කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් වන බී.1.1.7 ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් කිහිපදෙනෙකු පසුගිය සතියේ මෙරටින් වාර්තා විය. කෝවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ලෙස බ්‍රිතාන්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය වෛරසය මේ වන විට තවත් රටවල් කිහිපයකටම පැතිර ගොස් ඇත. මෙම නව වෛරස් ප්‍රභේදයේ පැතිරීම පෙර පැවති වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව 50%කට වඩා වැඩි වීම නිසා බොහෝ රටවල් එම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් ක්‍රමවේදය ඇතුළු ක්‍රමවේද අනුගමනය කරමින් සිටියි. මෙරටින්ද මෙම නව ප්‍රභේදය වාර්තා වීමත් සමග රටේ තත්ත්වය භයානක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ එහි ලේකම් මහේන් බාලසූරිය මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් වූ ලිපියකි.
නව වෛරස් ප්‍රභේදයේ වාර්තා වීම හා සංචරණ සීමා
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කරන්න අවශ්‍යයි කියලා අපි අදහස් කරන්නේ නැහැ. නමුත් අපි දකිනවා මේ අවුරුද්ද ආරම්භ වූ පසුව හා පසුගිය දින කිහිපයේ කෝවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි බව. දෙසීය, තුන්සීය, හාරසීය ලෙස දෛනික රෝගීන් වාර්තා වීම හත්සියය, අටසියය වෙලා නවසියය ඉක්මවා ගියා. 2020 අවුරුද්දේ අවසානයේ හා 2021 නව අවුරුදු උදාවත් එක්ක දීර්ඝ සති අන්තයක් ආවා. බස්නාහිර පළාතෙන් වැඩි ආසාදිතයන් පිරිසක් ඒ වෙද්දී වාර්තා වුණා. ඔවුන් වෙනත් පළාත්වලට ගමන් කිරීමේ දැඩි හැකියාවක් තිබෙන නිසා බස්නාහිර පළාත තුළ සංචරණ සීමා පනවන්න කියලා වර්තමාන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කළා වගේම මාධ්‍ය මගිනුත් අපි ප්‍රකාශ කළා. ඒවට විවිධ පැලැස්තර විසඳුම් දෙන්න විවිධ අංශ පෙළඹුණා මිසක් කළයුතු දේ කරන බවක් අපි දැක්කේ නෑ. සිදුකළේ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස කිරීමයි. ඒ අනුව මේ පරීක්ෂණ ස්ථාන 8ක ආරම්භ කරලා පසුව එය 11ක් දක්වා වර්ධනය කළා. ඒක හරියට මුහුදේ මාළු අල්ලන්න දැල් කීපයක් එලුවා වගේ වැඩක්. ඒ නිසා ඕනතරම් අය හසු නොවී විවිධ ප්‍රදේශවලට ගියා. එයත් එක්ක අපි දැක්කා බස්නාහිර පළාතට කේන්ද්‍රගතව තිබූ රෝගය ග්‍රාමීය ප්‍රදේශ කරා පැතිරෙන ආකාරය. මේකෙ අනිටු ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. දැන් බස්නාහිර පළාතෙන් පිට දෛනිකව වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය ඉතා විශාල වෙලා තිබෙනවා. කුරුණෑගල, බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල, වව්නියාව ආදී දිස්ත්‍රික්ක වලින් මේ වෙද්දී ආසාදිතයන් වැඩි ගණනක් වාර්තා වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ යම් සංචරණ සීමා කිරීමක් කළ යුතුයි කියන ප්‍රකාශය කරනවා. එයට හේතු තියෙනවා. එකක් තමයි පසුගිය මාස දෙකක කාලය තුළ ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම යම් ආකාරයකින් අඩු වෙලා තිබෙනවා. නමුත් කරන පරීක්ෂණ වලින් හඳුනාගන්නා රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම කෝවිඩ් මරණ වැඩි වෙලා තිබෙනවා. අනෙක