චාමර සම්පත්
මහ මැතිවරණයේ ආසන්නයටම පැමිණ ඇති අතර ප්‍රචාරණ කටයුතු සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. රට තුළ පවතින වසංගත තත්ත්වය පරයා මැතිවරණ උණුසුම ක්‍රමයෙන් වැඩි වන මොහොතක එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළෙමු.
එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඔබ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ “අලුතින් හිතන එකම නායකයා“ යන සටන් පාඨය සමගින්. මුලින්ම ඒ ගැන කතා කළොත්?
එක්සත් ජාතික පක්ෂය කියන්නේ නිතරම අලුතින් හිතන පක්ෂයක්. අලුතින් හිතන්න බැරි අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ නැහැ. අපි නිතරම අලුතින් හිතලා වැඩ කරන නිසා තමයි අලුතින් හිතන එකම නායකයා කියලා කියන්නේ.
නිතරම ඇති වෙන අඩුපාඩුකම් ගැන හිතලා ඒවා සකස් කරගන්නා ආකාරය ගැන අපි හිතනවා. අලුතින් හිතන්න බැරි නම් මේ දේශපාලනය කරන්න අපිට අපහසු වෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ තරුණ පරපුර රට භාරගන්නා විට ඒ අයගේ අදහස් අනුව අපි ක්‍රියා කළ යුතුයි.
ඒ වගේම වර්තමානයේ තිබෙන %අර්බුදය^ තමයි අනාගතය තීරණ කරන්නේ. දැන් තිබෙන අර්බුදය වෙන්නේ කෝවිඩ් වසංගතය. මේ වසංගතය නිසා ජනතාවගේ සෞඛ්‍ය වගේම රටේ ආර්ථිකය ගැනත් හිතලා අපි ක්‍රියා කළ යුතුයි. ඒ වගේම අද තරුණයන්ට දේශපාලනය එපා වෙලා තියෙනවා. ඒ ඇයි කියලා අපි බැලිය යුතුයි. මීට කලින් ඔවුන් 225ම එපා කියලා කිව්වේ ඇයි. ඒකට හේතුව මොකක්ද.? ඒ ගැනත් හිතල අපි කටයුතු කළ යුතු වෙනවා.
කෝවිඩ් වසංගතය නිසා මේ වනවිට මුළු ලෝකයම අස්ථාවර වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සුරක්ෂිත මට්ටමක පවතිනවා යැයි කිව හැකිද?
මේ අවස්ථාවේදී කිසිම රටක් සුරක්ෂිත නැහැ. රටක් සුරක්ෂිත කර ගැනීමට අදාළ පියවර නොබියව ගත යුතුයි. මුලින්ම අපි ඒ දේ කිව්වා. නමුත් සිදුවුණේ නැහැ. ඉන්දියාවේ දැන් කෝවිඩ් පැතිරෙනවා. මුලින් කිව්වේ කෝවිඩ් පැතිරෙන්නේ සීත රටවල විතරයි කියලා. අපේ රටවල්වල පැතිරෙන්නේ නැහැ කිව්වා. මේ වෙද්දි සිංගප්පූරුවේ කෝවිඩ් තුන්වෙනි රැල්ල ඇති වෙලා තියෙන්නේ. ලංකාවටත් ඒ තත්ත්වේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ඡන්දයට කලින්ද පසුවද කියලා අපිට කියන්න බැහැ. නැවත කෝවිඩ් රැල්ලක් ඇති වෙනවා කියලා කියන්නේ මම නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන වෛද්‍ය සංගම්, හෙද සංගම් ආදී සංගම්වලින්. මේ ක්ෂේත්රයේ හැමෝම ඒ දේවල් කියනවා නම් ඇයි පිළිගන්නේ නැත්තේ? මේ වසංගතයට දේශපාලනය ගාවගන්න නරකයි. වසංගතය මර්දනය කිරීමටයි ක්‍රියා කළ යුතු වෙන්නේ.
