කෝවිඩ් වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සේම ලංකාවද දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති අතර, එය බොහෝ ක්ෂේත්‍රහට ද දැඩි බලපෑමක් එල්ලකර තිබේ. ඒ අතර වී ගොවිතැනද එක් ක්ෂේත්‍රයකි.
කෙසේ නමුත් වී ගොවියා මුහුණදෙන තත්ත්වය අද ඊයේ ඇතිවූවක් නොවේ. මේ රටේ පැවති බොහෝ රජයන් මේ සඳහා විවිධ වැඩපිළිවෙළ සේම යෝජනා ගෙන එනු ලැබුවත්, ඒ සඳහා සැබෑ විසඳුමක් මේ වන තෙක් ලැබී නොමැත. එමෙන්ම වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමද ඒ ඒ කාලයන්හී පවතින දේශපාලන කාරණාවක් බවට පමණක් සිමා වී තිබේ.
විශේෂයෙන්ම වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් 2020 වසරේ මුල් කාර්තුවේදී දැඩි කතාබහක් ඇතිවුවත්, එයද ප්‍රායෝගික නොවූ බව ගොවි සංවිධාන මෙන්ම ගොවීහුද පෙන්වා දෙති. විශේෂයෙන්ම මෙහිදී රජය විසින් වී මිලදී ගැනීම සඳහා සහතික මිලක් ලෙස රුපියල් 50ක් නියම කර තිබුණත්, එහිදී බොහෝ වී මෝල් හිමියන් විසින් වී මිලදී ගැනීම සිදුකරනු ලැබුවේ රුපියල් තිහකට, තිස්පහකට පමණ බවද ගොවි සංවිධාන පෙන්වා දෙයි.
කෙසේ නමුත් දේශපාලන පොරොන්දුවක්ද වූ වී සඳහා සහතික මිලක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ රජයට, සිය වී තොග අලෙවි කිරීමේ හැකියාවක් නොතිබූ පසුබිමක ඒ සඳහා පිළියමක් ලෙස රජය විසින් වී අලෙවි මණ්ඩලයේ සහයට වී මිලදී ගැනීම් සඳහා යුද හමුදාව යොදවන ලදී. නමුත් මෙහිදී රජය විසින් පනවන ලද උපරිම සහතික මිල සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ නොවීම හේතුවෙන් නැවත රජයට සිදුවූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පනවන ලද මිල උපරිම සිල්ලර මිල ලෙස පිළිගැනීමටය.
විදෙස් රටවල් තුළින් සහල් ගෙන්වීමට රජයට අවශ්‍ය නොවන පරිදි රට තුළ වී නිෂ්පාදනය සිදුවුවත් මේ ආකාරයෙන් රජයට සහල් මිල මෙන්ම වී මිලදී ගැනීමේ මිල පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ වී නිෂ්පාදනයෙන් සියයට 94කට වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන් වීම තුළය. මේ ආකාරයෙන් වී අඩුවක් නොවුණත්, සහල් මිල මේ තරම් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වන්නේ වී මිලදී ගැනීමේ බහුතරය රජයේ පාලනයෙන් බැහැර වීමය. එමගින් රට තුළ දැඩි සහල් මාෆියාවක් නිර්මාණය වී තිබේ.
පාලනය කර ගැනීමට නොහැකි මට්ටමට රට තුළ පවතින සහල් මිල ඉහළ යාම මෙන්ම සහල් හිඟයක් ඇති කිරීමට තරම්, පෞද්ගලික මහා පරිමාණ සහල් හිමියන් විසින් ඒකාධිකාරියක් පවත්වාගෙන යන තරම් ශ්‍රී ලංකාවේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශය සතුව පවතින බව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ වී අලෙවි මණ්ඩලය මගින් මෙන්ම, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව මගින් ලබාගත් පසුගිය වසර කීපයකට අදාළ තොරතුරු මගින් පැහැදිලිවම අනාවරණය වේ.
