ප්‍රේමය පිළිබඳ උරුමය තරුණ පරපුරටම බාරදීම බොහෝ දෙනාගේ සිරිතයි. භද්‍ර යෞවනය හා ප්‍රේමය අතර විශාල සම්බන්ධයක් පැවතියද ප්‍රේමය යොවුන් වියට පමණක් උරුම දෙයක් නොවේ. එය අද උපදින දරුවාගේ සිට මරණාසන්නව ගිලන්හලෙහි සිටින මහල්ලා දක්වා සියලු දෙනාටම එකසේ පොදු අවශ්‍යතාවකි. අනිවාර්යයෙන් සපුරාලිය යුතු ජීවන කොන්දේසියකි.
රටක් ඉදිරියට යෑමේදී ආර්ථික කොන්දේසි මෙන්ම ප්‍රේමයද අත්‍යවශ්‍යය. මානව ගනුදෙනු මානවීය තත්ත්වයට ඔසවාලනුයේ ප්‍රේමය මගිනි. දූ දරු මාපිය සබඳතා මෙන්ම අඹ පෙම්වතුන් හා පෙම්වතියන්ගේ ආදරයද ශිෂ්ටාචාරය නැවත නැවත ගොඩනගයි. ශිෂ්ටාචාරයට නව හැඩතල සකසයි. දිරි වඩයි. අගයක් මවයි. අගයන් වෙනස් කරයි. අරගල මෙන්ම සමාදානයද ඒ ඔස්සේ නිර්මාණය වෙයි.
ලංකාවට ප්‍රේම කිරීම පිළිබඳ ඇත්තේ සුන්දර අතීතයකි. කුවේනිය රාජ්‍යය දුන්නේ විජය කෙරෙහි ප්‍රේමයෙන් මත්වෙමිනි. සාලිය සිහසුන අතහැර ගියේ අශෝකමාලා රාජ්‍යයට වඩා අගය කළ නිසාය. දස්කොන් දිවි පිදුවේ රහසිගත ආදරය නිසාය. රාවණා තමාගේ හිස් දහයම නැතිකර ගත්තේ පෙමින් උමතුවීමෙන්ය. තමාට නොලැබුණු ස්ත්‍රියක් වෙනුවෙන් රාවණා සිය හිස් දහයම දුන්නේ නම් තමාට ලැබුණු කතක් වෙනුවෙන් මගේ එක හිස ගියත් මොකද? යැයි හිස් ගැසුම් කෑමට යද්දී දස්කොන් ඇසූ බව ජනකවියා පවසයි.
මේ අතීත කතා සියල්ලම කියන තරමටම ඇත්ත නොවන්නට පුළුවන. මේවායේ නිශ්චිතවම අතිශයෝක්ති පිරී ඇත. කාව්‍යෝක්ති බහුලව ඇත. උපමා අලංකාරවලින් මේවා බරවී තිබේ. මක්නිසාදයත් මේවා රචනා කළේ කවියන් විසින් නිසාය. සාහිත්‍යකරුවන් කොහොමත් දෙයක් ලියන්නේ අතිශයෝක්තියෙනි. එහෙත් මෙහි එක් සත්‍යයක් තිබේ. එනම් ඕනෑම රටක ශිෂ්ටාචාරය ඉදිරියට ගමන් කිරීමේදී ප්‍රේමය කේන්ද්‍රීය සාධකයක් වන බවයි.
ප්‍රේමය තුළ නානාවිධ ආකාර තිබිය හැකිය. විෂම ලිංගික හා සමලිංගික ඒ අතර ප්‍රධාන ආකාර දෙකකි. සමලිංගික ප්‍රේමය පැවතීම ගැටලුවක් නොමැති වුවත් අතිබහුතර ප්‍රේමය නම් විෂම ලිංගික ප්‍රේමයමය. ලෝකයට ඉදිරියට ගෙනයන්නේ එමගිනි. ශිෂ්ටාචාරයේ ගමනට එයින් ලැබෙන ආලෝකය අතිවිශාලය. කොටින්ම කියතොත් ශිෂ්ටාචාරය ඉදිරියට ගෙනයන බලවේගය වන්නේ විෂම ලිංගික ප්‍රේමයයි. එය සමලිංගික විරෝධී අදහසක් ලෙස අර්ථකථනය කළ යුතු නොවේ.
