මෙලෙස එක්දිනක් හෝ රටේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමෙන් රටේ ආර්ථික ක්‍රියාවලියට කුමන වක්‍රාකාර බලපෑමක් සිදු වන්නේද යන්න පිළිබඳ අප කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතාගෙන් විමසිමක් කළෙමු.
බොහෝ වෙලාවට මෙම වැඩවර්ජන සිදු කිරීම හරහා රටේ නිෂ්පාදනය කඩාවැටීමකට ලක්වීම කියන දේ සාමාන්‍යයෙන් ඍජුවම සිදුවන දෙයක්. නමුත් මෙම වැඩවර්ජන සිදුකිරීම හරහා වක්‍රාකාරව සිදුවන මූලිකම දේ වන්නේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමක්. ඊට හේතුව වන්නේ, ඒ අදාළ කාර්ය නිසි ලෙස ඉටු නොවුණහොත් එම කාර්යය වෙනත් ආකාරයකින් සිදු කිරීමට යෑමෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවීමයි. මෙය උදාහරණයකින් ගතහොත් අපට ගමනක් යෑමට බස් රථයක් හෝ නොමැති වුවහොත් අපට පෞද්ගලිකව හෝ වාහනයක් රැගෙන යෑමට සිදුවෙනවා. මෙය නිෂ්පාදකයන්ටද මේ හා සාමානව බලපාන දෙයක්. ඔවුන්ට වැඩවර්ජනය නිසා අහිමි වන ප්‍රවාහනය, නිෂ්පාදන අමුද්‍රව්‍ය මිලදී ගැනීමක් හෝ වෙනත් කුමන හෝ සේවාවක් පවතින ක්‍රමයෙන් තොරව වෙනත් ක්‍රමයකින් ලබාගැනීමට සිදුවීම හරහා එහි නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමක් සිදු වෙනවා. අනෙක් කාරණාව වන්නේ, ඵලදායිතාව පහළ යෑමක් සිදුවීමයි.
මෙය ඵලදායිතාව පහළ යෑමට බලපාන්නේ, නැවත වරක් වැඩවර්ජනය සිදුකරන තිබෙන අංශයන් විසින් ලබාදෙන සේවාව ඒ අාකාරයෙන්ම නොලැබෙන විට කරන්නට තිබෙන රාජකාරි ඒ දවස තුළ හෝ ඒ කාල සීමාව තුළ සිදු නොකිරීම තුළින් පහළට ගමන් කිරීමක් සිදුවීමයි. අපි වැඩවර්ජනයක් නිසා විදුලිය විසන්ධි වීමක් ගත්තොත් ඒ විදුලිය නොමැති වීමෙන් බෝහෝ වැඩ කොටසක් ඒ දිනයේදී සිදුකරගත නොහැකි වීමෙන් ගැටලු රැසක් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා ඵලදායිතාව පහළ වැටීමකට ලක් වෙනවා. අනෙක් අතින් මේ කාරණාව දුප්පත්කමටද බලපානු ලබනවා. මිනිසුන්ගේ ආදායම් උත්පාදන අවස්ථාවන් අහිමි වී යාමෙන් එය දුප්පත්කමට බලපාන කරුණක් වෙනවා. උදාහරණයක් ලෙස ගුරුවරුන්ගේ වැඩවර්ජනය සැලකුවොත් පාසල් ආශ්‍රිතව පිහිටා තිබෙන කඩසාප්පුවලට ආදායම් මාර්ග අහිමි වෙනවා. පාරවල් අසල බත් පැකට් එක විකුණන පුද්ගලයට අදායම් මාර්ගය අහිමි වෙනවා. ඒ නිසා වක්‍රාකාරව රට තුළ දුප්පත්කම ඇති වෙන්නත් වැඩවර්ජන කියන කාරණය හේතු වෙනවා.