එම තොරතුරුවලට අනුව පසුගිය 2015 වර්ෂයේ සිට 2020 දක්වා දිවයිනේ වී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මේ වන විට දිවයිනේ පවතින සමස්ත කුඹුරු බිම් ප්‍රමාණය වන අක්කර 1,944,112ක ප්‍රමාණයක අඩු වැඩි වශයෙන් වාර්ෂිකව වෙනස් වෙමින් යල සහ මහ කන්න තුළදී වී වගා කිරීම සිදුකෙරේ. මෙසේ වගා කරනු ලබන වී වගාව තුළින් යල සහ මහ කන්න තුළදී ලබාගත් අස්වනු ප්‍රමාණය වන්නේ,
වගා කළ බිම් ප්‍රමාණය අක්කර/ ලබාගත් අස්වැන්න (මෙට්‍රික් ටොන් MT )
2015 යල කන්නය 1,103,861.87 /1,942,408
2015 / 2016 මහ කන්නය 1,169,137.27 / 2,902,693
2016 යල කන්නය 1,268,174.52 /1,517,392
2016 /2017 මහ කන්නය 1,394,574.43 /1,473,832
2017 යල කන්නය 676,944.29 /909,321
2017 / 2018 මහ කන්නය 1,568,684.28 /2,396,926
2018 යල කන්නය 868,029.33 /1,532,905
2018 / 2019 මහ කන්නය 1,638,013.21 /3,072,581
2019 යල කන්නය 760,830.60 /1,519,475
2019 /2020 මහ කන්නය 1,655,256.94 /3,196,752
(මුලාශ්‍රය - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් ඒවා වේ )
වී සහ සහල් වෙළෙඳ පොළ
මේ ආකාරයෙන් රට තුළ වී නිෂ්පාදනයක් සිදුවුවත්, එම වී නිෂ්පාදනය තුළින් වී අලෙවි මණ්ඩලය මගින් වාර්ෂිකව මිලදී ගන්නා ලද වී ප්‍රමාණයන් ඉතා අවම මට්ටමක පැවතීම තුළ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළ තුළ වැඩි වශයෙන් වී සහ සහල් සංචිත පවත්වාගෙන යාම තුළ එකාධිකාරියක්ද පවත්වාගෙන යයි.
මෙහිදී සහල් වෙළෙඳ පොළ සඳහා රාජ්‍ය ආයතන, පාරිභෝගිකයන්, වී ගොවියන්, පෞද්ගලික වී සහල් වෙළෙන්දන්, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වී මෝල් හිමියන් යන අය ඇතුළත්ය. විශේෂයෙන්ම සහල් සඳහා ඉල්ලුම ඇතිවන්නේ සිවිල් පාරිභෝගිකයන්, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන මඟිනි. රජය විසින් 6 -8෴ක වී ප්‍රමාණයක් පමණක් මිලදී ගනු ලබන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර විසින් 10%ක් පමණ වී මිලදී ගනු ලබයි. ඉතිරි වී ප්‍රමාණය මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මිලදී ගනු ලැබේ.
රජය මිලදී ගෙන ඇති වී ප්‍රමාණය( මෙට්‍රික් ටොන්)
2015 - 130529.8 (6.%)
2016 - 157429 (3.56%)
2017 වී මිලදී ගැනීමක් සිදුකර නොමැත
2018 - 6687 (0.23%)
2019 - 48869 (1.12% ) (දිස්ත්‍රික් ලේකම්වරුන් විසින්)
2019 /2020 මහ කන්නය 25869 (0.85%)
2020 යල කන්නය 100,000
ඉහත දත්තවලට අනුව 2015 යල කන්නයේ සිට 2019 /2020 මහ කන්නය දක්වා කාලය තුළදී දිවයිනේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 19,554,964(එක්කෝටි අනූපන්ලක්ෂ පනස්හතරදහස් නමසිය හැටහතරක්) වන අතර, ඒ තුළින් රජය මගින් මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 369183.8 (තුන් ලක්ෂ හැටනමදහස් එකසිය අසූතුනක්) වේ. එය එම කාලය තුළ සිදුවූ සමස්ත වී නිෂ්පාදනයෙන් 1.88෴කි.
මේ අනුව පෙනී යන්නේ දිවයිනේ සමස්ත වී නිෂ්පාදනයෙන් වැඩි කොටසක් පවතින්නේ පෞද්ගලික වෙළෙඳුන් සතුව බවයි. එමෙන්ම අස්වනු නෙළන අවස්ථාවේ විශාල වී ප්‍රමාණයක් මිලදී ගැනීම සිදුකරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් විසිනි. ඒ තුළ රටේ බහුතර සහල් තොග පවතින්නේද ඔවුන් සතුව බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
සහල් මිල පාලනය කිරීමට ඇති අපහසුතා
වී අලෙවි මණ්ඩලය සතුව දිවයිනේ දිස්ත්‍රික්ක 21ක් තුළ වී ගබඩා සංකීර්ණ 307ක් පවතින අතර, එම ගබඩා තුළ සහල් මෙට්‍රික් ටොන් 310,040 (තුන් ලක්ෂ දසදහස් හතළිහක්) ගබඩා කිරීමේ පහසුකම් තිබේ. නමුත් එම ගබඩා පහසුකම් බොහෝ අවස්ථාවන්හී ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම් සිමා කිරීමට සිදු වේ. එමෙන්ම නියමිත කාලයන්හී රජය මගින් මුදල් ලබා නොදීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට සුදුසු කාලයේදී වී මිලදී ගැනීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් තිබෙන වී ගබඩාද පුරවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.
