රටට අවශ්‍ය ගුණාත්මක මෙන්ම ළමා හා යොවුන් මනසට ගැළපෙන අධ්‍යාපනයක්


වසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වා මාස ගණනාවක් එහි ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටීමට සිදුවීමෙන් සිසු දරු දැරියන්ට උසස් පෙළට පෙනී සිටීමට පමාවීමත්, උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු තවත් මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීමත් යන කරුණු කෙරෙහි අවධානය යොමු කර මෙසේ පාසල් කාලය වසර 12ක් දක්වා අඩු කිරීමට සැලසුම් කළ බව හෙතෙම පවසා තිබිණි.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමටත්, විභාගය පවත්වා මසක් ඇතුළත ප්‍රතිඵල ලබාදීමේ කඩිනම් සැලැස්මක් ඇති කරන අතර, උසස් පෙළ විභාගය 11,12 වසරේදී පවත්වා එහි ප්‍රතිඵලද, මසක් ඇතුළත ලබාදීමෙන් සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් තුළින් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමු වීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි.

එසේම ඊයේ (04දා) නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැවසුවේ ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ සියලු කාරණාවලදී අප කාටත් මග හැරෙන වැදගත් කාරණාවක් වනුයේ මෙකී ප්‍රතිසංස්කරණයන් ළමා මනසට , යොවුන් මනසට ගැළපෙනවාද යන්නයි.

පවතින අධ්‍යාපනය ළමා මනසට බලපාන ආකාරය හා නැවත නව ප්‍රතිශක්තිකරණ ක්‍රියාත්මක වීමේදී සොයා බැලිය යුතු වැදගත් කාරණා කිහිපයක් මෙලෙස අද සමග අනාවරණය කරනු ලැබුවේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතාය.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්‍රමයට එනම් පාසල් අධ්‍යාපනයට වෙන් කරන අවුරුදු ගාන මේ අයුරෙන් අඩුවෙන එක හොඳයි. බොහෝ දියුණු රටවලත් ක්‍රියාත්මක වෙන්නේ එලෙසයි. අවුරුදු 13ක් පාසලේ ගත කරනවා කියන්නේ ඒක දිගු කාලයක්. විශේෂයෙන් අපේ පාසල්වලින් දරුවන්ට බහුවිද ඥානයක් ලබා දෙන්න අපහසු නිසා පාසලේ රැඳෙන කාලය ටිකක් අඩුවෙන එක හොඳයි. විභාග වෙනස් කරන්න අපිට ප්‍රායෝගිකව ගැටලු කිහිපයකුත් තිබෙනවා. උදාහරණ ලෙස දුෂ්කර පළාත්වල පාසල් හා නගරබද පාසල්වල තිබෙන විෂමතා දැක්විය හැකියි. ඒ විෂමතාවලට එක් හේතුවක්  තමයි නගරබද ජනප්‍රිය පාසල්වල පහසුකම් එම පාසල්වල ආදිශිෂ්‍ය සංගම් විසින් සපුරාලීම. ගම්බද පාසල්වලට රජයෙන් ප්‍රතිපාදන ලැබෙනකන් මේ වෙනුවෙන් බලාගෙන ඉන්න සිදුවෙනවා. මෙහෙම බැලුවම ශිෂ්‍යත්ව විභාගය වැනි විභාග පවත්වන එකෙන් එක්තරා ශිෂ්‍ය කොට්ඨාසයකට යහපත් අයුරෙන් බලපානවා. මම ශිෂ්‍යත්ව විභාගය ගැන මෙහෙම කියන්න කැමතියි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය

පළමු අදහස තමයි,අවුරුදු 10 ළමයෙකුට මේ වගේ තරග විභාගයක් සුදුසුද කියන එක. විභාගය සමත් වෙන්න එක ප්‍රශ්න පත්තරයකට ලකුණු අසූවක් විතර ලබා ගන්න ඕනේ. ජනප්‍රිය පාසලකට ඇතුළත් වෙන්න ලකුණු අනූ පහක් විතර ගන්න ඕන. වෛද්‍ය පීඨයේ අවසාන වසර විභාගයෙන් වෛද්‍යවරයෙක් වෙනවද කියල තීරණය කරන කොට අවශ්‍ය වෙන්නේ ලකුණු සීයෙන් 50යි. ඉතින් අවුරුදු 10දී ළමයෙක්ට විශාල ලකුණු ප්‍රමාණයක් ගත්තත් අසමත් කියන ලේබලය ඇලවෙන එක හොඳ නෑ. එහෙම ළමයෙක්ට අසමත් කියන ලේබලය ඇලෙව්වම ඒක පෞර්ෂයේ ස්ව අනන්‍යතාවක් බවට පත්වෙනවා. අපේ සායනවලට එන ළමයින්ගෙන් පුතේ ශිෂ්‍යත්වයට ලකුණු කීයද කියලා ඇහුවම 149කියලා කියන්නේත් දුකෙන් වගේම ලැජ්ජාවෙන්. මේ දරුවා තමන්ගේ විභාගේ ප්‍රශ්න පත්‍ර දෙකට ලකුණු 75ට වඩා ගත් දරුවෙක්. ඒ දරුවා ඉතාම දක්ෂ දරුවෙක්. නමුත් ඔහු විභාගය අසමත්. මෙහෙම වුණාම දරුවාගේ අභ්‍යන්තරයට කිඳා බහිනවා තමන්ට බෑ කියන දෙය. මේ අනුව අපිට පුළුවන් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී සාමාන්‍ය පෙළ විභාගයේදී වගේ ශිෂ්‍යත්ව විභාගයටත් ශ්‍රෙණිගත කිරීමක් අනුව ප්‍රතිඵල නිකුත් කරන්න, එය ළමා මනසට වඩාත් යහපත් වේවි. උදාහරණ ලෙස ජනප්‍රිය පාසලකට තේරෙන දරුවන්ට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබාදිය හැකියි. මීළඟට ලකුණු 100සිට 160දක්වා ලකුණු ගන්න ළමයින්ට සාමාර්ථ සහතිකයක්, ලකුණු 40-100 දක්වා හොඳ උත්සහයක් වෙනුවෙන් සහතිකයක්, අනෙක් දරුවන්ට අසමත් වෙනුවට සහභාගිත්ව සහතිකයක් ලබා දීම සිදුකළ හැකියි. මෙහිදී අපිට ඔන්ලයින් සහතික නිකුත් කරන ක්‍රමවේදයක් හඳුන්වා දීමේන් සහතික සඳහා යන වියදමටත් පිළියමක් යෙදිය හැකියි. ඊළඟ එක තමයි දැනට තියනවා වගේ ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් සහ රටේ ශ්‍රේණිගත කිරීම් ලබා නොදෙන එක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට, දැනට වඩා සංජානන කුසලතා, මනෝ සමාජීය කුසලතා, චරිත සංවර්ධන කුසලතාවලට අදාළ ප්‍රශ්න ඇතුළත් කරන එකත් වඩාත් යහපත්.

නමුත් ශිෂ්‍යත්ව විභාගය නිසා දුෂ්කර පළාත්වල සිටින සිසුන්ට සමාජ පන්ති බිඳගෙන, ඉහළ පිළිගත් පාසල්වලට ඇතුළත් වීමට ලැබෙන අවස්ථාව ඉතාම අනර්ඝයි. ඒ වගේම විභාගය සමත්වන දරුවන් තුළ හොඳ පෞර්ෂයක් ගොඩ නැගෙනවා. නමුත් ඒක බහුතරයක් ළමුන්ට අදාළ වන්නේ නෑ. බොහෝ දරුවන් තුළ සෘණාත්මක ආකල්ප හා මානසික පීඩනයක් තමයි ඇතිවෙන්නේ.

