අනාගතයේදී සිදුවිය හැකි පාරිසරික උවදුරු වළක්වාගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට දිරා නොයන පොලිතීන් බෑග් ලබාදීම අවම කළ යුතු බවත්, ඒ වෙනුවට යළි භාවිත කළ හැකි බෑග් සඳහා යොමු විය යුතු අතර, එය කාලෝචිත අවශ්‍යතාවක් බවත් 'නේචර් ප්ලස්' සමාගමේ සභාපති මර්වින් ඩයස් මහතා පවසයි.
කපු පුළුන්වලින් නිෂ්පාදනය කරන සහ ඊට සමාන අනෙකුත් පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑග් නිෂ්පාදනය දිරිගැන්වීමටත්, සුපිරි වෙළෙඳ සැල් තුළ එවැනි බෑග් භාවිතය දිරිගැන්වීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් බලධාරීන් පියවර ගත යුතු යැයිද ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වන ආහාර ඇසුරුම් කරන පත්‍ර නිෂ්පාදනය කරන, දිරායන බෑග් ආනයනය කරන සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ නිරත ආයතනයක් වන 'නේචර් ප්ලස්’හි සභාපතිවරයා,
”අනාගතයේදී සිදුවිය හැකි පාරිසරික උවදුරු වළක්වාගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට දිරා නොයන පොලිතීන් බෑග් ලබාදීම අවම කළ යුතුයි. සුපිරි වෙළෙඳ සැල් මසකට දිරා නොයන පොලිතින් බෑග් මිලියන 40කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඉදිරියේදී සිදුවිය හැකි පාරිසරික හානි නැවැත්වීම සඳහා පාරිභෝගිකයන්ට පොලිතින් බෑග් ලබාදීම අවම කළ යුතුයි. කළ යුත්තේ යළි භාවිත කළ හැකි බෑග් සඳහා යොමු වීමයි. මෙය කාලෝචිත අවශ්‍යතාවක්.
ඇතැම් අවස්ථාවලදී මුදල් ගෙවීම් කරන කවුන්ටර්වලින් අනවශ්‍ය විදියට පාරිභෝගිකයන්ට පොලිතින් බෑග් ලබාදෙනවා. එසේ අනවශ්‍ය ලෙස පොලිතින් බෑග් ලබාදීම නැවැත්වීමට සුපිරි වෙළෙඳ සැල්වල බලධාරීන් ඔවුන්ගේ කාර්යමණ්ඩලය උනන්දු කළ යුතුයි. දිරා නොයන පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට, පාරිභෝගිකයන් සිල්ලර බඩු දාගන්න එක බෑගයකුත් දත් බෙහෙත්, සබන් ආදී පිරිසුදු කරන දෑ දාගන්න වෙනත් බෑගයකුත් භාවිත කළ යුතුයි. පාරිභෝගිකයන් පොලිතින් බෑග් භාවිත කිරීම අධෛර්යමත් කිරීමට අමතර බෑග් සඳහා යම්කිසි මුදලක් අය කළ යුතුයි. පොලිතින් දිරා යෑමට වසර 500කට වැඩි කාලයක් ගතවන බවත්, පොලිතින් බෑග් ජීවීන් විනාශ කරමින් පරිසරයට විශාල හානියක් කරන බවත් පාරිභෝගිකයන්ට කිව යුතුයි. ඔවුන් දැනුවත් කළ යුතුයි. මේ විස්තර මුදල් ගෙවන කවුන්ටර් ළඟ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. නැවත භාවිත කළ හැකි බෑග් එන එන්නැයි අපට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලන්න පුළුවන්* යැයිද සඳහන් කරයි.
“අද වනවිට ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සාප්පු, හෝටල්කරුවන් සහ වෙළෙඳුන් නැවත නැවත භාවිත කළ හැකි බෑග් හඳුන්වා දී තිබෙනවා. එහෙත් ආහාර නිෂ්පාදකයන් තවමත් භාවිත කරන්නේ පොලිතින්. ආහාර, මස්, සොසේජස්, මස් නිෂ්පාදන, කුළුබඩු, සීනි, තේ කොළ, පරිප්පු යනාදිය ඇසුරුම් කිරීම සඳහා තවමත් යොදාගන්නේ දිරා නොයන බෑග්. ඒ නිසා ඔවුන්ද දිරි නොයන පරිසර හිතකාමී ඇසුරුම් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
දැන් තියෙන සුපිරි වෙළෙඳ සැල් ජාලය තවදුරටත් පුළුල් කිරීමේදී පොලිතින් බෑග් භාවිතය තවදුරටත් වැඩි වෙනවා. එය කනගාටුදායක තත්ත්වයක්. එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සිංගප්පූරුව යන රටවල සුපිරි වෙළෙඳ සැල් දැනටමත් නැවත ප්‍රයෝජනයට ගත හැකි බෑග් භාවිත කරනවා. ඔවුන් ඒවා ප්‍රවර්ධනය කරනවා” යැයිද ඩයස් මහතා තවදුරටත් පෙන්වාදෙයි.
කිසියම් සමාගම් හෝ ආයතනයක් හෝ පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට සූදානම් නම් එසේ කරන්නේ කෙසේද දැනුවත් කිරීමට සහ ඊට සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවද ඒ මහතා පවසයි.