වී අලෙවි මණ්ඩලය වැඩි මිලයට වී ලබාගත්තත්, ඔවුන් බලාපොරොත්තු වන තරමේ වියලුණු වී ගොවීන්හට ලබාදීමේ හැකියාවක් නොමැත. ඉන් වාසිය ලබාගන්නා පෞද්ගලික සහල් මෝල් හිමියන් ගොවීන්ගෙන් එම වී මිලට ගෙන තමන් සතු වී වියළීමේ යන්ත්‍ර (Dryer ) මගින් වියළා ගැනීම සිදුකරනු ලබයි. මෙවැනි තාක්ෂණික පහසුකම් නොතිබීමද වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් වී සංචිත නොලැබීමට හේතුවක් වී තිබේ.
"වැඩි ගාණකට වී අලෙවි මණ්ඩලයට වී විකුණන්න අපි කැමතියි. නමුත් එයාල ඉල්ලන විදියට වී ටික දෙන්න ගියාම ගොවීන් විදියට අපි සෑහෙන අපහසුතාවන්ට ලක්වෙනවා. පෞද්ගලික මෝල් හිමියන් ළඟටම ඇවිල්ලා වී ටික අරගෙන යනවා. ඒක අපට පහසුයි." යනුවෙන් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ගොවි මහතෙකු වන ප්‍රියන්ත ගමගේ කියා සිටී.
මෙයට කදිම නිදසුනක් ලෙස 2020 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 100,000ක් මිලදී ගැනීම සඳහා රජය මගින් රුපියල් මිලියන 5000ක් වෙන්කර තිබුණත්, ගොවි ජනතාව විසින් වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් වී ලබා නොදීම හේතුවෙන් රජයේ වී සංචිතද අඩුවී තිබේ. එමෙන්ම ගන්නා වී තොග නිසි ලෙස නිකුත් නොකිරීමේ පසුබිමක පසුගිය කාලයේදී විශාල වී තොග ප්‍රමාණයක් සත්ත්ව අහාර සඳහාද, තවත් ප්‍රමාණයක් විනාශ කිරීමටද සිදුවීම නිසා රජයට වී මිලියන ගණනක පාඩුවක්ද සිදුවිය.
වී තොග නිකුත් කිරීම සම්බන්ධයෙන්ද වී අලෙවි මණ්ඩලය සතුව විශාල ගැටලුවක් පවතී. මෙහිදී මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සිදුවන්නේ මාර්තු සහ මැයි දක්වාය. එසේ මිලදී ගන්නා වී තොග ජූනි, ජුලි මාසවල නිකුත්කර යල කන්නයේ නැවත වී තොග මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් වී අලෙවි මණ්ඩලය සකසා නොමැත. සාමාන්‍යයෙන් ලංකාවේ වෙළෙඳ පොළ තුළ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ වී සඳහා ඉහළ මිලක් පවතී. එම කාලය තුළදී වී අලෙවි මණ්ඩලය සතුව වී තොග තිබෙන්නේ නම් පහසුවෙන් එම වී තොග විකුණා ගැනීමට අවකාශය උදාවනු ඇත. නමුත් වී අලෙවි මණ්ඩලය මගින් හඳුනාගෙන නොමැති මෙම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ පෞද්ගලික වී මෝල් හිමියන්ය. මහා පරිමාණ වී මෝල් හිමියන් ජාවාරමක් ලෙසද මෙය සිදුකරගෙන යනු ලබයි.
කෙසේ නමුත් මේ තුළ පෞද්ගලික මෝල් හිමියන් විශාල ලාභයක් ලැබුවද, එම ලාභය පාරිභෝගිකයා හට ලැබෙන්නේ නැත. එවන් පසුබිමක සහල් මිල වැඩි වීම සිදුවන්නේද පෞද්ගලික මෝල් හිමියන්ගේ ඕනෑ එපාකම් අනුවය. එය මේ වන විට ආණ්ඩුවට පාලනය කළ නොහැකි මට්ටමකට පත්වී තිබේ.
