රටේ පාලනයට මොකද වුණේ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් පහතින් දැක්වේ.


ලංකාවේ ජනාධිපතිගේ බලයට අභියෝග කරන්න බැහැ. මේක ජනාධිපති බලයක්. ඒක වෙනස් කරන්න ඕන මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මේ රටේ ජනාධිපතිවරණයකට පස්සේ ජනාධිපතිවරයෙක් පත්වූ විට අගමැතිවරයෙක් පත්කිරීම පළමුවෙන්ම සිදු කරනවා. ඊට පෙර කථානායකවරයා පත්කිරීම සිදුවෙන්නෑ. රටේ අගමැතිවරයා පත්වුණාට පස්සේ පාර්ලිමේන්තුව රැස්වෙලා කථානායකවරයා පත්කර ගන්නෙ. ජනාධිපතිවරයා අගමැති පත්කළාට පස්සේ කථානායකවරයා විසින් අගමැති ගැන ප්‍රශ්න කරන සම්ප්‍රදායක් නැහැ. අගමැතිවරයා පත් වුණාට පසුව පාර්ලිමේන්තුවට ගිහින් කථානායකවරයා පත්කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඒක බහුතරයක් දෙනා සමග සාකච්ඡා කර තීරණය කරනවා. සමහර විට කථානායකවරයා නිතරගයෙන් පත්වෙන්නත් පුළුවන්. සමහර විට ඡන්දයෙන් පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා අගමැතිවරයා පත්කිරීම සම්බන්ධ ගැටලුව එතැනින්ම විසඳී තිබෙනවා. අගමැති පත්කිරීමේ බලය තියෙන්නේ කාටද කියලා ඉන් පැහැදිලියි. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල අනුව ඒක ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් පසුගිය කාලයේ මාධ්‍යවල ප්‍රකාශ වුණා. ඒ ගැන විවිධ දේවල් කතා කරන්න ගත්තා. නමුත් මෙය තමයි නීත්‍යනුකූල තත්ත්වය. බලය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. කවුරුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැහැ. මේ රටේ ඕනෑම ප්‍රශ්නයක් තිබුණා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. හැබැයි අගමැතිතුමා පත්කිරීම ගැන කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැහැ. එකම පුද්ගලයෙක් ගියා මානව හිමිකම් පිළිබඳ විමසීමට. ඒකෙදිත් ඉතාම පැහැදිලිව කියනවා ජනාධිපතිවරයාගේ තීන්දු ගැන කතා කරන්න බැහැ කියලා. අපේ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් අරගෙන ඉදිරියට කටයුතු කරගෙන යනවා.

දැනට ඉන්න කථානායකවරයා ගත් තීන්දු පිළිබඳ අපට කනගාටුවක් තිබෙනවා. සිරිකොතේ කථානායකවරයෙක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වෙලා පාර්ලිමේන්තු බලය අපට නැති අවස්ථාවේ, එක ඡන්දයක් තිබෙන වෙලාවේ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා බවට පත්වුණා. එතුමා පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කළා. පසුගිය කාලපරිඡේදය ඇතු‍ළත ජනාධිපතිවරු රාශියක් යටතේ පාර්ලිමේන්තුව කල් දාලා තිබෙනවා. කිසිම කථානායකවරයෙක් කල් දාන එක ගැන ප්‍රශ්න ඇහුවේ නැහැ. ඒක ජනාධිපතිවරයාගේ බලයක්. එක් අවස්ථාවකදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මාස දෙකක් කල් දැම්මා. 05 වැනිදාට තිබුණු පාර්ලිමේන්තුව 16 වැනිදා දක්වා කල් දැමූ විට ඒ ගැන ප්‍රශ්න අහන්න කථානායකවරයාට දවස් 11 ගැන තිබුණු ප්‍රශ්නය මොකද්ද? අපි පාර්ලිමේන්තුව කල් දාලා වාරාවසාන කර තිබෙනවා. පාර්ලිමේන්තුව දෙසැම්බර් මාසයේ මාසයකට ආසන්න කාලයක් කල් දානවා. අයවැයෙන් පසුව ස්වභාවයෙන්ම පාර්ලිමේන්තුවට එම කාලයේ නිවාඩු දෙනවා. මේ දින 11 මහා ලොකු ප්‍රශ්න විසඳන්න තිබුණේ නැහැ. මේ දින 11 මහා ලොකු ගැටලුවක් පාර්ලිමේන්තුව තුළ තිබුණේ නැහැ. රටේ තිබුණෙත් නැහැ. ඒකට මේ අය උනන්දු වුණේ ඇයි? කථානායකතුමා ජර්මනියේ තානාපති වෙලා හිටියා, කොළඹ මහනගරාධිපති වෙලා හිටියා, පළාත් සභා හා පළාත් පාලන ඇමති වෙලා හිටියා. ඔය කොයි අවස්ථාවලදීත් විවිධ ජනාධිපතිවරු යටතේ තනතුරු දැරුවේ. ඒ කාලයේ පාර්ලිමේන්තුව කල් දාන වෙලාවේ කථානායකතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැහැ.

