ශ්‍රී ලංකාවේ සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් ස්ථුලතාව හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ හේතුව නිසා අනාගත පරපුර බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවස්ථාවක් පවතියි. අනාගත පරපුර සෞඛ්‍යමත් කිරීම උදෙසා මෙවර පෝෂණ මාසය පාසල් දරුවන් මූලික කරගෙන විවිධ වැඩසටහන් හඳුන්වා දී තිබේ. දනිමි මගේ 'BMI' යන තේමාවෙන් යුතුව මේ මාසය පුරා විවිධ වැඩසටහන් මේ අනුව පාසල පාදක කර ගනිමින් සිදුකිරීමට නියමිතය. මේ ඒ පිළිබඳ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විද්වතුන් දැක්වූ අදහස්ය.
බෝ නොවන රෝග ආරම්භය සිදුවන්නේ අපේ ළමා කාලයේදීයි - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලිත කරුණාපේම
අපි දන්නවා අද රටේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් බවට බෝ නොවන රෝග පත්වෙලා තියෙනවා. බෝ නොවන රෝග ආරම්භය සිදුවෙන්නේ අපේ ළමා කාලයේදීයි. එහි එක් වැදගත් සාධකයක් තමයි ස්ථුලතාව හා අධි බර. මේ සම්බන්ධයෙන් පොඩි කාලයේ සිට ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නය තව අවුරුදු කිහිපයක් යනකොට බරපතළ තත්ත්වයකට පත්වෙන්නට පුළුවන්. මීට අවුරුදු දහයකට පෙර තිබූ තත්ත්වයට වැඩියෙන් අධිබර හා ස්ථුලතාවය ලංකාවේ වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයට අපි නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තව අවුරුදු දහයක් යද්දී තවත් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා අනෙකුත් අංශ මේ පිළිබඳ දැනුම්වත්ව විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.
අධි පෝෂණය සම්බන්ධ ගැටලු එන්න එන්න වැඩිවෙන්න පටන් ගත්තේ පසුගිය දශකය තුළයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ (මහජන සෞඛ්‍ය සේවා) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා
ලංකාවේ තිබෙන පෝෂණ ගැටලු ගත්තම ස්ථුලතාව මෙන්ම තව පෝෂණ ගැටලු තිබෙනවා. නමුත් මෙවර පෝෂණ මාසයේදී ’දනිමි මගේ 'BMI'^ ‘යන තේමාව අරගෙන ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන එක අපි බලන්න අවශ්‍යයි. විවිධ රටවල්වල විවිධ දේවල් සඳහා දින හා සති නම් කරනවා. අපි ඇයි පෝෂණය සම්බන්ධයෙන් මාසයක් වෙන් කරලා තියෙන්නේ? අපි අපේ පෝෂණ ගැටලු ටිකෙන් ටික නිරාකරණය කරගෙන යම් තැනකට ඇවිත් තිබෙනවා. නමුත් අවපෝෂණය හා අධිපෝෂණය සම්බන්ධ ගැටලු තවමත් තිබෙනවා. අධිපෝෂණය සම්බන්ධ ගැටලු එන්න එන්න වැඩිවෙන්න පටන් ගත්තේ පසුගිය දශකය තුළයි. නමුත් අපිට අවපෝෂණය වගේ මේ ගැන බල බලා ඉන්න බැහැ. