රත්තරන් පස්සවල්


අපි පොඩි කාලයේ සිංහාසනයක් ගැන කතා වුණා මතකය. ඒ කාගේවත් නොවේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේය. ඡන්ද ප්‍රතිඵල අහන්නට බොහෝ දෙනා රැස් වන්නේ අපේ නිවසටය. ඔවුන් කතා කරන දේශපාලනික කාරණා අපට මැජික් වගේය. මේ දේශපාලනික කතාබහ අතරතුර ප්‍රේමදාස මහත්තයාගේ සිංහාසනය ගැනත් කතා කළේය. මාර පුටුවක් ඒක. හොඳ ලීයකින් හදලා තියෙන්නේ. කැටයම් කරලත් තියෙනවා.

මේ කතාබහ තුළින් අපේ හිතේ අමුතුම චිත්‍රයක් මේ පුටුව ගැන මැවුණේය. ඉන් අනතුරුව දිනක් රූපවාහිනී නාළිකාවකින්ද මෙය ප්‍රදර්ශනය කළේය.
1994දී බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දේශපාලන වේදිකාවේ කතාවක් වූයේ ප්‍රේමදාස මහතා විසින් පාවිච්චි කරන ලද බවට පැවසෙන රත්තරන් ඇඳක් පිළිබඳවය. දූෂණය හා භීෂණය නැති කිරීම තමන්ගේ එකම අභිලාෂය බව කියූ චන්ද්‍රිකා ප්‍රේමදාස මහතා පාවිච්චි කළා යැයි කියන රත්තරන් ඇඳ වෙන්දේසි කරන බවද කීවාය.
ඊළඟට මේ පිළිබඳව කතා බහක් ඇති වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. රත්තරන් අශ්වයන්, ලැම්බෝගිනි ගැන කතා කළේය. 2015දී මහින්දගේ ප්‍රතිවාදීන් කීවේ දූෂණ වංචා හෙළි කරන බවය. ඒ වගේම රත්තරන් අශ්වයන්, ලැම්බෝගිනි ජනතාවට පෙන්නන බවත්, දූෂිතයින් රටින් පිට වෙන එක වැළැක්වීමට ගුවන් තොටුපොළවල් වහන බවත් පැවසීය.

ඉසුර දේවප්‍රිය බෙල්ජියමෙන් ඇණවුම් කළ පුටු නිසාවෙන් මේ දිනවල සමාජ ජාලා මෙන්ම ජනතාවද ඇවිලී සිටී. බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල මේ වන විට ඉදි කර අවසන් වී ඇත. මෙහිදී එක් සභිකයකු මෙසේ පැවසීය. මේක තට්ටු 15ක ගොඩනැගිල්ලක්, පළාත් සභාවට අයිති සියල්ල අපි ගෙනත් තියෙනවා. නමුත් තාම සභාව පැවැත් වූයේ නෑ. පුටු නැති නිසා. පසුගිය පළාත් සභා කාරක සභාවේදී අපි ප්‍රශ්න කළා ඇයි පුටු සවි කළේ නැත්තේ කියලා. එතකොට කිව්වා බෙල්ජියමෙන් පුටු ගෙන්වන්න ඇණවුම් කරලා තියෙන්නේ කියලා * නමුත් කට්ටියම උඩ ගියේ පුටුවල ගණන් ඇහුවමය. පුටුවක මිල රුපියල් හයලක්ෂ පනස් දහසක්ය. ඇත්තටම මෙය බය වෙන ගාණක්ය. &පස්ස තියන්න රුපියල් ලක්ෂ 06ක්.* &ඇත්තටම මේ අය එච්චරටම වටිනවද?.* &ඇයි මේ අයගේ පස්සවල් රත්තරන්ද* ජනතාව අහන්නේ එහෙමය.

මේ වගේම අනෙක් කාරණය නම් රෝසිගේ වැසිකිළිය හදන්න ලක්ෂ 57ක් වැය කිරීමය. මේවා ජනතාවගේ සල්ලි බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය.
බස්නාහිර පළාතේ පුටු සිද්ධියෙන් පසු මහ ඇමතිගේ ගෝලයකු අපූරු සටහනක් තබා තිබිණි. මෙය හරියට මැස්සාගෙන් රජ්ජුරුවන් ආරක්ෂා කිරීමට ගොස් රජතුමාට කඩුවෙන් කොටපු වඳුරා හා සමානය.