ප්‍රේමය හා කාමය බොහෝවිට එකම කාසියක දෙපැත්තක් ලෙස ක්‍රියාත්මක විය හැකිය. ඇතැම් විරල සුවිශේෂ ආධ්‍යාත්මික ප්‍රේම සබඳතා පැවතිය හැකි නමුත් අතිබහුතර ප්‍රේම සබඳතාවල එක් ප්‍රබල පදනමක් ලෙස ක්‍රියාත්මක වන්නේ කායික සබඳතාවයි. ඇතැම්හු එය ආධ්‍යාත්මික තලයට වර්ධනය කරති. තවත් ඇතැම්හු එබදු වර්ධනයක් නොකිරීමට අපොහොසත් වෙති.
ඇතැම්හු ප්‍රේමය ඔස්සේ පවුල් තනති. තවත් ඇතැම්හු පවුල් නොතනති. නිල - නොනිල වශයෙන්ද පවුල් විශේධිතය. රටේ අනුගත නීතියට ලියාපදිංචි කිරීම හෝ නොකිරීම නිල - නොනිල භාවයේ පදනමයි.
ප්‍රේමය ගැන මේ තරම් කීමට සිදුවුණේ ලෝකයේ දියුණු රටවල් සමග සසඳා බලන විට අපේ රටේ ප්‍රේමයට ලබාදෙන තැන ඉතාමත්ම නරක යැයි පෙනී යන නිසාය. පුරවැසියාගේ පැත්තෙන් මෙන්ම ආණ්ඩුව පැත්තෙන්ද ආගමික සංස්ථාවලින්ද මේ අඩුපාඩුව සිදුවී තිබෙන බව කිව හැකිය. මෙය අපේ රටේ පවතින නොදියුණු තත්ත්වයකි. රටේ සංවර්ධනය මැනීමේදී ජනතාවගේ හිතේ තිබෙන සතුටද ප්‍රධාන මාපකයකි. සතුට මැනීමේදී ප්‍රේමය වැදගත් සංරචකයකි.
ප්‍රේම සංරචකයේ වඩාත් ඉහළ අගයකින් යුක්ත වීම සතුට නමැති මාපකය ඉහළට ගැනීමේදී අවශ්‍ය සාධකයකි. මේ අනුව ප්‍රේමය පිළිබඳ කාරණය රටේ සංවර්ධනය පිළිබඳ ඉහළින් සපුරාලිය යුතු වැදගත් සාධකයකි.
ප්‍රේමලතාවේ මල් පුබුදුවාලීමට නම් එය වැඩීමට සරු පසක් තිබිය යුතුය. ජලය, පොහොර, හිරු එළිය නිසි පරිදි ලබාදිය යුතුය. කොටින්ම කිවහොත් ප්‍රේමයට සරිලන පසුබිම් සාධක නිසිසේ ගළපාලිය යුතුය. එනම් ප්‍රේම සංස්කෘතියක් නිර්මාණය කළ යුතුය. ලංකාවේ තරුණ තරුණියන්ට පෙම් කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැත. ප්‍රේමය පිළිබඳ සමාජය තුළ නිසි ගෞරවයක් නොමැත. උද්‍යාන පහසුකම් අවමය. අවන්හල්වල, රෙස්ටුරන්ට්වල ලැබෙන සේවය හොඳ මට්ටමක නැත. ආහාරපාන, නවාතැන් පහසුකම්ද පෙම්වතුන්ව ගසා කන ආකාරයෙන් සංවිධානය කර තිබේ. ඒ එක් පැත්තකි.
තවත් පැත්තක් වන්නේ ප්‍රේමය පිළිබඳ වැඩිහිටියන් ප්‍රමුඛ සමාජයේ වගකිවයුත්තන් අතර තිබෙන පසුගාමී ආකල්පයන්ය. බොහෝ විට වැඩිහිටයන් තරුණ පෙම්වතුන්ට වෛර කරයි. එපමණක් නොවේ තමන්ටද වෛර කරයි. ඔවුන්ගේ ජීවිතයම වෛරයෙන් පිරී ඇත. ඒ වෛරය තවත් වෛර ගණනාවක් උපදවයි. මානසික රෝග නිපදවයි. සමාජය පුරා ගින්නක් මෙන් පැතීරී යයි. මෙය මුළු රටටම සාපයකි.
