ශ්‍රම බළකායෙන් නවයෙන් එකක් ත්‍රිරෝද රථ රියදුරන් බවට පසුගිය දිනක අද පුවත්පතින් අපි හෙළිදරව් කළෙමු. මෙම කරුණ සම්බන්ධයෙන් වගේම රට තුළ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සමග අපි කතාබහ කළෙමු.
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස, ශ්‍රම බළකාය සහ වෘත්තීය පුහුණුව පිළිබඳ ඔබ අමාත්‍යාංශයේ අවබෝධය මොන වගේද?
රටේ වෘත්තීය පුහුණව සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය ඉතාමත්ම අභියෝගාත්මකයි. පාසල් පද්ධතියෙන් සෑම වසරකටම වරක් තුන්ලක්ෂ තිස්තුන්දාහක් පමණ පිරිසක් එළියට එනවා. එයින් විශ්වවිද්‍යාලවලට තිස්දාහක් වගේ ප්‍රමාණයක් බඳවාගන්නවා. තවත් ලක්ෂයක් පමණ පෞද්ගලික අංශයේ අධ්‍යාපන හෝ රැකියා වෙත යොමු වෙනවා, විදෙස්ගත වෙනවා හෝ රැකියා නොකර සිටිනවා. තවත් දෙලක්ෂයක් ඉතුරු වෙනවා. ඒ අතරින් ලක්ෂයක් පමණ රාජ්‍ය වෘත්තීය පුහුණු පද්ධතියට ඇතුළත් වෙනවා. තවත් ලක්ෂයක් ඉතිරි වෙනවා.
ඒ අනුව කිසිදු වෘත්තීය පුහුණුවක් හෝ රැකියාවක් හෝ නොමැතිව සිටින ලක්ෂයක පමණ ශ්‍රම බළකායක් අවුරුදු පතා එකතු වෙනවා. මේක විශාල අභියෝගයක්. එයට හේතු ගණනාවක් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අංශයට රාජ්‍ය සහ පෞද්ගලික අයෝජනය තව තවත් වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. වෘත්තීය අධ්‍යාපන තවදුරටත් පළල් විය යුතුයි. එය රජයට පමණක් තනිව කිරීමට බැහැ. පෞද්ගලික අංශයත් දායක විය යුතුයි. ආධුනිකත්ව පුහුණුව ලබාදීමට පෞද්ගලික අංශයත් මැදිහත් විය යුතුයි. ඒ ආකාරයට ජාතික වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙන් පමණයි අපේ ශ්‍රම බළකාය නිසි මගට ගන්න පුළුවන් වෙන්නේ.
ඒ වගේම මම කලින් සඳහන් කරපු ලක්ෂයක පිරිස කිසිමවිටක වෘත්තීය පුහුණුවක් ලබාදෙන්න කියා ඉල්ලන්නේ නැහැ. %අපිට වෘත්තීය පුහුණුව ලබාදියව් කියලා^ කිසිම පෙළඹවීමක් නැහැ. මේ අමාත්‍යාංශය වටලන්න කියලා මම තරුණයන්ට යෝජනා කරනවා. වෙන කිසිම ඇමති කෙනෙක් එහෙම කියන්නේ නැහැ. එහෙම කළොත් වෘත්තීය පුහුණුව ගැන රටේ අවධානයක් ඇතිවෙයි. මොකද මේ වනවිට වෘත්තීය පුහුණුව සඳහා බඳවාගන්නා ලක්ෂයක පිරිස බඳවාගන්නෙත් හරිම අමාරුවෙන්.
පොඩි පොඩි කාරණාවලට මේ රටේ උද්ඝෝෂණ කරනවා, වාඩි ගහ ගන්නවා, ප්‍රතිපාදන කොමිසම වටලනවා. ඒ උපාධිධාරීන් තිස්දාහකගේ ප්‍රශ්නවලට. නමුත් ලක්ෂ දෙකක පිරිසකට කිසිම අවධානයක් නැහැ. අපි අවධානය යොමු කළ යුත්තේ මෙතැනටයි.
මේ වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද?