“මේ වනවිට මහා පරිමාණ වී මෝල් හිමියන් කීපදෙනෙක් හාල් සහ වී වෙළෙඳ පොළ හසුරවනවා. එය පාලනය කරන්න ආණ්ඩුවේ අදාළ අමාත්‍යාංශය මැදිහත් වෙන්නේ නෑ. එයාලත් මේක අස්සේ වෙනම ව්‍යාපාරයක් කරනවා.” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.
"අපිට අවුරුද්දකට අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් විතරයි. මාසයකට ගතහොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි අවශ්‍ය වෙන්නේ. පසුගිය කාලය තුළදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයක් එකතු වුණා. මේ තත්ත්වය තුළ කොහොමවත් හාල් හිඟයක් එන්න විදියක් නෑ. මොකද ලබන අවුරුද්දටත් ඇතිවෙන්න වී තිබුණා. වී මෝල් හිමියන් මේ කන්නයේ ගන්න වී මේ කන්නයේ අඹරන්නේ නෑ. මාස 06ක් විතර පරණ කරනවා. මොකද පරණ කරනකොට තමයි ඉල්ලුමක් හැදෙන්නේ. හැබැයි බහුතරයක් ඒ වී ගත්තේ රුපියල් හතළිස් ගණන් වලට. දැන් ඒ අය කරන්නේ හාල් හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරලා වී මිල වැඩි කරනවා. එහිදී පාරිභෝගිකයා හිතනවා වී හිඟ නිසා තමයි හාල් මිල වැඩි වෙන්නේ කියලා.
ඒ වගේම හතළිස් ගණන්වලට ගත්ත වී රුපියල් පනස් ගණන්වලට ගත්තා කියලා, හැත්තෑ ගණන්වලට විකුණනකොට මේ මහා පරිමාණ වී මෝල් හිමියන් විශාල ලාභයක් ලබනවා. ඒ වගේම රටේ හාල් හිඟයක් නැහැ. එය නිර්මාණය කරන ලද එකක්. පැවති සෑම ආණ්ඩුවක් තුළදීම මෙය සිදුවන දෙයක්. මේ තත්ත්වය නැතිකරන්න නම් රජය වී නිෂ්පාදනයෙන් 20%ක් වත් ලබාගෙන වී සංචිතයක් ඇතිකර ගන්න ඕන.” යනුවෙන් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා
"ලබන කන්නයේ සිට පොහොර සහනාධාරය ලබාගන්නා ගොවීන්ගෙන් වී අලෙවි මණ්ඩලයට වී දෙන එක අනිවාර්ය කරන්න යෝජනාවක් තියෙනවා. එහිදී අපි කුඹුරු හෙක්ටයාර එකට වඩා වැඩි ගොවීන්ගෙන් සහතික මිලට වී කිලෝ 1000ක් හරි 500ක් හරි ලබාගන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම ගොවීන්මතාක්ෂණය යොදවලා වේළලා දෙන වී ගන්න නිසා අපිට අමුතුවෙන් තව තාක්ෂණය දියුණු කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. දැනට තියෙන වී ගබඩා ටික පුරවා ගත්තොත්, වෙළෙඳ පොළ හසුරවා ගන්න අපිට ඒ ටික ප්‍රමාණවත් වෙනවා. ඉදිරියේදී පිඑම්බී සහල් මීට වැඩිය දහ ගුණයකටත් වඩා වැඩියෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරනවා."
කළ යුත්තේ කුමක්ද?
විශේෂයෙන්ම රජයේ ආධාර උපකාර ඇතිව, රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය පවා ලබා ගනිමින් වී ගොවිතැන් කරන වී ගොවීන්ගේ අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලය වෙත අනිවාර්යයෙන් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. එමෙන්ම පෞද්ගලික වී මෝල් හිමියන් මෙන්, ගොවි මහතුන් ළඟට ගොස් වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් වී අලෙවි මණ්ඩලය විසින් සැකසිය යුතුය. සම්ප්‍රදායික නොවූ නව ක්‍රම හඳුන්වා දෙමින්, වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ද එම නවීන ක්‍රම සඳහා හුරු කරමින්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නිලධාරීන් ඒ සඳහා යෙදවිය යුතුයි. තවද රජය වී තොග පවත්වාගෙන යමින්, හඳුනාගත් වී මෝල් හරහා ඒවා සහල් බවට පත්කරමින්, පී එම් බී සහල් (PMB RICE) ලෙස වෙළෙඳ පොළට නිකුත් කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තාක් රටේ පවතින සහල් මාෆියාවට තිත තැබිය නොහැකිය.