලියන 04ක් භාවිත කිරීම ආරම්භ කර ඇත. 2020 වෙද්දී එය මිලියන 08ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත් පසුගිය දේශපාලන කුමන්ත්‍රණයෙන් ආණ්ඩුවේ තොරතුරු ජනතාව අතට පත්වූයේ එමගිනි. මිලියන 22ක් ජීවත් වන රටක මිලියන 08ක් යනු විශාල සංඛ්‍යාවක් වන අතර, රටේ දැනුම් තේරුම් ඇති සියලුම දෙනා මෙම මිලියන 08ට ඇතුළත් වේ. එබැවින් කාට හෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්‍ෂයත් පරාජය කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ සමාජ ජාල හා වෙබ් අඩවිවල දේශපාලන සහභාගිත්වය පිළිබඳ අඩු තක්සේරුවකින් කටයුතු කිරීමය. රනිල් ජනතාව සමග ඇති යහපාලන ගිවිසුම ඇතිතාක්, එය රැකෙන තාක් සමාජ මාධ්‍ය රනිල් සමගය. 



Recommended Articles