රටේ සමාජ සංවර්ධනයට ජනමාධ්‍ය විප්ලවයක් අවශ්‍යයි


නිවැරදි මාධ්‍ය හා තාක්ෂණික සාක්ෂරතාව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට අත්‍යවශ්‍යම වූ යුගයක එකී කාරණාවන් පිළිබඳව මෙන්ම සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයෙහි දැනුම මාධ්‍යයේ නියැලෙන්නන්ගේ අවබෝධාත්මක ඥානය ප්‍රවර්ධනය කරනු පිණිස අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ ඇයිද යන්න පිළිබඳවද විචාරාත්මක ප්‍රවේශයක සිට ඉතා උනන්දුවෙන් කතා කරන, විමසන සරසවි ආචාර්යවරයෙකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ වැඩබලන අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් හඳුන්වා දිය හැකිය. අද්‍යතන ශ්‍රී ලංකේය මාධ්‍ය හා ඒ හා සබැඳෙන නන්විධ දිශානතීන් ඔස්සේ ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් සමග කළ සංවාදයේ සටහනයි මේ.


සමාජ විද්‍යාව පිළිබඳ දැනුම ජනමාධ්‍ය විෂයට අවශ්‍ය යැයි ඔබ සිතනවාද? එසේනම් ඒ ඇයි?

මාධ්‍යයෙහි සංවර්ධනය සඳහා ජනමාධ්‍ය සහ සමාජ විද්‍යාත්මක කාරණාව අත්‍යවශ්‍යයි. අද්‍යතන සමාජය දෙස අවධානය යොමු කරන විට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදියා තුළ සමාජ විද්‍යාත්මක දැනුමෙහි අවමභාවයක් අපි දකිනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වැනි ආයතන තුළින් ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම සිදුකළ යුතුයි.

ඒ වගේම ජනමාධ්‍යවේදියාට අවශ්‍ය, සමාජ සංවර්ධනයට අදාළ දැනුම මෙන්ම ඔහු වටා කේන්ද්‍රගත වන, ඔහුගේ ක්‍රියාකාරකම්වලට අදාළ දැනුම තමන් තුළ, තමන්ගේ ශක්‍යාතාවන් තුළ වර්ධනය කර ගැනීමට අදාළ පාඨමාලා සකස් කරදීම සහ ඔවුන්ව ඒ පිළිබඳ සවිඥානික කරමින්, දැනුම්වත් කරමින් ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් සිදුකිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල පද්ධතිය එයින් මඳක් බැහැර වීමක් අපට දැකගන්න පුළුවන්. ඒ සඳහා ජාතික තලයේ වගකීම්වලින් යුත්, ප්‍රතිපත්ති සහ සැලසුම් කේන්ද්‍රීය වූ අධ්‍යාපනික ක්‍රමවේදයන් සමස්ත සමාජ දේහය කරා ගමන් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්.

සමාජ විද්‍යාත්මක දැනුම, මනෝ විද්‍යාත්මක දැනුම, මානව විද්‍යාත්මක දැනුම, ආර්ථික, දේශපාලන දැනුම සහ අනිකුත් බහුවිධ ක්‍ෂේත්‍රවලට අදාළ දැනුම ජනමාධ්‍යවේදියා තුළ නොමැතිකම නිසා සමාජයේ බිඳවැටීමක් අපට දකින්න පුළුවන්කම තියෙනවා.

අද්‍යතන සමාජයේ දේශපාලන කාරණාව ඉතා සරල තැනක, සුගම තැනක තිබෙන නිසා, ඊට වඩා වගකීම් සහිත දේශපාලන ක්‍රමයක් සැකසීම පමණක් නොව, දේශපාලනඥනයන් තුළ ඉතා ගැඹුරැ සමාජ සංවර්ධනය කේන්ද්‍රීය වූ විඥානික තත්ත්වයක් ගොඩනැගීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. සමාජ ක්‍ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා එය අත්‍යවශ්‍යයයි. ඇත්තටම ලෝකයේම ජන විඥානය මෙහෙයවීමේ ප්‍රබල කාරකය වන්නේ සන්නිවේදන ක්‍රියාවලියයි. ඒ තුළින් තමයි සමස්ත සමාජ සංවර්ධන දිශානතියකට කේන්ද්‍රගත කරවන්නේ. ඒ නිසා ජනමාධ්‍යවේදියා සහ ජනමධ්‍යවේදය යනු සරල කාරණාවන් නෙවෙයි.

ජනමාධ්‍යයේ සමාජ වගකීම කුමක්ද?

ජනමාධ්‍යයේ ප්‍රබලම සමාජ වගකීම වෙන්නෙ සමාජ සංවර්ධනය අරමුණු කරගෙන යම්කිසි ප්‍රවේශයකට අනුගත වීමයි. නමුත් අද්‍යතන සමාජයේ ප්‍රබලතම සමාජ කරණාව හැටියට ඔවුන් අරගෙන තියෙන්නේ පණිවුඩයයි. එහෙමත් නැතිනම් යම් ආකාරයකට වාර්තාකරණීය වූ ප්‍රවේශයක්. ජනමාධ්‍යවේදියාගේ සහ ජනමාධ්‍යවේදයෙහි ප්‍රබලතම කාරණාව වෙන්නේ වාර්තා කරන කටයුතු පමණක් නෙවෙයි. එය එක වගකීමක් පමණයි. නමුත් ඊට එහා ගිය ප්‍රබල වගකීම් තියෙනවා. එම වගකීම් සමස්තයෙහි අවසානය කේන්ද්‍රගත විය යුත්තේ ජන විඥානය, සමාජ සංජානනය හෝ පුද්ගල සංජානනය සහ සමාජ සංවර්ධනය එක්තරා දිශානතියකට අනුගත කිරිමේ කාර්යභාරය තුළයි.