කුඩා කල නිසි පරිදි ප්‍රේමය නොලැබූවන් තරුණ වියට එළඹෙන්නේ දාමරික අපරාධකරුවන්ගේ විලාසයෙනි. නැතහොත් මන්ද බුද්ධිකයන්ගේ ස්වරූපයෙනි. ඔවුහු සමාජ සංස්ථාවටද, පවුල් සංස්ථාවටද ඇතුළු වන්නේ තමන් තුළ ඇති වෛරය පොදිබැඳ ගනිමිනි. ඉන්පසු බොහෝ දෙනාගේ ජීවිත ඛේදවාචකයක් බවට පත්වෙයි.
මේ තත්ත්වය දැනට මෙ රටේ පවතිනා උපදේශන සේවාවලින් හෝ සායනවලින් පමණක් වෙනස් කළ නොහැකිය. ප්‍රේමය, ප්‍රේම කිරීම, දරුවාට යම් වයසක සිටම විෂයයක් ලෙස පුරුදු පුහුණු කළ යුතුය. පවුල හා පාසල මෙහිදී අතිශයින්ම වැදගත් භූමිකාවක් ඉටුකළ යුතුය. ආගමික සංස්ථාද මෙයට උදව් කළ යුතුය. අතීත කතාවල එන ප්‍රේමය හෝ සදාචාරය පමණක් උලුප්පන කතාන්දර පමණක් නොව ලෞකික ජීවන අවශ්‍යතා සමාජයට දීමට ආගමික සංස්ථා මැලි නොවිය යුතුය. මිනිස් කය අනිත්‍ය බව සත්‍යයකි. එය දිරාපත් වන බවද සත්‍යයකි. එහෙත් එය නිතර විචාරයෙන් තොරව පුනරුච්චාරණය කිරීමෙන් මෙලොව ජීවත්වන මිනිසාට කුමන නම් සතුටක් ගෙන ඒද? ඔහුගේ ජීවිතයට එහි ඇති බලපෑම කවරාකාරද? ළමා තරුණ පරපුර කෙරෙහි මෙහි බලපෑම කුමනාකාරදැයි සිතාබැලිය යුතුය.
ආගමික සංස්ථා නියෝජනය කරන්නට ලෞකික ජීවිතය අවිෂය විය හැකිය. එහි බොහෝ දුබලතා ඔවුන්ට විෂය විය හැකිය. පරලොව, මෙලොවට වඩා ඔවුන්ට රුචිකර විය හැකිය. ඔවුහු ගිහියන් නොවෙති. ඔවුන්ගේ පරමාර්ථ වෙනස්ය. එහෙත් ගිහියන් පතන්නේ ලෞකික ජීවිතයකි. එහි ජයග්‍රහණ සඳහා ඔවුහු හැම මොහොතේම වෙර වඩති. දිරිබල යොදති. ජීවන සටනේ නියැළෙති. ඒ නිසා ඔවුන්ගේ මේ ජීවන සංග්‍රාමය පසුපසට ගෙන යෑම ආගමික සංස්ථාවන් විසින් නොකළ යුතුය.
ප්‍රේමය පිළිබඳ සංවාදය අවශ්‍ය වන්නේ මේ නිස්සාරත්වය දස අත වපුරා තිබෙන නිසාය. මිනිසාගේ හද පතුලෙන්ම නැගෙන හැඟුම් සමුදාය නිදහසේ ගලා යෑමට තිබෙන ඉඩකඩ විවිධ බන්ධන මගින් අහුරා දමා තිබෙන නිසාය.
රටේ දියුණුවට ප්‍රේමයේ ශක්තිය ලබාගැනීමට නම් පාලකයන්ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තිවලදී ප්‍රේමය පිළිබඳ සංවාදය පුළුල් කිරීමට කටයුතු කළ යුතුය. භෞතික අවකාශ මෙන්ම අධ්‍යාත්මික අවකාශ ද එකසේ නිර්මාණය කිරීම මෙහිදී අත්‍යවශ්‍ය සාධකයකි.
ප්‍රථමයෙන් තැබිය යුතු පියවර වන්නේ රටේ ඉදිරි ගමන සඳහා ප්‍රේමයේ අවශ්‍යතාව පිළිගැනීමයි. දෙවනුව එය ලෞකික මට්ටමින් වර්ධනය කිරීමයි. තෙවැනුව ඒ සඳහා රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමයි.