යන්ත්‍රානුසාරයෙන් පැළ සිටුවන පොළොන්නරුවේ ගොවීන්


ලංකාව යනු අතීතයේ සිටම බත බුලතින් ස්වයංපෝෂිත වූ රාජ්‍යයක් බව ඔබ අප සැවොම දන්නා කරුණකි. අතීතයේදී ලංකාව හඳුන්වා ඇත්තේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසිනි. ලංකාවේ ආර්ථිකයට වර්තමානයේදීත් විශාල දායකත්වයක් ලබාදීමට ගොවිතැනට හැකියාව පවතී. 


පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු රටේ සෙසු පළාත්වලටත් වඩා වැඩියෙන් වී ගොවිතැනට මූලිකත්වය ලබා දෙන, වී ගොවිතැන ප්‍රධානතම ජීවනෝපාය ලෙස සලකන දිස්ත්‍රික්කයකි. පොළොන්නරුවේ ගොවීන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් මිදෙමින් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සොයමින් සිටියි. විශේෂයෙන් පොළොන්නරුව වැනි වී ගොවිතැනට අරක්ගත් ගොවීන්ට නවීන යන්ත්‍ර ක්‍රම භාවිතය වර්තමානය වන විට විශාල වාසියක් ඇති වේ. 

මෑත අතීතයේ සිට බොහෝ විට වී ගොවිතැනේදී යන්ත්‍ර භාවිත වූයේ කුඹුර කෙටීම සඳහාය. අත් ට්‍රැක්ටරය භාවිතයෙන් කුඹුර කෙටීමෙන් ආරම්භ වුණු යන්ත්‍රානුසාරයෙන් ගොවිතැන් කිරීම පසුකාලවලදී %සුනාමිය, බූතයා^ වැනි යන්ත්‍රවල පැමිණීම හේතුවෙන් ගොයම් කපා පාගා වී ගෝනිවලට පිරවීමටද හැකි විය. මේ වන විට ගොවීහු කුඹුරෙහි පැළ සිටුවීමද යන්ත්‍රානුසාරයෙන් සිදු කරති. මෙය බොහෝ විට මහා පරිමාණයේ කුඹුරු කරවන ගොවීන් භාවිතා කරන්නකි. පොළොන්නරුවේ ගොවීන් කිහිපදෙනෙකුම යන්ත්‍රානුසාරයෙන් පැළ සිටවනු දක්නට ලැබේ. 

යන්ත්‍ර මඟින් ඕනෑම කටයුත්තක් පහසුවෙන් කරගත හැකි බව අප සැවොම දනී. එහෙයින් ගොවිතැන් කිරීම වැනි ඉතා සංකීර්ණ කටයුත්තක් සඳහාද යන්ත්‍ර පැමිණීම ගොවීන්ට අතිශයින් පහසුය. යන්ත්‍රානුසාරයෙන් පැළ සිටුවීමේදී පළමුවෙන්ම සිදු කරන්නේ පැළ තවාන් කරවීමයි. ඒ සඳහා පළමුවෙන් වී තවාන් කිරීමේ තැටිය තුළට අඟල් කාලක පමණ පස් සහ කොම්පෝස්ට් තැන්පත් කරයි. ඉන්පසු එතුළට බිත්තර වී තැන්පත් කරයි. බොහෝ විට පැළ තවාන් දැමීම සිදු කරන්නේ කුඹුරෙහිය. නමුත් කුඹුරෙන් තොර එළිමහන් ස්ථානයක තවාන් දැමීම වඩාත් පහසුය. මන්ද කුඹුරෙහි තවාන් කළ පසු තවාන් දැමූ ස්ථානයෙහි පැළ සිටුවීම සඳහා නැවත පස පෙරළීමට සිදු වේ. එබැවින් ඒ සඳහාද තවත් වෙහෙසක් දැරීමට සිදුවේ. එම නිසා බොහෝ ගොවීන් සිය ගෙමිදුලෙහි පැළ තවාන් දමයි. සති දෙකක තවාන් කාලයකින් පසුව පැළ සිටුවීම සිදු කළ හැක. මෙහිදී මෙම පැළ සිටුවීමේ යන්ත්‍රය භාවිතා කරයි. අක්කරයක පමණ කුඹුරක් සඳහා තවාන් තැටි අසූවක් පමණ යොදා ගනී. 

