ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සමුපකාර සමිතිය ලෙස අවස්ථා දෙකකදී රන් සම්මානයෙන් පිදුම් ලද සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියද එලෙස සාර්ථකව ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවලින් එකකි. පල්ලෙපොල විවිධ සේවා සමුපකාර සමිතියේ වර්තමාන සභාපතිවරයා වන ලියනගේ මහතා ශ්‍රී ලංකා පාරිභෝගික සංගමයේ අධ්යක්ෂවරයෙක් ලෙසද, ශ්‍රී ලංකා අලෙවි සංගමයේ අධ්යක්ෂවරයෙක් ලෙසද, මාතලේ දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ අධ්යක්ෂවරයෙක් මෙන්ම සමුපකාර ව්‍යාපාරයට අදාළ සංගම් ගණනාවක සාමාජිකයෙන් ලෙස කටයුතු කරනු ලබයි. වසර 20කට ආසන්න කාලයක් පල්ලේපොල සමුපකාර සමිතියේ සභාපතීත්වය දරන සම්පත් ලියනගේ මහතා සමග පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය පිළිබඳ සාකච්ඡා කළෙමු.
පල්ලේපොල සමුපකාර සමිතියේ වර්ධනය
පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා ලෙස මම වැඩ භාරගන්නා විට මෙම සමිතිය දැඩි මූල්‍ය අපහසුතාවටකට පත්ව දුෂ්කර අවධියක තිබුණේ. ඊට පසුව මෙය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු කරන්න මම කටයුතු කළා. සමුපකාර සමිතියට මුලින්ම ඩීසල් බවුසරය පවා ගත්තේ මගේ පෞද්ගලික මුදල් සමුපකාර සමිතියට යොදවලා. ඊට පසුව සමුපකාරයේ පළමුවැනි මාසයේ සේවකයන්ට වැටුප් පවා ගෙව්වේ මගේ පෞද්ගලික මුදල්වලින්. එලෙස විවිධ දුෂ්කරතා මධ්‍යයේ උනත් අපි මේ සමුපකාර සමිතිය කඩා වැටෙන්නට නොදී වර්ධනය කළා.
මේ වනවිට සියලුම ආයතන අභිභවා ලංකාවේ ඉහළම තැනකට මේ සමුපකාර සමිතිය ගෙනත් තිබෙනවා. ඇත්තටම එය සතුටට කරුණක්. ඒ ආකාරයට දියුණු සමුපකාර සමිතියක් බවට පත්වෙන්නට අපිට අවස්ථාව ලැබුණේ මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේත්, අපේ සේවක මණ්ඩලයත් අවංකව කැප කිරීමෙන් කටයුතු කළ නිසයි.
මම මෙහි සභාපති ලෙස වැඩ භාරගන්නා අවදියේ අපේ කාර්යමණ්ඩලය වුණේ 45ක වගේ ප්‍රමාණයක්. මේ වනවිට 100කට වැඩි පිරිසක් අපි සමග සේවය කරනවා.
සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය මේ වනවිට මධ්‍යම පළාත තුළ වගේම ශ්‍රී ලංකාව තුළත් විවිධ සේවාවන් සපයමින් සාර්ථකව ගමනක් යමින් සිටිනවා.
ආයතන රැසක්
සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියට මේ වනවිට ශක්තිමත් බැංකු ජාලයක් තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය බැංකු 20ක් තිබෙනවා. මෙගා කෝප් සිටි පාරිභෝගික අංශ 02ක් ක්‍රියාත්මත වෙනවා. ඇඟලුම් අංශයක් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන අංශයක් තිබෙනවා. ඒ වගේම රක්ෂණ අංශයක් ක්‍රියාත්මක වෙනවා. රථවාහන අංශයක් තිබෙනවා. මේ ආකාරයට අංශ 12ක් යටතේ අපේ සමූපකාර සමිතියේ සේවාවන් ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම ප්‍රදේශවාසී ජනතාවට හදවත වගේ සේවාවක් කරන්න අපිට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම ප්‍රදේශයේ අනිකුත් සුභසාධක කටයුතු ගැන කතා කරද්දී ජනතාවගේ ප්‍රමුඛයා ලෙස ඉන්නේ සමුපකාර සමිතිය. ඒ නිසාම මේ ව්‍යාපාරය තුළින් ජනතාවට ඉහළම සේවයක් කරන්න අපිට අවස්ථාව ලැබී තිබෙනවා.
