ප්‍රධාන වශයෙන්ම රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වයන් සමග මෙරට සිටින බොහෝ පිරිසක් රට හැරදා විදේශගත වීමට පෙළෙඹෙන ආකාරයක් දක්නට ලැබේ. මෙලෙස විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය මෙන්ම විදේශ රැකියා වෙළෙඳ පොළ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ගෙන ඇත්තේ කවරාකාර පිළිවෙත්ද යන්න සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දිනකදී සිදුකෙරිණ. එහිදී පළ කළ කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසේ.
වර්තමානයේ ලංකාවේ විදේශ රැකියා වෙළෙඳ පොළ කවරාකාර වේද යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.සී.ඒ විමලවීර
කවුරුත් දන්නා පරිදි කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග ලංකාවේ ආර්ථිකය බොහෝසෙයින් කඩා වැටීමකට ලක්වුණා. ඒත් සමගම ඇතිවූ ආර්ථික අර්බුදයත් එක්ක තවදුරටත් ජනතාවගේ ජීවිත කඩා වැටීමකට ලක්වුණා. මේ සඳහා විවිධ හේතු බලපාන්නට හැකි වුවත්, වඩා වැදගත් වන්නේ අපි අතීතයට දොස් කියමින් කටයුතු කරනවාට වඩා කොහොමද මේ අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සොයන්නේ යන්න විමසා බැලීමයි. එහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට සුවිශේෂී කාර්යභාරයක් හිමිවෙනවා. අපිට මූලිකවම පැවරෙන වගකීම වන්නේ මේ පවතින අර්බුදයත් එක්ක කොහොමද එතෙර සේවය කරන ශ්‍රී ලංකිකයන් හරහා අපේ ආර්ථික පද්ධතියට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදේශ විනිමය ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කරන්නේ යන්න සොයා බැලීම. ඒ විතරක් නොවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී විදේශගත වන ලංකිකයන් ආපසු ලංකාවට පැමිණි විට හා ඒ ඒ රටවල් වලදී ඔවුන්ට ඇතිවන විවිධ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවාට අවශ්‍ය පහසුකම් සැලසීමත් අපේ අමාත්‍යාංශයේ මූලික වගකීමක් බවට පත්වෙනවා. අපි ගත්තොත්, 2020 කාලවකවානුව තුළදී විදේශ විනිමය ලැබීම් විශාල ලෙස පහළ යෑමක් සිදුවුණා. පසුගිය කාලවකවානුවේ කෝවිඩ් තත්ත්වයත් සමග විදේශ රටවල සේවය කරන බොහෝ පිරිසක් ලංකාවට පැමිණියා. මේ නිසා අපි සංඛ්‍යාලේඛන ගත්තොත්, 2017 හා 2018 වැනි කාලවලදි අපිට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වර්ෂයකට බිලියන 8ක් වැනි ප්‍රමාණයක් හා එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ඉක්මවා යන තත්ත්වයකයි පැවතුණේ. 2019 වර්ෂයට වඩා 2020 වර්ෂයේදී විදේශගත වන ප්‍රමාණය අඩුවීමත් සමග මේ තත්ත්වය ශීඝ්‍ර ලෙස පහළ වැටීමකට ලක්වුණා. නමුත් වර්තමානය ගත්තොත්, විදේශගත වන ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙන්නේ නෑ. අපිට මේ වසරේ රජය විසින් ලබාදී ඇති ඉලක්කය වන්නේ තුන්ලක්ෂ තිස්දාහක් පමණ පිරිසකට විවිධ රටවල් සඳහා විදේශගත වීමට අවස්ථාව සලසා දීම. ඒ අනුව අපේ ඉලක්කය වන්නේ මැදපෙරදිග රටවල් වලට පමණක් නොවේ කොරියාව, මැලේසියාව, රුමේනියාව, පෝලන්තය, ඊශ්‍රායලය, ජපානය වැනි රටවල් සඳහාත් වැඩි පිරිසක් යොමු කිරීමටයි. ඒ අනුව මේ වන විට ලක්ෂ දෙක ඉක්ම වූ පිරිසක් අපි විදේශගත කර තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය ගත්තොත්, ජූලි මාසය වන විට පැවතුණේ දෙසිය හැත්තෑ ගණනක ප්‍රමාණයක්. ඒ තත්ත්වය අද වන විට තුන්සිය විසිපහක ප්‍රමාණයකට වැඩි වීමක් සිදුවී තිබෙනවා. නමුත් අපි පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව බැලුවොත්, එය සියයට 16ක 17ක විතර තවත් අඩුවිමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් අපි විවිධාකාර ක්‍රියාමාර්ග ගනිමින් පහසුකම් සලසා දීම, විවිධ වරප්‍රසාද ලබාදෙමින් ඔවුන් පිළිබඳව සොයා බැලීම හා මනා අධීක්ෂණ කටයුතු සිදුකිරීම ආදී විශාල කාර්යයන් කොටසක් අපි විසින් සිදුකරනු ලබනවා. අපි ගත්තොත් දළ වශයෙන් ලංකාවට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ආදිය ගෙන්වා ගැනීම සඳහා අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 500ක් පමණ අවශ්‍ය වෙනවා. මේ සඳහා විගමනික සේවකයන් ලැබෙන ප්‍රමාණය මේ වන විට තුන්සිය විසිපහට පමණ පැමිණ තිබීම ඉතා සාධනීය තත්ත්වයක්. නමුත් මේ ප්‍රතිඵල හෙට දවස තුළදී දක්නට නොලැබුණත් ක්‍රමයෙන් ඉදිරියේදී වඩාත් හොඳ තත්ත්වයක් අපිට දැකබලා ගන්න හැකියාව ලැබේවි.
