රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ රටඉඳි උත්සවය


මැදපෙරදිග කලාපය තුළ වගා කෙරුණත් රටඉඳි යනු ලොව පුරා කා අතරත් ජනප්‍රිය රසවත් ආහාරයකි. එහි ඇති පෝෂණීය ගුණයද මේ ජනප්‍රියත්වයට හේතු වී තිබේ. සෞදි අරාබිය යනු රටඉඳි නිෂ්පාදනය සහ අපනයනය අතින් ලොව පළමු වැනි තැනක් හිමිවන රටකි. රියාද් අගනුවරින් සැතපුම් 220ක් ඈතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය එරට රටඉඳි කර්මාන්තයේ හදවත ලෙසින්ද සැලකෙයි.

මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන බුරායිදාහ් රටඉඳි උත්සවය (Buraydah Date Festival) වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුත් රටඉඳි සොයන රසවතුන් සහ ගැනුම්කරුවන් අනිවාර්යයෙන්ම රොක්වන උත්සවයකි.

සෑම වසරකම අගෝස්තු සහ නොවැම්බර් අතර කාලය සෞදිඅරාබිය තුළ රටඉඳි ඵලදාවේ උච්චතම සමය ලෙස සැලකෙයි. ඒ අනුව මෙම කාලය පුරා බුරායිදාහ් රටඉඳි උත්සවය සහ වෙන්දේසිය පැවැත්වෙයි. මැදපෙරදිග කලාපය අතරින් සෞදි අරාබියේ රටඉඳි ඉහළ ගුණාත්මක බවකින් සහ විවිධත්වයකින් යුක්ත බව පිළිගැනීමයි. මේ නිසාම ගෙවුණු වසර ගණනාව පුරාම ලොව නන්දෙසින් ගැනුම්කරුවෝ මෙම උත්සවයට සහ වෙන්දේසියට පැමිණෙති.

සෑම දිනකම පෙරවරු 5.00ට ආරම්භ වන මෙම උත්සවය වෙත රටඉඳි නිෂ්පාදකයෝ ට්‍රක් රථවල පුරවාගත් සිය නිෂ්පාදන ටොන් ගණනින් රැගෙන එති. එම ට්‍රක් රථවලම සිටම කෑගසමින්, මිල ගණන් කියමින්, හෙට්ටු කරමින් ඒවා අලෙවි කෙරේ. ඒ අතරතුරදී මෙම රටඉදි කිලෝ ගණනින් වෙන්දේසිවීමක්ද සිදුවෙයි.

මෙම උත්සවයේ සංවිධායකයන් පවසන ආකාරයට මෙවර වෙන්දේසිය සඳහා එකිනෙකට වෙනස් රටඉඳි වර්ග 45ක් පමණ ඉදිරිපත්ව තිබී ඇත. මේ වෙත පැමිණෙන බොහෝ පිරිස් රටඉඳි මිලදී ගැනීම පමණක් නොව, ඒවායේ ඇති විවිධත්වය පිළිබඳවද ඉගෙනීමටද මෙය අවස්ථවක් කර ගන්නේ එබැවිනි.

මෙම රටඉඳි අතරින් වඩාත් ජනප්‍රියතම වර්ගය වන්නේ Sukkari රටඉඳියි. Sukkari යනු අරාබි භාෂාවෙන් පැණි රස යන්නයි. මෙම රටඉඳි රත්රන් පාටට හුරු රතු පැහැයක් ගන්නා අතර, මුවේදී ඉතාමත් ඉක්මණින් දියවන බවත් පැවසෙයි.

දෙවැනියට ජනප්‍රියතම රටඉඳි වර්ගය වන්නේ Ajwa නමි රටඉඳියි. එය කුඩා වන අතර, අඳුරු පැහැතිය. එසේම එය ඉක්මනින් දිය නොවේ - තරමක් වේලාවක් හැපෙන සුළුය. Khals නමින් හැඳින්වෙන්නේ මෙම වෙන්දේසියේ ඇති තෙවැනියට ජනප්‍රියතම රටඉඳි වර්ගයයි. එහි පිටත පොත්ත ඉතාමත් තුනීය. රටකජුවල ඇති දුඹුරු පැහැය ගනී.

