මේ මැතිවරණය බොහොම වෙහෙසකර මැතිවරණයක් - මැකො​ස


අගෝස්තු 05 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිෂන් සභාව ලහි ලහියේ සූදානම්වෙමින් තිබේ. මේ නිසා මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකරන ආකාරය, මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය.

මැතිවරණ කල් දමන බවට චෝදනා එල්ලවීම

පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රමාද වීම ගැන නඩු අංක SCFR 35/206 යටතේ අධිකරණයේ නඩුවක් තිබුණ. මැතිවරණය ප්‍රමාද වීමට මැතිවරණ කොමිසම වගකිවයුතු නැහැ, රජය තමයි වගකියන්න ඕන කියලා නඩු තීන්දුව දුන්නේ. ඊට එහා දෙයක් මම කියන්නේ නැහැ. සීමා නිර්ණ වාර්තාව ප්‍රමාද වීම සහ සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය වෙනස් කිරීමේ පනතේ තාක්ෂණික දෝෂ ඉවත් නොකිරීම පනතේ තිබූ ප්‍රතිපත්තිමය ගැටලු යන කරුණු නිසා තමයි ඒක ප්‍රමාද වුණේ. ඒක ප්‍රමාද වෙන්න පටන් ගන්නේ 2013 ඉඳල. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රමාදයට හේතු ගැන හා ඒක තියන්න පුළුවන්ද කියලා හිටපු ජනාධිපතිතුමා අධිකරණයෙන් විමසීමක් කළා. එතනදී අධිකරණය කිව්ව ඒක පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන වැඩක් කියල. මේ ඡන්ද විමසීම කල් ගියා. අපිද කොරෝනා ගෙනාවේ? නිදහසට කරුණු කියනවා නෙවෙයි අපිට කරන්න පුළුවන් දේවල් උපරිමයෙන් කරලා තියෙනවා. අපිත් කැමැත්තෙන් හිටියෙ ජූනි විස්සවත් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. 'කෝවිඩ් - 19' ප්‍රශ්නය තිබුණේ නැත්නම් ඡන්දය තියන්න පුළුවන්. 'කෝවිඩ් -19' තත්ත්වය යටතේ පැනවූ ඇඳිරි නීතිය සැලකීමේදී කොළඹ නගරයේ ඇඳිරි නීතිය ලිහිල් තත්ත්වයට පත්වුණේ මැයි මාසේ සති තුනකුත් ගියාට පස්සේ. දැන් වුණත් 'කෝවිඩ් - 19' තත්ත්වය යටතේ තමයි අපි මැතිවරණය පවත්වන්නේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර අසමගියක් තිබෙන බවට නැගෙන චෝදනාව

එහෙම අසමගියක් නැහැ. හැම තීරණයක්ම ගන්නේ කොමිෂන් සභාව තුළ සාකච්ඡා කරලා. කොමිසමේ එක් සාමාජිකයෙකු විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඒක ඔහුගේ අදහස. ඔහු අදහස් ප්‍රකාශ කරන්නේ ඔහුගේ අයිතිය ලෙස සලකලා. ඒකේ හරි වැරැද්ද මට කියන්න බැහැ. නමුත් මේකෙ රණ්ඩුවෙලා මම විරුද්ධයි කියලා කියලා නැහැ. අපි බහුතරය මත තීරණය කරනවා. සමහර තීන්දුවලට මමත්, නලීන් අබේසේකර මහතාත් එකඟවෙලා තියෙනවා. සමහර වෙලාවට නලීන් අබේසේකර මහතායි, මහාචාර්ය හූල් එකතුවෙලා තීන්දු ගන්න පුළුවන්. සමහර වෙලාවට මමයි, මහාචාර්ය හූල් එකතුවෙලා තීන්දු ගන්න පුළුවන්. නමුත් අපේ තීන්දුවලින් තීන්දු දහයට අඩු සංඛ්‍යාවක් තමයි දෙකට එක වශයෙන් තියෙන්නේ. හැබැයි කොහොම තීන්දු ගත්තත් මම එකඟ නොවූ තීන්දු වුණත් මම නම් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

මැතිවරණ ප්‍රචාරක කාර්යාලවල මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදීම අසාධාරණ බවට නැගෙන චෝදනාව

මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික්කවල සේවය කරන නිලධාරීන් ඉල්ලීමක් කරලා තිබුණ පනතේ විධිවිධාන යටතේම ක්‍රියා කරන්න කියල. පනතේ විධිවිධානවල නැහැ අපේක්ෂකයන්ගේ මනාප අංක හා ඡායාරූප ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියල. ඒවා කරන්න පුළුවන් වෙන්නේ රැස්වීම් භූමියේදී විතරක් කියල පනතේ තියෙනවා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕන කියල කොමිෂන් සභාව තීරණය කරල තියෙනවා. මැතිවරණ කොමිසමේ තීන්දුවට අනුව ක්‍රියා කරන්න කවුරුත් බැඳිලා ඉන්නවා. රැස්වීම් භූමිවල මනාප අංක ඡායාරූප ප්‍රදර්ශනය කරන්න පුළුවන්. සමහර අය නීතියෙන් රිංගලා ගිහිල්ලා, හැමදාම රැස්වීම තියෙනවා කියලා භූමිවල මනාප අංක ප්‍රදර්ශනය කරනවා. ඒක නිසා අපි ඉල්ලනව ඒ දේවල් කරන්න එපා කියල.

මැතිවරණ ප්‍රචාරක කාර්යාල තුළ රැස්වීම් පැවැත්වීමට අවසර තිබෙනවාද?

මැතිවරණ කාර්යාල තියෙන භූමියේ ඉඩකඩ තිබෙනවා නම් මීටරයේ දුර පවත්වා ගනිමින් 'කෝවිඩ් - 19' සෞඛ්‍ය උපදෙස්වලට අනුව රැස්වීම් තියන්න පුළුවන්. රැස්වීම් තියෙන අවස්ථාවේදී අදාළ භූමියේ මනාප අංක හා ඡායාරූප ප්‍රදර්ශනය කරන්න පුළුවන්. රැස්වීමක් නොමැති නම් මැතිවරණ ප්‍රචාරක කාර්යාල තුළ කටවුට් ගහලා තියෙන එක නීතිවිරෝධියි.

මැතිවරණ නීති වර්තමානයට ගැළපෙනවාද?

මැතිවරණ කොමිසම ලෙස අපේ අදහස් තමයි මනාප ක්‍රමය ඉවත්වෙන්න ඕන කියන එක. මනාප ක්‍රමය එන්නට කලින් තිබුණේ ප්‍රමුඛතා ලේඛනයක්. හැබැයි එතකොට පක්ෂයෙන් තමයි අපේක්ෂකයන් තෝරා ගන්නෙ. මනාප ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. නමුත් මනාප පොරයක් තියෙනවා අංකය ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා. මේකට හොඳම ක්‍රමය තමයි මිශ්‍ර සමානුපාත නියෝජන ක්‍රමය. පළාත් පාලන ආයතන මැතිවරණයට යොදා ගත්තේ ඒක. මෙතනදී කොට්ඨාස හා සමානුපාතික ක්‍රමයේදී හැටපහයි තිස්පහත් අතර ප්‍රතිශතයක් තියෙන්න ඕන කියලා හිතනවා. මෙතනදී විපක්ෂව ලැබෙන ඡන්දවලටත් වටිනාකමක් තියෙන්න ඕනෙ.

'කෝවිඩ් - 19' තත්ත්වය තුළ ඡන්දදායකයන් පිරිසකට නිරෝධායන මධ්‍යස්ථානවල සිටීමට සිදුවුවහොත්

නිරෝධායන මධ්‍යස්ථානයක ඡන්දදායකයන්ට සිටීමට සිදුවුණොත් ඒ අයගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරනවා. ඒ කියන්නේ එම ස්ථානවල ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වනවා. 'කෝවිඩ් - 19' තත්ත්වය යටතේ  යම් ප්‍ර‘දේශයක් වසා දැමුවත් සෞඛ්‍ය ක්‍රම‘වේදවලට යටත්වෙමින් එම ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන පවත්වනවා. අපි හිතනවා එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා. ඒත් 'කෝවිඩ් - 19' තත්ත්වය තුළ එහෙම දෙයක් සිදුවුණත් ඡන්දය පවත්වනවා.

අපේක්ෂකයන්ට මනාප අංක ප්‍රදර්ශනය කළ හැකි අවස්ථා

අපේක්ෂකයා ගමන් කරන වාහනයේ මනාප අංක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. රැස්වීම් භූමිවල මනාප අංක ප්‍රදර්ශනය කරන්නත් පුළුවන්. රූපවාහිනීවල දැන්වීම් දාලා, පුවත්පත්වල දැන්වීම් දාලත් මනාප අංක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඊට අමතරව ඕනෙ කෙනෙකුට 'කෝවිඩ්- 19' සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදීම හරහා මනාප අංකය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න පුළුවන්.

