රටේ උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගෙන් විමසීමක් සිදුකිරීමට %අද^ අපි සිතුවෙමු. මේ ඒ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්ය.
දේශපාලන අර්බුදයේ දැන් තිබෙන තත්ත්වය පිළිබඳව ඔබ මොකද හිතන්නේ?
ඇත්තටම දැන්නම් උදා වෙලා තියෙන්නේ කාටවත්ම තේරුම් ගන්න බැරි ව්‍යාකූල තත්ත්වයක්. මේක බල අරගලයක් කියලත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්රජාතන්ත්රවාදී රටක බල අරගලයක් සිද්ධ වෙන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. මෙතැන සිද්ධ වෙලා තියෙන්නේ විධායකයේ බලතල අත්තනෝමතිකව යොදා ගෙන ප්රජාතන්ත්රවාදයට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට වගේම රටේ ව්‍යවස්ථාව පවා නොසලකා හරිමින් සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයක්.
එක්සත් ජාතික පක්ෂයට බහුතරය අහිමි වීමේ අවදානමක් තිබෙනවාද?
මගේ දේශපාලන ඉතිහාසය තුළ මම මෙහෙම තමන්ගේ බලය රැක ගැනීම උදෙසා බහුතර ජනතා මතයට විරුද්ධව ඩීල් දාන ජනාධිපති කෙනෙක් දැකලා නෑ. හිතුවක්කාර විදිහට පක්ෂවල මහජන නියෝජිතයන් සල්ලිවලට අරගන්න ජනාධිපති කෙනෙක් දැකලා නෑ. මේක තමයි මම දැක්ක නින්දිතම, ලැජ්ජා සහගතම දේශපාලන කුමන්ත්‍රණය. මේ විදිහට ඇමතිකම්වලට, මුදල්වලට ඩීල් දාන අයත්, විකිණෙන කට්ටියත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නෙවෙයි මෙම තීරණ ගන්නේ. අපේ පක්ෂයෙන් මේ වනවිටත් කුමන්ත්රණකාරීන් එක්ක එකතු වෙලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙක් විතරයි. මේ තත්ත්වය හමුවේ අපේ පක්ෂය, පක්ෂයේ බේස් එක තවත් ශක්තිමත් වුණා කියන එක ජාතික සංවිධායක විදිහට මට පැහැදිලිවම කියන්න පුළුවන්.
පක්ෂයේ ප්‍රතිසංස්කරණ ගැන සෑහීමකට පත්වෙනවාද?
මෑතකදී ඇති වුණු ප්‍රශ්නත් එක්ක පක්ෂයේ යම් යම් ප්‍රතිසංස්කරණ ඇති වුණා. නායකත්ව මණ්ඩලයේ රහස් ඡන්දයෙන් මට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. ඒ අනුව යම් යම් ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ කෙරුණා. ඒවා ගැන සීයට සීයක් සෑහීමකට පත්විය නොහැකි වෙන්න පුළුවන්. පක්ෂය ඇතුළේ අපිට නායකත්වය සමග යම් යම් අර්බුද තියෙන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි ඒ අර්බුද පස්සේ යන එකමම අනුමත කරන්නේ නෑ. ඒක අපේ පාක්ෂිකයාට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් අපිත් එක්ක එකට හිටගන්න නීතිගරුක පුරවැසියන්ට කරන අසාධාරණයක්. ඒ නිසා අපි මෙතැනදී ව්‍යවස්ථාවට ගරු කරන, දේශපාලන විනයක් සහිත රටක් වෙනුවෙන් එකට එකාවන්ව හිටගන්නවා, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයාගේ ඉඳලා පක්ෂයට ආදරය කරන සෑම ජනතා නියෝජිතයෙක්ම අද මේ සටනේදී එක අරමුණක ඉන්න බව මට විශ්වාසයි. ඒ එකමුතුව තුළින් තමයි මේ ජනාධිපතිවරයා ප්රමුඛ කල්ලියේ දේශපාලන මගඩියට එරෙහිව නිවැරදිව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.
ඔබේ පක්ෂයෙන් නව ආණ්ඩුවට එකතු වූ අය ගැන මොකද හිතන්නේ. එයාලට පක්ෂය ඇතුළේ ප්‍රශ්න තිබුණද?