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. බෝ නොවන රෝග හා තවත් ප්‍රශ්න රැසකට මේ අධි පෝෂණය හේතු වෙනවා. %දනිමි මගේ 'BMI'^ කියන තේමාවෙන් අපි අදහස් කරන්නේ අවපෝෂණයවත් අධිපෝෂණයවත් නොවෙයි, තමන් කොතනද ඉන්නේ කියන එක තමන් දැනගත යුතු බවයි. හැම දෙනාම තමන්ගේ 'BMI' එක මොකක්ද, එය හොඳද නරකද කියන එක දැනගත යුතුයි. ඊට පසු තමන් විසින් කුමන චර්යා වෙනස් කරගත යුතුද යන්නත් දැනගත යුතුයි. අපි පාසල් ළමුන් දැනුවත් කිරීම තුළින් කල් ඉකුත් වීමේ දිනය බැලීම පිළිබඳ හුරුව සමාජයට ඇති කරනු ලැබුවා. නමුත් 'BMI' මැන ගැනීම පිළිබඳ මිනිස්සුන්ට හුරුවක් ලබාදෙන්න අපිට ගොඩක් කල් බලන් ඉන්න බැහැ. තමන් තමන්ගේ 'BMI' ගැන දැනුවත් වෙලා, තමන්ගේ ශරීරය තුළ වෙන්නේ මොකක්ද කියලා පාලනය කරගන්න අපිට අවශ්‍යයි සමාජයට දැඩි බලපෑමක් ඇති කරන්න. ඒ නිසා අපි මාසයක් මේ වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
අපේ රටේ අධිබර ඇති දරුවන් ක්‍රමයෙන් වැඩි වන බව සමීක්ෂණ වලින් පෙනී යනවා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්මිණී නයනා මාගොඩරත්න
මෙවර අපේ තේමාව වුණේ %දනිමි මගේ 'BMI'^ යන්නයි. එයට හේතු වුණේ පාසල් ළමුන්ගේ අධිබර හා ස්ථුලතාව වැළැක්වීම හා පාලනය කිරීමයි. අධිබර හා ස්ථූලතාව කියන එක අපි අර්ථ දැක්වූවොත් පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට අවදානමක් ඇතිවන පරිදි අසාමාන්‍ය ලෙස හා අධික ලෙස මේද සංචිත වීම දැක්විය හැකියි. ස්ථුලතාවය යන්නට තරබාරු යන වචනයත් දැක්විය හැකියි. ගෝලීය දත්ත නිරීක්ෂණය කරන විට 2016 වර්ෂයේ අපිට පෙනෙනවා අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් මිලියන 41කුත්, අවුරුදු 5ත්- 19ත් අතර දරුවන්ගෙන් මිලියන 340කුත් අධිබරෙන් හා ස්ථුලතාෙවන් පෙළෙනවා. මෙහි භයානක තත්ත්වය තමයි මෙම අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 48%ක්ම ඉන්නේ ආසියා කලාපයේ වීම. ඉහළ ආදායම් ලබන රටවලට සීමා වෙලා තිබුණු මෙම ප්‍රශ්නය දැන් අපේ රට වගේ අඩු ආදායම් හා මැදි ආදායම් ලබන රටවලට සංක්‍රමණය වී තිබෙනවා. අපේ රටට දැන් මේ ප්‍රශ්නය ඇවිත් ඉවරයි. ශ්‍රී ලංකාවේ දත්ත පිළිබඳ අපි බැලුවොත් අපේ රටේ පෙන්නුම් කරන්නේ අධිබර ඇති දරුවන් ක්‍රමයෙන් වැඩි වන බවයි. 2016දී අපි කළ සමීක්ෂණයකදී පාසල් සිසුන් 6-12 වර්ෂවල ළමුන් අතර අධිබර ළමුන් 6.1%කුත් ස්ථූල ළමුන් 1.9%කුත් සිටින බවයි. මේ වන විට මේ අගයන් මීට වඩා අනිවාර්යෙන් වැඩි විය යුතුයි. අපේ පෝෂණ මාසයේ මේ තේමාව තෝරාගෙන අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පාසල් ළමුන්ටත් පොදු මහජනතාවටත් පාසල් වයසේ දරුවන්ගේ අධිබර තත්ත්වය දැනුවත් කරන්නයි. ඒ වගේම එහි අහිතකර තත්ත්වයත්, ඉන් මිදෙන ආකාරයත් පිළිබඳ දැනුවත් කරන්නයි. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමේ වැදගත්කම කියා දීමත්, ඒවාට අනුබලයක් ලබා දීමත් මෙයින් අපේක්ෂා කරනවා.