ලෝකයේ විවිධ රටවල ව්‍යවස්ථා තිබෙනවා. එංගලන්තයේ ව්‍යවස්ථාවක් නැහැ. එංගලන්තයේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ තමයි මේක හදන්නේ. හැබැයි ලෝකයේ බටහිර රටවල් තේරුම්ගත යුතුයි ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් බව. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තියෙන රටවල් ගැන හිතලා ලංකාවේ ජනාධිපතිගේ බලයට අභියෝග කරන්න බැහැ. මේක ජනාධිපති බලයක්. ඒක වෙනස් කරන්න ඕන මිනිස්සු. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම  කිව්වේ සීමාවක් දක්වා පමණක් ජනාධිපතිවරයාගේ බලතල අඩුකළ හැකි බව. ඉන් එහාට බලතලයක් අඩු කරන්න අයිතියක් නැහැ. ඒ අයිතිය තිබෙන්නේ ජනතාවට. ඒක ජනමත විචාරණයකින් අහන්න ඕන. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය අපට කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව ක්‍රියා කළේ. ජනාධිපතිගේ බලය සම්පූර්ණයෙන් අඩුකරන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨාධිරණය කිව්වේ නැහැ. ඒක කරන්න බැහැ කිව්වා. ජනතාවගෙන් පත්වෙන ජනාධිපතිවරයාට විධායක බලයක් දීලා තිබෙනවා. ඒ බලය පිළිබඳ අභියෝග කරන කොට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ගැන කල්පනා කරලා අභියෝග කරන්න බැහැ. ලංකාව සහ තවත් රටවල් කිහිපයක ජනාධිපති ක්‍රම තිබෙනවා.

රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සිටියදී ජනාධිපතිවරණයකට යන්න බැහැ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ ඇමති ලෙස දිවුරුම් දුන් සුසිල් ප්‍රේම්ජයන්ත්

අපි පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවන විට වර්තමාන ආණ්ඩුවට තිබෙන ශක්තිය පෙන්වීම සඳහා විශ්වාසයෙන් යුතුව කටයුතු කරගෙන යනවා. ඒක අපට කරන්න පුළුවන්. 07 වැනිදා පැවැති කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඉතාම පැහැදිලිව සඳහන් කළේ ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තුවේ සහාය ඇතිව මේ රට ඉස්සරහට ගෙනියන බවයි. පසුගිය කාලසීමාව තුළදී විවිධ අවස්ථාවල රටේ අරාජික තත්ත්වයන් ඇතිවුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයාට තියෙන බලය තමයි අග්‍රාමාත්‍යවරයාටත්, ඇමති මණ්ඩලයටත් විෂයයන් හැටියට භාර දෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ උදවිය ජාත්‍යන්තරයට, තානාපතිවරුන්ට කරුණු දක්වන්නෙ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන බව‍ටයි. වෙස්ට්මිනිස්ටර් ආකෘතිය වෙනස් කළේ ඒ අයගේ පක්‍ෂයේ හිටපු නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1978දී. 19 වැනි සංශෝධනය හරහා වුණේ එම විධායක බලයේ යම් ප්‍රමාණයක් අඩුවීමක් පමණයි.

