රජය අයකරන බදු ටික අයින් කළා නම් මීට වඩා අඩුවට බ්ත්තරයක් නිෂ්පාදනය කරන්න තිබුණා


වෙළෙඳ පොලේ බිත්තර මිල තරමක් ඉහළ මට්ටමක පැවතීම පාරිභෝගිකයාට තදින් දැනී තිබේ. මිල අඩුකර ජනතාවගේ ආහාරවේලට අඩු මිලට බිත්තරයක් ලබාදීමට නොහැකි ඇයිදැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු.


වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 22-23 පමණ වෙනවා. බිත්තරයකට එතරම් මිලක් අයකර ගන්නේ ඇයි?

අපි ෆාම් එකෙන් රතු බිත්තරයක් ලබාදෙන්නේ රුපියල් 16ට,  17ට, 18ට. සිල්ලර කඩවල මිල වෙනස්කම් සිදුවනවා ඇති. බිත්තරයක් රුපියල් 18ට තොග වශයෙන් ඕනෑම තැනකින් ගන්න පුළුවන්. දඹුල්ලේ දෙන්නේ 17.50ට. බිත්තර 200ක් දැමූ පෙට්ටියක් ගන්නවා නම් රුපියල් 17ට දෙනවා.

මිල වැඩි වීමට බලපා ඇති කරුණු මොනවාද?

දැන් තියෙන බඩු මිලත් එක්ක රුපියල් 15ක් නැතිව බිත්තරයක් නිෂ්පාදනය කරන්න බැහැ. බඩඉරිඟු රුපියල් 30-35ට තිබුණු  කිලෝවක් දැන් රුපියල් 72යි. රුපියල් 38ට තිබුණු හුනුසාල් කිලෝවක් අද වන විට රුපියල් 58යි. ඊ විටමින් කොට්ටයක් රුපි. 26,000-31,000 අතර තිබුණේ. අද වන විට එය 65,000-70,000 පමණ වෙනවා. බිත්තර නිෂ්පාදකයන් පිටරට අමුද්‍රව්‍ය 75෴ක් යොදා ගන්නවා. ලංකාවෙන් බඩඉරිඟුයි හුනුසාලුයි විතරයි ගන්නේ. සාමාන්‍යයෙන් ෆාම් එකේ කුලියත් එක්ක බලද්දී බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 16.25ක් යනවා. එහෙම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 13.50ක් වෙනවා. ප්‍රීමා කුකුල් කෑම කිලෝ 50 කොට්ටයක් රුපියල් 4500ක් වෙනවා. ඒ කියන්නේ කෑම කිලෝ එකක් රුපියල් 90යි. කුකුල්ලු 100ක් දවසකට දාන්නේ බිත්තර 80යි. ඒ සත්තු 100ට දවසකට කෑම කිලෝ 12ක් යනවා. ඒ වියදම් බලද්දි ගොවියාට ලැබෙන්නේ පොඩි ලාභයක්. රජය අයකරන බදු ටික අයින් කළා නම් මීට වඩා අඩුවට බිත්තරයක් නිෂ්පාදනය කරන්න තිබුණා. පසුගිය කාලයේදී බිත්තරයක් රුපියල් 8ට 9ට දීලා පාඩු වූ නිසා ගොවියෝ විශාල පිරිසක් මේ කේෂ්ත්‍රයෙන් අයින් වුණා. අද පැටියෙක් ළඟට නිකන් ගෙනත් දුන්නත් පාඩු නැතිව හදන්න බැහැ. දැන් රුපියල් 10ට 12ට බිත්තරයක් කන්න බැහැ.

බිත්තරයක් නිෂ්පාදනයේදි බදු වශයෙන් කීයක් අය කරනවාද?

පසුගිය කාලයේදී බදු 40%කට වඩා වැඩි වුණා. බිත්තරයකට බද්ද රුපියල් 3.50ක් පමණ අය වෙනවා. ඒ වගේම රටේ අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියා.