නිතරම අවුරුදු 9, 10 ළමයි විවිධ ශාරීරික අපහසුතා කියාගෙන ළමා මනෝ වෛද්‍ය සායනයට පැමිණෙනවා. ඒගොල්ලො ඔළුවෙ කැක්කුම, පපුව රිදෙනවා, හුස්ම ගන්න බෑ, කොන්ද රිදෙනවා, ඇස් රිදෙනවා කියලා කියනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පරීක්ෂා කරලා, කිසිම ශාරීරික ලෙඩක් නෑ කියලා කියනවා. මේ වගේ ශාරීරික සංකූලතා ඇති වෙන්නේ දැඩි මානසික පීඩනය නිසා. එතකොට අවුරුදු 10 දී තමන්ට බෑ, තමන් පැරදුණා කියලා ලේබල් එකක්, සමාජයෙන්, ගෙදරින් සහ තමන්ගෙන්ම තමාට ලැබෙන එක පෞර්ෂත්ව සංවර්ධනයට බොහොම සෘණාත්මකව බලපාන්න පුළුවන්. එවිට තමන්ගේ අනන්‍යතාව සහ ආත්ම අභිමානය ගොඩනැගීම දුර්වල වෙන්න පුළුවන්. අපි වැඩිපුරම හොයලා බලනකොට දරුවන් සහ දරුවන් අතර ඇති තරගයත්, දෙමාපියන් සහ දෙමාපියන් අතර ඇති තරගයත්, ගුරුවරුන් සහ පාසලේ ඇති තරගයත් ඊට හේතු වෙනවා.

ඒ වගේම ප්‍රාථමික පාසලේ දී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවට වැඩිය ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මනෝ සමාජීය අධ්‍යාපනය. උදාහරණයක් හැටියට, අනිත් අයගේ හැඟීම් තේරුම් ගැනීම සහ සහ කම්පනය පුහුණු වීම, මිත්‍රකම් යහළුකම් හොඳින් වඩා ගැනීම, සමාජ වගකීම තේරුම් ගැනීම, චිත්‍ර සහ සංගීතයට කාලය සහ ජීවිතයට වැදගත් සංකල්ප එකතු කර ගැනීම. ශිෂ්‍යත්ව රේස් එකට එකතු වුණාම මේවා ඉගෙන ගන්න තියෙන වෙලාව ගොඩක් අඩු වෙනවා.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට ගේන්න තිබෙන යෝජනාව ඉතාම හොඳ යෝජනාවක් විදිහටයි මම දකින්නේ. ළමා මනෝ විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් නව යොවුන් විය එනම් අවුරුදු 10සිට 19දක්වා අපි ටීනේජ් කාලය කියලා හඳුන්වන මේ කාලය කොටස් තුනකට බෙදෙනවා.අවුරුදු 10සිට 13දක්වාත්, 13සිට 16දක්වාත්, 16සිට 19දක්වාත් ලෙස මේ කොටස් බෙදා වෙන් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයට ළමයෙක් මුහුණ දෙන්නේ මේ යොවුන් කාලයේ මැද කොටසේදීයි. මේ කාලය ඉවර වෙන්න කලින් සාමාන්‍ය පෙළ විභාගය පවත්වන එක හොඳයි. මේ යොවුන් වියේ මැද කොටසේදී තමයි දරුවෙක් ශ්‍රී ලාංකික කියන අනන්‍යතාව හදා ගන්නේ. ඒ කියන්නේ පුංචි දරුවෙක් පවුලේ ඉඳන් එළියට ඇවිත් තමන්ගේම කියලා අනන්‍යතාවක් හදාගන්නේ මෙන්න මේ මැදි යොවුන් වියේදීයි. ඒ කාලේදී අපි අවුරුදු 15දී සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා අවුරුදු 16දී උසස් පෙළ ආරම්භ කරන්න හැකි වෙන එක දරුවෙක්ට යහපත් ලෙසයි බලපාන්නේ. එවිට උසස් පෙළ අවසන් වෙනවා අවුරුදු 18දී. මෙයින් අපිට උසස්පෙළ විභාගය අවසන් කළ ගමන් ළමයෙක්ගේ කුසලතා වර්ධනය කරන්න ලැබෙන අවස්ථාව වැඩි වෙනවා.

