දේශපාලනය තුළ හතුරෝවත්, මිතුරෝවත් නොමැති බවට කියමනක් තිබේ. එහෙත් ගෙවී ගිය වසර දෙක තුනක කාලය තුළදී දේශපාලන වේදිකා තුළ දේශපාලනඥයන් එකිනෙකාට කරගත් චෝදනාවලට අනුව නම් මේ රටේ ජනතාවට හැඟී ගිය කාරණයක් වූයේ දේශපාලනඥයන් යනු රට ගැන, ජනතාව ගැන සිතා දේශපාලන හතුරන් වී සිටින පුද්ගලයන් බවය.
එළිපිටදී ගහ මරා ගැනීමට තරම් චෝදනා එල්ල කර ගත්තත් මේ රටේ පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් ගජ මිතුරන්ය. දේශපාලනය තුළ සැබෑ තත්ත්වය මෙය වුවත් ගෙවී ගිය හැත්තෑ වසරක් පුරා ජනතාව දෙකට තුනට බෙදී ගහ මරා ගත්හ. සමහර අවස්ථාවලදී තමන් සහයෝගය ලබාදෙන දේශපාලනඥයාට වැඩ කිරීමට ගොස් ජීවිතය අහිමි කරගත් පාක්ෂිකයන්ද අප රට තුළ සිටී. මරණයට, මඟුලට වැට පැනීමට සිටිනා තම අසල්වාසීන් දේශපාලනය නිසා ඇතැම් පුද්ගලයන් විසින් වෛරක්කාරයන් බවට පත් කරගෙන තිබේ.
ජනතාව දේශපාලනය කරන්නේ මේ ආකාරයටය. එහෙත් ජනතාව සිදු කරන මෙවැනි ක්‍රියා ශිෂ්ට සමාජය විසින් අනුමත කරන්නේ නැත. පොදු මහත් වූ ජනතාව මේ ආකාරයට හැසිරුණද දේශපාලනඥයින් හැසිරෙන්නේ මීට හාත්පසින්ම වෙනස් ක්රමයකටය. එහෙත් ලෙහෙසියෙන් රටේ සමහර ජනතාවට ඒවා එළිපිට දැක ගැනීමට හැකියාවක් තිබුණේ නැත.
මෙතෙක් කලක් තිරය පිටුපස තිබූ ගජ මිතුරුකමක් පසුගිය 26 වැනි දින සවස් කාලයේදී සමස්ත ජනතාවටම දැන ගැනීමට හැකි විය. 2015 වසරේ ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අහිමි වූයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාවගෙන් ලබා ගත් ජනවරම නිසාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුවත් ඒ අවස්ථාව වනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි කරගෙන සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එහෙත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමේ සටනේ පෙරමුණේම සිටියේ එක්සත් ජාතික පක්ෂයයි. මේ නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙනුවට එවකට විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් සමග එතෙක් පැවැති අමාත්‍ය මණ්ඩලයේ නිල කාලයත් අවසන් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීම නිසා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර හිමි විය.
එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අග්‍රාමාත්‍යවරයාට නොහැකි වන නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ආරාධනාවකට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක්ද ආණ්ඩුවට සහයෝගය දක්වමින් අමාත්‍ය ධුර ලබා ගත්තේය. දේශපාලන කරළිය තුළ මෙවැනි දේවල් සිදුවෙමින් තිබියදී පක්ෂ දෙකම එක් වී ආණ්ඩු කළත්, 2015 වසරේ අගෝස්තු 17 වැනි දින පැවැති මහා මැතිවරණයට තරග කළේ කණ්ඩායම් දෙකක් වශයෙනි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂය වටා කණ්ඩායම් කිහිපයක් එකතු වී සිටීම නිසා එක්සත් ජාතික පෙරමුණ යටතේ එම කණ්ඩායම තරග කළ අතර, එම පෙරමුණේ ප්‍රධානියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානෙය් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන ලදී. කණ්ඩායම් දෙකක් වශයෙන් තරග කළද මැතිවරණයෙන් පසු කණ්ඩායම් දෙක එකට එකතු වී ආණ්ඩු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධ වේදිකාවලදී ප්‍රකාශ කළේය.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතර ආසන ප්‍රමාණයක් ලබාගත්තද අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමි නොවන බවටද එහිදී ප්‍රසිද්ධියට පත් කෙරිණි. අගොස්තු 17 වැනි දින පැවැති මැතිවරණයෙන් බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකි වූයේ නැත.
එම මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ආසන 106කුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95කුත්, දෙමළ ජාතික සන්ධානයට ආසන 16කුත්, ජනතා විමුක්ති පෙරමුණට ආසන 06කුත්, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට ආසන 1ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 1ක් වශයෙන් හිමිවිය.
අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන මේ ආකාරයට බෙදී යෑම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක සහයෝගය මත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට
පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. ජාතික ආණ්ඩු සංකල්පය මත රට ඉදිරියට ගෙන යෑම සඳහා අමාත්‍යවරුන් 45ක් පත්කර ගැනීමටත් මෙහිදී නීති සකස් කර ගැණිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේදී රට තුළ සිදුකරන සංවර්ධන වැඩපිළිවෙළවල් හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු රාශියක් ලබාදීමටත් කටයුතු කළේය.
