රජ ඉස්සන් වගා කිරීමට වෙඩිතලතිව් බිලිදී​මේ සූදානමක?


කැළුම් දේවින්ද / නදීෂානි පතිරණ

ලංකාවේ ඇති ස්වාභාවික රක්ෂිත අතර වැදගත් ස්ථානයක් හිමිව තිබෙන වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය නැවත ගැසට් කරමින් එහි කොටසක් ජලජ ජීවීන් වගා කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීමට වසර කිහිපයක් පුරාවට උත්සාහ කළත්, එල්ල වූ චෝදනා හමුවේ එය තාවකාලිකව නැවතුණි. නමුත් මෑතකදී නැවතත් එම ව්‍යාපෘතිය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමක් පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිවන නිසා ඒ පිළිබඳව තොරතුරු ගෙන ඒමට අපි උත්සාහ ගතිමු.

මන්නාරම් දිස්ත්‍රික්කයේ වන්කාලෙයි, රැම්සාර් තෙත්බිම්වලට යාබදව වයඹ වෙරළ තීරයේ පිහිටා ඇති "වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය" කඩොලාන, මඩ තට්ටු, ලුණු වගුරුවීම්, මුහුදු තණකොළ, කොරල්පර මෙන්ම ජලජ ජීවීන් සහ සංචාරක පක්ෂීන් ගැවසෙන පාරිසරික මට්ටමෙන් ඉතා විශාල විචිත්‍රවත් පරිසර පද්ධතියකි. විශේෂයෙන් මන්නාරමෙන් ඇතුළුවන සංචාරක පක්ෂීන්ට හමුවන පළමු අලංකාර කලපු තීරය වන්නේද මෙම වෙඩිතලතිව් රක්ෂිතයයි. සංචාරකයන්ට පවා සංචාරය කිරීමට අවසර නොලද මෙම ස්වභාවික රක්ෂිතයට ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ දරුණු ඛේදවාචකයකි.

2014 වසරේදී උතුරු පළාත් සභාව විසින් පත්කරන ලද ඒකාබද්ධ උපාය මාර්ගීය පාරිසරික තක්සේරුවක් (ISEA) විසින් "වෙඩිතලතිව් රක්ෂිතය" ස්වාභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නිර්දේශ කරන ලදී. එමෙන්ම 2009 අංක 22 දරණ වනසත්ත්ව හා වෘකෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2(1) වගන්තියට අනුව මෙම සංචිතය "ඉහළ ප්‍රමුඛතා සංරක්ෂණ" ස්ථානයක් ලෙස ගැසට් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කළේය. මෙම ඒකාබද්ධ උපායමාර්ගීය පාරිසරික තක්සේරුවට අනුව මෙම පරිසර පද්ධතිය කිසිදු ආකාරයකින් ඛණ්ඩනය කිරීමක් හෝ වෙනස් වීමක් සිදුවීම වළක්වා ගැනීමේ ඇති වැදගත්කම පැහැදිලිව පෙන්වා දී තිබේ. ඒ අනුව හෙක්ටයාර 29,180ක ගොඩබිම සහ මුහුදු වෙඩිතලතිව් රක්ෂිතය "ස්වාභාවික රක්ෂිතයක්" ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ 2016 මාර්තු 01 දින ප්‍රකාශයට පත් කළ 1956 අංක 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

මෙම රක්ෂිතය ස්වාභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කළ පසුව 2017 වසරේදී ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මෙම ප්‍රදේශයේ ජලජීවී වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා නැවත වරක් ගැසට් කිරීමට රජයෙන් ඉල්ලා සිටියේය. ඒ නැගෙනහිර පැසිෆික් සාගරයේ වෙසෙන රජ ඉස්සන් (Litopenaeus vannamei)  මාළු සහ බෙල්ලන් විශේෂයක් වගා කිරීම සඳහාය. 2009 අංක 22 දරණ "වනසත්ව හා වෘකෂලතා ආරක්ෂණ ආඥා පනත" ප්‍රකාරව දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති ස්වාභාවික රක්ෂිතයක් වෙනස් කිරීමට හෝ නැවැත්වීම සිදුකළ හැක්කේ වනජීවි අමාත්‍යවරයා විසින් ආඥා පනතේ 2(4)ට යටත්ව පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගැනීමෙන් පසුවය. එහිදී සීමා මායිම් වෙනස් කිරීමක් හෝ ජාතික රක්ෂිතයක් අස්ථාවර කිරීමකදී ඒ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදුකළ යුතු වන අතර, එම අධ්‍යයනයට යෝජිත වෙනසෙහි "පාරිසරික ප්‍රතිවිපාක" පිළිබඳව විමර්ශනයක් ඇතුළත් කළ යුතුය.