තමයි බ්‍රිතාන්‍ය තුළ හමුවූ කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ලංකාව තුළින් හඳුනා ගැනීම. ඒ අනුව ප්‍රදේශ කිහිපයකින් B.1.1.7 වෛරස ප්‍රභේදය ආසාදිතයන් හමුවෙලා තිබෙනවා. මේ රෝගීන්ගේ විකාශය බැලුවොත් බස්නාහිර පළාතට කේන්ද්‍ර නොවී වෙනත් ප්‍රදේශත් හමුවෙනවා. විශේෂයෙන් මතුගම, මන්නාරම, වව්නියා වගේ ප්‍රදේශ වලින් එම රෝගීන් වාර්තා වීම විශාල ගැටලුවක්. ඒ අනුව විදේශ රටවල් ගැන බැලුවොත් මේ ශීඝ්‍ර ව්‍යාප්තියක් තිබෙන නව ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වුණ ගමන්ම නිහඬව නොසිට ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්ෂණිකව ගත්තා. අපි බැලුවොත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, එංගලන්තය, නවසීලන්තයේ ඕක්ලන්ඩ් වගේ ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න තීරණය කර තිබුණා. නමුත් අපේ රට මේ මොහොතේ නිහඬව සිටීම අපි අනුමත කරන්නේ නැහැ. ජනතාවට නිසි තොරතුරු ලබාදීලා නිවැරදි දත්ත විශ්ලේෂණයක් කරලා ඒ ප්‍රදේශ තුළවත් තත්ත්වය සංක්‍රමණය වීම වළක්වාගන්න හුදෙකලා කළ යුතුයි. අපි දන්නවා මේ වෛරසයේ හැසිරීම ගැන. ඒ නිසා එය පාලනය වෙනකල්වත් සංචරණ සීමා පැනවිය යුතුයි. අපි පළමු රැල්ල සාර්ථකව පාලනය කළේ ඒ ක්‍රමවේද හරහායි. බිම්මට්ටමේ සේවය කරන නිලධාරීන් ලෙස අපිට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියන එක අත්දැකීමෙන් කියන්න පුළුවන්.
අශ්වයාට යන්නට පෙර ඉස්තාලය වැසීම
අපි රටේ කෝවිඩ් මර්දන වැඩසටහන්වල ඉදිරි පෙළේ නිවාරණ කටයුතු කරමින් බිම් මට්ටමේ සේවය කරන අය හැටියට ක්‍රමවේද වල පවතින අඩුපාඩු හා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විවිධ අදහස් දක්වලා තිබෙනවා. නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ විශේෂඥයන් ගන්නා තීරණ පමණයි නිවැරදි යන තැන ඉඳන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු ඇතැම් නිලධාරීන්ගෙන් වගකිව යුතු මෙහෙයක් මේ සම්බන්ධයෙන් ලැබෙනවාද කියන සැකය ඇතිවෙලා තිබෙනවා. ජනතාව අතර ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇතිවී තිබෙනවා. තොරතුරු අතර පරස්පරතා තිබෙනවා. ඒ අනුව අපිට වුණත් ඇතැම් නිලධාරීන් ලබාදෙන තොරතුරුවල නිවැරදිතාව ගැන කියන්න බැහැ. ලංකාව තුළ නව වෛරස ප්‍රභේදය ආසාදිත වූවන් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළිනුත්, තවත් තිදෙනෙක් තවත් ප්‍රදේශ තුනකිනුත් හඳුනා ගත්තා කියලා කියනවා. නමුත් මේ 16 දෙනා පමණයි රටේ මේ නව වෛරසය ආසාදිතව ඉන්නේ කියලා අපිට 100෴ක් නිශ්චිතව කියන්න බෑ. එහෙම යමෙක් කියනවා නම් වසංගත වේදය ගැන කිසිදු දැනුමක්, අවබෝධයක් නැති කෙනෙක් තමයි එවැනි අදහස් දැක්වීම් සිදුකරන්නේ. මේ රෝගය පාලනය කළ යුත්තේ වසංගත රෝගයක් පාලනය කළයුතු ආකාරයටයි. එසේ නැතිව අපරාධ පාලනය කරනවා වගේ වසංගත රෝගයක් පාලනය කරන්න බෑ. මේ රෝගය හඳුනාගැනීම, රෝග විශ්ලේෂණය, දත්ත තහවුරු කිරීම, තවදුරටත් කුමන ප්‍රදේශවලට පැතිරෙන්න හැකියාවක් තිබෙනවාද ආදිය හඳුනාගැනීම, එම ව්‍යාප්තිය පාලනයට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම ආදිය වසංගතයක් පාලනය කිරීමේ ක්‍රමවේද වලට අනුගතව කළ යුතුයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයක් මගිනුයි මේ නව ප්‍රභේදය ආසාදිතයන් සොයාගත්තේ. නමුත් සංචරණ සීමාවන් නොමැති තත්ත්වයක් තුළ රටේ ප්‍රදේශ කිහිපයකින් මෙලෙස නව ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වීම තුළ, පොදු ප්‍රවාහනයේ පාලනයකින් තොරව මගීන් රැගෙන යන වටපිටාවක, ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන තත්ත්වයක් තුළ මේ නව ප්‍රභේදය පැතිර ගිහින්ද කියන සැකය සාමාන්‍ය පුරවැසියෙකුට ඇතිවෙන්න පුළුවන්. අපි දැක්කා පසුගිය දවස් කීපයේ විවාහ මංගල්‍ය වලට සහභාගීවූවන් අතර අසාමාන්‍ය ලෙස දින දෙක තුනක් ඇතුළත වැඩි පිරිසක් ආසාදිතයන් බවට වාර්තා වන ආකාරය. එය හිතාගන්න බැරි තත්ත්වයක් බවට පත්වුණා. අලව්ව ප්‍රදේශයේ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ රෝගීන් වාර්තා වෙන්නෙත් රෝගීන් සිය කැමැත්තෙන් ඇවිත් පරීක්ෂණ කරගෙන නොවෙයි. අපේ නිලධාරීන් ජනතාව වෙත ගිහින් සැකකටයුතු යැයි සිතා අහම්බෙන් සිදුකරන පරීක්ෂණ හරහායි. ආසාදිතයන් වාර්තා වුණා කියලා අපි ගමක ජීවත් වෙන සියලුදෙනාගේම පරීක්ෂණ කරන්නෙත් නැහැ. එහෙම ගත්තොත් අපිට ලැබෙන තොරතුරු සමග ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ සිටින බවට ඉඟි තමයි ලැබෙන්නේ. ඒ අනුව ලංකාවට නව ප්‍රභේදය ආවේ මෙන්න මේ රටවල් වලින්, එය ආසාදිත වූවන් වාර්තා වෙන්නේ දැනට හඳුනාගත් ප්‍රදේශයන් තුළින් පමණයි, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබෙන්නේ කියලා කියන්න බෑ. මොකද දැනට හඳුනාගෙන තිබෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරික්ෂාවට ගත් සාම්පල වලින් පමණයි. ඒ අනුව විද්‍යානුකූල පදනමකින් මේ ගැන තීරණ ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මේ ගැන නිහඬව නොසිට සෘජු තීරණ ගැනීම හා රටේ තීරණ ගන්නා බලධාරීන්ට නිවැරදි තොරතුරු ලබාදීම අවශ්‍ය වෙනවා. මොකද ජනාධිපතිතුමාට වුණත් නිවැරදි තොරතුරු ලබා දුන්නොත් තමයි එතුමා පවතින තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්නේ. අපි දැක්කා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා පසුගිය දිනවල හැම වෙලාවකම කිව්වේ බස්නාහිර පළාතේ රෝගීන් අඩුවෙලා, වෛරස් ලෝඩ් එක අඩු වෙලා, තව සතියකින් දෙකකින් රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා වගේ දේවල්. මේවා ජනතාවට ක්‍රමයෙන් විහිළු බවට පත්වෙනවා. අමාත්‍යාංශයේ නිලධාරීන් සමාජ ව්‍යාප්තියක් තියෙන බව කියන්න තවදුරටත් පැකිළෙනවා. මේ වෙලාවේ රටේ ජනතාවට නිවැරදි තක්සේරුවක් අවශ්‍යයි. රටේ මොන ප්‍රදේශවලද වෛරසය පැතිරෙන්නේ, කුමන ප්‍රදේශද අවදානම් කියන එක සාමාන්‍ය ජනතාව දැනගත යුතුයි. ඒ අනුව එවැනි ප්‍රදේශවලට ගමන් කරනවාද? ගමන් කරනවා නම් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද, සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරනවා නම් කොහොමද නිලධාරීන් සමග එකතු වෙලා ඒවා කරන්නේ කියන දේවල් සම්බන්ධයෙන් නිවැරදිව කටයුතු කරන්න නම් නිවැරදි තොරතුරු ජනතාවට ලැබෙන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් අපිට මේ රෝගය අද හෙට නෙවෙයි කවදා අවසන් කරගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැරි වේවි.
