කෝවිඩ් - 19 වසංගතය පැතිරීමත් සමගම ලංකාව තුළ නව නිර්මාණ, නව අදහස්, නව ක්‍රමවේද භාවිතයට ගැනීම නිරන්තරයෙන්ම සිදුවිය. විශේෂයෙන් නිවසේ සිට රැකියා කිරීම, මාර්ගගත තාක්ෂණයෙන් භාණ්ඩ අලෙවි කිරීම සහ සේවා සැපයීම වැනි දෑ මේ පසුගිය කාලය පුරාවටම සිදුවිය. ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ මාර්ගගත තාක්ෂණය භාවිතා කරමින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සිදු කළ හැකි කාර්යයන් බොහෝය. ලංකාවේ අධිකරණ පද්ධිතයද මාර්ගගත තාක්ෂණය ගෙන ඒමේ වැඩ සටහනක් පසුගිය දිනෙක සිදුවිය. මාර්ගගත තාක්ෂණය මඟින් නඩු විමසීමක් කොළඹ අංක නව අධිකරණයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුවුණි. මෙම මාර්ගගත ක්‍රමවේදය ඉදිරියටත් ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබේ. මේ එම වැඩසටහන පිළිබඳව එහි සම්බන්ධිකාරකවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපති නීතීඥ උදය රොහාන් ද සිල්වා මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි.
මාර්ගගත තාක්ෂණයෙන් නඩු කටයුතු විසඳීමේ ක්‍රමවේදය ආරම්භ වන්නේ කෙසේද?
ලංකාවේ අධිකරණයේ සාමාන්‍ය සාම්ප්‍රාදායික නඩු විමසීමේ ක්‍රමය වෙනස් කරමින් නව ක්‍රියාවලියක අවශ්‍යතාවයක් කාලයක තිබුණා. විශේෂයෙන් මේ තත්ත්වය අපිට තදින්ම පැන නැගුණේ කෝවිඩ් 19 වසංගතයෙහි බලපෑමත් නිසායි. මේ කාලයේදී රිමාන්ඩ් සිරකරුවන් අධිකරණය වෙත රැගෙන නොයමින් ඔවුන්ගේ බන්ධනාගාර කාලය දිගු කිරීම සඳහා නව ක්‍රමයක් අධිකරණ යාන්ත්‍රණයට අවශ්‍ය වුණා. අපේ නීතියට අනුව රිමාන්ඩ් සිරකරුවෙකු දින දහ හතරකින් පසුව ඇප මත මුදා හරින්නේ නැතිනම් ඔහුගේ රිමාන්ඩ් භාරය නැවත දිර්ඝ කළ යුතුයි. ඒ සඳහා මහේස්‍රාත්වරයා සිරකරුවාව සිය දෑසින් දකින්න ඕනේ. මෙය නීතිය තුළ අනිවාර්ය නිසා ඇඳිරිනීතිය සහ කෝවිඩ් වසංගතය පැතිරීයාම නිසා එය සාමාන්‍ය ක්‍රමයට සිදු කිරීමට නොහැකියි. මේ නිසාම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වට්ස්ඇප්, වයිබර් මාධ්‍ය මඟින් සිරකරුවන් සහ මහේස්‍රාත්වරයාව සම්බන්ධ කිරීමට තීරණයක් ගත්තා. නමුත් මෙම ක්‍රමය අසාර්ථක වන්නේ බන්ධනාගාරය තුළ එවැනි සමාජ මාධ්‍යයන් සියල්ලම අවහිර කර තිබීම හේතුවෙන්. එම නිසා බන්ධනාගාරයන් සඳහා ලැප්ටොප් යන්ත්‍ර ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරනවා. ඒ සඳහා නීති ආධාර කොමිෂන් සභාව සහ යූ.එන්.ඩී.පී ආයතනය එකතු වුණා. ඒ තුළින් කටයුතු කරද්දීත් තාක්ෂණික දෝශයන් ඇති වුණා. ඒ නිසා මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා අවධානය යොමු කරලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සාකච්ඡා කරලා හුවාවි (huawei) ආයතනය සමග සම්බන්ධ වෙලා ඔවුන්ගේ තාක්ෂණයන් තුළින් අධිකරණය තුළ මාර්ගගත තාක්ෂණයෙන් නඩු විමසීම ආරම්භ කරනවා. එහිදී අධිකරණය තුළ පුළුල් තිරයක් සහ බන්ධනාගාරය තුළ පුළුල් තිරයක් ඔස්සේ මෙම නඩු කටයුතු සිදු කිරීමට හැකිවුණා. ඒ වෙලාවේදී huawei ආයතනයට අපි අපේ අධිකරණ ක්‍රියාවලියේ ස්වභාවය පැහැදිලි කරලා බන්ධනාගාරයේ විශේෂ තැනක තෝරාගෙන මේ සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණය සවි කරා. මෙහිදී ස්කයිප් තාක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ. කොළඹ මහේස්‍රාත්තුමිය මේ සඳහා අංක නවය අධිකරණය ලබාදීමට අවසර ලබාදුන්නා. ඒ අනුව අපි පසුගිය දිනෙක මේ ක්‍රමවේදය භාවිතා කරමින් පරීක්ෂණ මට්ටමේ නඩුවාරයක් සිදුකළා. ඇත්තටම එහිදී අපට මෙම ක්‍රමයේ සාර්ථක බව පෙනී ගියා.