කෝවිඩ් පාලනය කරන්න දෙවැනි වටය ඇති වෙන්න කලින් පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න කියලයි අපි කියන්නේ. දෙවැනි වටය පාලනය කරන්නේ නැතිව යළිත් රටට ඇඳිරි නීතිය දාන්න ක්‍රියා කළොත් කුඩා ව්‍යාපාර සියල්ල බංකොලොත් වෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ හිමියන් වගේ එදිනෙදා කටයුතු කරමින් ජීවිකාව ගෙනියන සියලු දෙනාටම දුෂ්කරතාවලට මුහුණදෙන්න සිදුවෙනවා. එහෙම වුණොත් ඔවුන්ට නැවත එම කටයුතු පටන් ගන්නත් බැරි වේවි. ඒ නිසා අපි කොහොමහරි මෙම කෝවිඩ් වසංගතය පාලනය කළ යුතුයි. නමුත් තවමත් ආණ්ඩුව එහෙම පියවරක් අරගෙන නැහැ. ඒ අය හිතන්නේ තවත් වරක් ඇඳිරි නීතිය දාන්න පුළුවන් කියලා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආනයන අපනයන සීමා කිරීම් සිදුකර තිබෙනවා. මේ තත්ත්වයෙන් රට ඉදිරියට යා හැකිද? එසේ නොමැති නම් සිදුකළ යුත්තේ කුමක්ද?
රටක ආනයනය සීමා කරලා දියුණු වෙන්න බැහැ. මේ වෙද්දි සමහර කර්මාන්ත, වෙළෙඳ ව්‍යාපාර කඩාවැටිලා තියෙනවා. සමහර අය අලෙවි කරන්නේ ආනයනය කරපු භාණ්ඩ. විශේෂයෙන්ම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් ආනයනය කරනවා. ඒක නවත්වන්න බැහැ. ඇතැම්විට කුඩා කර්මාන්ත මිලදීගැනීම් කරන්නේ වෙළෙඳ සමාගම්වලින්. ආනයනය සීමා කළ විට එවැනි කුඩා සමාගම් අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා මේ වැඩෙන් වෙන්නේ වාසියක් නෙවෙයි හානියක්.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සඳහා ඔබ ඉදිරිපත් කරන විසඳුම කුමක්ද?
අපේ ආදායමෙන් ඩොලර් මිලියන 7000ක් මේ වනවිට අහිමි වෙලා තිබෙනවා. එය සකස් කර ගන්න කියලා ආනයනය නවත්වලා හරියන්නේ නැහැ. ආනයනයෙන් ඩොලර් මිලියන 2000ක් විතර අපිට අඩු කරන්න පුළුවන්. එමගින් සමහර ව්‍යාපාරවලට වාසියක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කළ යුත්තේ මේ අහිමි වුණ මුදල ලබාගැනීමයි. ඒත් මේ ආණ්ඩුවට තවම ඒ මුදල ලබා ගන්න බැරි වුණා. නමුත් පාකිස්තානය බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින පමණක් නෙවෙයි මියන්මාරය, ඇෆ්ගනිස්තානය යන රටවල් සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදල් අනුමත කළා. නමුත් ලංකාවට තවම එය කරගන්න බැරි වුණා. මේ කාලය තුළ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනෙක අපේ ආර්ථික අර්බුදය ඇති වුණේ කෝවිඩ් වසංගතය නිසා නෙවෙයි.
අපි ආණ්ඩු කරන සමයේ 2019 පළමු මාස 04 තුළ ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 594යි. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පළවෙනි මාස 04 දී ආදායම රුපියල් බිලියන 476ට අඩු වුණා. ඒ වගේම ආණ්ඩුවේ අපනයනයත් අඩු වුණා. කෝවිඩ් නිසා ඇඳිරි නීතිය දැම්මේ මාර්තු මාසයේ අවසන් දිනවල. එහෙම වුණත් ආර්ථික හානිය ඒ වෙද්දි සිදුවෙමින් තිබුණේ. ඒ කියන්නේ ආර්ථිකය පාඩුවෙලා තියෙන්නේ කෝවිඩ් නිසාම නෙවෙයි. අඩුම තරමේ ජනවාරි මාසය තුළ රජයේ සේවකයන්ගේ දීමනාව පවා ලබාදෙන්නට ආණ්ඩුවට නොහැකි වුණා. ප්රශ්නය ඇති වුණේ එතැනින්.