අපිට තිබෙන ගැටලුවක් තමයි තෘතීයික අධ්‍යාපනය සඳහා තිබෙන අවස්ථා අඩු වීම. සරලව ගත්තොත් එක් වර්ෂයක  අපේ රටේ ඉපදුණු  දරුවන්ගෙන් 20%කට තමයි තෘතීයික අධ්‍යාපන අවස්ථාවන් හිමි වෙන්නේ. ඒ අනුව 80%කට එය අහිමි වෙනවා. ඒ වගේම අපේ රාට් උපාධි පිරිනමන්නේ සීමිත කුසලතාවන් සංඛාවකට පමණයි. වෛද්‍ය , ඉංජිනේරු , කලා කියලා තිබුණත් බොහෝ වෙලාවට රැකියාවකට ගැළපෙන උපාධි නොවෙයි බොහෝ දෙනාට තිබෙන්නේ . උදාහරණ ලෙස බැලුවොත් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හදාරපු බොහෝදෙනා රැකියාවන් කරන්නේ කළමනාකරණ ක්ෂේත්‍රයේ. ඒ වගේම සාහිත්‍ය සම්බන්ධ උපාධියක් තියෙන ගුරුවරියක් සේවය කරන්නේ ප්‍රාථමික පන්තියකයි. ඒ වගේ ලබා ගන්න උපාධියයි, අවසානයේ කරන රැකියාවේ කුසලතාවයි අතර නොගැළපීමක් දකින්න ලැබෙනවා. ඒ අනුව ඉක්මනට අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ලැබෙනවා කියන්නේ අපිට වැඩිපුර අවුරුද්දක් කුසලතා නංවාගන්න ලැබෙනවා කියන එකයි.

මේකට රජයට පුළුවන් වෙන්න ඕන පාඨමාලාවන්වලට ළමයින් යොමු කරන්නට. ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා නොතේරෙන ළමයින්ට තාක්ෂණික විෂයන් සඳහා කුසලතා වර්ධනය කරගන්න පාඨමාලාවන් රජය විසින් හඳුන්වා දිය හැකියි. ඒ අනුව පාසල් අධ්‍යාපනය අවුරුදු 12ට ගෙන එන්න ගෙනා යෝජනා ඵලදායීව යොදා ගැනීම සිදු කළ යුතුයි.

ජත්‍යන්තරය සමග තරග කළ හැකි අධ්‍යාපනයක්

අපේ රටේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ලමුන් අඩු වයසකදී තමන්ගේ කඩයිම් විභාගවලටමුහුණ දෙනවා. ඒ වගේම ලන්ඩන් විෂය මාලා හදාරණ ළමයින්ට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයවලදී හදාරන්න තෝරා ගන්න  පුළුවන් විෂයයන් ගණන වැඩියි. එවිට අපේ දේශීය විෂය මාලාව හදාරණ අයට ලැබෙන අවස්ථාවන් ඊට සාපේක්ෂව අඩු බව පේනවා. ඇත්තටම දේශීය විෂය මාලාවට තාක්ෂණ විෂය මාලාවක් ඇතුළත් කරපු එක ඉතාම සාධනීය තත්ත්වයක්.

ඒ නිසා අපේ දරුවන්ට විෂයන් තෝරා ගැනීමේ වරණයන් වැඩි වී තිබෙනවා. ඉස්සර කාලයේ යම් රස්සාවකට යද්දී මේමේ පාඨමාලා හදාරා තිබීම ප්‍රමාණවත් කියලා සම්මතයක් තිබ්බා. නමුත් දැන් රැකියාවකට අවශ්‍ය වෙලා තියෙන්නේ බහුවිද ඥානයක් .අපි ගුරුවරියක් ගැන හිතමු.ඇය ප්‍රාථමික පන්තියක උගන්වනවා යැයි හිතමු. පූර්ව ළමාවිය ගැන උපාධියක් ඇයට තිබීම ඉතා හොඳයි. ඊට අමතරව ළමා මනස පිළිබඳ ඩිප්ලෝමාවක්, ළමා සන්නිවේදනය ගැන ඩිප්ලෝමාවක් , පන්ති කාමරය කළමනාකරණය පිළිබඳ වැඩසටහනකට සහභාගි වී ලබාගත් සහතිකයක් ලබා ගෙන තිබීම තුළින් මේ ගුරුවරියගේ හැකියාවන් දියුණු වෙනවා. ඒ අනුව අපි බැලුවොත් වර්තමානයේ එක රැකියාවකට එක කුසලතාවක් වෙනුවට එක රැකියාවකට බහුවිධ කුසලතා අවශ්‍ය බව පෙනී යනවා. ඒ අනුව අපිට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනයට වෙන් නොකර මෙම බහුවිද කුසලතා සංවර්ධනයට කාලය යොමු කරගන්න ලැබෙන එක වඩාත් යහපත්.