මෙය නියමු ව්‍යාපෘතියක් විදිහට තමයි ආරම්භ වුණේ. ඉදිරි සතියේදී මේ සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් ඊට අවශ්‍ය අනුමැතීන් ලබාගෙන පලමුව කොළඹ බන්ධනාගාරයන්ටත්, කළුතර බන්ධනාගරයටත් සහ ඊට අදාළ අධිකරණයන්වලට මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතයි. ඉන්පසුව මෙය පිට පළාත්වලටත් ක්‍රමයෙන් හඳුන්වාදීමට සූදානමකින් ඉන්නේ.
ඊට අමතරව කොළඹ මහාධිකරණය ඇප ඉල්ලුම්පත් ගොනු කිරීමටද මෙම තාක්ෂණය භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට නීතිඥවරුන්ට තමන් සිටිනා ස්ථානයේ සිටම පරිගණකය ඔස්සේ මහාධිකරණයට තමන්ගේ ඇප ඉල්ලුම්පත්‍ර යැවීමට හැකියි. එතකොට ඒ අවස්ථාවේදීම ඒ විනිශ්චයකාරවරුන්ට ඇප ඉල්ලුම්පත් ලබා දෙනවා. එමගින් ඒ අවස්ථාවේදීම පොලීසියට නොතීසි ලබා දීමට හැකියාව පවතිනවා. මෙය බැරෑරුම් එකක් නෙවෙයි. මේ සඳහා අවශ්‍ය වන ජාලය අළුතින් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අපිට විතරක් භාවිතා කළ හැකි මේ සඳහා සුරක්ෂිතම ජාලයක් තිබෙනවා.
මෙම ක්‍රමය තුළින් සිදුවන වාසි මොනවාද?
විශේෂයෙන් මෙහිදී ලැබෙන ප්‍රමුඛම වාසිය තමයි රජයට මේ මඟින් විශාල මුදලක් ඉතිරි වීම. බන්ධනාගාර සිරකරුවන් ප්‍රවාහනයට, ආහාර පාන සැපයීමට, නිලධාරීන්ට ආහාර පාන සැපයීමට එක් නඩුවාරයක් වැයවන මුදල ඉතා විශාලයි. ඒ තත්ත්වයන් සියල්ලම මේ නිසා මග හරවා ගැනීමට පුළුවන්. ඒ වගේම සිරකරුවන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව මේ තුළින් ස්ථාවර වෙනවා. නඩුවාර සඳහා සිරකරුවන් රැගෙන ඒමේදී ඔවුන්ට විවිධ ප්‍රහාර සහ තර්ජන එල්ල වුණු අවස්ථා අපට ඕනෑ තරම් හමුවී තිබෙනවා. එතකොට ඔවුන් සඳහා විශේෂිත රැකවරණ අවශ්‍ය වනවා. එමෙන්ම මේ ක්‍රමය තුළින් අධිකරණ ක්‍රියාවලිය ඉතා වේගවත් වනවා. මේ සියල්ල අපට මාර්ගගත තාක්ෂණය තුළින් නඩු විමසීමේ ක්‍රමවේදයේදී නවත්වා ගත හැකියි. ඇත්තටම නඩු කටයුතු ඉක්මන්වීම, විත්තිකරුවන්ගේ ජීවිත ආරක්ෂාව, ඔවුන් පැන යාමට ඇති ඉඩකඩ අවහිර වීම මේ තුළින් සිදුවනවා.