නමුත් මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ගැන පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා රට වැටෙන්න නොදී ගෙනියන්න අවශ්‍ය මුදල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් සංවිධානවලින් අපිට ලබාගන්න පුළුවන්.
කෝවිඩ් වසංගත තත්ත්වය සමග කලාපීය ආර්ථිකයේ තත්ත්වය කෙබඳු වේවිද?
කෝවිඩ් වසංගතය නිසා අහිමි වුණ ආර්ථිකය, ලෝකයේ ඇතැම් රටවලට යළි ලැබුණත් තවත් රටවල්වලට එහෙම ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. බටහිර ලෝකයේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට එනතුරු ඇඟලුම් කර්මාන්තය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. හැමෝටම තමන්ගේ ආදායම් අඩු වෙලා තියෙනවා. මේ නිසා ජනතාව වැඩිපුර ඉතිරිකිරීම්වලට යොමු වෙලා ඉන්නවා. තමන් අඳින ඇඳුම් තවත් අවුරුද්දක් දෙකක් අඳින්න පෙලඹීම ඉතිරිකිරීම් කරන තවත් විදිහක්. මේ නිසා අපිට ඇඟලුම් කර්මාන්තයේ ගැටලු ඇති වේවි. ඒ වගේම බටහිර ලෝකයේ වෙළෙඳ ආයතනත් දැවැන්ත ප්‍රශ්නවලට මුහුණදීලා ඉන්නවා. සමහර ආයතන බංකොලොත් වෙලා. සමහර ආයතන වැසී ගිහින්. ඒ වගේම සමහර ආයතන විශාල ණය බරකට අහුවෙලා ඉන්නවා. එතැනදී වෙනත් රටකට අපේ අපනයන සිදුකිරීම වගේම අපේ අපනයන සාර්ථක වෙන්නේ වෙළෙඳ සමාගම් මාර්ගයෙන් ඒවා අලෙවි කිරීමේදිය. එම සමාගම් නැත්නම් අපිට ඒ ප්‍රශ්න ඇති වෙනවා.
ඔබ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය බටහිර හිතවාදී නැතහොත් ඇමෙරිකාවට හිතවත් ලෙස හඳුන්වනවා. ඔබේ එම ප්‍රතිපත්තිය දැන් වෙනස් වෙලාද?
එක්සත් ජාතික පක්ෂයේ අපි හැම රටක් සමගම මිත්‍රත්වයෙන් ඉන්නවා. චීනය සමගත් අපි මිත්‍රත්වය පවත්වාගෙන යනවා. ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය, රුසියාව සමගත් අපි සබඳතා පවත්වනවා. අපිට කිසිම රටක් සමග ප්‍රශ්නයක් නැහැ. සෑම රටක් සමගම මිත්‍රකම තියාගෙන අපි කොහොමද අපේ රට පාලනය කරන්නේ කියලා අපි දැනගෙන හිටියා. මොකද ලංකාව කියන්නේ පොඩි රටක්. අපිට එක එක්කෙනා එක්ක හැප්පෙන්න බැහැ. ඒ නිසා හැමෝම එක්ක මිත්‍රත්වය තියාගෙන ඒකේ වාසිය ලබාගන්න අපි කටයුතු කළ යුතුයි.
ඔබේ මතයට අනුව මැතිවරණයෙන් පසුව බලය ගන්නා ආණ්ඩුව රට ශක්තිමක් කිරිමට අවධානය යොමුකළ යුත්තේ කුමකටද?