2017 වසරේදී මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් සකස් වන අතර, ඊට අදාළ විමර්ශනයක් සහ පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදුකරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සියට (NARA) ආයතනයට නියෝග කළේය.

එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලූ හෙක්ටයාර 1500න් 1000ක් පමණක් අනුමත කර තිබෙන ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය ඉතිරි හෙක්ටයාර 500ක ප්‍රමාණය අතිසංවේදී බැවින් එම කොටස අනුමත කර නොමැත. වැඩිදුර සමාලෝචනයකින් පසුව පරිසර පද්ධතිය ඛණ්ඩනය වීමෙන් ඇතිවිය හැකි පාරිසරික බලපෑම පිළිබඳ වාර්තාව ධීවර අමාත්‍යාංශයට දැනුම් දී ඇතත්, වෙඩිතලතිව් රක්ෂිතය නැවත ගැසට් කිරීම සඳහා වන පීඩනය තවමත් පහව ගොස් නොමැත.

හෙක්ටයාර 1000ක ජලජීවී වගා කාර්මික උද්‍යානයක් සඳහා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම මත්ස්‍ය විශේෂ වගා කිරීමට පෞද්ගලික පාර්ශ්වයන්ට ඉඩකඩ සැලසේ.

මෙම සංවේදී භූමිය තුළ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමෙන් අනෙකුත් ස්වදේශික ජලජ ජීව විශේෂයන්ට සහ සමාජයට සිදුවන පාරිසරික බලපෑම කෙසේද පිළිබඳව ප්‍රමාණවත් පර්යේෂණයන්ද සිදුකර නොමැත. තවද මෙම ව්‍යාපෘතිය මගින් මේ සඳහා අඩවි තුනක් හඳුනාගෙන ඇති අතර, ඉන් එකක් මුළුමනින්ම වෙඩිතලතිව් රක්ෂිතය තුළම පිහිටා තිබේ. අනෙක් අඩිවි දෙක රක්ෂිතයේ නැගෙනහිර මායිමේ පිහිටුවීමට සලකුණු කර ඇත. කෙසේ වෙතත් පොකුණු මත පදනම් වූ ඉස්සන් ගොවිතැන් කිරීම මුන්දලම සිට පුත්තලම දක්වා වූ ඉඩම්වල මෙන්ම ආසියාවේ බොහෝ තැන්වලද අසාර්ථක වූ ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමෙන් වෙඩිතලතිව් පරිසරයට මෙන්ම ඒ අවට වෙසෙන ධීවර කර්මාන්තකරුවන්ටද සිදුවන බලපෑම අතිමහත්ය. විශේෂයෙන් එහි වෙරළ ඛාදනයකට එරෙහිව ප්‍රධාන ආරක්ෂක බැම්මක් ලෙස සැලකිය හැකි කඩොලාන ගහනය මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අහිමිව යයි. එමෙන්ම කඩොලාන පරිසර පද්ධති සහ ඊට යාබද පාරිසරික වශයෙන් සම්බන්ධ ලිටෝරල් පරිසර පද්ධතියද (littoral zone) නැති වී යයි.

