රටේ රෝහල් තුළ විශාල ඖෂධ හිඟයක් තියෙනවා


වෛද්‍ය සභාවේ ගැටලු හා සෞඛ්‍ය සේවාවේ ගැටලු පිළිබඳව මේ වන විට විශාල කතා බහක් ඇතිවෙමින් තිබේ. මීට අමතරව අත්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා රටට අයහපත් ප්‍රතිඵල අත්වන බවටත් වෘත්තීය සමිති සඳහන් කරයි. මේ කරුණු පිළිබඳව විමසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සමග කතා බහක නිරතවිය.


වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් එකත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි එක සියලුම දෙනා පිළිගන්නා එකක් නොවෙයි.
සෞඛ්‍ය ඇමැතිතුමා කතා කරන විදිහට ඔහු හදන්න සැරසෙන්නේ එංගලන්තයේ ප්‍රමිතීන්, එංගලන්තලය ගත්තොත් උසස් පෙළ විභාගයේ ඒ තුනක් ගත්ත කෙනෙක් තමයි වෛද්‍ය විද්‍යාලයට යන්නේ. පෞද්ගලික අධ්‍යාපනයටත් ඒ සුදුසුකම. හැබැයි අපේ සෞඛ්‍ය ඇමැතිතුමා සිදු කරමින් තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් පහත දමන එකයි. ඒ වගේම සෞඛ්‍ය ඇමැතිතුමා කරලා පෙන්නන්න උත්සාහ කරමින් ඉන්නේ ඔහු තමයි රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. හැබැයි ඇත්තටම හොයා බැලුවොත් තේරෙන දේ තමයි ඔහු පෙනී සිටින්නේ අධ්‍යාපනය විකුණන අය වෙනුවෙන් කියන එක. 2010 වසරේදී තමයි වෛද්‍ය සභාව තීරණය කරේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම උසස් පෙළ විභාගයේ සී දෙකයි එස් එකයි කියලා.
ඒක බලපැවැත්වුණා. ඊට පස්සේ 2017 වසරේදී ආයිත් ලියවිල්ලක් සකස් කළා. ඒකෙදී සියලුම දෙනාගේ එකඟතාවය තිබුණේ බී තුනක් කියලා. මේක ඉදිරියට ගෙනයන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. හැබැයි මේක ඉදිරියට ගියොත් වෛද්‍ය අධ්‍යාපන කඩ පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. බී තුනෙන් වෛද්‍යවරුන් බිහි වුණොත් ඒකෙන් වෙන්නේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ යෑමයි. ඒත් මේ අධ්‍යාපන සුදුසුකම් සහිත ලියවිල්ල ගැසට් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා තවමත් කටයුතු කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ආරම්භ වෙලා තියෙන්නේ 1927 වසරේදී. ඉන්පසුව 1981 වසරේදී වෛද්‍ය සභාව සංශෝධනය වෙලා තියෙනවා.
මෙතැනදී වෛද්‍ය සභාවේ සභාපති හා තවත් සාමාජිකයන් 04 දෙනෙකු සෞඛ්‍ය ඇමැතිවරයාට පත් කරන්න පුළුවන්. මීට අමතරව සාමාජිකයන් 08 දෙනෙකු ලෙස ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්ගේ ඡන්දයකින් පත් වෙනවා. මීට අමතරව වෛද්‍ය පීඨ නියෝජනය කරමින් 08 දෙනෙකු මීට එකතු වෙනවා.
දන්ත වෛද්‍ය පීඨයෙන් එක් අයෙකු හා දන්ත වෛද්‍යවරුන්ගෙන් එක් අයෙක්, සහකාර වෛද්‍ය නිලධාරීන්ගෙන් එක් අයෙක් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් මෙයට සම්බන්ධ වෙනවා. මේ අනුව සෞඛ්‍ය ඇමති නියෝජනය කරමින් සාමාජිකයන් 06ක් ඉන්නවා.

වෛද්‍ය සභාව ස්වාධීනද?

වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් විය යුතුව තියෙනවා. ඒත් වෛද්‍ය සභාවේ කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතිවෙලා තියෙන්නේ රටට නිදහස ලැබීමට කලින්. ඒ අවස්ථාවේ මේක හදපු අය නොසිතන්න ඇති සෞඛ්‍ය ඇමැතිවරයා මේ ආකාරයට වෛද්‍ය සභාව අපහරණය කරයි කියලා.
ඒත් දැන් සිදුවෙමින් තියෙන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට අත පොවමින් සිටීමයි. මෙය බරපතළ කාරණයක්.

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීම

වසර ගණනාවක් සයිටම් ආයතනයට විරුද්ධව රට තුළ අරගලයක් තිබුණා. කොහොම වුණත් පසුගිය වසරේදී මෙම අරගලය ජයග්‍රහණය කළා. එතනදී අපි සයිටම් ශිෂ්‍යයන්ටත් විසඳුමක් ලබා දෙමින් මෙය විසඳන ලෙසට යෝජනා කරලා තිබුණා. මෙතැනදී වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය යෝජනා 04ක් ඉදිරිපත් කළා. මෙම යෝජනා අතර තිබූ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේ යෝජනාව රජය තෝරා ගත්තා. අපි හැම තිස්සේම කිව්වේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කරමින් හැමදෙයක්ම වෙන්න ඕන කියලායි.

රජයේ වෛද්‍ය පීඨ අංග සම්පූර්ණද

අපිට තවමත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කර ගන්න බැරිව දඟලනවා. දැනට අපි කටයුතු කරන්නේ වෛද්‍ය සභාවේ මගපෙන්වීම යටතේ. මේ අනුව වෛද්‍ය සභාවේ නිර්ණායක මත අවම ප්‍රමිතීන් ආරක්ෂා කර ගනිමින් හොඳ වෛද්‍යවරයෙකු බිහි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිතිගත වෛද්‍යවරුන් බිහි වෙනවා.
ඒක නිසා තමයි අපි කියන්නේ ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙන සබරගමුව හා වයඹ වෛද්‍ය පීඨ පටන් ගන්නකොට ඒවාට අවශ්‍ය පහසුකම් මුලින්ම ලබාදෙන්න කියලා. මෙම වෛද්‍ය පීඨ දෙකක් කඩිනමින් ආරම්භ කළ යුතුයි. වෛද්‍ය පීඨ දෙකට ළමයින් කිහිප දෙනෙකු බඳවාගෙන සිටිනවා. අපේ රටේ හැම ආණ්ඩුවක්ම කටයුතු කළේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවශ්‍ය දේවල් කරන්න. ඔවුන් ප්‍රමිතියෙන් යුතු දේවල් හදාගන්න පෙනී සිටියේ නැහැ.

පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ තත්ත්වය

අප රටට විශේෂඥ වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් අවශ්‍යයි. සෞඛ්‍ය ඇමැතිවරයාත් කියනවා විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීම වැඩි කරනවා කියලා. හැබැයි එහෙම කියලා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට බඳවා ගන්න ප්‍රමාණය පදනමකින් තොරව අඩු කරනවා. මේ සඳහා කොහේවත් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුත් උපදෙස් ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය ඇමැතිවරයා රට පුරා ගිහිල්ලා කියනවා විශේෂඥ වෛද්‍යවරුන් බිහි කරනවා කියලා. ඒ වගේම බැලුවම එළියේදී පේනවා විශේෂඥ වෛද්‍යවරුන් බිහි කරලා රටේ ජනතාවට විශාල සේවයක් කරන්න හදනවා කියලා. හැබැයි ඇත්ත තත්ත්වය තමයි විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීම සීමා කිරීම. 

වෛද්‍ය උසස්වීම් ගැටලු

තිබුණු සේවා ව්‍යවස්ථාවේ වෙනසක් කරලා අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ලැබෙන උසස්වීම් ආකාරයට වෛද්‍යවරුන් වෙනුවෙන් පටිපාටියක් සකස් කළා. ඒ යටතේ වැටුප් තලවල පිහිටුවීමට කටයුතු කළා. ඒත් ඒක ඉදිරියට ගෙනයෑම නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. මේ හරහා උසස්වීම් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මේකට එක් හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ඇමති කියන එක නොකර වෙනත් දේවල් කිරීමයි.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ගැටලු

අපි දිගටම කියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා නොවෙයි. අපි කියන්නේ 2006 වසරේ සකස් කළ වැටුප් ප්‍රතිපත්තිය බිඳ වට්ටන්න එපා කියලායි. මොකද 2006 වසරේ සකස් කළ ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව වැටුප් සම්බන්ධ අරගල ගොඩක් අඩු වුණා. ඒත් මේ වන විට එම ප්‍රතිපත්තිය බිඳ වට්ටමින් ඉන්නවා. මොකද එක් එක් ක්ෂේත්‍රවලට වැටුප් වැඩි කිරීම සිදු කරමින් තිබෙනවා. මේ නිසා තමන්ගේ සේවාවට වැටුප් වැඩි කරගන්න ඒ ඒ කාණ්ඩවල අය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. මේක දේශපාලනඥයන්ගේ උප්පරවැටියක්. මොකද මේ ක්‍රමය හරහා වෘත්තීය සමිති බෙදා වෙන් කිරීමකට ලක් වෙනවා. මේකෙන් වෙන්නේ සමස්ත රාජ්‍ය සේවයම දුර්වල වීමයි.

