රඟපාන්න තිබුණ ආසාවට මම හෙද වෘත්තියත් අත්හැරියා


මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය හා ඉදිරි‍යේදී ප්‍රදර්ශනය වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයකම දකින්නට ලැබෙන දුෂී ප්‍රභා ඉලංගකෝන් මෑත කාලයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. 'හතේ කල්ලිය' ටෙලිනාට්‍යයේ 'ශ්‍රී දේවි' ලෙසින් කවුරුත් හඳුනන ඇය දැනට කාලයක් තිස්සේ විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන චරිතයකි. මේ කතාබහ දිගහැරෙන්නේ ඇය සමගය.

මේ දිනවල නිරත වන රංගන කටයුතු පිළිබඳ මුලින්ම පැවසුවොත්?

මේ දිනවල මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. ඒ අතරින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන 'නාඩි' හා ස්වර්ණවාහිනියේ විකාශය වෙන 'ඇය' කියන ටෙලිනාට්‍ය හරහා මම ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී තවත් කලා නිර්මාණ කිහිපයක් නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා.

ඔබව මුලින්ම ප්‍රේක්ෂකයෝ හඳුනාගත්තේ?

මුලින්ම ප්‍රේක්ෂකයෝ මාව හඳුනා ගත්තේ 2013 වසරේදී. ඒ සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වුණ 'මන්දාරමෙන් එහා' ටෙලිනාට්‍යය හරහා. එහි ප්‍රධාන නිළි චරිතයට මම පෙනී හිටියා. ඊට පස්සෙ මම 2014 වසරේ විදෙස්ගත වුණා. නැවතත් ලංකාවට ඇවිල්ලා ආයෙ කලා නිර්මාණ කිහිපයකටම දායක වුණා. මෑතකදී මම ගැන ප්‍රේක්ෂයන් කතා කළේ හිරු රූපවාහිනී නාළිකාවේ විකාශය වුණ 'හතේ කල්ලිය' ටෙලි නාට්‍යයේ 'ශ්‍රී දේවී' කියන චරිතය තුළින්.

රංගනයට යොමු වෙන්න කැමැත්ත ඇති වුණේ කොහොමද?

තේරෙන කාලේ ඉඳලා මට තිබුණ හීනයක් මේක. පාසල් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. ඊට පස්සේ සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වුණ 'තරුමංසල' කියන වැඩසටහනට එකතු වෙලා ඉන් ජයග්‍රහණය කළාට පස්සේ තමයි රංගනයට මුලින්ම සම්බන්ධ වුණේ.

කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ?

අනිවාර්යයෙන්ම මම හෙදියක් වේවි. මොකද මම 2014 වසරේදී විදෙස්ගත වුණේ හෙද වෘත්තියටම තමා. ඒත්, රංගනයට තියෙන කැමැත්ත නිසාම මම හෙද වෘත්තියට සමු දුන්නා. රංගනය කියන දෙයින් ලබන තෘප්තිය වෙන වෘත්තියකින් ලබන්න බැහැ කියලා මම තේරුම් ගත්තා.

තරුණියකට අද කලා ක්ෂේත්‍රය සුදුසුයි කියලා ඔබ හිතනවාද?

මෙහෙමයි. බොහෝ දෙනෙකු අද තියෙන කටකතා නිසා එහෙම දේවල් කියනවා. මම හිතන්නේ මොන ක්ෂේත්‍රයක වුණත් ඔය වගේ දේවල් තියෙනවා. අපි දැනගන්න ඕන මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටිය යුත්තේ කොහොමද කියන එක. කොටින්ම කියනවා නම් තමන් හරියට ඉන්නවා නම් එච්චරයි.

කලා ක්ෂේත්‍රය තුළ ඔබ දැන් නමක් හදාගෙනද ඉන්නේ?

ඒක මට තීරණය කරන්න බැහැ. අපේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනා. මම හිතනවා මම තාමත් ඉන්නේ මේ ක්ෂේත්‍රය පළමු පියවරේ. මම උත්සාහ කරනවා ඉදිරියේදී මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න. 

මෑතකදී අපි ඔබව දේශීය සිනමාව තුළත් දුටුවා?

ඔව්, දැනට මම සිනමා නිර්මාණ දෙකකට දායක වෙලා තියෙනවා. එකක් මේ මෑතකදී ප්‍රදර්ශනය වුණා. ඒ චන්දන එදිරිසිංහ හා පූජිත ගුණතිලක දෙන්නා කරපු 'සෙලීනා' චිත්‍රපටය. අනිත් චිත්‍රපටය සනත් අබේසේකර මහත්මයාගේ 'ගුත්තිල' චිත්‍රපටය. ඒක තාම ප්‍රදර්ශනය වුණේ නැහැ. මම හිතනවා ලබන වසරේදී මේ චිත්‍රපටයත් ප්‍රදර්ශනය වේවි කියලා.

බුද්ධික සේනාධීර



Recommended Articles