විටෙක මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කාර්යභාරයක් වෙන්නේ විනෝදාස්වාදයයි. එම කාරණාවද කළමනාකරණය කර ගැනීමේ ශක්‍යතාවක් ජනමාධ්‍යයට තිබිය යුතුයි. සමාජ සංවර්ධනය, සංස්කෘතික, මානව සංවර්ධනය මෙන්ම මානසික කාරණාවන්ගෙන් වියුක්තව, ඒ පිළිබඳ නොසිතා විනෝදාස්වාදය කායන කාරණාවට පමණක් මුල්තැන දෙනවා නම් සමාජය බිඳවැටීම කියන කාරණාව දක්වා නැවතත් ගමන් කරනවා. ඒ නිසා වාර්තාකරණයෙන් ඔබ්බට ගිය සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ දාර්ශනික කාරණාවන් මූලික වූ සමාජ සංවර්ධන දිශානතියකට පුද්ගලයා සහ සමස්ත සමාජය කේන්ද්‍රගත කිරීමේ ප්‍රබලතම කාරණාව මාධ්‍ය සතු වෙනවා.

ඒ වගේම තවත් ප්‍රබල කාරණාවක් වන්නේ සන්නිවේදනයයි. සන්නිවේදනය තුළ තමයි සමස්ත ක්‍රියාකලාපයම නිර්මාණය වෙන්නේ. ඒ අනුව සන්නිවේදනයෙන් වියුක්ත වන, සන්නිවේදනය නොමැති කිසිම මානව සාධකයක් අපට දකින්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි භෞතික සාධකය වුවද මානව සාධකය හා සම්බන්ධ වීමේදී ප්‍රබලවම දකින්න පුළුවන්කම තියෙන්නේ සන්නිවේදනය කියන කාරණාවයි. මිනිසා සහ භෞතිකය ගත්තත්, මිනිසා සහ මිනිසා ගත්තත් ඔවුන් අතර ප්‍රබලතම කාරණාව සන්නිවේදනයයි. සන්නිවේදනය මූලිකව තමයි මානසික කාරණාවද මෙහෙය වෙන්නේ. සංවර්ධන දිශානතියකට අනුගත කිරීමේදී චර්යාත්මක හැඩගැස්ම මනසේ එක්තරා සංවෘත ස්වරෑපයකට කේන්ද්‍රගත කිරීම තමයි මාධ්‍යව්දියාගේ ප්‍රබල වගකීම බවට පත් විය යුත්තේ.

සමාජ සංවර්ධනයට මාධ්‍ය දායක වුවත් අද එය අර්ථාන්විතව ගොඩනැගීමක් හැටියට පරිවර්තනය වීම බොහෝ විට දකින්න අමාරැයි. නමුත් මාධ්‍යයෙහි ප්‍රබලතම කාරණාව විය යුත්තේ පුද්ගලයාගේ ළැදියාවන් හෝ වර්ණයන් හා සම්බන්ධ වී කටයුතු කරනවාට වඩා සමස්ත පුද්ගල ආධ්‍යාත්මික හා පුද්ගල සංවර්ධනය සහ සමාජ සංවර්ධනය ඉලක්ක බවට පරිවර්තනය කර ගනිමින් ගොඩනගන මාධ්‍ය ආකෘති වැදගත්ම කාරණාව බවට පරිවර්තනය වීමයි. එවැනි කාරණා ඔස්සේ තමයි අපට සමාජය සංවර්ධනය කරා ගෙන යා හැක්කේ. ඒ අනුව ශ්‍රී ලාංකික මාධ්‍ය එවැනි තැනකට කේන්ද්‍රගත වී ඇද්ද යන්න පිළිබඳ අප සෑම දෙනාම විමසා බැලිය යුතුයි.

අතීතයට සාපේක්‍ෂව වර්තමාන මාධ්‍ය භාවිතයේදී තාක්‍ෂණයේ දියුණුවක් දක්නට ලැබුණත් අවරගණයේ මාධ්‍ය භාවිතයක් දක්නට ලැබෙනවා. මාධ්‍ය විද්වතෙක් ලෙස ඔබ මෙය දකින්නේ කෙසේද?

ලාංකික සමාජය තුළ තාක්‍ෂණික කාරණාව මූලික වූ පහසුකම් එක්තරා තැනක පමණයි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉහළම සමාජ සංවර්ධනයට අදාළ, නැතිනම් ඉහළම සංවර්ධනය වූ තාක්‍ෂණික උපකරණ ශ්‍රී ලාංකික මාධ්‍ය තුළ තවමත් දකින්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි තියෙන තාක්‍ෂණික උපකරණ හා සම්බන්ධ වීමට මාධ්‍යවේදියාට තිබෙන නොහැකියාවක්ද අපට දැකගන්න පුළුවන්. ඒ නොහැකියාව ගොඩනැගෙන්නේම විශේෂයෙන්ම ඔහුගේ පුහුණුව, දැක්ම, කාර්යභාරය පිළිබඳ නොදැනුවත්කම මූලික කරගෙනයි.