ව්‍යාපෘතිවලින් 05%  කොමිස් මුදල නීත්‍යානුකූල දෙයක්. ඒක අමුතු දෙයක් නෙවෙයි. අපේ මහ ඇමතිතුමාගේ හොඳකම ඒක මහරගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වෙනුවෙන් යොදවන එක

මහ ඇමතීත් කීවේ පළාත් සභාවට ලැබෙන ආදායමින් මේ පුටු මිලදී ගන්නා බවයි. හැබැයි ව්‍යාපෘතිවලින් කොමිස් ගැනීම නිත්‍යානුකූල නොවන බව මහ ඇමතිගේ ගෝලයා දැන සිටියේ නැත. ඒ වගේම පළාත් සභාවට ලැබෙන මුදල්ද ජනතාවගේ මුදල් බව ඇමතියා දන්නේද නැත. මෙය ඇත්තෙන්ම හාස්‍යජනක කාරණයකි. මෙවැනි කරුණු කාරණා නොදැන, නීතිය පිළිබඳ නොදැන ජනතා මුදල් අමු අමුවේ මංකොල්ල කන අයවළුන්ට දඬුවම් ලබාදිය යුතුය. නමුත් අවාසනාවට ලංකාවේ එහෙම වෙන්නේ නැත. එලිපිට මරා ගත්තත් දේශපාලඥයන් ඇතුළෙන් අඹ යාළුවෝය. ඩීල්, ව්‍යාපාර එකට කරයි. ආණ්ඩු මාරු වුණාට ඉන්න කට්ටිය එකය. ඩීල්, ව්‍යාපාරද එහෙමය.

ඇත්ත වශයෙන්ම ජනතාව විදිහට අප දූෂණයට අල්ලසට විරුද්ධ විය යුතුය. ඒකට හේතුව වෙන එකක් නෙවේය. අපේ රටවල් දියුණු වෙමින් පවතින සුබසාධන රටවල්ය. අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ලැබෙන්නේ නොමිලේය. මේවා අපට ලබා දෙන්නේ ජනතාවගෙන් ඒ කියන්නේ අපි වගේ අයගෙන් මිරිකා ලබා ගන්නා බදුවලිනි. දේශපාලනඥයන් ජනතා මුදල්වලින් ලක්ෂ හයේ පුටු ගැනීම වැනි අඥාන වැඩ කිරීමට ගියොත්, ඒ මුදල් නාස්ති කිරීමට ගියොත් අනර්ථය වන්නේ ජනතාවටමය. මොකද ඔවුන් නාස්ති කරන මුදල්වලින් කැපී යන්නේ අපේ අධ්‍යාපනය, සෞඛ්‍යයට ඇති මුදල් බව මතක තබාගත යුතුම කාරණයකි.

ජනතා සේවයට වැඩි සැප අවශ්‍ය නැත. මෙයට හොඳම උදාහරණය මෙලෙස දැක්විය හැක. වරෙක අප ඩෙන්මාර්කයේ සංචාරය කළේය. එහිදී ඩෙන්මාර්ක් අමාත්‍යවරයකු මුණගැසීමට අවකාශ සැලසිනි. ඔහු එනතෙක් අපි උද්‍යානයට වී සිටියෙමු. එක්වරම ඩෙන්මාර්ක් මිතුරකු පවසා සිටියේ අන්න ඇමතිතුමා එනවා කියාය.

අපි බැලුවේ පරිවාර රථ පිරිවරාගෙන හෝන් ගහගෙන පාරෙ දකුණු පැත්තෙන් එන වාහනයක් කෝ කියාය. නැවත පුදුමයෙන් අපි ඇසුවේ කෝ ඇමති කියාය. අනේ ඩෙන්මාර්ක් ඇමති බයිසිකලයක් පැදගෙන අපටත් හායි කියා පැමිණෙන විට අපිට අපේ දේශපාලනඥයන් ගැන සිතුනේ අනේ අපොයි කියාය.

ඔන්න තත්ත්වය ඕකය. කවුරු ආවත් ජනතාවට වන සෙතක් නම් නැත. අප වටිනා පුටුවක් ගැන අසා ඇත්නම් ඒ ශක්‍රයාගේ පඬුපුල් ආසනය ගැනය. ඊට පස්සේ ඇසුවේ බස්නාහිර මහ ඇමතිගෙ පුටුවය. අවසානයේදී රෝසිලාගෙනුත් ඉසුරලාගෙනුත් අහන්න ඇත්තේ එක දෙයකි. පස්ස රත්තරන්ද?

නිපුන් ඒකනායක

 



Recommended Articles