ආණ්ඩ්‍රක්‍රමය ව්‍යවස්ථාව අනුව රජයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති. 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් වී නැහැ. විධායක ජනාධිපතිවරයාට නිල වශයෙන් තව අවුරුද්දයි මාස දෙකක් තිබෙනවා. ඒ කියන්නේ 2020 ජනවාරි 08 දක්වා. මේ විධායක ජනාධිපතිවරයාට ඊළඟ අවුරුද්දයි මාස දෙක දක්වා රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කරන්න බැරි නම්, ප්‍රතිපත්තිමය ගැළපීමක් නැත්නම් ගන්න තියෙන විකල්පය කුමක්ද? ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා එක්සත් ජාතික පක්‍ෂයේ අනෙකුත් නායකයන්ට ඒ සඳහා ආරාධනා සිදුකළ බව. ඒ අය ඒක භාරගත්තේ නැහැ. එහෙමනම් ඊළඟ විකල්පයට යන්න ඕන. කාටහරි කියන්න පුළුවන්ද ජනාධිපතිවරණයක් තියන්න කියලා. එහෙම ජනාධිපතිවරණයක් තියන්න බැහැ. රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සිටියදී ජනාධිපතිවරණයකට යන්න බැහැ. 1978 ආකෘතියෙන් හදපු ආකෘතිය විධායක ජනාධිපති ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක්. මේක බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව තිබූ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් වෙනස් වූ ආණ්ඩු ක්‍රමයක්. මේක මූලික වශයෙන් අපි තේරුම්ගත යුතුයි. එහෙමනම් ජනාධිපතිවරයා ඊළඟට ගන්න පුළුවන් විකල්පය අරන් තිබෙනවා.

නිල නොවන වශයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කථානායකවරයා පිළිගෙන තිබෙනවා අගමැතිවරයා පත්කිරීමේ ගැසට් නිවේදනය. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නීතිඥ මහත්මයෙක්. එතැනදී පැහැදිලිව නීතිපතිවරයා පාර්ලිමේන්තුව කල්දැමීමට තිබෙන ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයාට තිබෙන නෛසර්ගික බලය පිළිබඳ ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව ඒ නඩුව පසෙක තබා තිබෙනවා. ඒ අනුව අද ගැසට් පත්‍ර දෙකම නීත්‍යනුකූලයි, ව්‍යවස්ථානුකූලයි. ඒ අනුව නව ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඇමති මණ්ඩලය විසුරුවා ගිය වහාම ඒවාට තිබෙන්නා වූ විෂයයන් සියල්ල ජනාධිපතිවරයාට යනවා. ඊට පසුව ජනාධිපතිවරයා නැවත විෂයයන් හැටියට කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය ඇමතිවරුන් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව පත් කරනවා. ඒ කටයුතු කෙරීගෙන යනවා. ඊළඟ දින දෙක තුන ඇතුළත මේ කටයුතු අවසන් වෙනවා. රාජ්‍යයේ කළමනාකරණය අවශ්‍ය පරිදි පවත්වාගෙන යනවා. කිසි කෙනෙකුට රට අරාජික වෙනවා කියන කාරණය කියන්න බැහැ. රට අරාජික වුණේ පසුගිය ජනවාරි 08 වැනිදා. ජනතාව ඡන්ද දීලා ගත්තු තීන්දුවෙන් පස්සේ මාස කිහිපයක් රටේ දේශපාලන ක්‍ෂේත්‍රය වියවුල් තත්ත්වයකට පත්වුණා. දැන් අදත් එවැනි තත්ත්වයක් මතු කරන්න සමහරු උත්සාහ කරනවා. රට අරාජික කරන්න උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් නෙමෙයි, ඒ තනතුරු අහිමි වුණු පිරිස්. ඒ තනතුරු නැවත ලබා ගැනීම සඳහා විවිධ අර්ථනිරූපණ දෙමින් තමන්ට වාසි වන ආකාරයට කටයුතු කරනවා.