මුලින්ම මේ වසංගතයෙන් ගොඩ එන්න ශක්තියක් තිබිය යුතුයි. ඒ සඳහා ආර්ථිකය තවදුරටත් කඩාවැටෙන්න දෙන්න බැහැ. ජනතාවත් ආරක්ෂා කර ගනිමින් අපි මේ ගමන යා යුතුයි. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල නම් පවුල්වලට මුදල් දෙනවා. රැකියා කරන අයට මුදල් දෙනවා. නමුත් එහෙම කරන්න අපිට ශක්තියක් නැහැ. අඩුම තරමේ රැකියා අහිමි වෙන අයට මුදල් දෙන්න. ව්‍යාපාර ආරක්ෂා කිරීම සිදුකරන්න අපිට මැදිහත් වෙන්න පුළුවන් නම් එය වැදගත්.
ඔබ 2001 ආණ්ඩු කාලයේදී සහ 2015 ආණ්ඩු කාලයේදී අගමැති ධුර දැරුවා. මේ අතරින් ඔබේ සාර්ථකම කාලය කුමක් කියාද සිතන්නේ?
දීර්ඝතම කාලයක් අගමැතිකම කළේ 2015දී. කෙටි කාලයක් වුණත් 2001දීත් අගමැතිකම කළා. මම හිතන්නේ හැම අවස්ථාවකම මම සාර්ථකව වැඩකටයුතු කළා.
රාජ්‍ය නායකයෝ වී සිටින සියලුදෙනා වයසින් බොහෝ වැඩි අය. තරුණ පරපුරට මේ අවස්ථා හිමිවීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
අනිවාර්යයෙන්. රාජ්‍ය පාලනයට තරුණ පරපුර පැමිණිය යුතුයි. තරුණ පරපුරට මේ දේවල් දෙන්න අවශ්‍යයි. නමුත් ඔවුන් එය භාරගන්න කලින් ඒ සඳහා පළපුරුද්ද ඇති කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම ඔබ කියූ දේට මම එකඟයි. මෝදි අගමැතිතුමා මගේත්, ජනාධිපතිතුමාගෙත් වයසේ කෙනෙක්. ඉම්රාන් ඛාන් අගමැතිතුමා අපිට වඩා අවුරුද්දක් බාලයි. බංග්ලාදේශ අගමැතිනිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වයසේ ඉන්නේ. ඇමෙරිකාවේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නම මට වඩා වැඩිමල්. ලෝකයේ පළපුරුදු තියෙන අය ඒවට යොමු වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. එහෙම කියලා තරුණයෝ මේ තනතුරුවලට ඒම වළක්වන්න බැහැ. අපි තරුණයන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. දැන් කොහොමත් අපි මේව අනික් පරපුරට භාරදෙන්න වෙලාව හරි. ඒ පසුබිමත් ඇති කරගෙන අපි ඉදිරියට යා යුතුයි. කෙනෙක් පළපුරුද්ද නැතිව ඉදිරියට ගියොත් වැඩිහිටියන්ගෙන්, සමාජයෙන් ඉගෙන ගන්නේ නැත්නම් ඒකෙන් ලේසියෙන්ම පහළ වැටෙනවා.
එලෙස භාරගන්න පුළුවන් පරපුරක් අපේ රට තුළ නිර්මාණය වී සිටිනවාද?
අනිවාර්යෙන්ම හැදෙන්න අවශ්‍යයි. මම අපේ පක්ෂයට කියලා තියෙන්නේ ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක්ම සකස් විය යුතුයි කියලා. මොකද එක්කෙනෙකුට නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ පක්ෂය සහ ආණ්ඩුව සාර්ථිකව ඉදිරියට ගෙන යාමටයි. ඒක කරන්න බැරි නම් තනිවම පුද්ගලයන් පෙන්නලා වැඩක් නැහැ. මම කියන ආකල්පයෙන් බැහැර වෙලා අපි කියන ආකල්පයෙන් වැඩ කළ යුතුයි.
ඔබ දේශපාලනයේදී කලකිරුණු අවස්ථා තිබෙනවාද?