පැළ සිටුවීමේ යන්ත්‍රයේ පැළ රැඳවීමට ඇති තීරු හතර සඳහා එකවර තවාන් තැටි හතරක් පිරවිය හැකිය. ඉන්පසුව යන්ත්‍රය කුඹුරට දමා කුඹුර වටා ගෙන යන විට කුඹුරේ අඟල් හතරෙන් හතරට පැළ සිටුවීම සිදු වේ. එය සිදුවන්නේ යන්ත්‍රයේ පහළ තිබෙන උල් සහිත කොටසිනි. එම කොටසින් මඩ කුඹුරේ අවශ්‍ය තැන හාරා පැළය ඉබේම එතුළට වැටෙයි. 

යන්ත්‍රය භාවිත කිරීමේ ප්‍රධානතම වාසිය වන්නේ වල් පැළ සඳහා කුඹුරෙහි ඉඩක් නොලැබීමයි. සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයට අනුව පැළ සිටුවීමේදී ගොයම් පැළ අතර වල් පැළ, තණකොළ වැනි දෑද පැළ වේ. ඒවා මර්දනය කිරීම සඳහා බෙහෙත් තෙල් භාවිතා කිරීම වැඩි වශයෙන් සිදු වන්නකි. පැළ සිටුවීමේ යන්ත්‍රය මඟින් පැළ සිටුවීමේදී වල් පැළ අවම වන්නේ පැළ තවාන් කිරීම වෙන් වෙන්ව සිදු කරවීම නිසාය. විශේෂයෙන් මහා පරිමාණයෙන් ගොවිතැන් කටයුතුවල නිරත වන ගොවීන්ට මෙම යන්ත්‍රානුසාරයෙන් පැළ සිටවීම බොහෝ වැදගත් වන බව මෙම ගොවි මහතුන් පවසයි. 
යන්ත්‍රානුසාරයෙන් කන්න කිහිපයකදීම පැළ සිටවූ මංජු ගොවි මහතා සහ ඔහුගේ පියා අපට ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 &ඇත්තටම මේ යන්ත්‍රයෙන් පැළ හිටවන එක සෑහෙන්න සාර්ථකයි. මම කන්න තුන හතරක්ම මේ යන්ත්‍රයෙන් පැළ හිටෙව්වා. අපි සාම්ප්‍රදායිකව පැළ හිටවනකොට ලොකු මහන්සියක්, කාලයක් වැය කරන්න ඕනේ. අනික අපි අක්කර ගාණක කුඹුරු කරන ගොවියෝ. එතකොට ගොඩක්ම ලේසි වෙන්නේ මැෂිමෙන් හිටවන එක තමයි. කුඹුර නියමිත ගානට මට්ටම් කරලා, අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා කුඹුර හදාගත්තට පස්සේ මැෂිම දාලා පැළ හිටවන්න විතරයි තියෙන්නේ. මේ ක්‍රමය අපිට දැනට සාර්ථකයි කියලා කියන්න පුළුවන්. කොහොමත් දැන් පොළොන්නරුවේ ගොවියෝ ගොඩක්ම සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිලා නවීන යන්ත්‍ර සමග ගොවිතැන් කරන්න හුරුවෙමින් ඉන්නවා. ගොවිජන සමිතිවලින් සහ කෘෂිකර්ම නිලධාරී මහත්වරුත් මෙහිදී ගොවියන්ට විශාල සහයෝගයක් දෙනවා අලුත් ක්‍රමවලට හුරුවෙන්න යන්ත්‍රානුසාරයෙන් කුඹුරු කරන සෝමරත්න ගොවි මහතාද මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