පාසල් දරුවන්ගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඔවුන්ගේ උදෑසන ආහාරය. අපි බලාපොරොත්තු වෙනවා නිවසේ පිළියෙළ කරගත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමත්, හැකිතාක් දුරට මේ උදෑසන ආහාරය උදෑසනින්ම ගැනීමටත්, ප්‍රධාන ආහාර වේල් තුන ක්‍රමානුකූලව තෝරාගත් කෑම වේලක් කාල පරාසයක් තුළ ගැනීමටත්, සතියෙන් යුතුව ආහාර ගැනීමත් බලාත්මක කිරීම. සතියෙන් යුතුව ආහාර ගැනීම අලුත් කාරණාවක් වුණත් එය කළ යුතුම දෙයක්. මොකද ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ආහාර ගන්නා ළමයින් තමන් ආහාරයට ගන්නා දේ මොනවාද කියලාවත් දන්නේත් නැහැ.
ඒ වගේම මේ පාර අපි 'BMI' කියන එක නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය යන්න අපේ පාසල් ළමුන්ගේ විෂය නිර්දේශයේ තිබුණත් එය හුවා දක්වන්න අවශ්‍යව තිබෙනවා. දරුවන්ට තමන්ගේ BM අගය දැනගෙන දැනුමක් ඇතිව තමන්ගේ ජීවිතය පටන් ගන්න දැනුම ලබා දෙන එක තමයි අපේ අරමුණ. ඒ වගේම දරුවන්ට තිබෙන විශාල ගැටලුවක් බවට ආහාර ගැනීම අද පත්වෙලා. මොකද උදෑසන ආහාර නොගෙන පාසලට ආ විට ලැබෙන විකල්පය තමයි ආපන ශාලාව. මේ නිසා ආපන ශාලාවේ ආහාර සෞඛ්‍ය සම්පන්නද බලලා ආහාරවල බහුලතාව වැඩි කරන්නට අපිට සිදුවෙනවා.
ඒ වගේම ඉපදෙන දරුවාගේ හොඳ උපත් බරක් ලැබෙන්නට ගර්භිණී මවුවරුන්ගේ බර වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ එක්කම අපේ මවුවරුන් අධිපෝෂණයේ හෝ ඌණ පෝෂණයේ ඉන්න බවයි අපිට පෙනෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ගේ බරයි, උසයි නිරන්තරයෙන්ම මැනීම සිදුකර අවශ්‍ය මැදිහත් වීම සිදුකරනු ලබනවා. අපේ බර කිලෝ ග්‍රෑම්වලින් මැනලා, උස මීටර්වලින් මැනලා, උසේ වර්ගයෙන් බර බෙදලා එන අගය තමයි අපි 'BMI' ලෙස සලකන්නේ. ඒ අනුව අපි පාසල් ළමුන්ට වර්ධන ප්‍රස්ථාර සටහනක් ලබා දීලා එහි තමන් ඉන්නේ කොතැනද කියන අවබෝධය ඔවුන්ට ලබා දෙනවා. ඒ අනුව තමන් ඉන්නේ කොළ තීරුවේ නම් ප්‍රශස්ත මට්ටමේ සිටින බවත්, දම් පැහැයට ආවොත් අධිබර තත්ත්වයේ ඉන්න බවත් හඳුනාගෙන ක්‍රමයෙන් කොළ තීරුවට බර අඩුකරගත යුතු බව දරුවන්ට උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඇයි 'BMI' ගැන අපේ ළමයි දැනගන්න ඕන කියන දේ අපි බැලුවොත් අපේ අනාගත ශ්‍රී ලංකාව බාරගන්න ජනතාව සෞඛ්‍ය සම්පන්න හා ජව සම්පන්න විය යුතුයි. ඒ වගේම අපේ ළමයින්ට තමන්ගේ උස බර මැනලා 'BMI' ලකුණු කරගන්න දුන්නම ඔවුන් දන්නවා තමන් කොයි පැත්තටද යන්න අවශ්‍ය කියන දෙය. ඒ වගේම ළමා වයසේ ඇති කරගන්නා පුරුදු තමයි වැඩිහිටි වයස දක්වා යන්නේ. ඒ අනුව පාසල් කාලයේ මෙය පුරුදු කළොත් දිගටම මෙය වැඩිහිටියා දක්වා ඔවුන් රැගෙන යාවි. ඒ වගේම සමාජයක් වෙනස් කරන්න දරුවෙක්ට පුළුවන්. ළමයා මගින් පවුල තුළට ගෙනියන පණිවිඩය තුළින් සමාජයට පණිවිඩය ගමන් කරනවා.