මෙතනදී තව දෙයක් කියන්න ඕන. අපේක්ෂකයා තමන්ගේ හිතවතෙකු කියල වෙනත් අයට අපේක්ෂකයන්ගේ මනාප අංක හෝ අපේක්ෂක ඡායාරූප වාහනවල ප්‍රදර්ශනය කරන්න බැහැ. එහෙම කළොත් නීති මගින් දඬුවම් කරනවා. අපේක්ෂකයන්ට සමාජ ජාල හරහා කටින් කට වුණත් මනාප අංකය පිළිබඳව ප්‍රසිද්ධ කරන්න පුළුවන්.

පෝස්ටර් ඇලෙව්වොත් මොකක්ද වෙන්නේ?

එහෙම කළොත් පොලීසියෙන් අල්ලා ගනිවී. පෝස්ටර් ගහනකොට අල්ලගන්න නිසා පෝස්ටර් ගහන කෙනා තමයි අල්ලගන්නේ. අල්ලගන්න බැරිවුණොත් පෝස්ටර් ගලවන්න කම්කරුවන් යොදවලා තියෙන්නේ. ඒ වගේම සියලුමදෙනා නීතිගරුක වෙලා පෝස්ටර් ගහන්න එපා. ගස් ගල්වල වගේම පාරවල්වලත් ඡන්ද සලකුණු මනාප අංක වගේ දේවල් අඳින්න එපා.

ඡන්දය සලකුණු කිරීම

ගෙදරින් නිල් හෝ කළු පෑනක් අරගෙන එන්න කියල ඡන්දදායකයන්ට අපි කියනවා. පැන්සලක් ගෙනාවත්, ඒක පිළිගන්නවා. හැබැයි පෑනක් ගෙනාව නම් හොඳයි. කතිරය ගසා ඡන්දය සලකුණු කරන්න ඕනෙ. මනාපය සලකුණු කිරීමේදී ඉලක්කම් මත කතිරයක් දාලා මනාප සලකුණු කරන්න පුළුවන්.

රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණුව අත්හිටුවීම

ඡන්දයෙන් පස්සේ ඒක හරියයි. ඒ කියන්නේ අගෝස්තු 10 විතර වෙනකොට පුහුණුවට බඳවාගන්න පුළුවන්.

වයස අවුරුදු 18 දීම ඡන්ද අයිතිය නොලැබීම

ඒකට අපි වැඩපිළිවෙළක් සකස් කළා. මේ යටතේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. අදාළ ලිපිලේඛන සකස් කරලා කැබිනට් එකට ඉදිරිපත් කළා. කැබිනට් එක ඒක සම්මත කළා. ඒත් පාර්ලිමේන්තුවෙන් අනුමත වුණේ නැහැ. වයස අවුරුදු 18 සම්පූර්ණ වන මොහොතේදී පරිපූරක ලැයිස්තුවක් හරහා එකතු කර ගැනීමට යෝජනා සකස් කළා.

ඡන්ද පොළ තුළදී මුඛ ආවරණ ඉවත්කිරීම

පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඡන්ද පොළ තුළදී මුඛ ආවරණය සුළු මොහොතකට ඉවත් කරල පෙන්වන්න ඕන. ඉදිරියේදී මුඛ ආවරණ ඉවත් කරන ආකාරය පිළිබඳව ප්‍රසිද්ධියට පත් කරනවා.

ඡන්දය පැවැත්වෙන කාලය

තාම අවසන් තීරණයක් නැහැ. සමහර වෙලාවට සවස 5.00 වෙනකම් ඡන්දය පවත්වන්න වෙයි. ඒක මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන්නේ. කොහොම වුණත් ඡන්දය පැවැත්වෙන කාලය පැයකින් දික්වුණොත් සවස් කාලය තමයි දික්වෙන්නේ.

ඡන්දය ගණන් කිරීම

අගෝස්තු 05 ඡන්දය තියල අගෝස්තු 06 ගණන් කරනවා. ඊට පස්සේ මනාප ගණන් කරනවා. මෙම කටයුතු සඳහා නිලධාරීන් ලක්ෂ දෙකක් විතර යොදාගන්න වෙයි.