මාර්ගගත ක්‍රමවේදය මඟින් විත්තිකරුවන්ට යම් අසාධාරණයක් සිදුවේවිද?
ඇත්තටම එය හොඳ ප්‍රශ්නයක්. විත්තිකරුවන්ට කිසිදු අසාධාරණයක් මෙ තුළින් සිදුවන්නේ නැහැ. ඔවුන්ට විශාල වාසියක් තමයි මෙයින් සිදුවන්නේ. ඔවුන්ගේ ඇප ඉල්ලුම්පත්වල ප්‍රතිපලය ඉතා ඉක්මනින්ම ලැබෙනවා. ඒ වගේම ඔවුන් බන්ධනාගාරය තුළ සිටියත් ඔවුන්ගේ නීතිඥ මහත්වරුන්ට මෙහිදී පෙනී සිටින්න පුළුවන්. බන්ධනාගාරය තුළ තිබෙන පුළුල් තිරය හරහා විත්තිකරුවාට හැකියාව තිබෙනවා ඔහුගේ නීතිඥයා කරන දේවල් බලන්න, ඔහු සමග සම්බන්ධ වෙන්න. විත්තිකරුවාට අධිකරණ භූමියේ සිටිනවා වගේම පැහැදිලිව එහි කටයුතු දැකගැනීමට මෙහිදී හැකියාව තිබෙනවා. මාර්ගගත ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී, සාර්ථක, සාධාරණ ක්‍රමවේදයක්. සමාන්‍යයෙන් මහාධිකරණයෙන් දෙන ඇප නියෝගයක් මහේස්‍රාත් අධිකරණයට යෑමට සතියක් පමණ ගත වනවා. ඒ ගියාට පස්සේ ඒක හරියට සිදුවුණාද නැද්ද කියලා බලන්න බැහැ. ඉතින් මාර්ගගත ක්‍රමය තුළ ඒ සියල්ලම ඇහිරෙනවා. සිරකරුවෙකුට ඇප ලැබෙනවා නම් ඔහුට එම අවස්ථාවේදීම නිදහස් විය හැකියි.
"මාර්ගගතව නඩු විමසීමේ ක්‍රමවේදය" ලෝකයේ රටවල් තුළ භාවිතා කරනවාද?
ඔව්. අපට අළුත් අත්දැකීමක් වුණාට මේ ක්‍රමය ලෝකයේ හැම රටකම වගේ භාවිතා වනවා. අපිත් මාර්ගගත තාක්ෂණය කාලයක් පටන්ම අධිකරණ ක්‍රියාවලියට ඇතුළත් කරන්න කියලා කිව්වා. නමුත් මේ පිළිබඳව අදාළ බලධාරීන් ක්‍රියා කළේ නැහැ. නමුත් අධිකරණ සේවා කොමිෂන් සභාව මෙහි වැදගත්කම මේ අවස්ථාවේදී තේරුම් ගත්තා.
මීට පෙර ලංකාවේ මාර්ගගත තාක්ෂණයෙන් නඩු කටයුත්තක් විසඳීම සිදු කරා නේද?
ඔව්. තංගල්ලේදී විදේශීය කාන්තාවක් දූෂණය කරලා ඇගේ පෙම්වතා ඝාතනය කිරීමේ නඩුව විභාගයට ගැණුනේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි. එහිදී ඇයගේ සාක්ෂි විමසීම සඳහා ස්කයිප් තාක්ෂණය භාවිතා කළා. ඒක අපේ අධිකරණය ආරම්භ කළත් එය දිගට ගෙන යාමට නොහැකි වුණා. ඒ සඳහා යොදාගත් යන්ත්‍ර බලධාරීන්ගේ නොසැලකිල්ල මත නැවත භාවිතා නොකරම අභාවයට ගියා.