ස්ථූලතාවට අවදානම් සහිත දරුවන් තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර නොගන්නා දරුවන්. පාහින ලද කාබෝහයිඩ්‍රේට, සීනි, ලුණු හා තෙල් වැඩිපුර ආහාරයට ගන්නා දරුවන් හා ව්‍යායාම් අඩු හෝ සෙල්ලම් නොකරන දරුවන් කියන අය. මේ අනුව දවසට විනාඩි 60ක්වත් ක්‍රියාකාරී සෙල්ලමේ දරුවෙකු යෙදිය යුතුයි. ඒ කියන්නේ අපි නිකන් ඉන්න විට ශරීරයේ ශක්තිය දහනය වන ආකාරයට වඩා හය ගුණයකින් ශක්තිය දහනය වන ක්‍රියාකාරකම්වල දරුවන් යෙදිය යුතුයි. නමුත් අපේ දරුවන් ඉන්නේ එක්කෝ වාඩි වෙලා නැත්නම් තිරයක් ඉදිරියේයි.
අපි දරුවන්ගේ 'BMI' ගැන සැලකිලිමත් වෙන්නේ මේ අගයෙන් අපිට ඉදිරියේ බෝ නොවන රෝගවලට මේ දරුවන් ගොදුරුවීමට ඉඩක් තිබෙනවාද යන්න පැහැදිලි වෙනවා. විශේෂයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව, ඇදුම, නින්දේදී හුස්ම ගැනීමේ අවහිරතා ඇතිවීම, අධි රුධිර පීඩනය, මහා අන්ත්‍ර හා පියයුරු පිළිකා ආදී පිළිකාමය තත්ත්ව, මුත්‍රා ගල් , හන්දිපත්, අස්ථි හා මාංශ පේෂිවල රෝගාබාධ හා මානසික වශයෙන් පීඩනයට ලක්වීම් ඇති විය හැකියි.
විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා අපි පොඩි කාලයේදී මේද සහිත ආහාර ගොඩක් ආහාරයට ගත්තම ශරීරයේ මේද සෛල නිපදවෙන බව. මේ මේද සෛල අපි වැඩිහිටියන් වන තුරුම ඒ විදිහටම වෙනස් නොවී තිබෙනවා. ඒ නිසා මහත දරුවෙකු අනාගතයේ ස්ථුල වැඩිහිටියෙකු වෙනවා. ඒ නිසයි දරුවෙකුට සෞඛ්‍ය සම්පන්න ආහාර වගේම සෙල්ලම් කරන්න කාලය ලබා දිය යුත්තේ.
මෙරට පාසල් දරුවන් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණයකින් 20.7%ක් පාසල් දරුවන් ක්ෂණික ආහාර සතියකට දෙවරක්වත් අනුභව කර තිබෙන බව වාර්තා වුණා. ඒ වගේම 26.6෴ක් දරුවන් කාබනික කෘතීම බීම වර්ග දිනපතා පානය කර තිබෙනවා. හොඳට එළවළු, පළතුරු වැවෙන රටේ අපට හරි පුදුමයි 32.1% දවසකට පළතුරු දෙකක්වත් ආහාරයට අරගෙන තියෙන්නේ. ඒ වගේම දවසකට එළවළු වර්ග තුනකට වඩා අනුභවයට ගන්නා ළමයින් සිටින්නේ 35.6%ක් වැනි අගයකයි.
