යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල විරැකියා අනුපාතය ගැන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය අසත්‍යයි


“දේශීය නිෂ්පාදන සඳහා උත්තේජනයක් ලබාදීම මගින් අපගේ ජනතාව සඳහාත් රැකියා උත්පාදනය වනු ඇත. අපගේ, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ වල විරැකියාව අඩු කිරීම සඳහා අපි වහාම පියවර ගත යුතුයි.”

සී.වී.විග්නේෂ්වරන් | Daily FT | 12/09/2020

Factcheck

පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි විරැකියා විෂමතාවය වැඩි කොට දක්වයි.

මෙම ප්‍රකාශය ඇගයුම් කර බැලීම සඳහා, FactCheck විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) මගින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයන්හි 2019 වසරේ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇත. මෙම විශ්ලේෂණයේ අරමුණ උදෙසා, අප විසින් උතුරු සහ නැගෙනහිර පළාත් වලට අයත් වන ප්‍රදේශයන් “යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්” ලෙසින් සලකා තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි ඉහළම දිස්ත්‍රික් විරැකියා අනුපාතිකය 7.2% ක් වන අතර ඒ මඩකළපුවේයි. එසේම එහි බර තැබූ සාමාන්‍ය විරැකියා අනුපාතිකය 5.8% ක් වන අතර, මෙම සංඛ්‍යාවන් දෙකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ 10% ක අනුපාතිකය වඩා බොහෝ අඩුවේ. (විරැකියා අනුපාතිකය ඉතාම අඩු අගයක් දක්වන උතුරු පළාතේ ඇතැම් දිස්ත්‍රික්කයන් සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි ඇස්තමේන්තු ඇතැම් විට සංඛ්‍යාලේඛනමය වශයෙන් විශ්වාසදායක නොවිය හැකි බවයි. කෙසේ වුවත්, වඩා විශාල විරැකියා ඇස්තමේන්තු ඇති දිස්ත්‍රික්කයන් සම්බන්ධයෙන් එය එසේ නොවේ).

බර තැබූ ජාතික විරැකියා අනුපාතිකය වන්නේ 4.4% කි. යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයන්ට එදිරිව ගත් විට එහි 1.4% ක පරතරයක් තිබෙනා අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකශ කළ ප්‍රතිශත පරතරයෙන් භාගයකටත් අඩු අගයකි. ශ්‍රී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතිකයන් වාර්තා වන්නේ මාතර (7.5%), මාතලේ (7.4%) සහ හම්බන්තොට (7.3%) ප්‍රදේශයන්ගෙන් වේ. එනම් එම ප්‍රදේශ සියල්ලම යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති දිස්ත්‍රික්කයන්හි වාර්තා වී ඇති ඉහළම දිස්ත්‍රික් විරැකියා අනුපාතිකයන් ඉක්මවා ගොස් ඇත (නිදර්ශකය 1 බලන්න).

යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයන්හි විරැකියා අනුපාතිකය සහ එහි විෂමතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින් ප්‍රකාශිත අගයයන්ට වඩා ඉතාමත් අඩු බැවින්, අපි ඔහුගේ ප්‍රකාශය සාවද්‍ය යැයි වර්ගීකරණය කරමු.

සටහන: විරැකියා අනුපාතිකයන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රකාශයන් නිරවද්‍යතාවයෙන් බොහෝ ඈත වුවත්,  ශ්‍රම බල දායකත්වය සහ ඒක පුද්ගල රැකියා වැනි වෙනත් සංඛ්‍යාලේඛන ගත හොත් යුද්ධයෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයන් හි තත්වය ඉතා අයහපත් වේ. වැඩිදුර විස්තර සඳහා අපගේ සම්පූර්ණ FactCheck විශ්ලේෂණය වෙත පිවිසෙන්න. ප්‍රවේශය: www.factcheck.lk.

*මෙම අගයයන්ට අනුරූප වන විචලතා සංගුණක අගය ඉතාමත් ඉහළ බැවින්, මෙම අගයයන් වඩා පරීක්ෂාවෙන් සැලකිල්ලට ගත යුතු වේ.

අමතර සටහන්:

යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් වෙත විසමානුපාතික ලෙසින් බලපාන අවම ආර්ථික අවස්ථාවන් පිළිබඳ දර්ශකයක් ලෙසින් ගත් විට, විරැකියා අනුපාතිකයන් යනු ප්‍රමාණවත් දර්ශකයක් නොවිය හැක. රැකියා කරන හෝ රැකියා සොයන ප්‍රමාණය රැකියා කරන වයසේ සිටිනා ජනගහණයෙන් කෙතරම් කොටසක්ද යන්න ඇගයුම් කරනා ශ්‍රම බල දායකත්වය සහ ඒක පුද්ගල රැකියා ප්‍රමාණය මගින්, විවිධ දිස්ත්‍රික්ක වල ඇති ආර්ථික අවස්ථාවන් පිළිබඳ වඩාත් පුළුල් චිත්‍රයක් ලබාදේ.

රටේ අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව ගත් විට, යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන්හි අඩුම ශ්‍රම බල දායකත්ව අනුපාතයන් (LFP) සහ ඒක පුද්ගල රැකියාවන් සංඛ්‍යාවක් තිබේ. එනම්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි බර තැබූ සාමාන්‍ය ශ්‍රම බල දායකත්ව අනුපාතය 45% ක් වන විට, රටේ ඉතිරි කොටසේ එය 53% ක් වේ. එනම් 8% ක විෂමතාවයකි. එසේම යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව ගත් විට රටේ අනික් කොටසේ පුද්ගලයින් 1,000 කට වැඩිපුර රැකියා 109 ක ප්‍රමාණයක් ඇත (එනම් සංසන්දනාත්මකව පුද්ගලයින් 1,000 කට රැකියා ප්‍රමාණය, 536 ට එදිරිව 427 ක් ලෙසිනි).

යුද්ධයෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයන්හි ජනතාව ආර්ථිකයට දායකත්වය දක්වන අනුපාතය මෙන්ම ඔවුන්ට ප්‍රවිශ්ට විය හැකි රැකියා අවස්ථාවන් ප්‍රමාණයද යන දෙකම රටේ ඉතිරි කොටස හා සන්සන්දනය කළ විට, එහි සැලකිය යුතු විෂමතාවයක් පවතී.

මූලාශ්‍ර:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, Sri Lanka Labour Force Survey Annual reports 2019 (ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව 2019), 5 පරිච්ඡේදය, ප්‍රවේශය: http://statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2019



Recommended Articles