අපි හිතමු 9 ශ්‍රේණියේ දරුවෙක් ඉන්නවා පුංචි දෙයකින් පවා ඉතාමත් කලාත්මක නිර්මාණ කරන්න හැකියාවක් තිබෙන. මේ දරුවා සිංහල සාහිත්‍යට, චිත්‍ර විෂයට ඉතාමත් දස්කම් දක්වනවා. මේ දරුවා තවත් අවුරුදු දෙකක් මේ විෂයන්වලට අමතරව ඔහු හෝ ඇය දුර්වල ගණිතය,විද්‍යාව වගේ විෂයන්ට යොමු වෙනවාට වඩා තමන් දක්ෂ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට ගිහින් දක්ෂ වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට සමාජයට එකතු වීමයි ඵලදායී වෙන්නේ. එසේ නොමැතිව ඒ දරුවාට අනවශ්‍ය විෂයන් තවත් අවුරුද්දක් ඉගෙන ගන්න සිදුවෙනවා කියන්නේ තමන් දක්ෂ විෂය ගැන ඉගෙන ගන්න තිබෙන අවුරුද්දක් අහිමි කරගන්නවා කියන එකයි.

9වසරේ ඉගෙන ගන්න දරුවෙක්ට තමන්ගේ හැකියාවන් තෝරාගෙන 10 වසරේදී විභාගයට මුහුණ දීලා ඉතා ඉක්මනින් තමන් දක්ෂ ක්ෂේත්‍රය තෝරාගෙන ඉගෙන ගන්න ලැබෙනවා කියන එක ඉතාම හොඳ දෙයක්. වෙනත් රටවල අධ්‍යාපන ක්‍රමවේදයේ සිදුවන්නේ මෙයයි.

බහුවිධ විෂයන් අනිවාර්යයෙන් ඉගෙනීමට සිදුවීම

එක් එක් යුගවලදී ඇතිවන අවශ්‍යතා මත පාසල් විෂ්‍ය නිර්දේශවලට විවිධ විශයන් එකතු වෙනවා. නමුත් පවතින විශය නිර්දේශවලින් යමක් ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය බයයි. අවුරුදු 20කට කලින් අපිට වැදගත් වුණ දේවල් දැන් අපිට වැදගත් නෑ කියන්න ඔවුන් මැලිකමක් දක්වනවා. ඒ වගේම ඉතිහාසය වගේ විෂයක ඇතැම් කොටස් ඉවත් කරන්න බයයි. සංස්කෘතිකමය වටපිටාවන් තුළ විරෝධතා පැන නගියි කියලා ඇතිවන බිය. මේ නිසා අපේ විෂය නිර්දේශවලට දේවල් එකතු වෙන වේගයට සාපේක්ෂව ඉවත් වෙන වේගය ඉතාම අඩුයි. අපේ අධ්‍යාපන ක්‍රමය සකස් විය යුත්තේ කරුණු මත පදනම් නොවී සංකල්ප මත පදනම් කරගෙනයි. නමුත් අපේ විෂය නිර්දේශ හැදිලා තියෙන්නේ knowledge base කරගෙන. සිදුවිය යුත්තේ Concept base විෂය නිර්දේශ හඳුන්වා දීමයි.