සම්මානිත වීම
සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය මධ්‍යම පළාතේ හොඳම සමුපකාර සමිතිය ලෙස අවස්ථා 04කට වැඩි වාර ගණනක් සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා. ඒ වගේම හොඳම කෝප් සිටියට හිමි සම්මානය දිනා ගත්තා. අපි
ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සමුපකාර සමිතියට හිමි ලෝකඩ සම්මානය ලබා ගත්තා. අතිවිශිෂ්ට සමුපකාර සමිතියක් ලෙස රන් සම්මානය අවස්ථා 02කදී ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ප්‍රදේශයේ, රටේ ජනතාවට සාධාරණ වෙළෙඳාමක් කරන ආයතනයක් ලෙස අපේ සමිතිය තෝරාගෙන සාධාරණ වෙළෙඳ සමාචාර සම්මානයෙනුත් පිදුම් ලැබ තිබෙන බව මම සතුටින් මතක් කරන්න කැමතියි.
මේ නිසාම ප්‍රදේශයේ ජනතාව, ව්‍යාපාරික ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුදෙනා අතර සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය බොහොම කීර්තියකට පත්වෙලා තිබෙනවා.
පල්ලේපොල විවිධ සේවා සමුපකාර ව්‍යාපාරයට මම සම්බන්ධ වුණේ 2004 වර්ෂයේදී. එදා සිට මේ දක්වා අඛණ්ඩවම සභාපතිවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ කාලසීමාව තුළ මම සිදු කළ සමාජ සත්කාර වෙනුවෙන් මට සාම විනිසුරු පදවියක් ලැබී තිබෙනවා. ඒ වගේම ජනහද දිනූ ව්‍යාපාරවේදී දේශ ශක්ති ගෞරව නාමය ලැබිලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී විභූෂණ ලංකා පුත්‍ර ගෞරව නාමය ලැබී තිබෙනවා. මාතලේ මේසපන්දු සංගමයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මම මගේ පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙන අතරතුර විවිධ සමාජ සත්කාරවලටත් සම්බන්ධ වී සිටිනවා.
වර්තමානයේ සමුපකාර ව්‍යාපාරය
ප්රාදේශීයව තිබෙන සමුපකාර ව්‍යාපාරවලින් මේ වනවිට ජනතාව ඈත් වෙමින් තිබෙන බවක් පැවසෙනවා. නමුත් ජනතාවගේ සිතුම්පැතුම්වලට අවශ්‍ය විදිහට ව්‍යාපාරය හසුරනවා නම් ජනතාව ඉබේම මේ ව්‍යාපාරයට බද්ධ වෙනවා. අපි ඒක ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා. දැනට වසර 50කට ආසන්න කාලවකවානුක සිට අපේ සමිතිය ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුදු 50 පුරාවටම අපි විශාල සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. අපේ සමිතිය ආරම්භ වුණේ සාමාජිකයන් 28දෙනෙකුගෙන්. නමුත් එය වර්ධනය වෙලා දැනට සාමාජිකයෝ 25,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මූල්‍ය ශක්තිය අතින් බොහොම ශක්තිමත් ආයතනයක් බවට අපි පත්වී සිටිනවා. ඒ වගේම සුභසාධක කටයුතුවලදී ප්‍රදේශයේ නායකත්වය ගන්න සමුපකාර සංවිධානයක් විදිහට අපි ප්‍රසිද්ධයි.
අපේ ව්‍යාපාරය මගින් වාර්ෂිකව අධ්‍යාපන චාරිකා, විදෙස් චාරිකා, විවිධ පුහුණු පාඨමාලා, ණය වැඩසටහන් වගේම විවිධ පරිත්‍යාග, දුප්පත් ජනතාවට පිහිටවීම්, දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබාදීම් ආදී විශාල වැඩකොටසක් සිදු කරනවා.
ජාතික ව්‍යාපාර සහ ප්‍රාදේශීය ව්‍යාපාර
ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමෙන් පසුව ජනතාවගේ අවශ්‍යතා, සිතුම්පැතුම් ගැන අවධානය යොමු කළා නම් සමුපකාර ව්‍යාපාරයට කිසිම අභියෝගයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සමූපකාර ව්‍යාපාරය මගින් මේ වනවිට ඉහළ පෙළේ ජාතික මට්ටමේ ව්‍යාපාරවලට අභියෝගයක් වෙමින් ලංකාව පුරා කෝප් සිටි ජාලය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.