අනිත් පැත්තෙන් ගත්තාම අද්‍යතන ශ්‍රී ලාංකික සමාජය තුළ අපට දකින්න පුළුවන්කම තියෙන්නේ එක්තරා ආකාරයක සංක්‍රාන්තික අවධියක්. ඔහු ඉතිහාසයටත්, වර්තමානයටත්, අනාගතයටත් අයත් නොවන අතරමැදි වෙච්ච තැනක සිටින කෙනෙක් හැටියටයි දකින්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම තාක්‍ෂණය අරගෙන බැලුවාම ඉතිහාසය තුළ තාක්‍ෂණය නොමැති වීම නිසා ඔහු එක්තරා තැනක හිටියා. නමුත් සමාජය තුළ ගොඩනැගුණු සමාජ සාම්ප්‍රදායික ස්වරෑපය අද්‍යතන සමාජයේදී ඔහුගෙන් වියුක්ත කරලයි තියෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන මෙන්ම අනාගත තාක්‍ෂණ සමාජයට අවශ්‍ය හැඩගැස්මත් ඔහු තවමත් ලබාගෙන නැහැ. මේ අතර මැදි අවස්ථාව නිතරම ගැටලුකාරීයි. එසේ නොමැතිනම් සංක්‍රාන්ති අවධිය නිරන්තරයෙන්ම ගැටලු තමයි නිර්මාණය කරන්නේ.

නිසි පුහුණුවක් නොමැතිකම, නිසි දැක්මක් නොමැතිකම වැනි කාරණා ඉස්මතු කරන්නේම ඔහුගේ වරදකට වඩා මේ ගොඩනැගී තිබෙන සංක්‍රාන්තික කාරණාවේ තිබෙන ගැටලුවක්. ඒ අනුව මේ සමාජයේ ජනමාධ්‍යවේදියා පමණක් නොව අනිත් පැත්තෙන් ගත්තාම සමස්ත සමාජ දේහයේම මේ ලක්‍ෂණය අපට දකින්න පුළුවන්. සමස්ත සමාජ දේහයම අවුලෙන් අවුලට පත්වීම, අස්ථාවර තත්ත්වයට පත්වීම, මිනිසා, මිනිසා ඉදිරියෙහි පැවැතිය යුතු ආකාරය පිළිබඳවද බොහෝ ගැටලු නිර්මාණය කරගෙන තියෙනවා. ඉතිහාසයට වඩා අද්‍යතන සමාජය තුළ ගොඩනැගෙන සමාජ කාරණාව අපට පැහැදිලිව %හොඳයි^ යනුවෙන් සාකච්ඡා කරන්න ටිකක් අපහසුයි, වගේම නිවැරදි යැයි සාකච්ඡා කරන්න ටිකක් අපහසුයි. අතීත සමාජය හොඳයි සහ නිවැරදියි කියනවාට වඩා අතීත සමාජයට වඩා වර්තමාන සමාජය නිවැරදි නොවන බව දකින්න තිබෙනවා.

අතීත සමාජයේ මිනිසාට මිනිසා ඉදිරියේ පවතින්න පුළුවන්කම තිබුණා. මිනිසාට පවුල කේන්ද්‍රීය ඔහුගේ සංතෘප්තිය ගොඩනගා ගනිමින් ගමන් කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් අද්‍යතන සමාජය වනවිට පවුල් බිඳවැටීම්, මිනිසාට මිනිසා ඉදිරියේ පැවතීමට නොහැකි වීම වැනි කාරණාවන් තුළ විවිධ සමාජ කලබගෑනින්, අවස්ථාවරත්වයන් ගොඩනැගීම් දැකිය හැකි වන අතරම ඒ සඳහා පිළිසරණ සෙවිය යුතු ආයතනයන්ගේ අඩුපාඩුද අපට දැකගන්න පුළුවන්කම තියෙනවා. අද්‍යතන මිනිසාට නිතරම නීතියේ පිළිසරණ පතන්න වෙලා තියෙනවා. හැබැයි නීතියේ පිළිසරණ යනු, නීතියේ පිළිසරණ පතන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීම යනු ඒ සමාජය නිවැරදි නොවන සමාජයක් බවට පත්වීම පිළිබඳව ඉඟියක්.

නව මාධ්‍ය භාවිතයට පැමිණීමත් සමඟ මෙරට සමාජයේ සිදු වූ සමාජ විපර්යාසය ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේද?

නව මාධ්‍ය භාවිතය අපට නැවතත් සරල සමාජයෙහි ප්‍රවේශයකට අනුගත කරන්න පුළුවන්කමක් නැහැ. නව මාධ්‍ය තුළ තමයි මම ඉහතින් කියපු සංක්‍රාන්තික අවධිය බිහිකරලා තියෙන්නේ. නව මාධ්‍ය භාවිතය අද සමාජය තුළ ඉතිහාසයට වඩා වේගයෙන් වර්ධනය වන ආකාරයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වර්ධනයේ වේගවත් ස්වරෑපයට සාපේක්‍ෂ ලෙසින්ම සමාජයේ තිබෙන ඒ හා සබැඳෙන ගැටලුවල වැඩි වීමද අපට දකින්න පුළුවන්කම තියෙනවා.

එහි ඓක්‍ය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පවුල බිඳ වැටීමේ කාරණාව, මිනිසා හුදකලා වීමේ කාරණාව, ඒ වගේම මිනිසා තුළ ආත්මාර්ථයක් ගොඩනගා නැගීමේ කාරණාව, පරාර්ථකාමය ගිලිහීමේ කාරණාව, සරල මානසිකත්වයක් ගොඩනගා නැගීමේ කාරණාව, අධ්‍යාපන කාරණාවන්ගේ ප්‍රමුඛතාවන්ගෙන් පුද්ගලයන් ඈත්වීමේ කාරණාව වැනි බහුවිද ප්‍රශ්න පුද්ගල කේන්ද්‍රීයව ගොඩනැගෙන ආකාරයක් දැකගන්න පුළුවන්කම තියෙනවා.  