මමත් කන්න දෙක තුනක්ම මේකෙන් වගා කළා. අපට පැල හිටවද්දි තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි තණකොළ බෝ වෙන එක. ඒක සිද්ධ වෙන්නේ වී ඉහලා පැළ කරද්දි. ඒත් මේ විදිහට පැළ හිටවද්දි වල් බෝ වෙන එක අඩුයි. අපිට ඇත්තටම මේ වගේ තාක්ෂණික ක්‍රම එක්ක ගොවිතැන් කරන්න පහසුයි. කරදරය අඩුයි. ගොඩක් වෙලාවට ටිකක් අමාරු වෙන්නේ පැළ තවාන් දාගන්න එක තමයි. ඒත් ඒකත් නියමිත පස් හා කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය අරගෙන තැටියේ දාලා බිත්තර වී ටික දාගත්තාම ගැටලුවක් නැහැ. වතුරත් වෙලාවට දානවා නම් වැඩේ ලේසියි. සති දෙකක විතර කාලයක් යද්දි වී ටික පැල විදිහට වර්ධනය වෙනවා. ඉස්සර කුඹුරු කරද්දි වහිනකොට එහෙම වැඩ කරන්න අමාරුයි. යන්ත්‍රවලින් වැඩ කරද්දි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ යන්ත්‍රය අරගත්තේ අපේ ගොවියෝ එකතු වෙලා ගොවි නිලධාරී මහත්වරුත් එක්ක පටන් ගත්තු සරුකෙත යාය සමිතියෙන්. ඒකෙන් චක්‍රීය අරමුදලෙන් තමයි මැෂිම මිලට ගත්තේ. දැන් අපි මේ යන්ත්‍රයෙන් පැකේජ් ක්‍රමයට ගොවීන්ගේ කුඹුරුවල පැළ හිටෝනවා. අපේ සමිතියේ අරමුදල්වලින් ළමයෙකුට පඩි ගෙවනවා. ඔහු තමයි යන්ත්‍රයෙන් කුඹුරුවල පැළ හිටවන්නේ.

තවද මෙම ගොවි මහතුන් කුඹුරු කෙටීමේදී භාවිත කරන තවත් උපක්‍රමයක් දෙස අප අවධානය යොමු විය. එය නම් සාමාන්‍ය කුඹුරක ලියැද්දකට වඩා ඇතැම් ගොවි මහතුන්ගේ කුඹුරුවල ලියැදි ප්‍රමාණයෙන් විශාල වීමත් ඒ තුළින් ලියැදි ප්‍රමාණය අඩුවීමත්ය. ලියැදි විශාල කරමින් කුඹුරු කරවීම මෙම ක්‍රමයයි. ගොවිතැන යාන්ත්‍රීකරණය වීම හේතුවෙන් ලියැදි විශාල කර ගොවිතැන සිදු කිරීමේ විශාල වාසියක් ගොවියාට හිමි වේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය ලියැදි අතර තිබෙන නියරවල් කපා ඒවාද පැළ සිටුවීම සඳහා යොදා ගැනීමයි. එහිදී අනවශ්‍ය නියර සියල්ලම කපා දමයි.  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ගොවි ගම්මානවල ගොවියෝ මෙම ක්‍රමය සිදු කරයි. සාමාන්‍ය ක්‍රමයේදී සම්පූර්ණ කුඹුරෙන් 20%ක ප්‍රමාණයක් නියර සඳහා වෙන් කිරීම සිදුවේ. ඉන් හැකි උපරිම නියර ප්‍රමාණයද ගොවිතැනට යොදා ගත් පසු වැඩියෙන් අස්වැන්න නෙළිය හැකි බව මොවුන්ගේ මතයයි. ලියැදි විශාල කර පැළ සිටුවීමේදී එය ගොවියාට වඩාත් පහසු බව ගොවීහු පවසති. අක්කරයක පමණ කුඹුරක බොහෝ විට ලියැදි තුනක් වැනි ප්‍රමාණයකට මොවුහු කුඹුර සාදති. විශේෂයෙන් මොවුන් යන්ත්‍රානුසාරයෙන් ගොවිතැන් කටයුතු සිදු කරන නිසා විශාල ලියැදිවල වැඩ කිරීමට පහසුවෙන් යන්ත්‍ර භාවිත කළ හැකිය. මෙවැනි ව්‍යාපෘති සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දිස්ත්‍රික් ගොවිජන නිලධාරීන් ඇතුළු පිරිස් විශාල වශයෙන් සහයෝගය දක්වන බවද ඔවුහු පවසති. 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග



Recommended Articles