වෘත්තීය පුහුණු අධ්‍යාපන පද්ධතියේ ධාරිතාවය වැඩිකරන්න අපි පියවර අරගෙන තිබෙනවා. ඒ අනුව රජයේ වෘත්තීය පුහුණු ආයතනවලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණයක් වැඩිකරන්න උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම යල් පැනගිය පාඨමාලා ඉවත්කර මන්දගාමීව සිදුකෙරෙන පාඨමාලා නවීකරණය කරන්න වගේම අලුත් පාඨමාලා හඳුන්වාදෙන්නත් අපි සැලසුම් සකස්කරගෙන යනවා. මේ සියලුදෙනා රැකියා ලෝකයට සම්බන්ධ කරන්න අවශ්‍ය පියවර ගනිමින් යනවා. ඒ වගේම අලුත් වෘත්තීය පුහුණු ආයතන මේ වනවිට හැදෙමින් පවතිනවා. ඔරුගොඩවත්තේ කොරියානු පුහුණු ආයතනය තිබෙනවා, ජපන් පුහුණු ආයතනය සදා තිබෙනවා. පොළොන්නරුවේ විශාල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇතිකරනවා. තව ජර්මන් ටෙක් ආයතන දෙකක් ස්ථාපනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම නයිටා පුහුණු වඩා වේගවත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධයෙනුත් මේ දිනවල කතාබහ වෙනවා. ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කුමක්ද?
ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දොළහක් පමණ තිබෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ ලක්ෂ නවයක් පමණ තිබෙනවා. රටේ ශ්‍රම බළකාය අනූතුන් ලක්ෂයක් පමණ සිටිනවා. නව ලක්ෂයක් ත්‍රිරෝද රථ තිබෙනවා කියන්නේ ශ්‍රම බළකායෙන් සෑම නවදෙනෙකුටම එක් අයෙක් ත්‍රිරෝද රථ රියදුරෙක්. නමුත් පැය අටක කාලයක් තුළ ත්‍රිරෝද රථ රියදුරෙක් වැඩකරන කාලය පැය දෙකයි. අනිත් සියලුම කාලය ඔවුන් නිකරුණේ ගතකරන්නේ. වැඩ කළ හැකි විශාල කාලයක් ඔවුන් අපතේ හරිනවා. මේ නිසා ඔවුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා.
ඒ වගේම හමුදා සේවයේ වසර ගණන සම්පූර්ණ වීමත් සමග අඩු වයසින් බොහෝදෙනා විශ්‍රාම යනවා. මේ පිරිසටත් විශ්‍රාමික කාලය ඵලදායීව යොදා ගත හැකි වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා.
පාසල් තුළ වෘත්තීය අධ්‍යාපනය ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ ආකාරයට අපි අපේ පද්ධතිය වෙනස් කරමින් පවතිනවා.
ඇතැමුන් වෘත්තීය පුහුණුවට යොමුවෙන්න අකමැති ස්වභාවයක් තිබෙනවා?
ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ රටේ සමස්තයකගේ රැකියාව පිළිබඳ තිබෙන මානසිකත්වය. රටේ සාම්ප්‍රදායික අධ්‍යාපන පද්ධතිය ඇතුළෙන් ලබාදෙන්නේ හොඳ රැකියා, නරක රැකියා කියලා වර්ග දෙකක් තියෙනවා කියන ආකල්පය. වෛද්‍ය, ඉංජිනේරු ගණකාධිකාරී ආදී රැකියා දිහා බලාගෙන තමයි මුළු පාසල් පද්ධතියේම දරුවන් යොමු කරන්නේ. නමුත් එය තුන්ලක්ෂ තිස්දාහෙන් තිස්දාහකටවත් ලැබෙන්නේ නැහැ. හැමෝම බලන්නේ උපාධිධාරීන් වෙන්න. ඒ සිහිනයේ ඉන්න තාක් කාලයක් වෘත්තීය අධ්‍යාපනයට පිරිස යොමු කරන්න අමාරුයි.