මීට අමතරව ජාතික ආණ්ඩුව යටතේ රට තුළ සිදු කරන සංවර්ධන වැඩපිළිවෙළවල් හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදී තිබුණි.
දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට ලබාදුන් පොරොන්දුවකට අනුව විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි වසර 06ක ප්‍රමාණය වසර 05ක් බවට පත්කර ගැනීමද මෙහිදී සිදු විය. මීට අමතරව එතෙක් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සෘජුවම පැවරී තිබූ බලතලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් කප්පාදුවකට ලක්විය.
මෙවැනි දේවල් සිදු කළද ජන ජීවිතය ගොඩනැගීම සඳහා ගෙවී ගිය කාලය තුළ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැත. මීට අමතරව පවත්වාගෙන යෑමට නොහැකි බවට පවසමින් රාජ්‍ය දේපොළ දීර්ඝ කාලයකට බදු ලබාදීම, දඩ මුදල් ඉහළ දැමීම, නව බදු හඳුන්වා දීම යන ක්‍රියාද ආණ්ඩුව විසින් සිදු කරනු ලැබීය.
මෙවන් තත්ත්වයක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත රටට අවශ්‍ය බවට ග්‍රාමීය වශයෙන් ජනතාව ඉල්ලා සිටීමට කටයුතු කළේය. මීට අමතරව ආණ්ඩුවට එකතු නොවී ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට බොහෝ වැඩසටහන් රට තුළ දියත් කළේය.
මේ හේතුව නිසා සහා ජාතික ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා පීඩාවට පත් ජනතාව මේ වසරේ පෙබරවාරි 10 වැනි දින පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 221ක බලය සෘජුවම ලබා දීමට කටයුතු කළේය. පළාත් පාලන ආයතන 341ක් පැවැතියද පෙබරවාරි 10 වැනි දින පැවැති මැතිවරණය
පැවැත් වූයේ ආයතන 340ක් වෙනුවෙනි. එහිදී ලැබූ ජන ප්‍රසාදය නිසා ආණ්ඩුව තුළ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පිරිසක් අගමැති තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට ප්‍රකාශ සිදු කළේය.
දෙතුන් දෙනාගෙන් ආරම්භ වූ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ අදහස ටික දිනක් ගතවන විට විශාල පිරිසකගේ අදහසක් බවට පත් වී තිබුණි. මීට අමතරව බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ වංචා දූෂණ හා රාජ්‍ය ආයතන විකුණා දැමීමට හෝ බදු ලබාදීමට තීරණය කිරීම හා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ කණ්ඩායම්වල ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට විශාල බලපෑමක් එල්ල විය. ආණ්ඩුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය කණ්ඩායමක් අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට ලිඛිතව ඉල්ලා සිටීමටත් කටයුතු කළේය.
මේ අතරතුර ඒකාබද්ධ විපක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ අතර, මෙම යෝජනාවට සහයෝගය පළ කරන බවට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද ඉඟි පළකර තිබුණි. එහෙත් විවිධ ක්‍රම භාවිතා කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට කටයුතු කළේය. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවට පෙන්වීමටත් හැකියාව ලැබුණි.
විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සෘජුවම අගමැතිවරයා ඉවත් කිරීමට තිබූ බලතල අහිමි වී තිබූ බවට නීති විශාරදයන් පෙන්වා දීමට කටයුතු කළේය.
එහිදී නීති විශාරදයන් පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වීමකදී හෝ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි අවස්ථාවකදී හැර අගමැතිවරයා තනතුරින් ඉවත් කළ නොහැකි බවයි. කෙසේ නමුත් පසුගිය 26 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට කටයුතු කළේය.
මීට අමතරව &ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව ඔබගේ පත්වීම් බලධාරීයා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට* රනිල් වික්‍රමසිංහ මහතා වෙතට ජනාධිපති ලේකම් මගින් ලිපියක් යැවීමටද කටයුතු කෙරිණි. එහෙත් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, අගමැතිවරයාගේ තනතුර සම්බන්ධයෙන්, (අ) යටතේ, ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ (ආ) යටතේ තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ධුරයේ දරන්නේය යනුවෙන් සඳහන් කර තිබේ.
මේ නිසා තවදුරටත් අග්‍රාමාත්‍ය තනතුර දරන්නේ තමන් බවට රනිල් වික්‍රමසිංහ මහතා 26 වැනි දින හා 27 වැනි දින මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කළේය.