ඖෂධ හිඟය

රට තුළ ඖෂධ හිඟයක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය ඇමැතිවරයා කියන්නේ ඔහුගේ ලැප්ටොප් පරිගණයකට ඔක්කොම පේනවා කියලායි. හැබැයි ඇමතිතුමාගේ පරිගණකයට නොපෙනෙන දේවල් තියෙනවා. සමහර වෙලාවට මේ වගේ තොරතුරු ඇමතිතුමාගේ පරිගණකයට දෙන් නැද්ද කියලාත් හිතනවා. එහෙම නැත්නම් පරිගණකයේ මොකක් හරි දෝෂයක්ද දන්නේ නැහැ. කොහොම වුණත් ඇමතිතුමාට ඖෂධ හිඟය ගැන තොරතුරු එන්නෑ වගේ. ඒත් රෝහලක් ගාවට ගිහින් රෝගියෙකුගෙන් ඇහැව්ව නම් කොච්චර ඖෂධ මුදලට ගන්න වෙනවද කියලා දැන ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් කරමින් තියෙන්නේ ඒ ප්‍රතිපත්තියේ කෑල්ලක් ක්‍රියාත්මක කරලා මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා කියන එකයි. ඒත් ප්‍රතිපත්තියේ කොටසක් ක්‍රියාත්මක කරලා රෝගී ජනතාවට සාධාරණයක් ඉටු කරන්න බැහැ.

ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීම

ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීම අනුමත කරන්නේ නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයාත් කියනවා තහනම ලිහිල් කරපු එක වැරදි කියලා. මෙතැනදී කියන්න ඕන ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවාද, නැද්ද කියලා සොයා බලන කමිටුවේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ නියෝජිතයෙකු ඉන්නවා. දේශපාලනඥයන් රටට ජනතාවට ආදරය කරනවා නම් තමන්ගේ ඇමතිකම පරදුවට තබලා වැඩකටයුතු කරන්න ඕන. ඒත් ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීම ගැන ඇමැතිතුමා කලබල වුණේ නැහැ. ග්ලයිෆොසේට් තහනම ලිහිල් කිරීමට විරුද්ධ නම් සෞඛ්‍ය ඇමතිවරයා රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වල මහ පාරට එන්න ඕන. හැබැයි අපේ සංගමය රටක් ජනතාවත් බේරා ගැනීමට මහපාරට බැහැල ඉන්නේ.
ග්ලයිෆොසේට් හොඳයි කියන දේශපාලනඥයන් තමන් කනබොන දේවල්වලට ඒවා භාවිත කළාට කමක් නැහැ. හැබැයි අපි ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම

මේ ගිවිසුම හරහා රට අනතුරකට ලක් වෙනවා. මෙතැනදී ලංකාවේ ප්‍රථම වතාවට මේ රටේ සේවාවන් විදේශිකයන්ට විවෘත වෙනවා. මීට පෙරත් යම් යම් සේවාවන් විවෘත වෙලා තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම සිදුවුණේ නීති පද්ධතියකට යටත්ව. ඒත් මේ ගිවිසුම හරහා ඒ දේවල් ඉවත් වෙලා තියෙනවා. එතකොට විදේශ රටවලින් පැමිණෙන සේවා සපයන්නන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

වෙළෙඳ ගිවිසුම අත්සන් කළ යුත්තේ රට තුළ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තීන් ඇති කරලා. ඒත් මේ රටේ ඇමතිවරයෙකු හා සුළු කල්ලියක් එකතුවෙලා හොර රහසේ ගිවිසුම අත්සන් කළා. හොයලා බැලුවම තහවුරු වෙනවා මෙම ගිවිසුමට කැබිනට් අනුමැතියවත් හිමිවෙලා නැහැ කියලා. පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් කළේ ගිවිසුම අත්සන් කරලා. මෙහි පළ විපාක ඉදිරියේදී රටට විඳින්න වේවි.



Recommended Articles