මෝදිගේ නැවත පත්වීම අපට වැදගත් ඇයි?


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත වරක් පත්වීමත් සමග ඉන්දියාවේ දේශපාලන අනාගතය තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතරම, ඒ හා සමගාමීව සංවර්ධනය, යටිතල පහසුකම්, ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන යන ක්‍ෂේත්‍රයන්හිද වර්ධනයක් සිදුවෙනු ඇත.

මෝදිගේ පක්ෂය මැතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පෙන්වා දෙන්නේ ඉන්දීය ජනතාව තම විශ්වාසය මෝදි හා ඔහුගේ රජය කෙරෙහි තබා ඇති බවයි.  මෙම මැතිවරණයේ ප්‍රතිඵලයෙන් දක්නට ලැබුණ දෙයක් වන්නේ ජාතික නායකයෙකු ලෙස තමන්ගේ රට මුල් ස්ථානයේ තබා කටයුතු කිරීමේ වැදගත්කමයි.

ඔහුගේ  අංක එකට රට නැමැති ප්‍රතිපත්තිය ඉන්දීය ජාතිකයන්ගේ හදවත් දිනාගත් අතර, ශ්‍රී ලංකා නායකයන්ටද එය පාඩමක් වන්නේය. ලෝකයේ විශාලම වෙළෙඳ පොළ වශයෙන් ඉන්දියාව අසල්වාසී රටවල් වෙනුවෙන් විශාල අවස්ථා ගණනාවක් නිර්මාණය කර තිබේ. අනෙක් අතින් ඉන්දියාව ගන්නා තීන්දු තීරණ ලෝකයට මෙන්ම දකුණු ආසියාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. 

එම තීන්දු තීරණ ලංකාවටද ඒ ආකාරයෙන්ම බලපෑම් ඇති කෙරේ. ඉන්දියාවේ අසල්වැසි රටක් ලෙසින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියෙන් දැඩි ලෙස බලපෑමකට ලක්වෙනු ඇති අතර, නරේන්ද්‍ර මෝදි මහතාගේ යළි පත්වීමත් සමගින් දෙරටටම වැදගත් ලෙස අපට ඉන්දියාව සමග ඇති සබඳතා තවදුරටත් සාර්ථක කර ගැනීමට අවස්ථාව තිබේ.

මහින්ද රජපක්ෂ මහතා මෙරට ජනපති ලෙස කටයුතු කරන කාලයේදී අපි ඉන්දියාවත් සමග පැවැති සබඳතා ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත්වීමු. එම කාලයේදී දෙරට අතර මත ගැටුම් ඇති නොවුණාද නොවේ. නමුත් නරේන්ද්‍ර මෝදි මෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාත් දිගුකාලීන දැක්මක් සහිත නායකයන් ලෙසින් එම තත්ත්වන් නිසියාකාරව කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබුණි. 

වත්මන් විපක්ෂනායකවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා සෑම අවස්ථාවකම නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. මේ හේතුවෙන් කලාපීය මිතුරන් සියලු දෙනා සමගම අපිට හොඳ සබඳතා පැවැතුණි. මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ ඉන්දියාවද ඇතුළත්ව කලාපයේ බොහෝ ආයෝජකයන් සිය ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී  ලංකාව තෝරා ගැනීමයි.
මෙම ලැබුණ ආයෝජන අවස්ථා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නම් එය සියලු දෙනාමට වාසියක් වීමට අවස්ථාව තිබුණි. මේ වනවිටත් රට තළ ක්‍රියාත්මක වන විශාල ඉන්දීය ආයෝජන සඳහා අත්සන් කර ඇත්තේ මහින්ද රජපක්ෂ පාලන කාලයේදීය. වත්මන් ආණ්ඩුව ඉන්දීය වෙළෙඳ පොළ හඳුනා නොගැනීමත්, ඉන්දියාව සමග සබඳතා තර කර ගැනීමට කටයුතු නොකිරීමත් අපිට අවාසියක් විය.