ශ්‍රී ලංකාව අධ්‍යාපනයට ඉහළ තැනක් දෙන රටක්. එහෙම තැන දෙන එක හොඳයි. නමුත් මේ වැරදි ආකල්ප වලින් ඉවත් විය යුතුයි. කුමන රැකියාවක් කළත් හොඳයි කියලා කියන්න හුරු වෙන යුගයකදී තමයි මේ තත්ත්වය අවසන් වෙන්නේ. වෛද්‍යවරයාත්, කම්කරුවාත් යන දෙදෙනා දිහාම සමාන මානව ගරුත්වයෙන් යුතුව බලන්න හුරු විය යුතුයි. ඒ තැනට රට තවම පැමිණිලා නැහැ. ඒ වගේම රාජ්‍ය සේවා මානසිකත්වයත් මෙයට දරුණු ලෙස බලපා තිබෙනවා.
ඔබ නියෝජනය කරන ආණ්ඩුව පිළිබඳ කතා කළොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කරන බව ආණ්ඩුව ආරම්භයේදීම පැවසුවා. මේ වනවිට එයට සිදුව තිබෙන්නේ කුමක්ද?
මේ යන විදිහට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බැහැ කියලයි මට හිතෙන්නේ. එයට අදාළ ශක්තිය පාර්ලිමේන්තුවට නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ තනි පක්ෂයක් තනි ආණ්ඩුවක් හදන ලියවිල්ලක් නෙවෙයි. එහෙම හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කල් පවතින්නේ නැහැ. නැතිවෙලා යන්න පුළුවන්. මහා සම්මුතියකින් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්නට අවශ්‍ය වෙන්නේ. පහුගිය කාලයේ කරන්න පුළුවන් දේ අපි කළා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය කිරීම එයින් එකක්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවම කෙටුම්පතක් හෝ හැදිලා නැහැ. වාර්තා තුනක් සභාගත කිරීමක් පමණයි සිදුකර තිබෙන්නේ.
මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් තම පාර්ශ්වය ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ සැකැස්මක් ඊළඟ මහ මැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ජනවරමකට ඉදිරිපත් කර පටන් ගන්නවා නම් හොඳයි. අපි මොනවා කිව්වත් අලුත් ව්‍යවස්ථාවක් හැදෙනවා කියන එක අද හෙට වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක තමයි දේශපාලන යථාර්ථය. එය ඊළඟ පාර්ලිමේන්තුව දක්වා කල්යාවි කියලයි මගේ පෞද්ගලික මතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ඇතැම් අය විවේචන කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
යම් පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තඩිබාන්න පටන් අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ තනි පුද්ගලයෙක්ගේ දෙයක් නෙවෙයි. එහි ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ වගේම ජනාධිපතිගේත් නියෝජිතයෝ ඉන්නවා. සිවිල් සමාජය ඉන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතිකරලා ස්වාධීන අධිකරණයක් අපි පිහිටෙව්වා. ඒ ස්වාධීන අධිකරණය ස්වාධීන තීන්දු දෙන්න පටන් ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය වැරදියි කියලා ඒ අධිකරණය තීන්දු දුන්නා. දැන් පිරිසකට අවශ්‍යවෙලා තිබෙනවා මේ අධිකරණයෙන් පලිගන්න. ඒකට ව්‍යවස්ථා සභාවට පහරදෙන එක හොඳයි කියලා හිතනවා ඇති. මොකද දැන් නඩු අහන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා වැරදි කරපු අය බයවෙලා ඉන්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා තියෙනවා. ඒකට ගරු කරන්න කියලා මම මේ අයගෙන් ඉල්ලා සිටිනවා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනාධිපති අගමැති වගේම විපක්ෂනායකත් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ප්‍රධාන නායකයෝ තිදෙනාම එයට එකඟ නම් ඒ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
මේ තුන්දෙනා එකඟ වුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ. විසිවන සංශෝධනය උසාවියට ගෙන ගිය විට අධිකරණය මොකද්ද කිව්වේ. විසිවන සංශෝධනයේ නම සහ පූර්විකාව හැර අනිත් සියලුම වගන්ති සඳහා ජනමත විචාරයකට යා යුතුයි කිව්වා. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් රටේ ජනතාවට ඒ ගැන තීන්දුවක් දිය යුතුයි. අනිත් අය එකඟ වුණාට හරියන්නේ නැහැ. ඒ අයට පුළුවන් තමන්ගේ පක්ෂ සමග සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනමත විචාරයකට යා යුතුයි. එතකොට තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ. එතකම් මොකුත් කරන්න බැහැ.