වැඩවර්ජන නිසා විශාල බලපෑමක් සිදුවන කරුණක් වන්නේ, උද්ධමනයටයි. වැඩවර්ජන නිසා සැපයුම් අංශය අඩාළ වීමෙන් භාණ්ඩ වෙළෙඳ පොළට නොපැමිණීම මෙන්ම පාරිභෝගිකයන් වෙළෙඳ පොළට නොපැමිණීම කියන කාරණාවන්ගේ වෙනස්කම් එක්ක මෙම උද්ධමනය තීරණය වීමක් සිද්ධ වෙනවා. මේ සඳහා මූලිකවම බලපානු ලබන්නේ මේ වැඩවර්ජන කොච්චර කාලයක් පවතිනවද? මොන අංශයන්හිද මෙම වැඩවර්ජනයන් සිද්ධ වෙන්නේ යන සාධක මත මෙය තීරණය වීමක් සිද්ධ වෙනවා. මෙය උද්ධමනයට සේම සේවා වියුක්තියටත් වක්‍රාකාරයෙන් බලපෑමක් එල්ල වෙනවා. මන්ද දිගින් දිගටම වැඩවර්ජන සිදුකිරීම තුළින් විදෙස් ආයෝජකයන් මෙරටට පැමිණීමේ අඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම සිටින පිරිස් අායෝජනයන් සිදුකිරීමට පෙලඹිමක් දක්නට ලැබෙන්නේත් නෑ. මේ නිසා රැකියා උත්පාදනයන් සිදු නොවේ. උදාහරණයක් ලෙස අප්‍රේල් 28වැනිදා තිබුණ වැඩවර්ජනය ගත්තත් ඊට පෙර තිබෙන වැඩවර්ජන සලකා බැලුවත් සාමාන්‍යයෙන් වැඩවර්ජන ලංකාවේ අවුරුද්දකට 40ක් 50ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය පෞද්ගලික අංශය තුළ සිදුවන දෙයක්. රාජ්‍ය අංශයට අදාළව ගත්තොත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය යන අංශයන් තුළ වැඩවර්ජන නිතර සිදුවෙනවා. පසුගිය වසරවල් කිහිපය සැලකුවොත් වැඩවර්ජන නිසා වැඩ කරන දින 40,000ක් පමණ ආර්ථිකයට අහිමි වීමක් සිදු වුණා.
2020 වර්ෂයේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ තත්ත්වයේ යම් අඩුවක් අපට දක්නට ලැබුණා. මේ නිසා විදේශීය ආයෝජකයන් නොපැමිණීම මෙන්ම දේශීය ආයෝජකයන් තමන්ගේ ආයෝජනයන් පුළුල් කිරීමක් සිද්ධ කරන්නේ නෑ. මේ නිසා වැඩවර්ජන කියන දේවල් ලංකාව වගේ රටවලට දැඩි බරපතළ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස සේවා වියුක්ති තත්ත්වයන් රට තුළ ඇති වීමක් සිද්ධ වෙනවා. මේ නිසා බහුල ලෙස තමන්ගේ රට හැර දමා වෙනත් රටවලට රැකියාවන් සොයාගෙන යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, මේ වැඩවර්ජන හා වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ගයන්ගේ අතුරු ප්‍රතිඵලයකි.
වැඩවර්ජන නිසා බලපෑම් එල්ල කරන තවත් අංශයක් ලෙස පෙන්වාදිය හැක්කේ, මානව ප්‍රාග්ධනයට සිදුවන බලපෑමයි. උදාහරණයක් ලෙස පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් සිදුකළ වැඩ වර්ජනය හේතුවීමක් සිදු වුණා. ඒ කාල සීමාව තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශාල ලෙස කඩාවැටීමකට ලක්වීමට. ඒ වගේම රෝහල්වල වෛද්‍යවරුන් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් මානව ප්‍රාග්ධනයේ කොටසක් ලෙස සැලකෙන මිනිසුන්ගේ සෞඛ්‍ය දැඩි පිරිහීමට ලක් වීමක් සිදුවන බවද පෙන්වාදිය හැකිය. එමෙන්ම ආර්ථිකයේ තරගකාරීත්වයට සිදුවන බලපෑමත් අපට එක් පැත්තකින් පෙන්වාදිය හැකි. විශේෂයෙන් අපනයන සඳහා විශාල ලෙස මේ තරගකාරීත්වය කියන දේ හේතු වෙනවා.