වසංගතවේදය ඉගෙන ගත් අය විදිහට අපිට කියන්න තියෙන්නේ නව වෛරස ප්‍රභේදය තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත වෙලාද කියන දේ සම්බන්ධයෙන් අදහසක් ගන්න පරීක්ෂණ තවදුරටත් සිදුකළ යුතුයි. පසුගිය දවස්වල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන එක අඩුවෙලා කියලා කියවුණා. අපි ඇමෙරිකාව ගැන බැලුවොත් තවදුරටත් ආසාදිතයන් ඉන්නවද කියලා හඳුනාගන්න ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ දමන්නට කටයුතු යොදා තිබෙනවා. ඔවුන් මෙලෙස පරීක්ෂණ වැඩි කිරීම තුළින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම රටට ලැජ්ජාවක් කියලා හිතන්නෙ නැහැ. ඔවුන් බලන්නේ ආසාදිතයන් එක්කෙනෙක් හරි දෙදෙනෙක් හරි සමාජය තුළ මඟහැරිලා ඉන්නවා නම් ඔවුන්වත් හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීලා ඔවුන් හරහා තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගන්නයි. නමුත් අපේ ක්‍රමවේදය ගැන බැලුවොත් අපි කරන්නේ උඩුගම් බලා යෑමක්. ග්‍රාමීය වශයෙන් මේ වසංගතය පැතිරිලා මරණ ශීඝ්‍රයෙන් වැඩිවෙන්න ගත්තොත් අපිට මුහුණ දෙන්න සිදුවෙන්නේ ඉතාම ශෝචනීය තත්ත්වයකටයි. මොකද මේ වෛරසය රට තුළ විකෘති තත්ත්වයකට පත්වුණොත් තත්ත්වය තවත් දරුණු වෙයි.
අපිට ඇමෙරිකාවට වගේ තාක්ෂණය නැති බව ඇත්ත. අපිට දැනුමෙන් පරිපූර්ණ වූ සෞඛ්‍ය අංශයක් තිබෙනවා. ඉතාම හොඳ රෝග නිවාරණ අංශයක් අපේ රටේ තිබෙනවා. ආරක්ෂක අංශවල හා රාජ්‍ය අංශවල උපරිම සහයෝගය අපිට මේ වෙලාවේ ලැබෙනවා. ඒ වගේම රටේ ජනතාවත් අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා අපි අධිතක්සේරුවක ඉන්නෙ නැතිව නිරන්තරයෙන් පරීක්ෂණ සිදුකළ යුතුයි. රටේ ග්‍රාමීය ප්‍රදේශවලටත් ගිහින් අපි නිරන්තරයෙන් රෝගයේ පැතිරීම පිළිබඳ අධ්‍යයනක් සිදුකළ යුතුයි.
නිවැරදි තොරතුරු වලින් සාර්ථක තීරණ
එන්නත ලබාදෙන්නට පටන් ගත්තට පසු පී.සී.ආර් පරීක්ෂණ පිළිබඳ අවධානය අඩු වෙන්නට ඉඩ නොදිය යුතුයි. ජනාධිපතිවරයා පසුගිය දිනෙක කරපු ප්‍රකාශ විවේචනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එතුමා වසංගතවේදය ගැන විශේෂඥයෙක් නෙවෙයි. එතුමාට ලබාදෙන තොරතුරු මතයි එතුමා යමක් සඳහන් කරන්නේ. එතුමාට උපදෙස් ලබාදෙන විශේෂඥයන් හා කමිටු තිබෙනවා. ඔවුන් ලබාදෙන අදහස් අනුව තමයි එතුමා යමක් ප්‍රකාශ කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේ සම්බන්ධයෙන් දැනුමෙන් සන්නද්ධව සිටින්නේ. ඔවුන්ට දෛනිකව බිම්මට්ටමේ සිදුවන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් තොරතුරු ලැබෙනවා. ඒ අනුව ඔවුන් ලැබෙන දත්ත විශ්ලේෂණය කරලා මීළඟට කුමන ප්‍රදේශයකටද වෛරසය ව්‍යාප්ත විය හැක්කේ කියන දේ හඳුනාගන්න අවශ්‍යයි. අපි උදාහරණයක් ගත්තොත් කුරුණෑගල ප්‍රදේශයේ අලව්ව, පොල්ගහවෙල, මාවතගම ආදී ප්‍රදේශවල රෝගීන් වාර්තා වන ආකාරය අනුව ඊළඟට මේ ප්‍රදේශ ආශ්‍රිතව පැතිරිය හැකි අනෙක් ප්‍රදේශ හඳුනාගන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත ශාලා වල සේවය කරන අය අතර බහුලව ආසාදිතයන් වාර්තා වෙද්දී දත්ත විශ්ලේෂණය කරලා කුමන ප්‍රදේශවලට රෝගය පැතිරෙයිද කියන දේ සම්බන්ධයෙන් යම් පූර්ව විනිශ්චයකට යා හැකියි. නමුත් මේවාට ක්‍රමවේද අරගෙන තිබෙනවාද කියන දේ සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. ඉදිරියේදී අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ජනතාවට සන්නිවේදනය කරනවා නම් ජනතාවට හැකියාවක් ලැබෙනවා තමන්ගේ චර්යාවන් වෙනස් කරගන්න.