ආදර්ශන ඡන්ද මධ්‍යස්ථාන ක්‍රමය

'කෝවිඩ් - 19' තත්ත්වය යටතේ ඡන්දය පැවැත්වීම පිළිබඳව නිලධාරීන්ට පෙරහුරුවක් අවශ්‍යයි. ඒ වගේම කොතරම් කාලයක් ගතවෙනවාද කියලා සොයාගන්න ඕන. ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම හරහා මැතිවරණ කොමිෂන් සභාව අදාළ ක්‍රම‘වේද පිළිබඳව අදහස් ලබාගන්නවා.

මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු නොකරන බවට නැගෙන චෝදනාව

මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා එල්ල කිරීම වගේම විවේචනය කරනවා. ඒත් මේ පිළිබඳව සොයා බලා පිළිතුරු ලබාදීලා නිවැරදිවීමට අවස්ථාවක් නැහැ. පොදුවේ කොමිෂන් සභාවල සාමාජිකයන්ට චෝදනා එල්ල කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරි ක්‍රියාකරන්න එහෙම නැතිව අපි කොච්චර දේවල් කිව්වත් නිවැරදි වෙන්න බැහැ.

මැතිවරණ වියදම

මේ මැතිවරණයට රුපියල් කෝටි දහසකට අධික වියදමක් වියදම් වෙයි. කොහොම වුණත් මැතිවරණ කොමිෂන් සභාව සෑමවිටම උත්සාහ කරන්නෙ වියදම් අඩුකරගෙන මැතිවරණය පවත්වන්න. සාමාන්‍ය තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වූවා නම් රුපියල් කෝටි හත්සියකින් විතර තියන්න තිබුණ එත්, කෝවිඩ් තත්ත්වය මත විෂබීජනාශකවලට විශාල මුදලක් වියදම් වෙනවා. මුඛ ආවරණ මිලදී ගන්න ඕන. අමතර නිලධාරීන් යොදාගන්න ඕන.

මැතිවරණ කටයුතුවලට ත්‍රිවිධ හමුදාව යොදා ගැනීම

ඡන්දයට සම්බන්ධ කිසිදු රාජකාරියකට ත්‍රිවිධ හමුදාව සහභාගී කර ගන්නේ නැහැ. ඡන්දයට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නවා කියල සමහර මාධ්‍යවල තිබුණ. ඒත් ඒක වැරදි. ඒත් උතුරේ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දූපත්වලට ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතුවලට නාවික හමුදාව හා ගුවන් හමුදා සහය දෙනවා. හදිසි ආපදා තත්ත්වයක් ආවොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා හමුදා ඒකකය ඒ සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේම රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව වැනි ආයතනවල ආරක්ෂක කටයුතු දැන් කරන්නේ පොලීසිය. ඒත් ඡන්ද විමසීමට ආසන්නව යුද හමුදා නිලධාරීන් එම ස්ථානවලට යොදවලා පොලිස් නිලධාරීන් නිදහස් කරගන්නවා. ඒත් ඡන්දපොළවල්වල හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ආරක්ෂාව පැවරී තිබෙන්නේ පොලීසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණය

අනෙකුත් මැතිවරණ හා සංසන්දනය කළහොත් මෙවර මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාවට බොහෝ වෙහෙසකර කටයුත්තක්. මුඛ ආවරණ දාගෙන ඉන්න එකම වෙහෙසකරයි. කුමන තත්ත්වයක් යටතේ වූවත් අපි මැතිවරණය පවත්වලා ප්‍රතිඵල නිවැරදිවම දෙනවා. ඒත් කලට වේලාවට දෙනවා කියලා කියන්න බැහැ.

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න

මැතිවරණ කාලසීමාව තුළදී පක්ෂ / කණ්ඩායම්/ අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ දෙවන මහලේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ 0112886179 / 0112886421 / 0112886117 දුරකථන අංක මගින්ද, 0112886551/ 0112886552 ෆැක්ස් අංක මගින්ද, 0719160000 අංකයෙන් 'වට්ස් ඇප්' හා 'වයිබර්' මගින්ද, පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. [email protected] යන විද්‍යුත් තැපෑල මගින් හා Election Commission of Sri Lanka සහ Tell Commission - Election Commission of Sri Lanka යන 'ෆෙස් බුක් පිටු ද්විත්වය මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.



Recommended Articles