ෆේස්බුක් වැනි නව මාධ්‍ය සාධක නිසා සියදිවි නසා ගැනීම් ඇතිවීම දකින්න පුළුවන්. ඒ වගේම පවුල බිඳවැටීමේ ප්‍රශ්නය දකින්න පුළුවන්. අනවශ්‍ය ලිංගික සබඳතා හා අනිකුත් මානව සම්බන්ධතා ගොඩනගා ගැනීමේ කාරණාව දකින්න පුළුවන්. ඒ වගේම අසල්වැසියාට වඩා වෙනත් රටක සිටින, එහෙමත් නැතිනම් දුර ප්‍රදේශයක සිටින පුද්ගලයාව තමන්ගේ ළඟම කෙනා බවට පරිවර්තනය වීම දකින්න පුළුවන්. පුද්ගලයා කේන්ද්‍රීය වීම දකින්න පුළුවන්.

ඒ අනුව සමස්ත කාරණා දිහා බලන කොට මිනිසා සමාජ සත්ත්වයෙකි කියන කාරණාවේ ආකෘතිය ඔහු වෙනස් කරගෙන ඇති ආකාරයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතිහාසයෙහි මිනිසා සමාජ සත්ත්වයෙකු කියන කාරණාවට වඩා අද්‍යතන සමාජයේ මිනිසා සමාජ සත්ත්වයෙකි යැයි කියා ගන්නා වූ ආකෘතියේ ප්‍රබල වෙනසක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. අද්‍යතන සමාජය තුළ මිනිසාට මිනිසා වටිනවාට වඩා මිනිසාට තමන් ළඟ තිබෙන ජංගම දුරකථනයේ තිබෙන නව මාධ්‍ය කේන්ද්‍රගත වූ උපකරණය තමයි වැදගත් වෙලා තියෙන්නේ. මිනිසාගෙන් ඉටුකර ගත හැකි බොහෝ අවශ්‍යතා ජංගම දුරකථනය හරහා ඉෂ්ට කර ගන්න ලැබීමත් සමගම මිනිසාට මිනිසාගේ අවශ්‍යතාව ටිකක් අඩුවෙන සමාජයකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. එය ප්‍රබල ගැටලුවක් හැටියට දැකගන්න පුළුවන්.

සමාජ සංවර්ධනයේදී සහ පුද්ගල සංවර්ධනයේදී අත්දැකීම් නමැති කාරණාවේදී නිරන්තරයෙන්ම ගොඩනගා ගත යුතු වන්නේ පුද්ගලයන් පුද්ගලයන් හමුවීම ඇතුළේ මිසක් පුද්ගලයා තවත් උපකරණයක් ඔස්සේ හමුවීම තුළ නොවේ. ඒ නිසා මානව සමාජ පරිණාමය තුළ ඛේදවාචකය උපරිම තලයට යෑමට අවශ්‍ය නව මාධ්‍ය භාවිතාව අපට දැකගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නව මාධ්‍ය අවබෝධයෙන් යුතුව පාවිච්චි කිරීම තමයි වැදගත් වෙන්නේ. මෙම උපකරණ නිෂ්පාදනය වෙන්නේ මිනිසාගේ පහසුව අරමුණු කරගෙන වුවත් අද්‍යතන සමාජය තුළ පහසුව වෙනුවෙන් නිර්මාණය වන නව මාධ්‍ය උපකරණ මිනිසාගේ ඉරණම වෙනස් කරමින් වෙනත් ඛේදවාචක තත්ත්වයකට සමාජ වතාවරණය කේන්ද්‍රගත කොට ඇති ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. මේ නිසා අවශ්‍ය වෙන්නේ නව මාධ්‍ය පිළිබඳ පමණක් නොව නූතන මාධ්‍ය මෙන්ම සමස්ත මාධ්‍ය ක්‍රියාවලියම පිළිබඳ ගොඩනගා ගනු ලබන දියුණුම සාක්‍ෂරතාවයි.

විස්තාරිත පවුල වටා කේන්ද්‍රගත වීම යනු මේ ප්‍රශ්නයට උත්තරයක්ද?

විස්තාරිත පවුලට කේන්ද්‍රගත වීම තුළ සහනයක් තිබෙනවා කියන කාරණයට අපට කේන්ද්‍රගත වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ සහනය ආර්ථිකය කියන කාරණාව නිසා ගෙන නොදෙන තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ආර්ථිකයෙන් ප්‍රබලවම පීඩාවට ලක්වන විට මිනිසා න්‍යෂ්ටික වීම, එසේ නොමැති නම් මහා පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල දක්වා කේන්ද්‍රගත වීම දකින්න පුළුවන්කම තියෙනවා. එයට ප්‍රබල ලෙස උත්තර තියෙන්නේ ආර්ථික සහ සැලසුම් ක්‍රමවේදයන් තුළයි. එය වළක්වා ගන්න සරලව පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම තමයි අපට නැවතත් මහ පවුලක් ඇති කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මොකද පවුලේ හැඩහුරුවද නිර්මාණය වෙන්නේ ගෝලීය සමාජ ක්‍රමවේදයක් තුළ නිසා.

අද්‍යතන ශ්‍රී ලාංකික සමාජය තුළ පමණක් නොව පරිධියේ රටවලට බටහිර සමාජ ආකෘති ගලා ඒමේ ක්‍රමවේදයක් ලෙස, නැති නම් ආකෘති ගලා ඒමේ පියවරයන් ලෙස ශ්‍රී ලාංකික සමාජය සහ පරිධියේ රටවල සමාජයන්ගේ තිබුණා වූ ඒ ආකෘතික ස්වරෑපයන් දියවෙලා යන ස්වරෑපයක් අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා.