අපි යුද්ධය තිබෙන කාලයේ දැක්කා බුද්ධි තොරතුරු අනුව කියනවා මෙන්න මේ ප්‍රදේශවලට බෝම්බ රැගත් ත්‍රස්තවාදීන් ගමන් කර ඇති බවට තොරතුරු තිබෙන නිසා විමසිලිමත් වෙන්න කියලා. එවිට මිනිස්සු පාරේ බැහැලා ගියේ නෑ. බස් කෝච්චිවල යනවා නම් වඩාත් විමසිලිමත් වුණා. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවා. විමසිලිමත් වුණා. ඒ නිසා වසංගත විද්‍යා අංශයත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න දත්ත මත පදනම් වෙලා ජනතාව දැනුම්වත් කළ යුතුයි. හැබැයි අපි එහෙම වෙන බවක් දකින්නේ නැහැ. මේ නිසා ජනතාව අහන දේවල්වලට පිළිතුරු දෙන්න අපිටත් බැරි වෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල දිනපතා කෝවිඩ් මරණ සිදුවෙනවා. නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත්කරන නිවේදනයේ එම මරණ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ජනතාව අහනවා අපේ මරණය ගැන සඳහන් කළේ නෑ වගේ අනෙක් ප්‍රදේශවලත් සිදුවෙන කෝවිඩ් මරණ ගැන හරියට වාර්තා කරන්නේ නැතිව ඇති නේද කියලා. අපි දැක්කා හිටපු කථානායකවරයා කෝවිඩ් වෛරසය ආසාදිතව මිය ගියා. එතුමාගේ මරණය මරණ ලැයිස්තුවට ඇතුළත් වුණාද? කියලා ජනතාව අහනවා. මේ වසංගතය පාලනය කිරීමේදී සිද්ධි හොඳින් අධ්‍යයනය කරලා, හේතු හොඳින් අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් වසංගතවේදයේ ක්‍රමවේද අනුව විශ්ලේෂණය කරලා රෝගය පාලනය කළ යුතුයි. ඒ හැර වෙනත් ක්‍රම අනුගමනය කරන්න ගියොත් තවදුරටත් අඳුරෙන් අඳුරට යන්න වෙයි. දේශපාලන අධිකාරියට නිවැරදි තොරතුරු සෞඛ්‍ය බලධාරීන් ලබාදෙනවාද කියන ගැටලුව අපිට මෙහිදී පැන නගිනවා. අපේ රටේ මේ තත්ත්වය සාර්ථකව පාලනය කරගන්න නම් ප්‍රදේශානුකූලව තත්ත්ව විශ්ලේෂණයන් සිදුකරලා, බිම්මට්ටමේ නිලධාරීන්වත් එකතු කරලා විධිමත් තීරණ ගත යුතුයි.