උදාහරණයක් ලෙස අපි තුනේ පන්තියේ ආහාර පාඩම ගමු. මේ පාඩමේ තියෙනවා ආහාර නරක් වුණාම ඇතිවන ලක්ෂණ ලැයිස්තුවක්.මේකේ කරුණු 20ක් විතර තියෙනවා. මේ 20අවුරුදු 8ක ළමයෙක් පාඩම් කරගන්නවා. ඒ අනුව මේ ළමයා දැනුම එක් කර ගැනීම හා මතක තබා ගැනීම බලාපොරොත්තු වෙනවා. නමුත් සිදුවිය යුත්තේ ආහාරයක් නරක් වෙලා කියලා හඳුනා ගැනීමේ Concert එක දරුවාට කියා දීමයි. ඒ කියන්නේ ආහාරයේ මුල් හැඩය හා පාට වෙනස් වීම කියන එක හඳුනා ගන්න දැනුම දරුවාට ලබා දීමයි. එතකොට අර ලැයිස්තුව කටපාඩම් කරන්න අවශ්‍යතාවක් දරුවාට ඇති වෙන්නේ නෑ.

මීට අවුරුදු 30කට කලින් අපිට දැනුම ලබා දීම වැදගත් වුණා. මොකද අපිට දැනුම කියන එක ලබා ගන්න පහසු ක්‍රමවේද තිබුණේ නෑ. නමුත් අද වෛද්‍යවරයෙකු ලෙස මට පුළුවන් පසුගිය සතියේ ළමා විෂාදයට වඩාත්ම හොඳ වෛද්‍ය ප්‍රතිකාරය ලෙස පරීක්ෂණ වලින් හදුනාගත් ක්‍රමවේදය ගැන තත්පර කිහිපයකින් අතේ තියෙන දුරකථන හරහා බලන්න. එහෙනම් අද අන්තර්ජාලය හරහා දැනුම අපේ අත ළඟ තිබෙනවා. ඒ නිසා දැනුම හොයන ක්‍රමයයි අපි දරුවාට ලබා දිය යුත්තේ. ඒක තමයි සංකල්ප කියන්නේ. ඒ අනුව දැනුම මූලික ක්‍රමවේදය තුළින් ඉවත් වෙලා සංකල්ප මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටට අවශ්‍ය බවයි මම දකින්නේ. විෂය නිර්දේශයකට දැනුම එකතු කරන එක ලේසි වැඩක්. පුස්තකාලයට ගිහින් හෝ අන්තර්ජාලයට ගිහින් දැනුම හොයා ගත්තා. ඒක කොපි කරගෙන විෂය නිර්දේශයට එකතු කරන්නයි තියෙන්නේ. නමුත් සංකල්ප කියන ඒවා ගැඹුරින් හොයා බලා කරන්න ඕන සංකීර්ණ දෙයක්. කමිටුවක් දාලා,  සාකච්ඡාවක් කරලා, හොඳින් තීරණය කරලයි මේ දේවල් කරන්න ඕන.

අපි වෛද්‍යවරුන් විදිහට අපේ ක්ෂෙත්‍රයට අදාළ වෛද්‍ය කණ්ඩායම් සතියකට වරක් එකතු වෙලා අපේ දැනුම අලුත් කර ගන්නවා. මොකද අපි දන්නවා සතියක් ඇතුළත පරීක්ෂණ වාර්තා අපි බැලුවේ නැත්නම් අපේ දැනුම යල්පැන ගිහින් කියලා. අපි බැලුවොත් 10 වසරේ විද්‍යා ගුරුවරියක් මීට අවුරුදු කිහිපයකට පෙර ඉගැන්නුවේ රූපවාහිනියේ කාර්ටූන් බලන, එළියේ කුරුම්බැට්ටි මැෂිමත් එක්ක සෙල්ලම් කරන දරුවටයි. නමුත් අද 10පන්තියේ විද්‍යා ගුරුවරියක්ට උගන්වන්න වෙලා තියෙන්නේ අන්තර්ජාලය භාවිත කරන, යූ ටියුබ් වීඩියෝ බලන, රූපවාහිනීයේ චැනල් 10ක විතර ප්‍රවෘත්ති බලන්න හැකියාවක් තියෙන දරුවෙක්ටයි. එවිට විද්‍යාව කලින් විදිහට උගන්වන්නේ නැතිව විද්‍යාවේ ආකර්ෂණීය දේවල් වැඩි කරන්න අවශ්‍යයි . අපි යූටියුබ් එකේ දරුවෙක් දකින දැනුමට පරයා යන දැනුමක් පාසල් විෂයේදී දෙන්න අවශ්‍යයි. නැත්නම් දරුවට ඇතිවන පරස්පරතාව නිසා පාසල් විෂය කම්මැලි වෙන්න පුළුවන්.