යෝධ ඉන්දීය වෙළෙඳ පොළ තුළ අවස්ථා අසීමිතය. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ වෙළෙඳ පොළේ හැසිරීම බොහෝ සමානකම් දක්වයි. මෙයද හොඳ අවස්ථාවක් වන අතර, රටවල් දෙකම තම මතභේද දුරලා කටයුතු කිරීමෙන් දෙරටට ආර්ථිකමය හා සාමාජීය වශයෙන් වාසි අත්කර ගැනීමට අවස්ථාව තිබේ.

එමෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව තවත් සහයෝගයෙන් වැඩ කළ යුතු ක්‍ෂේත්‍රයක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍ෂේත්‍රයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව බොහෝ දෙනෙකුගේ ඇස් ඇරුණ අතර, ඉන්දියාවටද එවැනි ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳව ඇති අනතුරු ඇඟවීම් නොසලකා හැරිය නොහැක. දෙරට අතර බුද්ධි අංශ තොරතුරු හුවමාරුව, ප්‍රතිත්‍රස්ත වැඩසටහන් ක්‍රියාවට නැංවීම හරහා කලාපය තුළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවස්ථාව තිබේ.

නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 09දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔහුව මහත් හරිසරින් යුතුව පිළිගැනීමට ජාතියක් ලෙස අපි කටයුතු කළ යුතුය. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද මෝදි මහතාය.  ඒ අනුව ඔහුගේ සංචාරය හරහා ශ්‍රී ලංකාව තුළ නැවතත් ආරක්ෂාව තහවුරු වී ඇති බවට ලෝකයට පණිවිඩයක් ලබාදීමට අවස්ථාව තිබේ. එය දැනට අඩපණ වී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහාද අවස්ථාවකි.

මෙහිදී තවත් අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ රතන හිමියන් මහනුවරදී ආරම්භ කළ උපවාසයයි. ආණ්ඩුව මුලදී තනි මතයට කටයුතු කළද, පසුව ජනතාවගේ නැගිටීම අනුව හිස පහත් කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් රතන හිමියන්ගේ ප්‍රයත්නයේදී සාමකාමීව හැසිරෙන ලෙස ඔබගෙන් ඉල්ලීමක් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිස සමගින් ප්‍රශ්න කළ යුතු බවට රටේ ජනතාව තුළ මතයක් ගොඩ නැගී තිබේ.

එවැන්නක් නොමැති නම් ආණ්ඩුවේ වගකීම වන්නේ ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය රටට හෙළි කිරීමයි. රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය කල් දැමීම හා ආණ්ඩුව කරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ. 

රතන හිමියන් දිවි හිමියෙන් කටයුතු කිරීම අගය කළ යුත්තකි. එසේම උන්වහන්සේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් දිවි හිමියන් කැපවූ ස්වාමීන් වහන්සේ නමකි. ජාතිභේදයකින්, පක්ෂ,පාට භේදයකින් තොරව ජනතාව ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීම වැදගත් වේ. 
අනෙක් අතින් ආණ්ඩුව ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන බවට ජනතාව අතර මතයක් පැන නැගී තිබේ. ඒ ආණ්ඩුව කටයුතු කළ ආකාරය හේතුවෙනි. විශේෂයෙන්ම ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් කළ ප්‍රකාශ හා හැසීරීම් පිළිබඳ ජනතාව තුළ කලකිරීමක් ඇතිව තිබේ. ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතු වේ.

එසේම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවැතියේය. මෙහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආර්ථිකයේ ඇතිවූ පසුගාමීත්වය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය.  
මෙසේ අප විපක්ෂයේ සිටියත් රට අංක එකට තබා කටයුතු කරන හෙයින් වගකිවයුත්තන් දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු. දේශපාලනික වශයෙන් කුමන වාසි අවාසි ලැබුණද අපි රට වෙනුවෙන් අපේ කටයුතු ඉදිරියටත් කරන්නෙමු.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගයක්!



Recommended Articles