වසංගතයේ හැසිරීම් වෙනස් වන විට වෙනස් විය යුතු මාර්ගෝපදේශ
මේ රෝගය ලෝකයට අලුත්. මේ රෝගය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ඒ වගේම හඳුන්වා දී ඇති එන්නත් සම්බන්ධයෙන්ද විවිධ පරීක්ෂණ තවදුරටත් සිදුවෙනවා. එන්නත් සම්බන්ධයෙන් වුණත් එන්නත ඵලදායී වන්නේ දින කීයකින් පසුව දෙවන මාත්‍රාව ලබාදීමෙන්ද කියන එකට විවිධ මත තිබෙනවා. වෛරසය වුණත් අපි මුලින් කිව්වා චීනයේ වූහාන් වලින් ආරම්භ වුණා කියලා. දැන් ප්‍රංශයෙන් කියනවා චීනයේ වාර්තා වෙන්න කලින් ඉඳලම ඔවුන්ගේ රටේ මේ රෝගය තිබ්බා කියලා. කොටසක් කියනවා මේ වෛරසය ජලයෙන් බෝ වෙනවා කියලා. තවත් පිරිසක් කියනවා එහෙම වෙන්නේ නෑ කියලා. ඇතැමුන් කියනවා සත්තුන්ට හැදෙන්නේ නෑ කියලා. නමුත් අපි දැක්කා පාකිස්තානයේ සත්ත්ව උද්‍යානයක සතුන් කිහිපදෙනෙක් කෝවිඩ් නිසා මිය යනවා. මේ ආකාරයට දිනෙන් දින වෙනස් වන විද්‍යාත්මක කරුණු මත ගොඩනැගෙන රෝගයක් බවට මේ වෛරසය පත්වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ ප්‍රභේද වාර්තා වෙනවා. විකෘතිතා රටවල් අනුව වෙනස් වෙනවා. ඒ අනුව රට රටවල් අනුව අනුගමනය කරන්න අවශ්‍ය ක්‍රමවේද වෙනස් වෙනවා. එහෙම බැලුවම අනුගමනය කරන්න අවශ්‍ය මාර්ග උපදේශත් ඒ ඒ තත්ත්ව අනුව වෙනස් විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඉහළ පෙළේ බලධාරීන් මේ වෙනස් වන මාර්ග උපදේශ විධිමත්ව ජනතාව වෙත සන්නිවේදනය කළ යුතුයි. මේ තත්ත්වය මත දේශපාලඥයන් විවිධ තැන්වල කරන කතාවන් අනුව නොවෙයි මාර්ග උපදේශ වෙනස් විය යුත්තේ. පාර්ලිමේන්තුව තුළින් සම්මත වුණ 1897 නිරෝධායන ආඥා පනත යටතේ තමයි ගැසට්පත්‍ර නිකුත් කරලා නීතීරීති හඳුන්වා දෙන්නේ. මේ නීතිරීති හිතූ හිතූ ආකාරයට වෙනස් කරන්න බැහැ. විධානයක් නිකුත් කරනවා නම් නිකුත් කළ හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටයි. එහෙම නැතිව එක් එක් අමාත්‍යාංශවලට හිතෙන හිතෙන විදිහට මේ නීති හෝ මාර්ග උපදේශ වෙනස් කරන්න බැහැ. නමුත් අපේ රටේ වෙලා තියෙන්නේ සෘජුව ජනතාවට නිවැරදි තීන්දු තීරණ ප්‍රකාශ කරන යාන්ත්‍රණය දුර්වල වෙලා තිබීමයි. ඒ තත්ත්වය තුළ ජනතාවට හිතාගන්න බැරිවෙලා තියෙනවා කවුරු කියන දේද නිවැරදි කියලා. එකපාරට බස්රථ හිමියන් කියනවා අපි හෙට ඉඳන් බස් රථවල කැමති විදිහට මගීන් ගෙනියනවා කියලා. එය මාධ්‍යවල පළ වුණාම ජනතාව හිතනවා ඒක තමයි හරි කියලා. ඒ වගේ තත්ත්ව තමයි අපේ රටේ තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවියේ තිබෙනවා මාර්ග උපදේශ සංග්‍රහය ඕනෑම කෙනෙක්ට බාගත කළ හැකි ආකාරයෙන් පළ කරලා. නමුත් එය සංශෝධනය කළාම එය සංශෝධිතයි කියන එක පළනොකර පරණ උපදෙස් ටිකම පළකරලා තිබෙනවා. මෙහෙම වුණාම ගැටලු මතුවෙනවා. අපි පසුගිය කාලයේ විවාහ මංගල්‍ය පවත්වන්නම දුන්නෙ නැහැ. විවාහයක් කියන්නේ සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා කරන දෙයක්. පසුව 50 දෙනෙකුට සීමා කරලා කරන්න අවසර දුන්නා. පසුව එය 150 දක්වා වැඩි කළා. මෑතකාලීනව ආසාදිතයන් වාර්තා වීමේදී බොහෝ පිරිසක් වාර්තා වුණේ විවාහ මංගල්‍ය නිසයි. ඒ වගේම B.1.1.7. කියන නව ප්‍රභේදයේත් ශීඝ්‍ර පැතිරීමක් තිබෙන නිසා අපිට නැවත වතාවක් අලුත් මාර්ග උපදේශ නිකුත් කරන්න සිදුවෙනවා. ජනතාව හා නිලධාරීන් අතර සම්බන්ධය වැඩි කරගෙන මේ තත්ත්වය පාලනය කළයුතු බවයි අපේ අදහස.