එමෙන්ම මාළු හා බෙල්ලන් තවාන් කිරීමට නොහැකි වීම තුළින් ඒ අවට වෙසෙන ධීවර ප්‍රජාව විශාල අපහසුතාවකට පත්වේ. මෙම මත්ස්‍ය ගොවිපොළවල් තුළ රෝග සහ පරපෝෂිත වසංගත පැතිර යාම තුළින් එහි සිටින ස්වභාවික මත්ස්‍ය ගහනයට හානි සිදුවේ. එමෙන්ම මේ වනවිට වඳවීමේ තර්ජනයට ලක් ඇති "ඩුගොන්ස්" හෙවත් "මුහුදු ඌරා" සහ මුහුදු තෘණ පද්ධතීන්ද මේ නිසා විනාශ වීමට ඉඩකඩ ඇත.

මෙහි කඩොලාන පරිසර පද්ධතිය

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේදී වෙඩිතලතිව්හි කඩොලාන පරිසරය අපට අහිමිවීමේ ප්‍රධාන අවදානමක් තිබේ. නමුත් මේ වනවිට ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස 2018 වසරේදී කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා වන සහයෝගීතාව ජය ගැනීමට %commonwealth blue charter^ සම්මත කර ඇත. එහෙයින් කඩොලාන පද්ධතිය විනාශ වීම ලංකාව මෙම ප්‍රතිපත්තියට එකඟ නොවෙමින් කටයුතු කරන්නකි.

විශේෂයෙන් කඩොලාන, මුහුදු තෘණ, කොරල් පර යනු සුනාමි, කුණාටු, උදම් රළ වැනි අනතුරුවලදී වෙරළ කලාපයන් ආරක්ෂා කිරීමට ස්වභාවිකවම ක්‍රියා කරවන පරිසර පද්ධතීන්ය. එමෙන්ම ඒවා මාළු හා බෙල්ලන් වැඩීමට සුදුසු ප්‍රදේශද වෙයි. වෙඩිතලතිව් කඩොලාන පද්ධතියේ වැදගත්ම කරුණ වනුයේ මෙම වෙරළට ඔබ්බෙන් ගොවිතැන් කිරීම සඳහා මුහුදු ජලය එම බිම්වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා කඩොලාන පිහිටා තිබීමයි. එමෙන්ම ඉස්සන්, කකුළුවන් සහ ආක්‍රමණශීලී ජීවීන් වඳ කිරීමට මෙම කඩොලාන සහ මුහුදු තෘණ පද්ධතිය ස්වභාවයෙන්ම කටයුතු කරයි.

රජ ඉස්සා (Litopenaeus vannamei)

Litopenaeus vannamei ලෙසින් හඳුන්වන මෙම මෙම ජලජීවීන් නැගෙනහිර පැසිෆික් සාගරයෙන් ව්‍යාප්ත වී තිබේ. ඉන්දියන් සාගරයේ ඇති මෙම ඉස්සන් විශේෂවල බලපෑමද මෙතෙක් තක්සේරු කර නොමැති අතර, මෙම ඉස්සන් අන්වීක්ෂීය යෞවන අවධියේදී පොකුණුවලින් බේරී දේශීය ඉස්සන් සහ අනෙකුත් ඉස්සන් අබිබවා යාමේ සම්භාවිතාවක් ඇත.

මෙම රජ ඉස්සන් විසින් "කළු ජිල් රෝග", "සුදු මල රෝග", "වලිග කුණුවීම", "සුදු ලප රෝග්‍" ඇතුළු රෝග රැසක් ගෙන එනු ලබයි. මීට පෙර වසර කිහිපයකට පෙර පුත්තලම ප්‍රදේශයේ වගා කළ මෙම රජ ඉස්සන් වගා කිරීමේ ගොවිපොළවල් අසාර්ථක වී අත්හැර දැමීම සිදුව ඇත්තේද ඔවුන්ගෙන් බෝ වුණු ඉහත රෝගයන් හේතුවෙනි.