මානව සම්බන්ධතා, ඥාති සම්බන්ධතා, පවුල් සම්බන්ධතා, පවුල තුළ ගොඩනැගුණු ආත්මීය සම්බන්ධතා සියල්ලක්ම දිය වෙමින් බටහිර සමාජ ආකෘතික හැඩ ගැස්මක් ඔස්සේ පවුල සහ අනිකුත් සමාජ අවශ්‍යතාවන්, සම්බන්ධතාවන් සහ ඥාතීත්වයන් හැඩගස් වන ආකාරයක් අපට දැකගන්න පුළුවන්කම තියෙනවා. ඉන් වියුක්ත වෙන්න පවතින සමාජ ක්‍රමවේදයන් ශක්තිමත් නැහැ.

ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රවාහයක් වෙන්නේ මාධ්‍යයයි

ජනප්‍රිය සංස්කෘතික කාරණාව කියන දෙය ඉතිහාසයේ සෑම සමාජයකම අපට දකින්න පුළුවන් කාරණාවක්. නමුත් අද්‍යතන සමාජයෙහි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ බටහිරට විෂය වූ ජනප්‍රිය සංස්කෘතික කාරණාවයි. සංගීතය, නාට්‍ය මෙන්ම අනිකුත් කාරණා ගත්තත් ඒවායෙහි ජනප්‍රිය තලයේ දේවල් තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම අපි තවත් ප්‍රබල උදාහරණයකට ගියොත් විශේෂයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා බෞද්ධ දර්ශනය කියන කාරණාව. බෞද්ධ දර්ශනය සහ බෞද්ධාගමේ ජනප්‍රිය ආගමික කාරණාවන් ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ථාපිත වෙලා තියෙනවා. අපි සමස්තය දිහා බලන විට ජනප්‍රිය ලක්‍ෂණ සෑම සමාජයකම සංස්කෘතියකම මූලික කාරණාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එම ජනප්‍රිය සංස්කෘතික කාරණා තුළ ඔවුන් ගොඩනගා ගනු ලබන වින්දනය සහ එම සාමූහික විඥානික ක්‍රමවේදය තුළ ගොඩනැගුණු දේශීය සමාජ නැඹුරැවක්, දේශීය ආකෘතික ස්වරෑපයක් තමයි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ.

ඒ දේශීය ආකෘතික ස්වරෑපය ඔවුන්ට අමුතු වුණේ නැහැ ඒ තුළ ඔවුන්ව සංවර්ධන සමාජයකට කේන්ද්‍රගත කරන්න. නමුත් අද්‍යතන සමාජයේ පවතින්නා වූ බටහිර සමාජ කාරණා නිසා ජනප්‍රිය සංස්කෘතික කාරණාව පරිදියේ රටවල පුද්ගලයන්ගේ ආත්මයට විෂයවීමත් සමග ඔවුන්ට අනුහුරැ වීමේ අපහසුවක් වගේම ඔවුන් එයට ආධුනික බවක් දක්වනවා පමණක් නොව ආධුනික බව තුළ හිඳිමින් කටයුතු කිරීම තුළ ලැදියාවන් සහ සම්බන්ධ කර ගැනීමේ කාරණාව තුළ මෙහි විෂයීයගත ස්වරෑපය වෙනස් වන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා.

බටහිර සමාජයේ ජනප්‍රිය සංස්කෘතිය විසින් ගොඩනගන වින්දනයට වඩා වෙනස් වූ ස්වරෑපයක්, අර්බුදකාරී ස්වරෑපයක් තුළ ගොඩනගන වින්දනයක් අපට දකින්න පුළුවන්කම තියෙනවා පරිධියේ රටවල. ඒකට හේතුව තමයි බටහිර ජනප්‍රිය සංස්කෘතියේ කාරණාව හා පරිධියේ රටවල ජනප්‍රිය සමාජ කාරණාව ගත්තාම මේ දෙක අතර දෙමුහන්කරණය අතින් නිෂ්පාදනය වන සමාජ හැඩහුරැව අපේ සමාජය තුළින් නිෂ්පාදිත වූවක්වත් බටහිර සමාජයෙන් නිෂ්පාදිත වූවක්වත් නෙමෙයි. මෙන්න මේ කියන දෙමුහුන් කරණය තුළ නිෂ්පාදනය වූවක් නිසා ඇතිවන ගැටලු අපට දැකගන්න පුළුවන්කම තියෙනවා. ජනප්‍රිය සංස්කෘතිය බටහිර සමාජයෙන් පරිදියේ රටවලට පැමිණියත් බටහිර සමාජයේ දකින්න නොමැති ගැටලු ජනප්‍රිය සංස්කෘතිය නිසා පරිදියේ රටවල දකින්න පුළුවන්කම තියෙනවා.

එසේ ගැටලු නිෂ්පාදනය වෙන්නේම දෙමුහුන්කරණයේ ගැටලුවක් නිසාමයි. ඒ නිසා ජනප්‍රිය සංස්කෘතිය යනුද සරල සමාජ කාරණාවක් නොවේ මිනිසාගේ ආත්මීය තත්ත්වයන්, මිනිසාගේ චර්යාත්මක දිශානතීන්, මිනිසාගේ චින්තනමය රටාවන් සහ චින්තනමය සම්ප්‍රදායන් පමණක් නොව, සමස්ත සමාජයේ සංවර්ධන දිශානතීන්ද වෙනස් කරන ප්‍රබල කාරණාවන් බවට පරිවර්තනය වෙනවා.

අපි වැඩි වශයෙන් කතා කරන්නෙ ජනප්‍රිය සංස්කෘතියේ නිෂේදනීය දේවල්. ඇත්තටම මෙරට සමාජය ජනප්‍රිය සංස්කෘතියේ සාධනීය සාධක කිසිවක් උකහා ගෙන නැද්ද?