සල්ලිවලට විකුණුනු, සල්ලිවලට පක්ෂය පාවා දුන්න නියෝජිතයන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. එයාලගේ දේශපාලන අරමුණු මේ කුමන්ත්‍රණය ඇතුළේ විනාශ වෙනවා. ඒගොල්ලන්ට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්න බෑ. අපි nomination දෙන්නෙත් නෑ. nomination දුන්නත් එක්සත් ජාතික පාක්ෂිකයෝ එයාලට ඡන්දෙ දෙන්නේ නෑ. ඒ වගේම මම දන්නවා එයාලා මෙච්චර අවුරුදු ගානක් තමන්ගේ ඡන්ද බේස් එක රැක ගන්න කොච්චර ලොකු ආයෝජනයක් කරලා තියෙනවද කියලා. ඒ ඔක්කොම පුස්සක් වෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක විදියට මම කතා කළා අපේ පක්ෂය හැර දාලා ගියපු මන්ත්‍රී කෙනෙකුට. ඔහුට ඕන වුණේ කැබිනට් අමාත්‍ය ධුරයක්. මම උත්සහ කරා ඔහුට පැහැදිලි කරලා දෙන්න මේ ඔබ අහුවෙන්නේ දේශපාලන මර උගුලක බව. ඒත් ඔහු කැබිනට් අමාත්‍ය ධුරය පස්සේ ගියා. මම කැබිනට් අමාත්‍යවරයෙක් වුණේ දේශපාලනේට ඇවිල්ලා අවුරුදු දහයකටත් වැඩිය කැප කිරීම් කරාට පස්සේ. නමුත් මේ කියන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු එන්නේ 2014. එයාට තව අවුරුදු කිහිපයක් ඉවසන්න තිබුණා. එයාට හොඳ නියෝජ්‍ය ඇමතිකමක් තිබුණා. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිකමත් එක්ක එයාට හොඳ දේශපාලන ගමනක්, දේශපාලන අඩිතාලමක් දාගන්න තිබුණා. ඒ නිසා මං දන්නෑ ඒගොල්ලන් ඇයි තමන්ටත් තම පාක්ෂිකයාටත්, තම පක්ෂයටත් විනාශයක් කරන්නේ කියලා. අපෙන් එක්වුණු රත්නපුරේ ජනතා නියෝජිතයා ගැන නම් මම කතා කරන්න කැමති නෑ. කොහොම වුණත් හැමෝටම තමන්ගේ දේශපාලන තීන්දුව ගැන කියන්න මොකක් හරි හේතුවක් ඇති. ඒත් හැමෝම දැන ගන්න ඕනේ මේක නිකන් පක්ෂයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව. මේක රටක ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවගේ මූලික අයිතීන් පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලන සුරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. එවැනි වතාවරණයකදී තමන්ගේ පෞද්ගලික අරමුණුවලට පමණක් අවධානය යොමු කිරීම දේශපාලන නියෝජිතයෙකුට කිසිසේත් ගැළපෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.
මේ වෙලාවේ කුමන්ත්‍රණයට දායක වුණු පොහොට්ටුවේ ක්‍රියාකාරීන් තනතුරු එපා කියන්න හේතුව තමයි එයාලා කැමති නෑ මෛත්‍රී ජනාධිපති යටතේ වගකීම් ගන්න. මොකද ඒක භයානකයි කියලා ඒගොල්ලන් දන්නවා. පොහොට්ටුවේ අයත් කියනවා තව මාස හත අටක් හිටියා නම් ප්රජාතන්ත්රවාදී ක්‍රමයකටම බහුතර බලය ගන්න තිබ්බා කියලා. එයාලටත් ප්‍රශ්නයක් ඇයි මේ හදිස්සියේ මෙහෙම දේශපාලන කුමන්ත්රණයකින් බලයට එන්න හදන්නේ කියලා. ඒ නිසා අපි දෙගොල්ලම හරියට දන්නේ නැති හේතුවක් මෛත්‍රීටයි, මහින්දටයි තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ඩීල් එකේ පැහැදිලිව පේන හේතු දෙකක් තියෙනවා. මෛත්‍රීගේ හේතුව තමයි ඊළඟ වතාවෙත් බලයට එන එක තහවුරු කරගැනීම. මහින්දගේ අරමුණ තමයි එයාට, එයාගෙ බිරිඳට හා පුතුන්ට එරෙහිව තියෙන නඩු ටික අස් කරගැනීම.
මෙම කුමන්ත්‍රණය ගැන කලින් දැනගෙන හිටියේ නැද්ද?