අනිවාර්යෙන්ම තියෙනවා. එහෙම තිබුණා කියලා කලකිරිලා හරියන්නේ නැහැ. ඒවට හොඳින් මුහුණදිය යුතුයි. ප්‍රීති වුණ අවස්ථාත් තියෙනවා. කලකිරුණු අවස්ථාත් තියෙනවා. තරුණ පරපුර දේශපාලනයෙන් ඈත් වෙන එකත් කලකිරීමට හේතුවක්.
එලෙස කලකිරිලා දේශපාලනයෙන් ඉවත් වෙන්න හිතුණ අවස්ථා තිබෙනවද?
එහෙම නම් නැහැ. මම ඒ ගැන හිතනවා විටින් විට. අමාරු කාල තියෙනවා. ඒ වගේම භාරගත්තු දේවල් කරන්න යුතුකමක් තියෙනවා. කොහොමත් යන්න වෙලාව එනවා. එතකොට යන්න ඕන කලකිරිලා නෙවෙයි සතුටින්. දේශපාලනයට ඇවිත් කලකිරිලා යන අයත් ඉන්නවා, සතුටින් යන අයත් ඉන්නවා. මම දේශපාලනයෙන් ඉවත් වෙනවා නම් ඉවත් වෙන්න කැමති සතුටෙන්. මම බෞද්ධයෙක් හැටියට සතුට, කලකිරීම කියල දෙයක් නැහැ. මැදුම් පිළිවෙත අනුව කටයුතු කරනවා.
මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලයක් පිහිටුවීම සඳහා එක්සත් ජාකික පක්ෂය අනෙකුත් පක්ෂ සමග එකතු වෙනවාද?
අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් බහුතර ආණ්ඩු බලයක් ලබා ගැනීමයි අපේ අරමුණ. ඒ නිසා අපි බලය ඉල්ලන්නේ ජයග්‍රහණය කරන්න. පක්ෂ දෙකක් බලය ඉල්ලනවා. ඒ දෙකෙන් එකකට බලය ලැබිය යුතුයි.
ඔබ ආදර්ශයට ගත් දේශපාලන නායකයන් ගැන කතා කළොත්?
අතීතයේ ඉඳන් හිටපු නායකයෝ ගොඩක් ඉන්නවා. හැමෝම කියන්න මතක නැහැ. රූස්වෙල්ට් ජනාධිපතිතුමා වගේ බොහෝ පළපුරුදු දේශපාලනඥයෝ මම බොහොම කැමති අය. මේ අය විවිධ දස්කම් පෙන්වූ නායකයන්. මාග්‍රට් තැචර්, අතල් බිහාර් වජ්පායි වගේ අය කියන්න පුළුවන්. මම ප්‍රිය කරන මේ අයගෙන් බොහෝ දෙනෙක් මට ආශ්‍රය කරන්න ලැබීම ගැනත් මම සතුටු වෙනවා.
ආණ්ඩු පක්ෂය හොබවමින් මැතිවරණයට ඉදිරිපත්ව ජනාධිපතිවරණය පරාද වීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
අපේ ආණ්ඩුව බොහොම හොඳ වැඩ රාශියක් කළා. නමුත් ඒවා ජනතාව අතරට ගියේ අඩුවෙන්. ඇත්තටම ඒක අපේ වැරැද්දක්. අපි කරපු දේවල් ගැන අපි කතා කළේ නැහැ. අපි කළ වැඩ මාධ්‍ය තුළ අඩුවෙන් කතා කරපු එක ගැන නෙවෙයි මම කියන්නේ. අප ගමට ගිහින් අපි කරපු වැඩ ගැන කතා කළෙත් නැහැ.
1977න් පසුව අපි එවැනි තත්ත්වයක් ඇති කරන්න උත්සහ කළා. ආණ්ඩුව කරන වැඩ ගැන ගමට ගිහින් කතා කරන්න සැලසුම් කළා. නමුත් ඒක සිදුවුණේ නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඒක කළේ නැහැ. ඒ නිසා අපිට අවාසි වුණා.
ඔබේ අදහසට අනුව ලංකාවේ ඉදිරි දේශපාලන කුමන ආකාරයේ වෙනසක් ඇතිවිය යුතුද?
