යළිත් රැවටීමකට ලක් වූ උපාධිධාරීන්


මෙරට මැතිවරණ අශ්‍රිතව තරුණ ප්‍රජාව රැකියා පෙන්වා මුළාකිරීම වත්මන් ආණ්ඩුව ඔවුන් බලයේ සිටි සෑම කාලයකදීම සිදුකරන්නක් බව ජනතාව හොඳින්ම දන්නා කාරණයකි. රැකියා විරහිත උපාධිධාරීන් සැමට රජයේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබීය. කෙසේ නමුත් ඔවුන් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඇතිකරගත් දින සියයයේ ආණ්ඩව තුළ ප්‍රමුඛ අවශතාවක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබාදීම සිදු නොකොට එළඹෙන මහමැතිවරණයට දේශපාලන වාසි ලබාගැනීමේ ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට යෑමෙන් එකී උපාධිධාරීන් දැඩි අපහසුතාවට ලක්කර තිබීම කනගාටුදායක සිදුවීමකි. 

මෙවර රැකියා ලබාදීමේ ව්‍යාපෘතියද මීට පෙර මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකළ රැකියා ලබාදීමේ වංචාව මෙන්ම ජනතාව නොමග යැවීමකි. පසුගිය සමයේ සියලු ඇමතිවරු සිදුකළ ප්‍රකාශයක් වූයේ ඔවුන් 2015 වනවිට සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදුන් බවයි. නමුත් යහපාලන ආණ්ඩුව මගින් 2017 වර්ෂයේදී 2011, 2012, 2013 හා 2014 වසරවලට අයත් උපාධිධාරීන් 18,000 -20,000 ප්‍රමාණයකට රැකියා ලබාදෙනු ලැබීය. මේ අනුව මහින්ද රාජපක්ෂ විසින් පෙර සමයේදී සියලු උපාධිදාරීන්ට රැකියා ලබාදුන්නේ නම් රැකියා නොලැබුණු 20,000ක පමණ පිරිසක් සිටියේ කෙලෙසද යනුවෙන් අපි ප්‍රශ්න කර සිටිමු. 

ගොඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන තේමා පාඨයක් වූයේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමය. විශේෂයෙන් උපාධිධාරීන්ට රැකියා ලබාදීම, උසස් පෙළ සමතුන්ට රැකියා ලබාදීම සේම සාමාන්‍ය පෙළ අසමතුන්ට රැකියා ලබාදීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවද ඔවුන් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ අතර, ජනාධිපතිවරන මැතිවරණ වේදිකාවේ සේම ඉන් පසුවද මේ පිළිබඳව  දැඩි ප්‍රචාරයක් ලබාදෙනු ලැබීය. 

මෙලෙස පොරොන්දු ලබාදුන් ආණ්ඩුව අද වනවිට උපාධිධාරීන් රවටමින්, උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය තනිකර බොරුවක් ,පුස්සක් බවට පත්කරමින් සිටිනවා පමණක් නොව මැතිවරණ කොමිසමේ නීතිරීති නොදන්නා ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් මේ රටේ පාලනය හොඹවමින් සිටිනවාය යන මතය ජනතාවට තහවුරු කර තිබේ.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මේ රටේ තරුණ තරුණියන් අතිශය මුළාවට ලක්කරන හුදු කියවිල්ලක් බවට පමණක් පත්වීමේන් රැකියා අපේක්ෂාවෙන් සිටි තරුණ ප්‍රජාව අතිශය ඛේදනීය තත්ත්වයකට පත්ව සිටී. තරුණ තරුණියන්ට රැකියා ලක්ෂ 20ක් ලබාදෙන බව පවසා රැකියා අයදුම්පත් එකතු කර එහි පළමු අදියර ලෙස ලක්ෂයකට රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවත් අද වනවිට කිසිදු රැකියාවක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.  එහෙත් මෙකී රැකියා සිහිනයක තරුණ ප්‍රජාව මත රඳවා ඔවුන් මැතිවරණය සඳහා භාවිත කරනවාය යන චෝදනාව මෙහිදී අපි වත්මන් ආණ්ඩුවට සෘජුවම එල්ල කර සිටින්නෙමු.  

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක මැතිවරණ කොමිසමේ බලතල ප්‍රකාරව එලෙස උපාධිධාරී රැකියා සඳහා බඳවා ගැනීම සහ මේ වනවිටත් පත්වීම් ලිපි  ලබාදුන් පිරිසට නායකත්ව පුහුණුව ලබාදීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන ලෙස කොමිසමේ සභාපතිවරයා පසුගිය බඳදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබුණි.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මේ රටේ උපාධිධාරීන් මහින්ද රාජපක්ෂ පෙර පාලන යුගයේ  රැවටීමට ලක්කළ ආකාරයට තවත් වරක් රවටන්නක් බව මේ වනවිට සියල්ලන්ටම වැටහෙන කරුණක් බවට පත්ව තිබේ. 