මාසයක කාලයක් තුළ ළමයින් 7.1෴ක් පළතුරු කන්නේම නැති බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම එළවළු වර්ගයක් මාසයක් ඇතුළත ආහාරයට නොගත් ළමයින් 1.7෴ක් ඉන්නවා.
පාසල් ළමයින් තුළ පවතින අධික තරබාරු බව ක්‍රමයෙන් රටේ සෞඛ්‍ය පද්ධතියටම ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මීට ළමයින් නියමිත වෙලාවට ආහාර නොගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම, ක්‍රියාකාරී සෙල්ලම්වල නොයෙදීම, නින්ද අඩු වීම ආදී හේතු ගණනාවක් බලපා තිබෙනවා. අපි සාමාන්‍යයෙන් උදෑසන අවදි වෙලා පැය භාගයක් ඇතුළත ආහාර ගන්න ඕන. නමුත් පාසල් ළමයින් යොදා ගනිමින් කළ පරීක්ෂණයෙන් අපට අනාවරණය වුණේ පාසලට පැමිණීමට පෙර ආහාර අනුභව කර පැමිණෙන්නේ 68%ක් පමණ පිරිසක් බවයි. ඒ වගේම පාසල් ළමයින්ගෙන් 18.6%ක්ම දවසකට පැයක්වත් සෙල්ලම් කරන්නේ නැහැ. මේ තමයි ලංකාවේ තත්ත්වය.
අපේ ළමයින්ට නිවැරදිව ප්‍රධාන ආහර වේල් තුන ලබා දිය යුතුයි- වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස
දැන් අධි බර හා ස්ථූලතාව වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. අපි සිදුකළ ජාතික සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා පසුගිය දශකය තුළදී අපේ රටේ අධිබර තත්ත්වය දෙගුණ වී ඇති බව. විශේෂයෙන්ම මේ තත්ත්වය දරුවන් තුළ දැකගත හැකියි. අද මෙය වැඩිහිටියන්ට තදබල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන්ගෙන් 50%ක්ම අධි බරෙන් හා ස්ථූලතාෙවන් පෙළෙනවා. ළමයින්ගෙන් මේ තත්ත්වය ගලවා ගත්තොත් ඉදිරියේදී රටෙන් මේ තත්ත්වය අවම කර ගත හැකියි. ලංකාවේ අපිට ගැළපෙන ක්‍රමවේදයක් මේ සඳහා අපි සකස් කරගත යුතුයි. අපි අවුරුදු පහක් වෙනකම් සායන තුළින් දරුවන්ගේ උස බර ලකුණු කරනවා. ඉන්පසුව පාසල් යන දරුවාගේ මෙම සටහන් කිරීම් සිදු කරන්නේ නැහැ. මේ තත්ත්වය අපි මඟහරවා ගත යුතුයි. ඒ අනුව අවුරුදු 18ක් යන තුරු අවුරුද්දකට වරක් හෝ මාස 6කට වරක් මේ සටහන් කිරීම් කර තැබීම දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. තමන්ට වුණත් මේ ප්‍රස්ථාර සටහනේ තමන්ගේ උස හා බර සලකුණු කරගන්න පුළුවන්. ඒ අනුව දම්පාට කොටසේ සලකුණු වෙනවා නම් තමන්ගේ බර අඩු කරගන්න ක්‍රමවේදයක් සකස් කරගත හැකියි. නමුත් මේ ළමයා කියන එක්කෙනා වැඩෙන කෙනෙක්. ඒ නිසා වැඩීම ගැන හිතලයි මේ දේවල් කරන්න අවශ්‍ය. අපි දැක්ක දෙයක් තමයි ළමයා මහත නම් අම්මලා රාත්‍රී කෑම නවත්වනවා. නමුත් වැඩෙන ළමයාට පෝෂණය අවශ්‍යයි. සමහර පෝෂක අත්‍යාවශ්‍යයි ළමයට. අපේ ජීවිතයේදී පෝෂණය වැඩියෙන්ම අවශ්‍ය ළමා වයසේදීයි. මේ කාලයේ නිවැරදි පෝෂණය නොලැබෙන විට ළමයා උස යන්නේ නැහැ. ළමයා උස යනවා නම් මහතත් අඩු වෙනවා. අපි ළමයින් තවත් ළමයින්ගේ වර්ධනය එක්ක සංසන්දනය කරන්න සුදුසු නැහැ. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මේ දේවල් කළ යුතුයි. අපි අධිබර ළමයින්ට ඒ සඳහා උදව් කරන්න අවශ්‍යයි. පාසලේ මේ මිනුම් කටයුතු කරලා දෙමාපියන්ට ලබා දුන්නට ළමයාගේ ස්ථූලතාව අඩු කරන්න මොනවද කරන්න අවශ්‍ය කියන දැනුම දෙමාපියන්ට ලබා දෙන්නේ නැහැ. මේ නිසා දෙමව්පියන් ළමයාට කෑම සීමා කරනවා. කරන්න ඕනේ පෝෂණයට හානි නොවෙන ලෙස ආහාර ලබා දීමයි. අපි පසුගිය වසරේ කළ සමීක්ෂණයකින් දැක්කා 30෴කට වැඩි ප්‍රතිශතයක් ළමුන් උදෑසන ආහාරය ගන්නේ නැතිවයි පාසල් එන්නේ. අපේ ළමයින්ට නිවැරදිව ප්‍රධාන ආහාර වේල් තුන ලබා දිය යුතුයි. ඒ හැර අමතර ආහාර වේල් අපේ ළමයින්ට අවශ්‍ය නැහැ. නමුත් වෙන්නේ ප්‍රධාන ආහාර වේල් නැතිව කෙටි ආහාර වේල්වලට ගන්න ආහාර වර්ග ගැනීමයි. උදේ කෑම වේල නොකා පාසල් එන ළමයි අම්මා කෑම පෙට්ටියට දාලා දෙන මොනවා හරි විවේක කාලයේදී ආහාරයට ගැනීම හෝ කැන්ටින් එකෙන් මොනවා හරි කෙටි කෑමක් කන එකයි සිදු වෙන්නේ. දවල් පාසල් ඇරිලා එහෙම්මම යනවා උපකාර පන්තිවලට. කිරි පැකට් එකක් බීලා කෙටි ආහාරයක් අරගෙන තමයි පන්ති යන්නේ. රෑට ගෙදර එද්දී මහන්සි නිසා පොඩි දෙයක් කාලා නිදා ගන්නවා. සෙනසුරාදා ඉරිදා තමයි ළමයෙක් හරියට ආහාර වේලක් ලබා ගන්නේ. අපේ ළමයින්ට අතිරේක ආහාර අවශ්‍ය නැහැ. ප්‍රධාන ආහාර වේල් තුන හරියට ගැනීමයි අවශ්‍ය වෙන්නේ. අපේ ළමයි අතරින් 60%ක්ම කන්නේ බිස්කට්. බිස්කට් කියන්නේ පාන්පිටි හා සීනි එක්ක මාගරින්. බිස්කට් එක්ක කිරි එකක් හදලා ළමයාට හවසට දෙන එක තමයි අම්මලා කරන්නේ. මේකෙන් ළමයාගේ ඇඟට අහිතකර මේදය එකතු වෙනවා. හැබැයි ළමයාට හිතකර මේදය ලබා දෙන්න පුළුවන් වෙන්නේ රටකජු, අලි පේර වගේ දේවල් කෙටි ආහාරවලින්. බිස්කට් වැනි දේවල් ලබා නොදී මේවා ලබා දිය හැකියි. ලංකාවේ 95%ක්ම විවේක කාලයේ මොනවා හරි කනවා. ඉන් 80෴ක්ම නිවසෙන් තමයි මේ ආහාර රැගෙන එන්නේ. ගෙදරින් තමයි මේ නරක ආහාර එහෙනම් ළමයාට දෙන්නේ. අපේ ළමයින්ට විවේක කාලයට කන්න මවුවරුන් ලබා දෙන්නේ බොහෝ විට පාන්, බනිස් වගේ දේවල්. එහෙනම් අපි පාසලට ගෙනියන කෑම වේලේ ප්‍රෝටීන් තිබෙන්න ඕන, විටමින් හා ඛනිජ ලවන අඩංගු වෙන්න ඕන. අපේ ළමයින්ට පිටි බහුල ආහාර වැඩිපුර කෑමට දීම වැඩි වෙලා තියෙන්නේ අපේ අම්මලා උයන්න දන්නේ නැති නිසයි. කැරට්, බෝංචි, පරිප්පු උයන්න තමයි අම්මලා දන්නේ. රසවත් විදිහට ළමයින්ට කෑම උයලා දෙන්න ඕන වගේම පුළුල් පරාසයක ආහාර වර්ග හදලා දෙන්නත් අම්මලාට පුළුවන් වෙන්න ඕන.