අනිත් එක තමයි 10 වසරේ විද්‍යා ගුරුවරියකට විද්‍යාව දැනුම පමණක් නොවෙයි ළමා මනසට,නව යොවුන් විය පිළිබඳ ගැළපෙන ලෙස විද්‍යා දැනුම ලබා දෙන ආකාරය පිළිබඳව දැනුමත් ලබා දිය යුතුයි . ඒ වගේම නව යොවුන් වියේදී ප්‍රිය කරන මාතෘකා විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි.

මෑතකදී 8වසර දරුවෙකු මට කිව්වා ඔහුගේ පාසලේ තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුතුමිය ගූගල් එකේ යමක් සර්ච් කරන විදිහ කියලා දුන්නා කියලා. ඔහු කියනවා ඔහු හතරේ පන්තියේ ඉද්දියි ගූගල් සර්ච් කරන්න ඉගෙන ගත්තේ කියලා. මේක හැම දරුවටම අදාළ නැති වුණත් වර්තමානයේ ඉන්න ළමයි තාක්ෂණය ගැන දන්න දැනුම  අපේ නව යොවුන් වියේදී තිබූ දැනුමට වඩා වැඩියි කියන එක අපි පිළිගන්න ඕන.

අන්න ඒ තැන ඉඳලා වර්තමානයේ දරුවන්ට වඩා ආකර්ෂණීය විදිහට මේ ඉගැන්වීම් සිදුකරන්න අවශ්‍යයි. අපිට ගූගල් සෙවුමක් සිදුකරන පියවර උගන්වනවාට වඩා ඒක උගන්වන්න තිබුණා සැබෑ ලෝකයේ අපිට මුහුණ දෙන්න සිදුවන අත්දැකීමක් ඇසුරෙන්. අපි චාරිකාවක් යද්දී කැලෑබද ප්‍රදේශයක වාහනේ කැඩිලා ළඟ පාත කවුරුවත් නැත්නම් කොහොමද අපි උදව්වක් ගන්නේ කියලා දරුවෙක්ට දුරකථනය භාවිත කරලා ගූගල් සිතියමක් ගන්න හැටි ,ළඟම පොලිස් ස්ථානයේ දුරකථන අංකය ගූගල් එකෙන් සොයන හැටි අපිට කියලා දෙන්න පුළුවන් වුණානම් නව යොවුන් වියේ මනසට ගැළපෙන ලෙස ළමයින්ට විෂය කරුණු ළඟා කරගත හැකියි.

ඉතින් අපිට ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ දැනුම ඇති අය විදිහට කියන්න තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කරද්දී ළමයින්ගේ මනසට ගැළපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමත් අවශ්‍ය බවයි. මේ සඳහා කමිටු සකස් කරද්දී අනිවාර්යයෙන් ගුරුවරුන් හා අධ්‍යාපනඥයන් මේ සඳහා අවශ්‍ය බව අපි දන්නවා. නමුත්

ඒ අතරට එකතු කරගත යුතුම පිරිසකුත් ඉන්නවා. අඩුම තරමේ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ පශ්චත් උපාධියක් සහිත පුද්ගලයෙක්, සමාජ විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් හැදෑරූ අයෙක් සිටිය යුතුමයි. ඒ වගේම ළමා හා යොවුන් මනස පිළිබඳවත් අවධානය යොමු කරන්න අවශ්‍ය නිසා ළමා හා යොවුන් මනස පිළිබඳව දැනුමක් ඇති අයත් එකතු කරගන්න එක සිදු කරගත හැකියි.



Recommended Articles