ප්‍රගතිශීලී කඳවුරේ පක්‍ෂ සියල්ලම පාහේ  මේ වන විට ආණ්ඩුව සමග එකතු වී අවසන්. කඳුකර ප්‍රදේශයේ ආරුමුගම් තොණ්ඩමන් මහතා එකතු වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ආයතන 13න්, 11ක් පාලනය හිමිකර ගෙන තියෙන්නේ ඔහුගේ පක්‍ෂය. හිස්බුල්ලා වැනි අයගේ කාත්තන්කුඩි සියලුම කොට්ඨාස ජයග්‍රහණය කළා. අතාවුල්ලා මහතාගේ අක්කරේපත්තු නගර සභා දෙකම ජයග්‍රහණය කළා. දේශපාලන වශයෙන් උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර ප්‍රදේශ දෙකම ආවරණය වන පරිදි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්ව දෙකම එකතු වීම තුළින් මේ රටේ ඡන්ද දායකයන්ගෙන් 56෴ක නියෝජනයක් තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණය අනුව ලක්‍ෂ 65ක පමණ ඡන්ද ප්‍රමාණයක් එය. අනෙකුත් පැත්තට තියෙන්නේ ලක්‍ෂ 36ක් පමණයි. ජනමතය ගැන කතා කරනවා නම් අපේ පැත්තට වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා.

අවුරුදු තුනක් යනකම් රනිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක්වත් කිව්වේ නැහැ. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ ගහලා පැන්නුවාට පස්සෙ  පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ප්‍රජාතන්ත්‍රවාදය ගැන රටේ කතාබහ පැතිරී යද්දී ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව පොත්වල ලියවී තිබෙන සංකල්පවලට සම්පූර්ණයෙන්ම පටහැණි දෙයක්  භූමියේ සිදු වෙමින් යනවා. කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, බහුතරයේ කැමැත්ත, ජනතාවගේ කැමැත්ත මත නියෝජිතයන් තෝරාපත් කර ගැනීම වැනි මාතෘකා තමයි. හැබැයි හැමදාම රෑට මාධ්‍යවලින් පෙන්වන්නේ මන්ත්‍රීවරුන්ගේ පීලිපැනීම්, අරලියගහ මන්දිරයේ කතා කරමින් සිටි අය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇමතිවරු ලෙස දිවුරුම් දීම්, ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ  පැත්තට පනින ආකාරය ගැන තමයි. කොයි පැත්තට පැන්නත් මුදල් පිළිබඳ කාරණා තිබෙන බව පැහැදිලියි. මේවා කිසිවක් දේශපාලන ප්‍රතිපත්ති මත තීරණය වෙන ඒවා නෙමෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද ඇතිවෙලා තිබෙන සාකච්ඡාව 2015දීත් ආවා. එම සාකච්ඡාව ආවේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබුණු ප්‍රශ්න එක්ක බද්ධ වෙලා නෙමෙයි. රටේ ජනතාවට ආර්ථිකයේ ප්‍රශ්න, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්න, සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණා.ප්‍රශ්න සම්බන්ධව ජනතාවගේ උද්ඝෝෂණ දියත් වෙමින් තිබුණා. 2010-2015 අතර තිබුණු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ පෞද්ගලික අංශයේ කම්කරුවන් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත ගැන අරගල කළා. එම අරගලයේදී රොෂේන් චානකට වෙඩි තියලා මැරුවා. ඔවුන් කිව්වේ විශ්‍රාම වැටුප් පනත හරහා ඊ.ටී.එෆ්. එක උදුර ගන්න එපා කියලා. එතන කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ධීවරයෝ තමන්ගේ ධීවර කර්මාන්තයට හිමි වරප්‍රසාද, අයිතීන් ලබා ගැනීමට උද්ඝෝෂණය කළා. ඇන්තනී කියන ධීවර සහෝදරයාව වෙඩි තියලා මරලා දැම්මා. නමුත් අරගලය ඉදිරියට ගියා. ධීවරයෝ ඉල්ලුවේ ආර්ථික ක්‍ෂේත්‍රයේ තමන්ගේ අයිතීන්. ශිෂ්‍යයො අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න එපා කියලා පාගමන් ගියා.