පෙබරවාරි මස මුල් සතියේ මේ පිළිබඳව ප්‍රචාරය කර, මාර්තු පළමු වැනිදා හා දෙවැනිදා පත්වීම් ලිපි නිකුත්කිරීමම මැතිවරණ කොමිසම හරහා එකී පත්වීම් ලබාදීම වළකාලීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ උපක්‍රමයකි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමකට ආසන්නම දිනවලදී රජයේ රැකියා සඳහා බඳවා ගැනීම කිසි ලෙසකත් සිදුකළ හැක්කක් නොවේ. මෙය හොඳින් දැන දැනම පත්වීම් ලිපි ප්‍රදානය කර උපාධිධාරීන් තුළ බලාපොරොත්තුවක් ඇතිකර මැතිවරණ කොමිසම විසින් එය වැළැක්වූ විට මැතිවරණ කොමිසමට චෝදනා කිරීම තුළින් පැහැදිලි වනුයේ ආණ්ඩුවේ නිරුවතය.

රජය මෙවර මැතිවරණ පොරොන්දු දී ක්‍රියාත්මක කර ගැනීමට අපොහොසත්වීම,  වංචනික ලෙස රටේ තරුණ තරුණියන් රවටා  මීළඟ මැතිවරණයට සූදානම් වීමට අවශ්‍ය මංපෙත් විවර  කිරීමට උත්සාහ කළායැයි කියන කාරණය බැහැර කිරීමට නොහැකිය. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් වැට් බදු අඩු කර රටට ලැබුණු ආදායම අහිමි කරගැනීම තුළ ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට නොහැකි වී තිබේ. එසේම  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා ගෙවා ගැනීමට නොහැකිවී තිබේ.

මේ රටේ අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික වැටුපට පහුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබාදුන් දීමනාව ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින අවස්ථාවක මේ රටේ උපාධිධාරී තරුණ තරුණියන් මෙලෙස වංචාකාරී ක්‍රියාවකට හසුකර ඇති බව පැවසිය යුතුය.

වත්මන් ආණ්ඩව බලයේ සිටි සැම කලකම උපාධිධාරීන් රැවටීමට ලක්කිරීම සාමාන්‍ය සිදුවීමක් යැයි පැවසීම වඩාත් නිවැරදි වේ. මීට පෙර බැසිල් රාජපක්ෂ න්‍යාය අනුව ඇට පැකට් බෙදීමට නිවසින් නිවසට යන පුද්ගලයාගේ තත්ත්වයට උපාධිධාරීයා පත් කෙරුණි. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පුටුවක් මේසයක් පවා අහිමිව දැඩි අසරණ භාවයකට උපාධිධාරියා ලක් විය. ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සේවකයාටත් මේසයක් හා පුටුවක් සහිතව සිටීමට ස්ථිර තැනක් තිබුණද, උපාධිධාරීන් එවැනි අවස්ථාවක් නොමැතිව දැඩි පීඩනයට ලක්ව කටයුතු කරනු අයුරු දන්නට ලැබුණි. උපාධිධාරීන් පීඩනයට ලක්කරන මේ තත්ත්වය කිසිසේත්ම ඉදිරියට ක්‍රියාත්මක නොවිය යුතුය යන්න අපගේ ස්ථාවරය වේ.

අපගේ රජයක් යටතේ උපාධිධාරියාට ඔහුගේ උපාධියට සරිලන රැකියාවක් ලබාදීමට කටයුතු කරන අතර, කලා උපාධි බහුතරයක් බිහිවන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් රැකියා ක්ෂේත්‍රයන්ට ගැළපෙන උපාධි පාඨමාලා හඳුන්වා දීමට කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කළ යුතුය.

මේ රටේ දේශපාලනඥයෙකු ලෙස රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවාට මා පෞද්ගලිකවම දැඩි කැමැත්තක් දක්වමි. එසේම ඔවුන්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ ඒ ක්ෂේත්‍රයන්ට ඔවුන්ව අනුයුක්තකොට ඵලදායී රාජ්‍ය සේවයක් ඇතිකිරීම සෑම ආණ්ඩුවකම යුතුකමකි. එපමණක්ද නොව උපාධිධාරියාට තම අභිමානය රැකෙන සේවා පරිසරයක් ඇතිකිරීමද රජයේ වගකීම වේ. 
නමුත් මේ වනවිට සිදුවමින් පවතිනුයේ උපාධිධාරීන් පිළිබඳව අවංක හැඟීමකින් කටයුතු කිරීම නොව දේශපාලන වාසි ලබා ගැනීමේ ව්‍යාපෘතියක් බව පැහැදිලිය. ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් උපාධිධාරීන්ට රැකියා පෙන්වා ඔවුන්ව  ප්‍රාණ ඇපයට ගැනීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.  



Recommended Articles