මහින්ද රාජපක්ෂ මහත්මා ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ සමුපකාර පද්ධතියට කෝප් සිටි ජාලය හඳුන්වා දුන්නා. ඒ වගේම සමුපකාර ව්‍යාපාරයට විශාල බදු සහන ලබා දුන්නා. ණය සහන ලබා දුන්නා. ඒ වගේ විශාල වැඩකොටසක් කරන්න අපිට අවස්ථාව ලැබුණා වගේම සමුපකාර ව්‍යාපාරය විශාල වශයෙන් සංවර්ධනය වුණා. වර්තමාන රජය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සමුපකාර ගොඩගැනීමේ වැඩසටහන් තව තවත් ක්‍රියාත්මක වෙනවා.
සමුපකාර ව්‍යාපාර සාර්ථක වීමට නම්
මේ වනවිට සමුපකාරය වටා රට පුරා ලක්ෂ 80කට වැඩි ජනකායක් එක්රොක් වී සිටිනවා. නමුත් තවමත් ක්‍රියාත්මක වෙන්නේ පැරණී නීති. එම නීතිරීති පද්ධතිය අදට ගැළපෙන විදිහට සංශෝධනය කරලා, රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා, සමුපකාර ව්‍යාපාරවලට ප්‍රාදේශීය ව්‍යාපාර ලෙස ගොඩනැගීමේදී තිබෙන ගැටලු අභියෝග හඳුනාගෙන, අවශ්‍ය වූ විසඳුම් හා පහසුකම් ලබා දුන්නොත් සමුපකාර ජාලය ශක්තිමත් කරන්න පුළුවන් කියලා මම හිතනවා.
පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතිය කිසිම අවස්ථාවක රුපියලකවත් වංචාවක් කරන්නේ නැහැ
පසුගියදා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා වූවා යැයි කියමින් අපේ සමුපකාර සමිතිය පිළිබඳ අසත්‍ය පුවතක් වාර්තා වී තිබුණා. නමුත් එදින අපේ සමුපකාර සමිතිය පිළිබඳ කිසිම දෙයක් සාකච්ඡා වුණේ නැහැ. පල්ලෙපොල විවිධ සේවා සමුපකාර සමිතිය කිසිම අවස්ථාවක රුපියලකවත් වංචාවක් කරන්නේ නැහැ කියලා මිනිස්සු දන්නවා. අපි ඒ විශ්වාසය තියනවා.
අපේ ආයතනය අවුරුදු 50කට ආසන්න කාලයක් ගොඩනගපු මේ කීර්තිනාමය, මම සභාපති වී වසර 20කට ආසන්න කාලයක් ගොඩනගපු මේ සමිතියේ කීර්තිනාමය වගේම මගේ කීර්තිනාමය, අපේ අධ්යක්ෂ මණ්ඩලයේ වගේම සේවකයන්ගේ, සාමාජිකයන්ගේ කීර්ති නාමයට හානි වෙන්න දෙන්න බැහැ.
ඒ වගේම අපේ උපදේශක මණ්ඩලය විදිහට පූජ්‍ය පාළාවත්තේ සෝනුත්තර හිමියන්, ආචාර්ය පාලිත කොහොන මහතා, රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා, එස්.එම්. මනෝහර කොස්වත්ත මහතා, කැළුම් වික්‍රමසිංහ මහතා, ඩී.එන්.එම්. ආච්චිගේ මහතා, නිමල් රත්වත්ත මහතා, එච්.ඒ. චන්ද්‍රාවතී මැණිකේ මහත්මිය යන අය කටයුතු කරනවා.
සමුපකාර ව්‍යාපාරය තුළ සභාපතිවරයාට සහ අධ්යක්ෂ මණ්ඩලයට දීමනාවක් ලැබෙනවා. කිසිදු ගමන් ගාස්තුවක්, යැපීම් ගාස්තුවක්, ආහාර දීමනාවක් ආදී කිසිවක් නොගෙන ඒ සියලු දීමනාවන් අරමුදලකට පරිත්‍යාග කරන්න මම කටයුතු කරලා තියෙනවා. ප්‍රදේශය තුළ සුභසාධන කටයුතු සිදුකරන්නේ මේ අරමුදල තුළින්. සාමාජික ප්‍රජාවගේ ආර්ථිකය, ජනජීවිතය නංවාලීමට පල්ලේපොල සමිතිය විදිහට අපි කටයුතු කරගෙන යනවා. මොකද පෞද්ගලික වශයෙන් මම ව්යාපාකරිකයෙන්. එම ව්‍යාපාරවලින් ලැබෙන මුදල් මට හොඳටම ප්‍රමාණවත්.