ගැටලු මධ්‍යයේ ඉටුකරන රාජකාරී කටයුතු
බිම් මට්ටමේ නිලධාරීන්ට ලබාදෙන පහසුකම්වල ගැටලු පිළිබඳ කතා කරලා අපිට දැන් කලකිරිලා ඉන්නේ. කාටහරි හිතන්න පුළුවන් පඩියක් අරගෙනත් අපි තවත් වරප්‍රසාද ඉල්ලනවා කියලා. නමුත් ක්ෂේත්‍ර මට්ටමේ වැඩ කරද්දී අපි මුහුණ දෙන ගැටලු කොපමණද කියලා දන්නේ අපි විතරයි. අපි යම් පුද්ගලයෙකුගේ පී.සී.ආර්. පරික්ෂාවක් කළාම ඒ පුද්ගලයා හිතෙන් වද වෙනවා ප්‍රතිඵල අද එයිද හෙට එයිද කියලා. ඒ වගේම පොසිටිව් වෙයිද නෙගටිව් වෙයිද කියලා හිතනවා. ඒ වගේම තවත් ප්‍රශ්න ගණනාවකට ඔවුන් මුහුණ දෙන්න සිදුවෙයි කියලා කල්පනා කරනවා. මේ ගැටලුත් විසඳගෙන තමයි අපි බිම් මට්ටමේ රාජකාරී කරන්නේ. අපේ 3000කට ආසන්න නිලධාරීන් පිරිසක් රට පුරා මේ රාජකාරි කරන්නේ ඉතාම අපහසුවෙන් බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන. බැරිම අවස්ථාවල තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නත් තීරණය කළේ. නමුත් අපේ ප්‍රශ්න එහෙමමයි. අපි ලොකු අවදානමක් සහිතවයි රාජකාරී කරගෙන යන්නේ. දැන් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත වෛරසයක් එක්කයි අපි වැඩ කරන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වෛරසයට ගොදුරු වෙලා මාසයක් විතර කාලය ගතවෙලා. ඒ නිසා අපි ගැන තිබුණ අවධානය ක්‍රමයෙන් අඩුවෙලා ගිහින්. අපේ නිලධාරීන් දිවා රාත්‍රී නොබලා වැඩ කරනවා. එහෙම වැඩ කරද්දී පුද්ගලයන් බලාපොරොත්තු වෙන ප්‍රශංසාවවත් අපිට නොලැබිලා ගිහින්. අනතුරු දීමනා අපි ඉල්ලුවට ලැබිලා නැහැ. නමුත් ඇතැම් නිලධාරීන්ට ලැබිලා තිබෙනවා. අපිට දුරකථන ඇමතුම් ලබාගන්න වෙලා තිබෙන්නේ අපේ පෞද්ගලික දුරකථනය භාවිත කරලයි. පෞද්ගලික මුදලින් ඒවා කරන්න වුණා. එක්තරා ආයතනයක් අපිට සිම්පතක් ලබාදුන්නා. නමුත් මේ මාසේ 15 වෙනිදායින් ඔවුන් ලබාදුන් පහසුකමත් අවසන් වුණා. ඒ අනුව පෞද්ගලික මුදලින් මේ වියදම් දරාගන්න අපිට සිදුවෙනවා. ඇතැම් පළාත් බලධාරීන් විසින් ගමන් වියදම් ලබා දී තිබෙනවා. ඔවුන් සානුකම්පිතව බලලා සහයෝගය ලබා දී තිබෙනවා. නමුත් මේවා හැම දිස්ත්‍රික්කයකම සිදුවිය යුතුයි. අපි අපේ රාජකාරිය මේ ගැටලු මධ්‍යයේ වුණත් සාර්ථකව කරගෙන යනවා. වසංගතයක් පැතිරෙන අවස්ථාවක අපේ රාජකාරිය හරි ආකාරයෙන් සිදුකිරීම පිනක් විදිහට අපි දකිනවා. අනෙක් ආයතනත් ඒ ආකාරයෙන්ම හිතනවා නම් අගය කරනවා.