ජනප්‍රිය සංස්කෘතියේ සාධනීය ලක්‍ෂණ අප විසින් උකහා ගෙන තියෙනවා කියන කාරණාවට අපට එන්න පුළුවන්. නමුත් සාධනීය ලක්‍ෂණ උකහා ගැනීමේ ස්වරෑපයේ අර්බුදයක් නැවත අපි දකිනවා. මොකද ජනප්‍රිය සංස්කෘතියේ ලක්‍ෂණ උකහා ගන්නේ බොහෝ වේලාවට අපි සංස්කෘතිකමය වශයෙන් යම්කිසි වූ පිඩාකාරී ස්වරෑපයකට, සමාජීය වශයෙන් පීඩාකාරී ස්වරෑපයකට, දේශපාලන සහ ආර්ථික වශයෙන් පීඩාකාරී ස්වරෑපයකට කේන්ද්‍රගත වීමේ පසුතලයක් මත. ජනප්‍රිය සංස්කෘතියට පවතින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසායි. මිනිස්සු ගැටලු, අර්බුද දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිපත්ති ආදී තත්ත්වයන් තුළ ගොඩනැගුණු ඒ අර්බුදයන්ගෙන් මිදීමට සමහර විට ජනප්‍රිය සංස්කෘතිකාංග පාවිච්චි කරනවා. ගැටලුකාරී අත්දැකීමෙන් සම්ප්‍රේෂණය වන ප්‍රවේශයක තමයි ඔවුන් එය නැවත අත්දකින්න, විඳින්න සූදානම් වෙන්නෙ. ඒ නිසා විඳින්න උත්සාහ ගන්නේම ගැටලුවෙන් මිදීමට හෝ ගැටලුව අමතක කිරීම අරමුණු කරගෙනයි. ප්‍රශ්නයක් තියාගෙන තමයි ඔවුන් විඳින්න පටන්ගන්නෙ.

මෙන්ම මේ ප්‍රශ්නය හා ආකෘතිය හමුවීම තුළින් දෙමුහුන්කරණයක් තමයි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. ජනප්‍රිය සංස්කෘතිය, ජනප්‍රිය ආකෘතිය කියලා කියන්නේ මිනිසාගේ චර්යාත්මක කාරණාවක්. ලෝකයේ කොහේ හෝ ජනප්‍රිය සංස්කෘතික කාරණා නිර්මාණය වුණත් ඒවා මිනිසුන්ගේ චර්යාත්මක සාධක. මිනිසාගේ චර්යාත්මක සාධක නිෂ්පාදනය වන්නේම භූගෝලීය සමාජ කාරණාවන් කේන්ද්‍රීයව. දේශගුණික කාරණාවන් කේන්ද්‍රීයව. බටහිරට උරැම වූ දේශගුණික භූගෝලීය සහ අනිකුත් සමාජ කාරණාවන්ට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය වූ එම චර්යාත්මක කාරණාවන් හා හැඩහුරැවන් ඒ ආකාරයෙන්ම ගොඩනගා ගන්න අපට ටිකක් අමාරැයි. ඒ නිසා තමයි අපට මෙහි වෙනස් බවක් පේන්න පටන් ගන්නේ. නැතුව අපි කොහේ දැක්කත් මේවා තුළ තිබෙන්නේද මානව චර්යාත්මක කාරණා. මානව චර්යාත්මක කාරණාවන්ගෙන් මිදෙන්න අපට පුළුවන්කමක් නැහැ. මානව චර්යාත්මක කාරණාව තුළ වාර්ගික කාරණා, භූගෝලීය කාරණා, දේශගුණික කාරණා සංස්කෘතිකමය කාරණා ආදීමය වශයෙන් ඉරි ගහලා බෙදලා වෙන්කර ගෙන තියෙනවා. ඒ වෙන්කර ගැනීම විභේදනතාවද කේන්ද්‍රියවයි පරිදියේ රටවල් ජනප්‍රිය සංස්කෘතිය කියන කාරණාව විශ්ලේෂණය කරන්න පුරැදු වෙලා තියෙන්නේ.

ආර්ථික, දේශපාලන, ආගමික සහ සමාජීය වශයෙන් ගැටලු රාශියකට මැදිව ජීවත් වන මිනිසුන් යම් සහනයක් බලාපොරොත්තුවෙන් ජනප්‍රිය සංස්කෘතිය හා බැඳෙනවා. එවැනි තත්ත්වයක් තුළ අවුලෙන් අවුලට යන මිනිසාට ඉන් මිදීමට තිබෙන සහනය කුමක්ද?

දැඩි අර්බුදකාරී ස්වරෑපයකට කේන්ද්‍රගත ලාංකික සමාජය තුළට බටහිරට කේන්ද්‍රගත වූ ජනප්‍රිය සංස්කෘතික කාරණා මිනිස් සමාජය හා සම්ප්‍රේෂණය වීම ගැටලුවෙන් නිදහස් වීමට කාරණාවක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ එක පැත්තකින්. අනිත් අතට මේවායෙන් වියුක්ත වීම පහසු වෙන්නේ නැහැ ගෝලීය සමාජ ක්‍රමවේදයන් නිසා. අපේ ආර්ථිකය නිෂ්පාදිත ආර්ථිකයක සිට හුවමාරැ ආර්ථිකයක් දක්වා වේගයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා අපිව පරාරෝපණය වෙන්න, අපිව අන්සතු වීමේ ප්‍රවේශය වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය තමයි ඕනෑම සමාජයක, ඕනෑම රටක, ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රබලතම තීරණාත්මක ධාවක බලවේගය බවට පරිවර්තනය වෙන්නේ.

