රට ස්ථාවර කිරීම පළමු අරමුණයි


මේ රටේ බොහෝ දෙනෙකුගේ හදවතේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනතාව වෙනුවෙන් බලයට පැමිණ සිටින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. 30 අවුරුදු ශාපලත් යුද්ධය ජය ගැනීමෙන් පසු ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා කටයුතු කරමින් සිටින විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය.
ඉන් අනතුරුව පත් වූ ආණ්ඩුව රටේ ජනතාව ගැන නොසලකමින් ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටියේය. මේ පිළිබඳ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීප අවස්ථාවක්ම සිය නොසතුට ප්‍රකාශ කළ බව අපට මාධ්‍ය ඔස්සේ දැනගැනීමට අවස්ථාව ලැබුණි. රටට විරුද්ධව යෝජනා පිට යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙද්දී ඒ බොහෝ යෝජනා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත යටපත් වූ බව අපට දැනගැනීමට ලැබී තිබිණි.

මේ සියලු දේ හරහා ආර්ථිකමය වශයෙන්, සාමාජීය වශයෙන්, දේශපාලනමය වශයෙන්, සංස්කෘතික වශයෙන් පෙර නොවූ විරූ ලෙස රට පසුගිය කාලයේදී ආපස්සට ගමන් කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහි සම්පූර්ණ වගකීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරිය යුතුය යන්න අපගේ හැඟීමයි.

අවුරුදු තුන හමාරක්ම මහින්ද රාජපක්ෂගේ ණය බර පිළිබඳ කතා කරමින් කාලය ගෙවූ රනිල් වික්‍රමසිංහ මහතා රටට කළ සේවයක් නොමැත. නමුත් ඔහු දිගින් දිගටම ජනතාවට බදු ගසමින් ඒකාධිපතියෙකු ලෙස කටයුතු කළේය. ඉතාමත් වටිනා රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විදේශයන් වෙත අලෙවි කරමින් සිටියේය. එසේම ශ්‍රී ලංකාවට ඉතාමත්ම වටිනා ගැඹුරු මුහුදක් සහිත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවා විදේශයන් වෙත අලෙවි කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍යවරයා පිඹුරුපත්  සකස් කරමින් සිටියේය.

 මේ පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ රට ගැටලුවට පත් කළ අවස්ථා කිහිපයක් පමණි.  කෙසේ වෙතත් දැන් අතීතයට බැණ බැණ සිටීමෙන් පළක් නොවේ. දැන් ඉක්මනින් කළ යුතු වන්නේ සෑම අතින්ම පසුපසට ගමන් කළ රට නැවතත් නිවැරදි මාර්ගයට ගැනීමට කටයුතු කිරීමයි. මේ සඳහා නිසි සැලසුමක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුය. 

එම වැඩසටහන පිළිබඳ ඔබ දැනුවත් කිරීමට පෙරාතුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳ අදහස් දැක්වීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. පසුගිය යහපාලන රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගැටලු ඇතිව තිබූ බව ඔහු කළ ප්‍රකාශ ඔස්සේ පැහැදිලිව පෙනුණු කාරණයක් විය.
පැවැති පාලනය තවදුරටත් ඉදිරියට ගමන් කළේ නම් රටේ ජනතාව දිගින් දිගටම ප්‍රපාතයකට වැටෙන අයුරු දෑස් ඉදිරිපිටම දිස්විය. ඒ අනුව වත්මන් ආණ්ඩුව පෙරළීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ විපක්ෂය විසින් අාරම්භ කෙරිණි. ජනබලය විරෝධතා ව්‍යාපාරයද එහි එක් අංගයක් විය.

මේ අතර දිගින් දිගටම ආණ්ඩුවේ දෙදරීම සිදුවිය යුතු අතර, ඒ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැතක් පිළිබඳවද තොරතුරු වාර්තා වන්නට විය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ බවට තොරතුරු වාර්තා විය

මේ සියලු කාරණා හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් අතර සාකච්ඡා කිහිපයක්ම පැවැතියේය. මුලින්ම පක්ෂ නායකයන් හා පැවැති සාකච්ඡා අතර දිගුවක් ලෙසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡා යථාර්ථයක් බවට පත්වීමට මුලින්ම සිදුවිය යුතුව තිබුණේ යහපාලන ආණ්ඩුවෙන් එක්සත්  ජනතා නිදහස් සන්ධානය ඉවත් වීමය. ඒ අනුව සිකුරාදා දිනයේදී යහපාලන ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වූ අතර, ඒත් සමගින් සම්මුතිවාදී ආණ්ඩුවද බිඳ වැටුණි. ඒ අනුව ඒ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම් බලධාරියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු ධුරයෙන් ඉවත් කර ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් දිනාගනු ඇතැයි විශ්වාස කරන මන්ත්‍රීවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගත්තේය.

මේ සඳහා වූ හේතු පිළිබඳ දීර්ඝ විස්තරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා පැහැදිලි කළේය. නව රජයේ පත්වීමත් සමග එහි මූලිකම අරමුණක් වන්නේ ඉතාමත් ඉක්මනින්ම ජාතික මැතිවරණයකට එළැඹ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීමට අවස්ථාව ලබාදීමය. අප ආණ්ඩු පෙරළියක් ලෙස දිගින් දිගටම ඔබ දැනුවත් කිරීමට කටයුතු කළෙමු. ඒ අනුව නව රජයක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම එහි පළමු පියවර වෙයි.

නව රජය පිළිබඳ කිසිවිටෙකත් කලබල වීමට හෝ මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ සැක සිතීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ඒකාබද්ධ විපක්ෂයද, පොදුජන පෙරමුණද, එක්සත් ජාතික පක්ෂයේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිසද යන්න ගැටලුවක් නොවේ. මේ සියල්ලම එකතු කරගෙන ශක්තිමත් ස්ථාවර තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අප විසින් සැලසුම් සකස් කර තිබේ.
මෙහිදී ආර්ථික, සමාජීය, දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීම මූලික අරමුණක් වන අතර, ඒ හරහා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, බදු බරින් ජනතාව මුදාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරමු. එමෙන්ම කෘෂි කර්මාන්තයට අප ලබාදුන් සහන යළිත් ලබාදෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමටද කටයුතු කරමු.

මෙය කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩපිළිවෙළක් වශයෙන් ඉදිරියට ගෙන යෑමට නියමිතය. 16 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව අයවැය හා ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට සාකච්ඡා කරගෙන තිබේ.
මේ වනවිට නව කැබිනට් මණ්ඩලය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති හෙයින් ඒ පිළිබඳ අවසාන වශයෙන් යමක් සටහන් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. අපගේ මූලිකම අරමුණ වන්නේ ඉතාමත් අඩු අමාත්‍ය ධුර සංඛ්‍යාවකින් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමය. ඒ ඒ පුද්ගලයාගේ හැකියාව, අත්දැකීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරමින් විෂයන් බෙදා දීමට තීරණය කර තිබේ. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය ඉතාමත් සුළු අමාත්‍ය ධුර කිහිපයක් භාරගැනීමේ සූදානමින් පසුවන අතර, නව රජයේ හවුල්කරුවන් වෙත ඉතිරි අමාත්‍ය ධුර හිමි වනු ඇත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles