ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පැය 24ක් වත් ගෙවීයාමට මත්තෙන් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වීමි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති, විපක්ෂනායක මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව පුරා ජනතාව ප්‍රීති ඝෝෂා නැංවීය. එයින් පෙන්නුම් කෙරුණේ වත්මන් යහපාලන ආණ්ඩුවේ පාලන කාලයේදී ජනතාව කෙතරම් පීඩනයකට පත්ව ඇතිද යන්නයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට මුලින්ම හඬක් නැගුණේ ජනතාව තුළින්මය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම සමග පිළිසඳරක්’ වැඩසටහන යටතේ ජනතාවගේ අදහස් ලබාගන්නා අවස්ථාවේදී බොහෝ දෙනෙකුගෙන් ඉදිරිපත් වූ මතයක් වූයේ මෙවර ජනපතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවයි.
රට තුළ දැනට ක්‍රියාත්මක 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැටලු කිහිපයකට අත වනා තිබේ. එසේම ඒ හරහා ඉදිරියේදී පත්වන අග්‍රාමාත්‍යවරයාටද සැලකිය යුතු මට්ටමක බලතල ප්‍රමාණයක් හිමිවීමට නියමිතය. මෙහිදී ඉදිරියේදී පත්වන ජනපතිවරයා හා අගමැතිවරයා තීන්දු තීරණ ගැනීමේදී එකිනෙකා ගැටීමකින් තොරව තීන්දු තීරණ ගැනීම වැදගත් වෙයි. වත්මන් අගමැතිවරයා හා ජනපතිවරයා අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රට ඉදිරියට ගමන් කරනවාට වඩා සිදුව ඇත්තේ ආපස්සට ගමන් කිරීමය.
ඉදිරියේදී අගමැතිවරයාට ලැබෙන බලතල අනුව පත්වන ජනපතිවරයා හා අගමැතිවරයා සහයෝගයෙන් කටයුතු නොකළහොත් රට දැවැන්ත අගාධයකට පත්වනු ඇත. මේ පිළිබඳවද අප අවධානය යොමු කළ යුතු වෙයි. ඒ අනුව ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ඇති හෙයින් ඉදිරියේදී අගමැති අපේක්ෂක නම් කරන විට ඔහුත් සමග එකට කටයුතු කළ හැකි, ජාතික ආරක්ෂාව, ආර්ථිකය පිළිබඳව එකම ආකාරයක දැක්මක් ඇති අගමැතිවරයෙකුත් පත්කිරීමට කටයුතු කළ යුතුය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩයිමක් ලෙස මෙවර ජනපතිවරණය හඳුන්වාදිය හැකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී වේගයෙන් ඉදිරියට ගමන් කළ රට වත්මන් ආණ්ඩු සමයේදී ආපස්සට ගමන් කළේය.
ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, විරැකියාව, දූෂණ, වංචාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් වැනි සියලුම ක්ෂේත්රවල ගැටලු රාශියක් ඇතිව තිබෙන අවස්ථාවක මෙවර ජනපතිවරණය පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එම මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයාට රට ඉදිරියට ගෙන යෑමට හොඳ දැක්මක්, විනයක්, සාර්ථක වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ජනපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වීමෙන් පසුව ඔහු සිදුකළ කතාවෙන් ගැටලු රාශියකට විසඳුම් ලැබෙන ආකාරය පිළිබඳව ජනතාවට පැහැදිලි චිත්‍රයක් ලැබුණි.
ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය අවසන් කිරීමටත් ඉන් අනතුරුව කොළඹ නගරය සංවර්ධනය කිරීම වෙනුවෙනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ වැඩපිළිවෙළ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. එම වැඩසටහන්වල ප්‍රතිඵල අපට ඇස් පනාපිටම දක්නට ලැබුණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තුළ ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වන රටවල් අතරට එක්වූ අතර, ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගර අතර කොළඹ නගරය අංක එකේ ස්ථානයට පත්විය.
කොළඹ නගරයේ මේ වනවිට ක්‍රියාත්මක දැවැන්ත ආයෝජන රාශියක්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජන විය.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු වී තිබීම, ආර්ථිකය යහපත් තත්ත්වයට පත්ව තිබීම, කොළඹ නගරයේ ස්ථාවරත්වය මේ සඳහා හේතුව විය. මේ සියලු කාරණාවලින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් ඇති බවයි.
පසුගිය සතියේදී අප කුරහන් සුවඳ තීරු ලිපියෙන් ජනපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ මෙවර මැතිවරණ ව්‍යාපාරය පොලිතීන්, ප්ලාස්ටික් හා දැන්වීම්වලින් තොරව සිදුකරමු යන්නයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කළ පළමු කතාවේදී මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීම තරුණයෙක්, මන්ත්‍රීවරයෙක්, පරිසරයට ආදරය කරන්නෙක් ලෙස මම අගය කරමි.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂවල අපේක්ෂකයන් ඇතුළු මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයන් සියලුදෙනාම සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයෙන් තොරව සිදුකිරීමට පියවර ගන්නේ නම් එය අනාගතය වෙනුවෙන් අප වර්තමානයේ සිදුකරන දැවැන්ත කාර්යක් වනු ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ආසියාව තුළ වේගයෙන්ම ඉදිරියට පැමිණි දේශපාලන පක්ෂය යන්න අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. පක්ෂය ආරම්භ කර කෙටි කාලයක් තුළදී පැවැති පළමු ජාතික මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. පක්ෂය ආරම්භ කිරීමේ නියමුවා වූයේ බැසිල් රාජපක්ෂ මහතාය. පක්ෂය මෙතෙක් පැමිණි ගමන් මගේ වැඩි ගෞරවයක් ඔහුට ලබාදිය යුතු වෙයි. එමෙන්ම තම මන්ත්‍රී ධුරය, අමාත්‍ය ධුරය කැපකරමින් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පුද කළ යුතුයි.
මේ සියල්ල කොතරම් සාර්ථකව ඉටුකළද පාක්ෂිකයන් නොමැතිව පක්ෂයකට ඉදිරි ගමන්මගක් නොමැත. ඒ අනුව අප පක්ෂය වටා රැඳී සිටින ආදරණීය ජනතාවද මෙහිදී සිහිපත් කළ යුතුය.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
සුබ අනාගතයක්!