මේ ධාවක බලවේගයේ තීරණාත්මක කාරණාව අන්සතු වෙනවා කියන්නේ සමස්තයේ අන්සතු කරණයයි. එය සරල කාරණාවක් නොවේ. අනිත් පැත්තෙන් ගත්තාම සමාජය මෙහෙයවන ධාවක බලවේගය බවට ගෝලීය සමාජය තුළම දේශපාලනික කාරණයම හැඩ ගැහිලා තියෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමවේදය තුළ ගොඩ නැගෙන අඥානික බව සහ දේශපාලනයේ නියුක්ත වූවත් දේශපාලනය නොදැකීමම ද ප්‍රබල කාරණාවක් වෙනවා. ඒ වගේම දේශපාලනඥයන් මූලික වෙමින් ප්‍රතිපත්ති සහ සැලසුම්කරණයන් නිෂ්පාදනයන්ට කේන්ද්‍රගත වීමද අර්බුදකාරී තත්ත්වයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සමස්ත සමාජයම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය, සමස්ත සමාජය එක්තරා අකාරයකට සකස් කිරීමට අදාළ සැලසුම් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව තියෙනවා.

ඒ සැලසුම් නිෂ්පාදනය කළ යුත්තේ රටක බුද්ධිමතුන් හා සෙනෙට් සභාව ආදිය කේන්ද්‍රගත කර ගනිමින්. අනිත් පැත්තෙන් ගත්තාම ආගමික කාරණාවද ප්‍රබල ලෙස ඉතිහාසයේ ආගමික කාරණාවට වඩා ප්‍රබලව වෙනස් වෙලා යන කාරණාවක් බවට පත්වෙලා තියෙනවා. ඉතිහාසයේ ආගමික කාරණාව තුළ අපිට දකින්න පුළුවන්කම තිබුණේ මිනිසා සංසිඳ වීමේ කාරණාව. අද ආගමික කාරණාව තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ දේශපාලන නැඹුරුවකට අදාළ හැඩගැස්ම ගොඩනගන ආකාරය. අනිත් පැත්තෙන් ලෝකයම මුස්ලිම් අන්තවාදය සහ අනිකුත් අන්තවාදී කාරණාවන්ට ගමන් කරන ආකාරය අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ විචල්‍යන් එකිනෙක සම්බන්ධ වීමක් දකින්න පුළුවන්කම තියෙනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරය, ඇමෙරිකානු ව්‍යාප්තවාදය, ආගමික අන්තවාදය යන දෙකම එකට එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස අපට එය දකින්න පුළුවන්කම තියෙනවා.

සමාජය සංස්කරණය කරන්න තියෙන හැම ආයතනයක්ම අද වනවිට එක්තරා ආකාරයකට දුෂිත වෙලා, පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ වගකීම්වලින් බැහැර වෙලා තියෙනවා. සහනය ලබා ගැනීමට තිබෙන ආයතනම මිනිසුන්ට අසහනය සකස් කරනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව. ශ්‍රී ලාංකේය සමාජය උදාහරණයට ගත්තොත් එහෙම සමාජ විසංවිධානයට අවශ්‍ය සියලුම කාරණාවන්, සමාජය අස්ථාවර වීමට අවශ්‍ය සියලු කාරණාවන් මානව විඥානය තුළ කේන්ද්‍රගත වෙලා තියෙනවා. සමාජ ක්‍රමවේදය තුළ කේන්ද්‍රගත වෙලා තියෙනවා.

ඒ නිසා සහනය කියන එක මං හිතන විදියට තව සෑහෙන ඈතක තමයි තියෙන්නෙ. ඒ නිසා සතුට කියන එක මේ සමාජ ක්‍රමවේදය තුළ ගොඩනගා ගන්න බැරිවෙලා තියෙනවා. සතුට භුක්ති විඳින්න අපට තව අවුරැදු කල්පයක් විතර බලාගෙන ඉන්න වෙලා තියෙනවා. සතුට කියන කාරණාව හඳුනා ගන්න පරිදියේ රටවල පුද්ගලයන්ට ඉඩක් ලැබිලා නැහැ. සතුට කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳ දැනුම කේන්ද්‍රීයවයි. ඒ පිළිබඳ අවබෝධය කේන්ද්‍රීයවයි. එය ස්පර්ශ කරන්න අවස්ථාව තියෙන්න ඕන. ඉතිහාසය තුළ මිනිස්සු එකතු වීම තුළ සතුටක් ලබනවා.

නමුත් අද්‍යතන සමාජය තුළ අදවන විට මිනිසා ඒ සතුට ලබන්න හදන්නේ තවත් කෙනෙකු පීඩාවට ලක් කරලයි. මිනිසාගේ මනසහි උපවිඥානික තත්ත්වයන්, එසේත් නොමැති නම් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණවාදී න්‍යායන් තුළ පෙන්වන 'ඉඩ්' නමැති කාරණාව, දළ සිතෙහි කාරණාව දක්වා පුද්ගලයන් වේගයෙන් කේන්ද්‍රගත වන ආකාරය දැකගන්න පුළුවන්කම තියෙනවා. පාසල් ළමයින් විසින් ඝාතන කරන ආකාරය, එක වාහනයේ ගමන් කොට තම මිතුරාගේ බෙල්ල කපන ආකාරය වැනි සමස්ත ක්‍රියාවලිය දැක්කාම මිනිසාට සතුට කියන එක හරියමට හඳුනා ගන්න බැරිකමක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නීතියේ පිළිසරණ සෙවීමට ඉතිහාසයෙහි හැඩගැසුණු සමාජයට වඩා වර්තමානයෙහි හැඩගැසුණු සමාජයට සිදුවීම යනුද බරපතළම කාරණාවක් සමාජය අවබෝධ කර ගැනීමට.