 බඩඉරිඟු කිලෝවක් මිලදී ගන්නේ කීයටද?

 රටින් ආනයනය කළ බඩඉරිඟු කිලෝවක් රුපියල් 67.50ක් වෙනවා. ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් ඒ විදියට ගෙන්වනවා. ඒ රටවල්වලත් ඉහළ මිලකටයි බඩඉරිඟු ගන්න තිබෙන්නේ. රුපියල් 33ට තිබුණු කාලයේ අපිට ගේන්න ඉඩ දුන්නෙ නෑ. ඒ රටවල්වල මිල ඉහළ ගිය කාලයට තමයි අපිට ගේන්න දෙන්නේ. ලංකාවේ සාමාන්‍ය මිල රුපියල් 72ක් වෙනවා. හොරොව්පතානේ ගොවියෝ ගාවට ලොරියක් ගිහින් පෙරේදා (20දා) පැටෙව්වා 62 ගානේ. පසුගිය කාලයේදී 68-69 මිලවලටත් තිබුණා. අමු බඩඉරිඟු කිලෝවක් රුපියල් 47-48 ගානේ අපි මිලදී ගන්නවා. 

මේ සඳහා ඔබ යෝජනා කරන්නේ කවරක්ද?

රටේ බඩඉරිඟු අතිරික්තයක් දිහා බලලා පිටරටින් ගේන්න දෙනවා නම් අඩු මිලට ගන්න පුළුවන්. නැත්නම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්න බැහැ. කවුරුවත් ඒක හිතන්නෙ නෑ. කවදාවත් බිත්තරයක එකම මිලක් අල්ලගෙන දීර්ඝ කාලයක් ඉන්න බැහැ. රටේ බිත්තර අතිරික්තයක් තිබුණොත් රුපියල් 6-7ටත් මිල බහිනවා. නිෂ්පාදනය අඩුවීම නිසා අතිරික්තයක් එන්න විදියක් නැහැ. නිෂ්පාදනය කිරීම සඳහා ලොකු පිරිවැයක් යනවා. ගොවියෝ නැත්තටම නැති වෙලා ඉන්නේ. ප්‍රධාන සමාගම්වලට වැටුප් දෙන්නවත් විදියක් නැහැ.

දැනට බිත්තර නිෂ්පාදකයෝ කීදෙනෙක් විතර ලංකාවේ ඉන්නවද?

නිෂ්පාදකයන්ගෙන් 70%ක් ඉන්නේ වයඹ පළාතේ. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයෝ 4370කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ප්‍රධාන සමාගම් 06ක් හැර අනෙකුත් සියලුම නිෂ්පාදකයන් අප සමග එක්ව සිටිනවා.

ඉදිරියේදී මිල අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් පෙබරවාරි 10-15 වෙද්දි බිත්තරයක තොග මිල 12ට 13ට එනවා. රටේ අමුද්‍රව්‍ය ටික එනවා. බඩඉරිඟු ටිකයි, හාල් ටිකයි ඒ කාලෙට එනවා. පසුගිය කාලයේ එකදිගට නියඟය තිබුණු නිසා මේ නිෂ්පාදන බිත්තර නිෂ්පාදකයන්ට ලැබුණේ නැහැ. කුකුල් කෑම විදියට 40%ක් දාන්නේ බඩඉරිඟු . ඒනිසා රටේ බඩඉරිඟු නිෂ්පාදනය දිහා බලලා ඉතිරි ටික ආනයනය කරන්න ඉඩ දුන්නා නම් මිල අඩු වෙනවා. ලංකාවේ බිත්තර මිල නියම කරන්නේ මම. ලබන සතිය වනවිට බිත්තර මිල අඩු වෙනවා. හෙට රුපියලකින් මිල අඩු කළොත් තව ඩිමාන්ඩ් එකක් ඇතිවෙනවා. අපි බිත්තරයක මිල ඉල්ලුම තිබියදී පහළ දැමුවොත් වැඩක් නැහැ. නිෂ්පාදකයන්ගෙන් 60%ක් මිල අඩු කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. මුලින්ම රුපියලක් අඩු කරනවා. ගොවියාගෙන් තොරතුරු අරගෙන ලොකු තොගයක් එකතු වී තිබෙන බව පෙනී ගියොත් මිල අඩු කිරීම අනිවාර්යෙන්ම සිදුකරනවා. තොග මිල රුපියලකින් අඩු කළාම පාරිභෝගිකයා ඊළඟ සතියේ බිත්තර ගන්නෙ නෑ. මොකද තවත් මිල අඩුවේවි කියලා හිතලා.