පේරා‍ෙදණියේ ඉඳලා කොළඹට ආපු පාගමනේදී යක්කල, ඉඹුල්ගොඩදී රිය අනතුරක් ලෙස මවාපාපු අනතුරකින් ජනක සහ සිසිත කියන ශිෂ්‍යයන් දෙදෙනා මියගියා. රතුපස්වල තමන්ගේ පානීය ජල අයිතිය වෙනුවෙන් අරලගල කළ ජනතාවට වෙඩි තැබුවා. මේ ආකාරයට ජනතාවගේ පැත්තෙන් ආපු උද්ඝෝෂණ මර්දනය කළා. පීඩාවට පත්වෙලා සිටි ජනතාවගේ උද්ඝෝෂණවල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉල්ලීම් තිබුණා. 2015 දී මෛත්‍රී - රනිල් විසින් එම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ඉතා නරක ලෙස කප්පාදු කළා. ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් දැම්මා. ජනතාව ඉල්ලමින් සිටි අයිතිය ලබා දුන්නේ නැහැ. ආර්ථිකයේත් නව ලිබරල් ක්‍රමයට විරුද්ධව උද්ඝෝෂණ ඇතිවෙමින් තිබුණා. මේ ඉල්ලීම් සම්පූර්ණයෙන් අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රධාන සටන් පාඨය බවට ගෙන ආවා. ඒ වෙලාවේ අපි ගමේ සියලු පක්‍ෂ එකතු වෙලා දැරූ අදහස වුණේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන්ගේ සියලු අයිතිවාසිකම් සමග සම්බන්ධ බව. ජනතා හිතකාමී ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අපි කියා සිටියා. අපි එවෙලේ කිව්වේ එක ඒකාධිපතියෙක් එළවලා තව ඒකාධිපතියෙක් ගේන්න එපා කියලා. අපි එදා කිව්වේ මුහුණුමාරුව එපා ප්‍රතිපත්තිය මාරු කරන්න කියලා. මහින්ද වෙනුවට මෛත්‍රී ගෙනාවට පසුව මහින්දගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවා නම් මෛත්‍රී ඒකාධිපතියෙක් බවට පත්වෙන බව අප පෙන්වා දුන්නා. රනිල් ගෙනියන්නේ මහින්දගේ ප්‍රතිපත්තියම නම්, රනිල් ඒකාධිපතියෙක් බවට පත්වෙනවා. නමුත් සැලකිය යුතු ජනතාවක් තීරණය කළා මුහුණු මාරු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි බව. නමුත් 2018 නැවත එම මාතෘකාව වේදිකාවල සාකච්ඡා වෙමින් තිබෙනවා. එදා නැවතුණු තැන සිට එම සාකච්ඡාව ආරම්භ වී තිබෙන්නෙ. මේ අය කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැනද කියන්නෙ. අවුරුදු තුනක් යනකම් රනිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක්වත් කිව්වේ නැහැ. කටවහගෙන හිටියා. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ ගහලා පැන්නුවාට පස්සෙ.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මැදිහත් වෙලා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත කියන ඇඟිලි සලකුණු පනත ගෙනැල්ලා පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු අරගෙන, දත්ත ගබඩාවකට දාලා පුරවැසියන් ගැන ඔත්තු බලන පනත ගේන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ගමන් ඊට වඩා භායානක ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනාවා. දේශපාලන සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන කියලා තහනම් කරන්න එම පනතින් යෝජනා කර තිබුණා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් කියලා රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ගෝලබාලයෝ කිව්වේ නැහැ. පළාත් පාලන මැතිවරණය කල්දාද්දි, පළාත් සභා මැතිවරණය කල්දාන්න අනපනත් සම්මත කරද්දි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය කාටවත් දැනුණේ නැහැ. අපේ රටේ ජනතාවට බලපාන ප්‍රශ්න මේ අයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න නෙමෙයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න කියන්නෙ පාලක පන්තියේ පන්තියේ ප්‍රශ්න. ජනාධිපති විසින් විධායක බලය පාවිච්චි කර රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහිමි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයිලු. හැබැයි විශ්වවිද්‍යාල අන්‍යධයන සේවකයන් වැඩවර්ජනය කරද්දී, තැපැල් සේවකයෝ වැඩවර්ජනය කරද්දී ජනාධිපති විධායක බලය පාවිච්චි කරලා මහජන ආරක්‍ෂක පනත යටතේ අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත් කරලා වැඩවර්ජන කඩාකප්පල් කරන වෙලාවේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා ගොඩක් අයට පෙනුණේ නැහැ. 



Recommended Articles