මේ අනුව අද වනවිට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු අප රට තුළ සිටිනවාද යනුවෙන් ජනතාව තුළ ප්‍රශ්නයක් ඇති වී තිබේ. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවටද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එහෙත් පාර්ලිමේන්තුව ලබන මස 16 වැනි දින දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය පෙන්වීමට 16 වැනි දින තෙක් බලා සිටීමට සිදුව තිබේ.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සාපෙක්ෂව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට කටයුතු කළ අතර, නව අග්‍රමාත්‍ය ලේකම්වරයෙකු පත් කිරීමටද කටයුතු කර තිබේ. මීට අමතරව අද (29දා) දිනයේදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගන්නා බවටද ප්‍රකාශ නිකුත් වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවේදී අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක් විය යුතු බවට සඳහන් කර තිබේ. මේ අනුව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළහොත් එය 30 දෙනෙකුට සීමා වන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් අද වනවිට රටේ ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ බල පෙරළියක් නොවේ. රුපියලට සාපෙක්ෂව ඩොලරය ශක්තිමත්වීම හා බදු බර, දඩ බර, බඩු මිල ඉහළ යෑම හේතුවෙන් පත්ව තිබෙනා තත්ත්වයෙන් ගොඩ ඒමටය.
එසේ තිබියදී දේශපාලන අර්බුදයක් ඇතිවීම යනු ජනතාවට තවත් බරකි. ලබන වසර සඳහා සකස් කළ අයවැය ලේඛනයද නැවත වරක් සකස් කිරීමට සිදුව තිබෙන අතර, මීට අමතරව නව අගමැතිවරයෙකු පත්කිරීම නීතිවිරෝධී බවට හා නීත්‍යනුකූල බවට නීති ක්ෂේත්රය තුළම කණ්ඩායම් දෙකක් නිර්මාණය වී තිබේ. එයද රටට එතරම් හොඳ ක්‍රියාවක් නොවේ. කෙසේ නමුත් අයවැය ලේඛනයක් ජයග්‍රහණය කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය කුමන හෝ කණ්ඩායමක් පෙන්විය යුතුය.
මෙහිදී නව අගමැතිවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත් රට තව තවත් අවුලට පත්විය හැකිය. රට අවුල් වූවා කියා පවතින නීතිරීතිවලට අනුව ජනාධිපතිවරයාගේ සෘජු තීරණයකට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමටත් බලය නොමැති බවට නීතිමය තර්කයක් ගොඩ නැගී තිබේ.
කෙසේ නමුත් යම් තරමකට හෝ ජනමතය උරගා බැලීමට කල් ගතවෙමින් තිබෙනා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබේ. මීට අමතරව සියලුම දෙනාම එක්වී පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මතයකින් මහ මැතිවරණයකට යෑමට හැකියාව තිබේ.
එසේ නොමැතිවුවහොත් සිදුවන්නේ ඉදිරි කාලයේම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට කණ්ඩායම් දෙකටම විවිධ උපක්‍රම සිදු කරමින් සිටීමට සිදුවීමයි. කෙසේ නමුත් ඊයේ (28දා) සවස් වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට බහුතරය පෙන්වීමට හැකියාව තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සඳහන් කරමින් සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද, මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ සිදු කරමින් තිබෙන අතර, කුමන තත්ත්වයක් මත වුවත් අද (29දා) මේ රටේ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් වනු ඇත. අප රටේ ජනතාවට අද දිනයේදී බොහෝ දේ දැන ගැනීමට හැකියාව තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ජාත්යන්තරයතුළ කුමන ආකාරයකට දකිවීද යන්න සැක සහිතය.
මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව බටහිර රටවල විවිධ මත පළ කර තිබේ. රුපියල කඩා වැටෙමින්, ආර්ථික අර්බුදයකට රට තල්ලු වෙමින් තිබෙන නිසා අප ජාත්‍යන්තරයේද හොඳ හිත දිනාගත යුතුය.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින තානාපතිවරුන් කණ්ඩායමක් පෙරේදා (27දා) රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මීට අමතරව අලුතින් පත්වන ආණ්ඩුවට එකතුවීම සඳහා විපක්ෂයේ හා විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මුදල් හා ආ‘ණ්ඩුවේ තනතුරු ඉල්ලා තිබෙන බවටද වාර්තා වේ. මේ අනුව ඉදිරි දිනවලදී තම කණ්ඩායමේ බලය රැකගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණනක වටිනාකමක් ලබාදීමට නියමිතය.
අවසානයේදී මේ සටනින් පවා පරාජයට පත් වන්නේ මේ රටේ ජනතාවය. එහෙත් සෑම දේශපාලන කුමන්ත්‍රණයකදී සේම මෙම බල පොරයේදීද සියලුම වාසි හිමි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට හා දේශපාලන පක්ෂ කිහිපයකටය. මෙවැනි දේවල් දේශපාලනය තුළ සිදු වුවත් මේ කිසිදු දේශපාලනඥයෙකුට රට දියුණු කිරීමට හෝ ජනතා ජීවිත අඟලකින් හෝ ඉදිරියට ගැනීමට වැඩපිළිවෙළක් තිබේද යන්න සැක සහිතය. මීට අමතරව රට නිවැරදි ආකාරයට ඉදිරියට ගෙන යෑමට මෙම පිරිසට වැඩපිළිවෙළක් තිබේද යන්න සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති වී තිබේ.