මිල අඩු කරන්න ප්‍රධාන වශයෙන් බලපාන සාධක මොනවාද?

කුඩාම බිත්තර හා මධ්‍යම ප්‍රමාණයේ බිත්තර නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. අද පොඩි බිත්තර තොග මිල රුපියල් 12-13ට තිබෙනවා. පෙබරවාරි මාසයේදී මංගල උත්සව ඇතුළු උත්සව අඩු වෙනවා. එළවළු මිල අඩු වෙලා තිබෙනවා. මාළු මිල අඩු වෙනවා. බිත්තර මිල දෝලනය වෙන්නේ මාළු මිලයි එළවළු මිලයි අතරේ. මාළු මිල අඩු වූ ගමන් බත් පැකට් එකේ බිත්තරය අයින් කරලා මාළු එකතු වෙනවා. දැන් එළවළුවලට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. බිත්තරයට ලැබෙන විශේෂත්වය අඩුයි.

වෙළෙඳ සැලෙන් පාරිභෝගිකයාට කීයකට බිත්තරයක් ගන්න පුළුවන් වේවිද?

ලබන සතිය වනවිට බිත්තරයක් රුපියල් 16ට 17ට ඒවි. බිත්තර 250ක් විතර කඩේට අරගෙන ගියාම ඩැමේජ් වෙන ඒවා එක්ක බලද්දී රුපියල් 2-3ක් ලාභය නැතිව අලෙවි කරලා වැඩක් නැහැ. අපි හමුදාවට බිත්තරයක් රුපියල් 17 ගානේ දැනට දෙනවා. මේ වන විට මධ්‍යම ප්‍රමාණයේ බිත්තර මුළු නිෂ්පාදනයෙන් 25෴ක් පමණ වෙලා තිබෙනවා. ඒක සති දෙකක් තුනක් යනවිට ලොකු බිත්තරවලට මාරු වුණු ගමන් නැවත මිල වෙනස් වෙනවා. ඉල්ලුම, බඩු මිල ගණන් එතනදී බලපාන්නෙ නෑ. පසුගිය අවුරුදු දෙකේ රුපියල් 8-9ට තිබිලා ගොවියා නැති වුණා. ඒ ප්‍රශ්නයෙන් පස්සෙ තමයි බිත්තර මිල දැන් පවතින මිල ගණන්වලට මාරු වුණේ. මේ විදියේ මිලක් නැත්නම් ගොවියා සම්පූර්ණයෙන්ම නිෂ්පාදනයෙන් ඉවත් වේවි.

බිත්තර නිෂ්පාදකයන්ට රජයෙන් ලබාදිය යුතු සහය කොයි වගේද?

ආණ්ඩුව බදු අයින් කරලා වියදම් අඩු කළොත් පාරිභෝගිකයාට සාධාරණ ගාණකට අලෙවි කරන්න පුළුවන්. විටමින් වර්ගවලින් බදු අයින් කළොත් ප්‍රශ්නය ඉවරයි. නිෂ්පාදන වියදම අඩු කරන ක්‍රමයක් ගොවියාට පෙන්වා දිය යුතුයි. රජයේ ගොවිපළෙත් බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 15.90ක් යනවා.



Recommended Articles