විවිධ වූ නීතිවිරෝධී ක්‍රම හරහා ගොස් මිනිස් ජාවාරම්කරුවන්ට හසුවන පිරිස් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගයන් කවරේද?
ඇත්තටම ගත්තොත්, මිනිස් වෙළෙඳාම නැතිනම් මිනිස් ජාවාරම් කිරීම සෘජුවම අපේ අමාත්‍යාංශයේ විෂයපථයට ගැනෙන්නේ නෑ. නමුත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා යන පිරිස් නියාමනයකට ලක්කරන බැවින් අපි සෑමවිටම පවසන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවන් සඳහා යායුතු බවටයි. නමුත් උදාහරණයක් ගත්තොත්, මැදපෙරදිග කලාපයේ සමහර රටවල් සඳහා Visit visa පදනම මත යා හැකිව පවතිනවා. සමහර වෙලාවට මේ Visit visa මගින් රැගෙන යන්නේ එක්තරා සංවිධානය වූ කණ්ඩායමක් විය හැකියි. සමහර රටවල් ගත්තොත්, ඒ රටවල්වල රැකියාවන් ලබාදීම සිදුකරන්නේ පින්තූර ආදිය බලලා නෙවෙයි, සම්මුඛව මුහුණට හමුවී තෝරා ගැනීම් වලින් පමණයි. ඒ නිසා Visit visa වලින් යන සමහර කණ්ඩායමකට රැකියාවක් ලැබිය හැකියි. නමුත් සමහර පිරිසකට එසේ නොලැබෙන අතර, විවිධ තාඩන පීඩනවලට ලක්කිරීමක් සිදුකරනු ලබනවා. ඒ වගේම විවිධ දේවල් සඳහා ඔවුන් යොමුකිරීම් සිදුකරනු ලබනවා. අවසානයේ අපේ තානාපති කාර්යාලවලට ඔවුන් ආ විට ඔවුන් හිටපු තැනක්වත්, අරන් ආව කෙනෙක්වත්, ඔවුන් සම්බන්ධයෙන් කිසිම තොරතුරක්වත් සොයා ගැනීමේ හැකියාවක් නෑ. අපිට ඒ අය වෙනුවෙන් වියදම් දරන්නත් බෑ. ඒ නිසා මෙය රටට කළු පැල්ලමක්. ඒ නිසා මේ ක්‍රමවලින් යන අය මේ සම්බන්ධයෙන් හොඳට සිතා කටයුතු කළ යුතුයි. මොකද ගෙන්වන පිරිසත් කරන්නේ ජාවාරමක් නිසා, මේ පිළිබඳව දැඩිව අවධානයට ලක් කළ යුතුයි. ඒ නිසා අපි සෑමවිටම අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හරහා ගුවන්තොටුපළේදී මේ පිරිස් සම්බන්ධයෙන් දැඩි පරික්ෂා කිරීමකට ලක්කරනවා. කිසියම් ආකාරයෙන් අපේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමකදී රැකියාවකට නොවේ යන්නේ හැඟුණොත් එය වළක්වන්න අපි කටයුතු කරනවා. ඒ හැර Visit visa මගින් යන කෙනෙක් වළක්වන්න අපිට හැකියාවක් නෑ. එය එක් අතකින් මානව හිමිකම් පැත්තෙන් දැඩි ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාළ අංශ යටතේ මෙය වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවන් ක්‍රියාත්මක වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම අපිට නවත්වන්න හැකියාවක් නොලැබිය හැකියි. නමුත් යන අය මතක තබා ගත යුතු දේ වන්නේ ඔබට රැකියාවක් ලැබෙන බවට නිශ්චිත නැතිනම්, කිසිම විටක තැරැව්කරුවන්ගේ ක්‍රියාවන් වලට හසුනොවී සිටීමයි. අවසානයේ ලක්ෂ ගණනක් වියදම් කළත් ඒ සියල්ල අපතේ ගොස් ජීවිතය පවා අනතුරේ වැටිය හැකියි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වුණ නියෝජිත ආයතන තිබෙනවා. ඒ හරහා ගොස් රැකියාවක් සොයා ගැනීමයි කළ යුත්තේ.