මීට මාස කිහිපයකට කලින් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වුණා හිටපු ජනාධිපතිතුමයි එස්.බී. දිසානායකයි හමුවුණා කියලා. ඒකෙන් යම්කිසි ආකාරයකට ඉඟියක් සැපයුණා මේ ඩීල් එක ගැන. නමුත් මම කනගාටුවෙන් වුණත් පිළිගන්නවා පක්ෂයක් විදිහට අපි ඊට නිසි අවධානයක් යොමු නොකළ බව. විශේෂයෙන්ම අපේ නායකතුමා හැමතිස්සේම බැලුවේ ප්‍රශ්න සාමකාමීව විසඳ ගන්න. ඒ වගේම අපි රජයක් විදිහට පොදු ජනතාවට සහාය දෙන්න විශාල වැඩපිළිවෙළක් ආරම්භ කළා. ජාතික සංවිධායක ලෙස මම ගම්පෙරළිය වැඩසටහන මගින් ගම සංවර්ධනයට මූලිකත්වය ගත්තා. ගමට සල්ලි යන්න පටන්ගත්තා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම ආරම්භ කළා. මේ දේවල් ක්‍රියාත්මක වුණොත් අපිට වාසිවන නිසා ඔක්කොම කඩාකප්පල් කිරීමට තමයි මේ කුමන්ත්‍රණය ආවේ.
පාර්ලිමේන්තුව කැඳවීම කල් යෑමට විකල්පයක් තිබේද?
අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්රජාතන්ත්රවාදයත් එක්ක මේ කරන සෙල්ලම නවත්තලා ජනාධිපතිතුමා කථානායකවරයාට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි මේ සතියේ පාර්ලිමේන්තුව කැඳවයි කියලා. නමුත් පාර්ලිමේන්තුව දාසය වැනිදා දක්වා වසා තැබීම රටට විශාල හානියක් සිදු කළ හැකියි. මෙම තත්ත්වය සමනය කරගැනීමට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් ඔබ දන්නවා මෙම අරගලය වටා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් නෙවෙයි. ප්රජාතන්ත්රවාදයට ආදරය කරන, රටේ නිදහස හා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලක්ෂ ගණනක් මිනිස්සු මෙම දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව හඬ නගනවා. ඒ නිසා මෙම පීඩනය පුපුරා යා හැකියි. රටේ ජනාධිපතිවරයාට වගකීමක් තිබෙනවා එවැනි තත්ත්වයකට ඉඩනොදී මෙම තත්ත්වය යහපත් මට්ටමින් විසඳා ගැනීමට. මෙය ජන අරගලයක් දක්වා වර්ධනය වුණොත් ඒක රටේ සාමයට හා පැවැත්මට ලොකු බාධාවක් වෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක විදියට පක්ෂයේ නායකත්වය හා එක්ව අපේ පක්ෂය රට තුළ සාමය හා ප්රජාතන්ත්රවාදයට සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙළ ගස්වනවා. අපි හිතනවා කථානායකවරයා ප්රජාතන්ත්රවාදය ගරු කරමින් තමාට තියෙන බලතල පාවිච්චි කරලා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවයි කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළින් අපට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගත හැකියි. ඒක යුක්ති සහගතයි, සාධාරණයි.
ජන අරගලය හා එක්සත් ජාතික පක්ෂ දායකත්වය කෙබඳුද?
අද අපිත් එක්ක ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සිටීම පිළිබඳව මම ඇත්තටම සතුටු වෙනවා. රටේ ජනාධිපතිවරයා නායකත්වය දෙන දේශපාලන මගඩියට, ප්රජාතන්ත්ර විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව ඔවුන් හඬ නගනවා. ඒ අරගලයට සහයෝගයක් වශයෙන් තමයි අපි තවමත් මෙම අර්බුදය පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව, ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයකට, ව්‍යවස්ථාවට අනුකූලව විසඳා ගැනීමට උත්සාහ දරමින් ඉන්නේ, එක්සත් ජාතික පක්ෂයට තමයි වැඩිම ජන පදනම තියෙන්නේ. එය අදත් නියත වශයෙන්ම මේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට හතළිහකට ආසන්න ජන පදනමක්. එවන් ජන පදනමක් ඇතිව ප්රජාතන්ත්රවාදයේ කොඩිය රැගෙන අපි පෙරමුණෙන් ගමන් කරනවා. අපේ එම උත්සාහයට සහයෝගය දෙන මධ්‍යස්ථ මතධාරීන්ට දේශපාලනඥයෙක් වශයෙන් මෙන්ම සමස්ත පුරවැසියන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. පක්ෂ දේශපාලනයෙන් තොරව ප්රජාතන්ත්රවාදය හා යුක්ති සහගත සමාජයක් උදෙසා වන මතවාදය නගරයෙන් නගරයට, ගමෙන් ගමට රැගෙන යන්න මධ්‍යස්ථ මතධාරී නීතිගරුක පුරවැසියන් සමග එක්සත් ජාතික පක්ෂයේ අපි අත්වැල් බැඳගන්නවා. අපි සියලු දෙනාගේ එම උත්සාහයට ගරු නොකර පාර්ලිමේන්තුව තවදුරටත් කල් දැමීමෙන් අතිශය අයහපත් තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට මැදිහත් නොවන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.