රටට බත සපයන්න කුඹුරු අක්කර පහක් අස්වැද්දූ හිමියන්


අලව්ව - අධිකාරී මුදියන්සේ

ඉතිහාසයේ පටන් මෙරට ව්‍යසන අවස්ථාවන්ට පත් වූ සෑම මොහොතකදීම මහා සංඝ රත්නය ප්‍රමුඛ ආගමික නායකයන් පෙරට පැමිණ රටේ උන්නතිය හා රටේ නැගී සිටීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

කොරෝනා ලෝක වසංගතය හේතුවෙන් ලෝකය ආර්ථිකය හා නිෂ්පාදනය කඩා වැටී ඇති මොහොතක මෙරටද ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව බොහෝ දෙනකු තුළ බියක් ඇති වී තිබේ.

ඊට අදාළ සමාජ කථිකාවතක් නිර්මාණය වෙමින් තිබෙන මොහොතක ආහාර හිඟයක් ඇති වනවාද ? නැතිද යන්න පිළිබඳව බලා නොසිට පෙරමුණ ගෙන පූර්වාදර්ශයක් සමාජගත කිරීමට පොල්ගහවෙල, පුහුරිය ඓතිහාසික රජමහා විහාරය, මෝරු ගම ශ්‍රී ආනන්දාරාම විහාරය යන උභය විහාරාධිපති මෝරුගම, බෞද්ධ මධ්‍යස්ථානාධිපති පොල්ගහවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය නිමලව චන්ද්‍රජෝති හිමියන් වහන්සේ ඇතුළු සංඝරත්නය කටයුතු කර තිබේ.

උන්වහන්සේලා ඉපැරණි රජ දවස සිට විහාරස්ථානය සන්තකව ඇති අක්කර පහකට 5කට අධික කුඹුරු පුරන් වීමට නොහැර අස්වැද්දීමට කටයුතු කළ අයුරු අප කැමරාවේ සටහන් විය. උන්වහන්සේලාගේ මෙම කුඹුරු අස්වැද්දීමේ අරමුණ වී ඇත්තේ ගිහි ජනතාවට ආදර්ශයක් ලබාදී, ඔවුන්ද පුරන් කුඹුරු අස්වැද්දීමට යොමු කිරීමයි.

මේ පිළිබඳ අදහස් දැක් වූ පොල්ගහවෙල, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය නිමලව චන්ද්‍රජෝති හිමියෝ,

“ වර්තමානයේ ලෝකෙට එම උද්ගතව පවතින වසංගතය හේතුවෙන් ලෝකයම අද නිහඬතාවට පත්වෙලා. ගුවනින් ගුවන් යානයක් ගමන් කරන් නැති තත්ත්වයක්. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව ගමන්බිමන් නොයන යුගයක් බවට පත්වෙලා තිබෙන මොහොතක අපේ රටේ ජනාධිපතිතුමන් තීරණය කළා මෙවැනි තත්ත්වයන් තුළ ජාත්‍යන්තරයෙන් ගෙන්වන කෑම බීම, අවශ්‍ය ද්‍රව්‍ය සීමා කරලා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරලා පිටරටට ඇදී යන අපේ ධනය අපේ රටේ රටේම ඉතුරු කර ගන්නට ඕන කියලා.

ඒ වගේම අපේ දායක ඇත්තන්ට මේ දවස් වල රැකියාවක් නැහැ ආර්ථික සංවර්ධනයක් නැති මොහොතක ඔවුන් වෙනුවෙන් මම කල්පනා කළා මේ සාංඝික දේපළ ඔවුන්ගේ සහයෝගයත් ලබාගෙන කුඹුරු සංවර්ධනය කරලා රටට අවශ්‍ය කරන බත සරි කර දීමට ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් කියලා.

ඒ නිසා මමත්, ඔය විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුත්, ගොවිතැනට සහයෝගය දෙන දිසානායක ගොවි මහතාත් ඇතුළු සියලු සියලු දෙනාගේම සහයෝගයෙන් දින විස්සකට අධික කාලයක් අඛණ්ඩව මෙහි අක්කර 5ක වපසරියක් තිබෙන කුඹුරු යාය අස්වද්දන්නට පටන් ගත්තා. වර්තමානයේ කලිසම් කෝට් ඇඳගෙන තමන්ගේ පරම්පරාගත දේපළ හැටියට තියෙන කුඹුරු සංවර්ධනය නොකරන නිසා අද අපට පුරන් වෙච්ච කුඹුරුවලින් දේශීය වශයෙන් තිබෙන නිෂ්පාදන, රාජ යුගයේ තිබුණු ධාන්‍යාගාර අද නැති වෙලා තිබෙනවා.

ආදර්ශමත් ලෙස කටයුතු කළොත් වැදගත් කියන එක සම්බන්ධයෙන් මහා සංඝරත්න හැටියට අප සියළු දෙනා සාකච්ඡා කළා. බොහෝ දෙනා හිතුවා ඒ කටයුත්තේදී ඇතැමුන් දෝෂාරෝපණය කරයි කියලා. මෙම කටයුත්තේදී  දායක ඇත්තෝ නැවුම් එළකිරිවලින් විවිධ රසකැවිලි වර්ග කොත්තමල්ලි ඉඟුරු දාලා සකස් කරලා සංග්‍රහ කළා. ඔවුන් සතුටු සිතින් අපේ හාමුදුරුවෝ  මහන්සි වෙනවා අපට බලා එන්න විදිහක් නැහැ කියලා උදවු කළා පුළුවන් හැටියට මේ කරන කටයුත්තට සාර්ථක කරගන්න.

දඹදිව චාරිකාවක නිරතවෙලා මමත් නිරෝධායන කටයුත්තක හිටියා. ඒ නිරෝධායනයටත් හොඳ පිළිතුරක් හැටියට මම තීරණය කළා මේ කුඹුරු සංවර්ධන කටයුත්තට අත ගහන්න. රටට බත සවිකරන්නට අප හැම දෙනාගේම කැපවීම තුළින් ලෝකයේ තියන මේ වසංගත තත්ත්වය මේ ලෝකෙන් තුරන් වෙලා, බුද්ධ ධම්ම සංඝ තුණුරුවන්ගේ වැඩසිටින බුද්ධ භෝග හැටියට සලකන මේ කෘෂිකර්ම වී බත් අස්වැන්න නෙළාගෙන බුද්ධ දේශය හැටියට සම්බුදු පියාණන් වහන්සේට  බුද්ධ පූජාව සිද්ධ කරලා තමයි පරිහරණය කරන්නේ.

ඒ නිසා මෙවර කන්නය රටේ සංවර්ධනයට යොදා ගෙන ක්‍රියා කරන්නට අපි තීරණය කළා. මේ සඳහා දායකත්වය ලබාදෙන  සෑම කෙනෙකුටම පින් දෙනවා. අපි මේ රටේ සංවර්ධනයට දායක වෙමු. කුසගින්න නිවමු කියලා විශේෂයෙන්ම මතක් කර සිටිනවා.”



Recommended Articles