උත්සව සමයෙන් පසු රටේ ගමන් මග සහ ආර්ථික තත්ත්වය පිළිබඳවත්, ආණ්ඩුවේ කටයුතු සම්බන්ධවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සමග අපි සාකච්ඡා කළෙමු. ඔහු ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය ගැන කතා කළොත්?
පක්ෂයේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනම් ප්රතිසංස්කරණයකට යා යුතුයි කියන අදහස මධ්‍යම කාරක සභාව විසින් සාකච්ඡා කළා. ඒ අනුව විවිධ කොටස්වල වගකීම් විවිධ අයට භාරදුන්නා. ඒ වගේම පුරප්පාඩු තිබෙන ආසනවල සංවිධායකවරුන් පත්කිරීමත් කඩිනමින් සිදුකරන්න තීරණය කළා.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන පළාත් සභා අපේක්ෂකයන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවමින් තිබෙනවා. ඒ අතර පක්ෂයේ අනිකුත් ප්‍රධාන කාරණාත් ඉතාම කාර්යක්ෂම කරගෙන යමින් තිබෙනවා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මැතිවරණ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයක් තිබෙනවා. ඒ තමයි මනාප ක්‍රමය වෙනුවට කේවල සහ මනාප මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යා යුතුයි කියන ස්ථාවරය. ඒ නිසා අපේ අදහස් අනිකුත් පක්ෂ නායකයන්ට දැනුම් දීලා තිබෙනවා. සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණයකට එළැඹීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්නත් යෝජනා වෙලා තිබෙනවා. පළාත් සභා ඇත්තටම තිබිය යුතුද නැතිද, මැතිවරණ ක්‍රමය කෙසේ විය යුතුද, පළාත් පාලන මැතිවරණය කෙසේ විය යුතුද, ඒවායේ ව්‍යුහයන් කෙසේ විය යුතුද වගේම පාර්ලිමේන්තු මැතිරණය හා ජනාධිපති මැතිවරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙනුත් පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව පළාත් සභා ක්‍රමයට අනුගත කරන්නේ කුමන ක්රමයද කියන කාරණය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා.
වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මූලික කටයුතු කරගෙන යමින් තිබෙනවා. අවුරුදු 37ක් පැරණි පළාත් සභා ක්‍රමය වෙනුවට වර්තමානයට ගැළපෙන ක්‍රමයක් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතුයි කියන ස්ථාවරයේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක අදහස වෙලා තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?
ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ බහුතරයකගේ ස්ථාවරය වී තිබෙන්නේ මැතිවරණය පැවැත්විය යුතුයි යන්නයි. පසුගිය කාලයේ මැතිවරණය පවත්වන්නේ නැති කාලය තුළ මැතිවරණය පවත්වන්න කියා වීදි සටන් පැවැත්වුවා. පළාත් සභා කියන්නේ දැනට පහුවෙලා තිබෙන මැතිවරණයක්. එහෙම පහුවුණ මැතිවරණයක් පවත්වන්නේ නැත්තේ ඇයි? විපක්ෂයේ ඉද්දි අපි නිතරම මැතිවරණය පත්වන්න කියලා ඉල්ලීම් කළා නම් කලට වෙලාවට මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි ආණ්ඩුවේ හැමෝම ඉන්නේ. නමුත් ඒ සඳහා නෛතික ක්‍රියාවලිය සකස් කරගත යුතුව තිබෙනවා. ඒ වගේම රජය ගන්න තීරණයක අපි ඉන්නවා. කඩිනමින් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ව්‍යවස්ථාවෙන් පසුවම පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙත් වරදක් නැහැ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?
ආණ්ඩුවේ කටයුතුවලදී අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බරපතළ ගැටලුවක් ඇතිවෙලා නැහැ. අපි සියලුදෙනාටම සම්බන්ධීකරණ කමිටුවල සභාපතිකම් ලබාදීලා තිබෙනවා. නමුත් මුලින්ම මැතිවරණයේදී අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු ප්‍රමාණයක් නොලැබීම සම්බන්ධ ගැටලුවත් තිබුණා. ඒ වගේම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටිනවා. මේ අය සෘජු ලෙස සම්බන්ධ කර ගැනීම සහ ඒ අයට සම්පත් ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. සමහර තැන්වල එය සාර්ථකව සිදුවෙනවා. නමුත් සමහර තැන්වල එය සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සන්ධාන ආණ්ඩුවක ආරම්භක අවස්ථාව නිසා මෙවැනි ගැටලු ඇතිවෙනවා. නමුත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒවා නිවැරදි කරගෙන ශක්තිමත්ව ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට අපි බලාපොරොත්තු වෙනවා.
ඔබ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණා ඉදිරි මැතිවරණයට පුළුල් සන්ධානයක් සකස් කරනවා කියලා . එය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂත් සමග සිටින සන්ධානයක්ද? එයින් බැහැර වූ සන්ධානයක්ද?
දේශපාලන පක්ෂයක් විදිහට ඕනෑම පක්ෂයක අරමුණ වෙන්නේ බලය ලබාගැනීම. ඒ විදිහට බලය ලබාගෙන ඒ පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හැම අවස්ථාවකදීම දේශපාලන පක්ෂයක් විදිහට අපි බලාත්මක වීම අවශ්‍යයි. මේ නිසා රට වෙනුවෙන් දේශපාලනික වශයෙන් අවස්ථානුකූලව තීන්දු තීරණ ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම අවස්ථාවකදීම රට පැත්තේ හිඳිමින් තීන්දු තීරණ අරගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදිත් විවිධ යෝජනා, විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙද්දි පක්ෂයක් විදිහට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්න තීරණය කළේ රට ගැන හිතලා. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්රමුඛ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබාදුන්නේ රට සහ ජනතාව ගැන කල්පනා කරලා. ජනතාවාදී දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරි කාලයේදී අපිට තනිවම තරග කරන්න වෙයි. සමහරවිට අපිට සන්ධානගත වෙලා තරග කරන්න වෙයි.