එම නිසා ආර්ථික තරගකාරීත්වය පහළ යන්නත් මේ වැඩවර්ජන හේතු වෙන බව පෙන්වාදිය හැකිය. මේ නිසා මුලින් සඳහන් කළ පරිදි ඵලදායිතාව, කාර්යක්‍ෂමතාව පහළ වැටීමකට ලක්වීමක් මේ හරහා සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සේවා අංශයට මේ තත්ත්වය ඉතා අහිතකර අන්දමින් බලපෑමක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් සංචාරක ව්‍යාපාරය දැන් තිබෙන තත්ත්වයටත් වඩා අනාගතයේ සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුය. නමුත් අප නිතරම දකිනවා නම් දිග්ගැස්සුන වැඩවර්ජන තිබෙන රටක් එය සංචාරක ගමනාත්තයක් ලෙස සැලකෙන ලංකාවේ සංචාරය කිරීමට සංචාරකයන්ගේ පවතින කැමැත්ත අහිමි වී යාමට හේතු වෙනවා. අනෙක් අතට ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාවට අපනයන සඳහා ලබාදෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වී යාමක්ද සිදු වෙනු ඇත.
එසේම ජාත්‍යන්තර මට්ටමේ මිලදී ගන්නන් බියක් දක්වනවා අප රට තුළට අවශ්‍ය අපනයන ඉල්ලුම් ලබාදීමක් සිදුකිරීමට මන්ද වැඩවර්ජන සිදුකිරීම නිසා තමන් ලබාදෙන භාණ්ඩ ඉල්ලුම් නිසි වෙලාවට ලබාගත හැකිද යන්න පිළිබඳ ඔවුන් තුළ බියක් ඇති වෙනවා. ඒ නිසා අද තිබෙන නිෂ්පාදන පමණක් නොව අනාගතයට අදාළව නිෂ්පාදන කටයුතු අඩාළ වීමක් හා ලංකාවට ආර්ථිකමය වශයෙන් ලබාගත හැකිව තිබෙන වාසි අහිමි වීමක්ද මේ හරහා සිදුවනු ඇත. මෙවැනි කාරණාවන් පුළුල් ලෙස වැඩවර්ජන සිදුකිරීම හරහා රටට සිදුවන අහිතකර තත්ත්වයන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
එසේම මෙහි ධනාත්මක වශයෙන් සිදුවන වක්‍රාකාර බලපෑම සඳහන් කළොත් මේ වැඩවර්ජන තුළින් සාමූහිකත්වය, එකමුතුකම වර්ධන වීමක් සිදුවන බව පෙන්වා දෙන්න පුළුවන්. ඒ එකමුතුකම හරහා අදාළ ආයතනයේ නිෂ්පාදනය ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීමට බලපාන කාරණාවක් විය හැකි බව සඳහන් කරන්න පුළුවන්. මේ නිසා විය යුත්තේ වැඩවර්ජන හොඳද නරකද කියන දෙය සැලකීම නොව කළ යුත්තේ, වැඩවර්ජන සිදුවෙන තැනට සේවක අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වෘත්තීය සමිති හා සේවක පක්‍ෂය යහපත් අන්දමින් වැඩ කටයුතු සිදු කිරීමයි. මන්ද මෙහි ඍණාත්මක බලපෑම ආ විට එක් පැත්තෙන් නිෂ්පාදන ආයතනයටත් අනෙක් පැත්තෙන් සමස්ත ආර්ථිකයටත් ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන නිසා.