මෙම රටඉඳි වෙන්දේසිය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පිරිමින් අතිනි. කිසිදු කාන්තාවක් ඊට සම්බන්ධ කර නොගනී. එය සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රමයකි. කෙසේ වෙතත්, සෞදියේ රියාද්, ජෙඩාහ් සහ දමාම් ඇතුළු නගරබද ප්‍රදේශවල අද කාන්තාවන්ටත් යම් යම් අයිතිවාසිකම් හිමිවෙමින් පවතින පරිසරයක ඉදිරියේදී මේ බුරායිදාහ් රටඉඳි වෙන්දේසියටත් කාන්තාවන්ට අවස්ථාව හිමිවනු ඇතැයි විශ්වාසය වී තිබේ. එහෙත් මෙම රටඉඳි උත්සවයට සහභාගි වී ඉන් රටඉඳි මිලදී ගැනීමට කාන්තාවන්ට කිසිදු බාධාවක් නැත.

ඇතැම් සෞදි කාන්තාවන් මෙම උත්සවය වෙත පැමිණෙන්නේ මේ වසර අවසන් වන තුරු තම පවුලට ප්‍රමාණවත් රටඉඳි කිලෝ ගණන් ඉතාමත් අඩු මිලට මිලදී ගැනීමේ අරමුණිනි. එහිදී ඔවුන් අලෙවිහලෙන් අලෙවිහලට ගොස් වඩාත් හොඳ, කල්තබා ගත හැකි රටඉඳි තෝරයි. “මම හොයන්නේ Sukkari රට ඉඳි. හොඳ ඒවා ලැබුනොත් මම කිලෝ දහයකට වඩා ගන්නවා. ඒක ශීතකරණයේ දාගත්තහම මේ අවුරුද්දටම රට ඉඳි ඇති.” එක් කාන්තාවක් පවසයි.

මේ අතර පැමිණෙන ඇතැම් ගැනුම්කරුවන් තමත් අවධානය යොමු කරන රට ඉඳි වර්ගයක් තිබේ. එනම් rutab නමින් හැඳින්වෙන වර්ගයයි. එය මෙම රටඉඳි සමයේ සති කිහිපයක් පමණක් අලෙවි කෙරෙන ඉතාමත් දුර්ලභ රට ඉදි  වර්ගයකි. එහි උඩ කොටස රත්රන් පාට ගන්නා අතර පහත කොටස තද දුඹුරු පැහියක් ගනී. යුෂ බේරෙන එම රටඉඳි වඩාත් පැණිරසය. මේ නිසාම මුවට වැටුණු විටම ඒවා දියවී යයි. මේ රටඉඳි වර්ගය ජීවිතයේ එක්වරක් හෝ රසවිඳීම සෞදි වැසියන්ගේ අපේක්ෂාව වී තිබේ.

සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල ජනතාවගේ දෛනික ජීවිතය හා මෙම රටඉඳි අතර ඇත්තේ ඉතාමත් කිට්ටු සබඳතාවකි. ඒ නිසාම දිනයේ ඕනෑම වේලාවකදී වුවද රටඉඳි ආහාරයට ගැනීමට ඔවුන් කැමැත්තක් දක්වයි. එහිදී කුරුඳු, එනසාල් වැනි විවිධ කුළුබඩු එකතු කරගනිමින් රටඉඳිවල රසය තවත් ඉස්මතු කරමින් ආහාරයට ගැනීමටද සෞදි වැසියන් අතීතයේ සිටම පුරුදු වී සිටියි.

එහෙත් මෙම රටඉඳි වගාව එතරම් ලෙහෙසි පහසු නැත. එය ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකළ යුතු වගාවක් වන අතර, ඒ සඳහා අධික මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් වැඩුණු රටඉඳි ගසකට ඵල හටගැනීම සඳහා වසර හයක පමණ කාලයක් ගත වෙයි. එතෙක් එම ගස මුළෙහි සිට අතු දක්වාම වඩාත් හොඳින් රැකබලා ගත යුතුය. සෑම වසරකදීම රටඉඳි ගස මගින් වඩාත් හොඳ ඵලදාවක් ලබාදෙන්නේ ඊට ලබාදෙන සාත්තුව අනුව බව එම වගාකරුවන්ගේ විශ්වාසය වී තිබේ.



Recommended Articles