කොහොම වුණත් අපි නැවත ධනේශ්වර දේශපාලන පක්ෂ සමග සන්ධාගත වීමක් සිදුකරන්නේ නැහැ. වාමාංශික ප්රගතිශීලී දේශපාලන කඳවුරේ හිඳිමින් රටට සේවය කිරීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ.
පොදුජන පෙරමුණ සමග තිබෙන සම්බන්ධය අපි අඛණ්ඩව ගෙනියනවා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අකාර්යක්ෂම කරන්න කකුලෙන් අඳින්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ. ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය ලබාදෙන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම අපි ඉටුකරනවා. ඒ මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රටට වැඩිම වැඩ කොටසක් කරන්න නායකත්වය දුන්න දේශපාලන පක්ෂය. ඒ නිසා අනාගතය වෙනුවෙන් මේ පක්ෂය ආරක්ෂා කර ගැනීමේ වගකීම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අපි හැමෝටම තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාට සෘජුවම චෝදනා එල්ල වී තිබෙනවා. කාදිනල් හිමියන් පවා ඒ බව වරෙක සඳහන් කළා. ඒ පිළිබඳව පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
කාදිනල් හිමියන්ට සමාජය තුළ විශාල ගෞරවයක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවුණ අවස්ථාවේදී උන්වහන්සේ කටයුතු කළ ආකාරය පිළිබඳවත් අපිට විශාල පැහැදීමක් තිබෙනවා. නමුත් කාදිනල් හිමියන් අවසන් වරට සිදුකළ ප්‍රකාශය සමාජයේ දැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා. ඇත්තටම කිතුනු බැතිමතුන් වෙනුවෙන්ද ඒ ප්‍රකාශය කළේ, එහෙම නැතිනම් වෙනත් දේශපාලනික අරමුණකින්ද ඒ ප්‍රකාශය කළේ, එහෙම නැතිනම් වෙනත් කාගේ හෝ මෙහෙයවීමකින්ද මේ ප්‍රකාශය සිදුකළේ කියන කාරණය සම්බන්ධයෙන් අද සමාජයේ කතාබහක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ධුර කාලය තුළ මේ දේ සිදුවීම ගැන එතුමා හදවතින්ම කම්පා වෙනවා. කිසිම රාජ්‍ය පාලකයෙක් තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළදී ජනතාව පීඩාවට පත්වෙනවාට කැමති නැහැ.
නමුත් කාදිනල් හිමියන් එදා ප්‍රකාශ කළ ආකාරයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එය දැනගෙන මගහැරීමට විදේශගත වුණා කියන අදහසේ ද්වේශසහගත බවක් ප්‍රකාශ වෙනවා. පාස්කු ප්‍රහාරයට ඇත්තටම දායක වුණේ කවුද? මෙහෙම කරන්න අවශ්‍ය වුණේ කාටද කියන දේ සහ මෙහි මහමොළකරු කවුද කියන එක හොයා ගන්නයි අපිටත් අවශ්‍ය වී තිබෙන්නේ.
සීනි බදු වංචා, විෂ පොල්තෙල් ගෙන්වීම් ආදී සිදුවීම් රැසක් මෙම කාලය තුළ සිදුවුණා. එම වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම පැහැදිලිව වංචාවට, දූෂණයට එරෙහිව පෙනී සිටින දේශපාලන පක්ෂයක්. බැඳුම්කර වංචාවට විරුද්ධවත් පළමුවෙන්ම පැමිණි කළේ අපි. ඒ වගේම මේ අවස්ථාවේදීත් යම් ව්‍යාපාරිකයෙක් අතින් හෝ යම් දේශපාලනඥයකු අතින් හෝ යම්කිසි වංචාසහගත කටයුත්තක් වෙනවා නම්, එය රටේ ආර්ථිකයට බලපානවා නම් කිසි වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කටයුතුවලට සහයෝගය ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ පවතින නීතිය අනුව අනිවාර්යෙන් එයට අවශ්‍ය කටයුතු කරන්න කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.
ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එයට විසඳුමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත්ද?
ජනතාවගේ ජීවන බර ඉහළ ගොස් තිබෙන නිසා ජනතාවට යම් අපහසුතාවයක් තිබෙනවා. අපි ඒක පිළිගත යුතු වෙනවා. ඒ තත්ත්වය මගහැරීම සඳහා අණ්ඩුව විවිධ දේ කරනවා. දේශීය නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ආනයනය නවත්වලා තිබෙනවා. ඒ ක්‍රියාවලිය නිසා සමහර දේවල්වල මිල පාලනය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. අපි මේවා පිළිබඳව සහ රටේ ආර්ථිකය ගැනත් බලමින් මේ දේවල් ඉදිරියට ගෙන යා යුතු වෙනවා. මොකද රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක නෙවෙයි තිබෙන්නේ. අපි ඒක පිළිගත යුතු වෙනවා. චීනය හැර මුළු ලෝකයේම ආර්ථිකය ඍණ අගයකට ඇවිත් තිබෙනවා. රටේ ඇත්ත ආර්ථික තත්ත්වය ජනතාවට පැවසිය යුතුයි. ඇත්ත ආර්ථික තත්ත්වය ජනතාවට හංගන්න යාම තුළ තමයි ජනතාව කුපිත වෙන්නේ. එහෙම වුණාම ජනතාව හිතනවා හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා කියලා. මේ අසීරු අවස්ථාව තුළ නැවත රට ගොඩනැගීමේ වගකීම අපි හැමෝටම තිබෙනවා.