මේ පිළිබඳව අප පරිසරවේදී ජයන්ත විජේසිංහ මහතාගෙන් කරුණු විමසා සිටියදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

"මේ ව්‍යාපෘතිය මුලින්ම පැමිණි අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය මිනුම් කටයුතු සිදු කරලා කණු ගැහුවා. නමුත් ඒ සඳහා පරිසරවේදීන්, පරිසර සංවිධාන, සංරක්ෂණවේදීන්, ප්‍රදේශයේ ධීවර ජනතාව යම් යම් විරෝධතා එල්ල කළා. ඒ දේවල් නිසා මෙම ව්‍යාපෘතිය ඒ කාලයේදී කරන්නේ නැතුව ටිකක් පස්සට ගියා. ඒ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව මේකට විරුද්ධ වෙලා තිබුණා. නමුත් පසුගිය කාලයේදී නැවත ඉල්ලීමක් මතුව තිබුණා මෙම ජලජීවී වගා ව්‍යාපෘතිය සකස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා. ඒක කරන්න නම් ඒ භූමිය රක්ෂිතයෙන් ඉවත් කිරීම සඳහා යම් සාකච්ඡාවක් සිදුව තිබෙනවා. මේ ව්‍යාපෘතිය සිදු කරන්න උත්සාහ කරන ව්‍යාපාරිකයත් එක් දේශපාලනඥයෙක් අල්ලාගෙන නැවත ගැසට් කිරීම සඳහා උත්සහ කරා. ඒ නිසා අපි පසුගිය දිනෙක වෙඩිතලතිව් බලන්න ගියා. මේ ව්‍යාපෘතිය සිදු කරන්න උත්සාහ කරන ව්‍යාපාරික ආයතනය වෙඩිතලතිව් රක්ෂිතය මායිමේ ජීවත් වන පුද්ගලයන්ගේ ඉඩම් කිහිපයක් (ඉඩම් අක්කර පනහක්) පමණ මිලදී ගෙන තිබෙනවා.

රක්ෂිතය තුළ ඔවුන් මායිම් කර ඇති ස්ථානවල මේ වනවිට කණු ගහලා තිබෙනවා. ඒ කණුවලින් ඇතැම් ප්‍රමාණයක් අවට ප්‍රදේශවාසීන් ගලවලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සිදු කරනවාට ප්‍රදේශවාසීන් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ කියන සීමාව වසරේ මාස තුනක් හතරක් පමණ ධීවර කටයුතු සඳහා හොඳ කලපු තීරයක් වෙනවා. අඩි තුන හතරක් පමණක් එම කාලයේදී වතුර පිරෙනවා. ඒ කාල සීමාවේදී අවට ඉන්න ධීවරයන්ට ඔවුන්ගේ වෘත්තීය සාර්ථකව කරගන්න පුළුවන්.

විශේෂයෙන් මෙම ජලජීවි ව්‍යාපෘතිය සිදුකළහොත් එයින් විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ජලයට එකතු වෙනවා. මොකද එහි ඇති ටැංකිවල ජලය සතියෙන් සතියට මාරු කරන්න ඕනේ. ඒවා ඔක්කොම දාන්නේ කලපුවටනේ. ඒ වතුර කලපුවට ගියාම එහි ජලයේ සමතුලිතතාවට, ජලයේ pH අගයට, මත්ස්‍යයන්ට හානි සිදුවනවා. ඒ වගේම මේක කඩොලානයි, මුහුදු පැලෑටි ලංකාවේ එකට තිබෙන ස්ථාන ඉතා විරලයි. ඉතින් මේ භූමිය විනාශ වීමට ඉඩ ලබාදිය නොහැකියි"

ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතීන් විවිධ දේශපාලන උවමනාවන්, ව්‍යාපාර වෙනුවෙන් අත්තනෝමතික ලෙස භාවිතා කිරීම සඳහා වසර කිහිපයක් මුළුල්ලේ සිටම දිගින් දිගටම සිදුවෙමින් පවතින ක්‍රියාවකි. ඉදිරියේදී වෙඩිතලතිව් රක්ෂිතයටද එම ඉරණමට මුහුණදීමට සිදුවිය හැකිය. එබැවින් මෙම රක්ෂිතයට එවැනි ඉරණමකට අත්විඳීමට ඉඩ නොතබා කටයුතු කරන ලෙස අපද අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

(වැඩිදුර තොරතුරු - පරිසර යුක්ති කේන්ද්‍රය)



Recommended Articles