ඔබ සඳහන් කරන අකාරයට ශ්‍රී ලාංකේය සමාජය තිබෙන්නේ හරිම ඛේදනීය තැනක?

අද්‍යතන ශ්‍රී ලාංකේය සමාජය ඇත්තටම තිබෙන්නේ එක්තරා ශෝචනීය තැනක. මේ ශෝචනීය තැන සිට ලබන අත්දැකීම අපට හරිම වැදගත් වෙනවා ඊළඟ සමාජ සංවර්ධන අවධිය නිර්මාණය කර ගැනීමට. මොකද නෙළුම් මලක් පිපෙන්නේ මඩ වගුරක. ඒ වගේම අත්දැකීම් නොමැති සමාජයකට වඩා අත්දැකීම් සහිත සමාජයකට වේගයෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම දියුණු සමාජයක තිබුණු මූලිකම ලක්‍ෂණය තමයි ඒ සමාජය ආපසු ගමන් කිරීම.

ඒ සමාජය පොඩි කාලයක් ආපස්සට නැවත ගමන්කර තමයි ඒ අත්දැකීම් ඔස්සේ ප්‍රතිපත්ති සහ නිවැරදි සැලසුම් සකස් කරගෙන ඉදිරියට ගමන් කර තියෙන්නෙ. ඒ නිසා තමයි මම කියන්නෙ මේ අර්බුදකාරී වටපිටාවට ඝෘනාත්මක තත්ත්වයක් අනුගත කර සිතනවාට වඩා ධනාත්මකව ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි වැදගත්ම කාරණාව බවට පරිවර්තනය වෙන්නෙ. නිවැරදි සැලසුම්කරණයන් සඳහා මෙන්ම නිවැරදි සංවර්ධන ප්‍රතිපත්ති සඳහා සමාජ ඉලක්කයන් කේන්ද්‍රගත කරන්න හොඳ පසුබිමක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. එම පසුබිම නිවැරදිව පෝෂණය කරගන්න, නිෂ්පාදනය වී ඇති ස්වරූපය නිවැරදිව අවබෝධ කර ගනිමින් ගැටලු හඳුනා ගනිමින් අනාගත සමාජයක් පෝෂණය කිරීමට අදාළව හැඩගස්වන්න අවශ්‍ය කේන්ද්‍රීය විඥානය සහිත මිනිසුන් සිටිනවා නම් එම මිනිසුන්ගේ ප්‍රබල වගකීමක් බවට පරිවර්තනය වෙනවා අනාගත සමාජය සංස්කරණය කිරීම කියන කාරණාව. අද්‍යතන සමාජ කාරණාව බැහැර කිරීමකට වඩා අද්‍යතන සමාජ කාරණාවේ අත්දැකීම් ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා බුද්ධි මණ්ඩල අවශ්‍යයි. සෙනට් සභාවන් අවශ්‍යයි. මේවා සමග කේන්ද්‍රගත වීම හරහා තමයි සමාජය සංස්කරණය කරගනිමින් ඉන් එහාට ගමන් කළ හැක්කේ.

ඔබ ආචාර්ය උපාධිය හදාරන්න ගියේ චීන විශ්ව විද්‍යාලයකට. චීනයේ විශ්ව විද්‍යාල පද්ධතිය හා චීන ජනමාධ්‍ය සමාජ සංවර්ධනයට ලබා දෙන දායකත්වය කෙබඳුද?

චීන විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම එය සමාජයට කරන සේවාවන්, ලෝකයට කරන සේවාවන් අති විශාල වශයෙන් අපට දකින්න පුළුවන්කම තියෙනවා. සංවර්ධන සැලසුම් අරගෙන බැලුවාම ඒවා ඔවුන්ගේ සමාජයට පමණක් නොව ලෝකයටම සම්බන්ධතාවන් ගොඩනගන කේන්ද්‍රීය මූලයන් බවට අද වනවිට පරිවර්තනය වෙලා තියෙනවා. චීනයේ විශ්වවිද්‍යාලය, මහා සමාජය සහ ආණ්ඩුව යනු තුනකට වඩා තුනේ එකතුවක් ලෙස නිවැරදි මගපෙන්වීමක් පෙන්වන ආකාරයක් තමයි දැකගන්න පුළුවන්කම තියෙන්නේ.

චීනයේ ජනමාධ්‍ය ගත් පසු බොහෝ වේලාවට ඔවුන් විසින් ඔවුන් වෙනුවෙන් විවිධ සම්බාධක යෝදාගන්නා අයුරැ මම අත්දැකීමෙන් දැක තිබෙනවා. තව දෙයක් ඔවුන් සම්බාධක යොදාගන්නේ ආණ්ඩුව හා සම්බන්ධ වීමෙන්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සැලසුම් කේන්ද්‍රීයව නිර්මාණය වීමත් එක්ක ඔවුන් නව මාධ්‍යයේ බොහෝ තැන්වලට සීමාවන් ගොඩනගලා තියෙනවා. එම සීමාවන් ඔවුන්ගේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම්වලට කේන්ද්‍රගත වුණ දේවල්. ඒ සංවර්ධන දිශානතියත් සමග තමයි එරට මාධ්‍ය කේන්ද්‍රගත වෙන්නේ. ඒ නිසා සමහර විට බටහිර හෝ වෙනත් රටවල තිබෙන අනවශ්‍ය සංස්කෘතික කාරණා, සමාජ කාරණා, යුදමය කාරණා සහ මානසික වියවුලකට අදාළ වන කාරණා එරට මාධ්‍ය විසින් චීනය තුළට එන්නට ඉඩ දෙන්නේ නැහැ.

 



Recommended Articles