දේශපාලනඥයන් ජනතාව සමග තියෙන සම්බන්ධතාව වැඩි වෙන්න අවශ්‍යයි. නමුත් මේ මනාප ක්‍රමය තිබෙනකම් ඒක වෙන්නේ නැහැ. කේවල සහ අනුපාත ක්රමයේ මිශ්‍රණයක් තියෙන්න අවශ්‍යයි. එතකොට කාටවත් තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදයෙන් අපි ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒ වගේම මේ දේශපාලනය තුළට තරුණයන් පැමිණිය යුතුයි. දේශපාලනය තුළ මීට වඩා විවෘතභාවයක් ඇති විය යුතුයි. දේශපාලනයේ තිබෙන වියදම් අඩු කළ යුතුයි. සමහර රටවල්වල ආණ්ඩුවෙන් පක්ෂවලට මුදල් දෙනවා ඡන්ද කටයුතු කරන්න. එහෙම කරන්නේ අනෙකුත් පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැතිව දේශපාලනය කරන්න. කේවල ක්‍රමය තියෙනවා නම් එතරම් ලොකු වියදමක් යන්නේ නැහැ. නමුත් මම හිතන්නේ සිදුවිය යුතු ප්‍රධානතම දේ නම් තරුණයන් වැඩි වශයෙන් දේශපාලනයට පැමිණ ඔවුන්ට අවශ්‍ය විදිහට මේ දේවල් වෙනස් කර ගැනීමයි. දැන් තියෙන දේශපාලන රාමුව වැඩිකල් ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. කෝවිඩි නිසා මේ තත්ත්වය ටික කාලයක් තියෙයි. නමුත් මේ මාස තුන තුළ ලෝකයේ හැමතැනම තරුණ වැඩිහිටි හැමෝගෙම අදහස් වෙනස් වුණ හැටි අපි දැක්කා. අපි ආරම්භය ගත යුත්තේ එතැනින්. අලුතින්ම ආරම්භ වන යුගයකට අපි දැන් ඇවිත් තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ බෙදීම නිසා වාසිය ලැබෙන්නේ වෙනත් පක්ෂයකට නේද?
අපි ඇවිත් ඉන්නේ අපේ වැඩසටහන ජනතාවට කියලා ඡන්දය ගන්න. කවුරුවත් බෙදන්න නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් ඉවත් වෙනවා. එවැනි දේවල්වලට මුහුණදෙන්න අපිට සිදුවෙනවා. අපේ කාලය තුළත් අවස්ථා දෙක තුනකදී එහෙම සිදුවුණා. බණ්ඩාරනායක මහත්තයාගෙන් පටන් අරගෙන ගොඩක් අය ගිහින් තියෙනවා. සමහර අය ගිහින් පක්ෂ හදනවා. තවත් අය ගිහින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වෙනවා. ඒවා සාර්ථක වෙලා තියෙනවා වගේම අසාර්ථක වෙලාත් තියෙනවා. අපි කියන්නේ අද තියෙන අර්බුදයට විසඳුම තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය තුළ පමණයි කියල. ඒ නිසා අපිට වරමක් දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.
අපි මුහුණදෙන්නේ විශාල අර්බුදයකට. දෙවැනි ලෝක යුද්ධෙන් පසුව ඇති වුණ විශාලම අර්බුදය මේක. අපි නිදහස ලැබුවායින් පසුව ඇති වුණ විශාලතම අර්බුදය මේක. ලෝකය මුහුණදෙන මේ විශාලතම අර්බුදයෙන් අපි ගොඩ ආ යුතුයි. අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි අලුතින් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකට සැලසුම් තිබිය යුතුයි. නිකම් ආවට ගියාවට කටයුතු කරන්න බැහැ. සාම්ප්‍රදායික දේශපාලනය දැන් අවසන් වෙලා තියෙන්නේ. එයට සාර්ථකව මුහුණදෙන්න නම් සැලැස්මක් තියෙන පක්ෂයකට ඡන්දය දෙන්න. සාර්ථක සැලැස්මක් සහ හැකියාවක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.