දෙමාපියන්ට දරුවාගේ ලකුණු වගේම පෝෂණ තත්ත්වය පෙන්වා දීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා - අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්
රටේ ජනගහණයෙන් 1/5ක් ඉන්නේ පාසල් තුළයි. මේ අය අතර තියෙන ස්ථූලතාව හා මන්දපෝෂණ තත්ත්වය එක අතකින් සෞඛ්‍ය අංශයට ලොකු ගැටලුවක් වෙනවා. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ගේ චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමට පියවර අරගෙන තිබෙනවා. ඒ අනුව රජය මිලියන 8000ක් පමණ වාර්ෂිකව වැය කරනවා දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන්. ඒකත් එක්ක උදෑසන ආහාර වේලට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. හැබැයි එය ආවරණය වෙන්නේ පාසල් දරුවන්ගෙන් 28%ක් පමණයි. අනෙක් දරුවන් මෙයට අනුගත කර ගැනීම හා ඉතිරි වේල් දෙක සෞඛ්‍ය සම්පන්න කර ගැනීම කියන කාරණා ගැන බලන්න සිදුවෙනවා. රජය විසින් ලබා දෙන ආහාර වගේම නිවසෙන් ළමයාට ලබා දෙන ආහාරත්, පාසල තුළ ආපන ශාලාවල අලෙවි වන ආහාරවල පෝෂණය පිළිබඳවත්, අපිට හිතන්න වෙනවා. මෙහිදී පාසල තුළ ආපන ශාලා අධීක්ෂණය කිරීමටත් නියමිතයි. ඒ අනුව පාසල් ආපන ශාලා ශ්‍රේණිගත කිරීම අපි පෝෂණ මාසයේදී සිදුකරන්නට නියමිතයි. A හෝ B යන කාණ්ඩයෙන් යුතු ආපන ශාලා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර අලෙවි කරන ස්ථාන ලෙස හඳුනා ගැනෙනවා. අනෙක් ඒවාට අවවාද කර මේ තත්ත්වයට ගෙන ඒමට උපදෙස් ලබා දෙනවා. ඒ වගේම රජයේ ආහාර වැඩසටහනට ඇතුළත් නොවෙන පාසල්වල ළමුන්ට සුදුසු ආහාර වට්ටෝරු හඳුන්වා දීමට නියමිතයි. එවිට කෑම පෙට්ටියට කෙටි කෑම හෝ බිස්කට් වෙනුවට දිනයට අදාළ ආහාර වට්ටෝරුවක් හඳුන්වා දීමටත්, එම ආහාර වට්ටෝරුවට අදාළ ආහාර ආපන ශාලාවේ අලෙවි කිරීමටත් උපදෙස් ලබා දෙනවා. ඉදිරියේදී සෑම වසරකදීම ළමයාගේ උස හා බර මැනීම සිදු කිරීමටත් පෝෂණ පද්ධතිය හඳුනා ගැනීමත්, ළමයාගේ ලකුණු සටහනේ උස, බර ආදිය සටහන් කර දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ ලකුණු වගේම පෝෂණ තත්ත්වය පෙන්වා දීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නත් අපේක්ෂා කරනවා.