මේ දිනවල ඔබේ දරුවා ගැන තේරුම් ගන්න


කොරෝනා වසංගතය මගින් වැඩිහිටි අපගේ සිත්වලට සාපේක්‍ෂව කුඩා ළමුන්ගේ සිත්වලටද බලපෑම් එල්ල කරනු ලබයි. වැඩිහිටියන් ලෙසින් අප එම තත්ත්වය මෙම අවස්ථාවේදී වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.


මෙම දීර්ඝ කියවීම සැකසෙනුයේ රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස් ඇසුරෙනි.

“පැතිර යන වසංගත තත්ත්වය හා එකදිගට නිවසේ රැඳීම හේතුවෙන් ඇතැම් දරුන්ට මනෝමීය ගැටලු සහ සංකූලතා (psychological Issues) ඇතිවිය හැකියි. ළමුන්ගේ සිතේ ආතතිය හා පීඩනය ඇති වූ විට විවිධ මානසික හා ශාරීරික ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒවා වයස, සංවර්ධන අවස්ථාව, සමාජ ඉගෙනීම, හැඟීම් පිළිබඳ බුද්ධි මට්ටම, මනෝ ස්වභාවය මත තීරණය වෙනවා.

මනෝමය ගැටලු හා සංකූලතා ලක්ෂණ

■      නිතරම වෙනදාට වඩා තරහා යෑම

■      සාමාන්‍ය තත්ත්වයට වඩා කුඩා ළමයෙකු ලෙස හැසිරීම

■      නිතර කනස්සල්ලෙන් සිටීම

■      නින්දේ හා ආහාර රටාවේ වෙනස්කම්

■      අවධානය අඩු වීම හා කලබල ගතිය

■      පෙර කැමැත්තෙන් කළ දේවල් ප්‍රතික්ෂේප කිරීම

■      හේතුවක් නැති හිසරදය හා කැක්කුම්

■      වැඩිහිටියන් කියන දෙයට ප්‍රතිවිරුද්ධ දේවල් කිරීම

වැඩිහිටියෙකු ලෙස දරුවාගේ මෙවැනි ලක්ෂණ හඳුනා ගනී නම් ඔබ සිදුකළ යුත්තේ කුමක්ද?

01. කොරෝනා වෛරසය හා පවතින වසංගත තත්ත්වය පිළිබඳව ඒ ඒ වයසට ගැළපෙන ලෙස ළමුන් සමග කතා කරන්න.

■      ඒ සඳහා පළමුව පිළිගත් ආයතනයක නිර්දේශ මගින් දැනුවත් වෙන්න. උදාහරණ- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

■      ඉතා වැදගත් මූලික කරුණු පමණක් දරුවන්ට කියා දෙන්න.

■      ඔබට පාලනය කළ හැකි හා කළ නොහැකි දේවල් පිළිබඳව පැහැදිලි කර දෙන්න. උදහරණ- ඇඳිරි නීතිය /කඩ කෑම ආදිය

■      නිවස තුළ ඔවුන් ආරක්ෂිත බව කියන්න.

■      මෙවැනි අවස්ථාවක බිය හා කනස්සල්ල ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව පවසන්න.

■      දරුවන්ට කොරෝනා පිළිබඳ ප්‍රවෘත්ති බැලීම හා තොරතුරු බෙදාහැරීම සීමා කරන්න.

කාලසටහනක් අනුව දින චර්යාව නැවත ස්ථාපිත කරන්න.

■      ඉගෙනීමට, චිත්‍ර ඇඳීමට, සංගීතයට සහ සෙල්ලම් කිරීමට කාලය වෙන් කර දෙන්න.

■      දිනකට ඒකාකාරී නොවන අලුත් එක් දෙයක් කරන්න.

■      කතාන්දර කියා දෙන්න, කතා පොත් කියවන්නට මතක් කරන්න.

■      සෑම දඟ වැඩකටම බනින්නට නොයන්න.

■      හොඳ දේ කළ විට ඉතා ඉහළින් අගය කරන්න.

■      ලැප්ටොප්, ටැබ් සහ වෙනත්  තිර (Screen) භාවිතය අඩු කරන්න.

■      ඔබත් ආදර්ශයක් ලෙස ස්මාර්ට් දුරකථන භාවිතය අවම කරන්න.

අපේ සිත කලබලකාරී හා ආවේගශීලී ස්වභාවයක් ගන්නා විට සිත මෙන්ම ගතද සන්සුන්ව තබා ගැනීම ඉතා වැදත් වේ. සිත සන්සුන් කර ගැනීම මගින් ඉක්මනින්ම සුපුරුදු ජීවන රටාවට අනුගත වීමට හැකි වේ. ළමුන්ට හිත සන්සුන් කර ගැනීම සඳහා පහත ව්‍යායාමය කියා දෙන්න.

1.      පුටුවක සෘජුව වාඩි වෙන්න.

2.     කකුල්වල යටිපතුල් පොළවේ ගෑවෙන පරිදි තබාගෙන දෑත් දෙපසින් තබන්න.

3.     දෑස් වසා ගැනීම හෝ බිම බලා ගන්න.

4.     දකුණු අතේ දෙහි ගෙඩියක් ඇති බවට සිතෙන් මවා ගන්න.

5.     දෙහි යුෂ ගැනීමට දෙහි ගෙඩිය මිරිකන බව සිතෙන් මවා ගන්න.

6.     අතේ මාංශ පේෂීන් කොපමණ තද වෙනවාදැයි සිතන්න.

7.     සිතින් එකේ සිට පහට ගණන් කරන්න.

8.     දෙහි ගෙඩිය බිමට දැම්මා යැයි සිතා අත සැහැල්ලු කර ගන්න.

9.     පෙරට වඩා දැන් අත සැහැල්ලුයි යැයි සිතන්න.

10.    මගේ අත දැන් සැහැල්ලුයි යැයි කියා සිතින් කියන්න.

11.    ඒ අයුරින්ම වම් අතටත් කරන්න.

මෙම ව්‍යායාමයට අමතරව

සිතින් 10ට ගණන් කිරීම, ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යෙදීම, සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම, සංගීතයට සවන් දීම, කලින් පුහුණු කළ භාවනාවක යෙදීම ආදිය සිදුකළ හැකිය.

දෙමාපියන්ගේ මනෝභාවය ළමුන්ගේ සිත කෙරෙහි දැඩිව බලපාන බව මෙහිදී වැඩිහිටියන් ලෙස අවබෝධ කරගත යුතුමය. දෙමාපියන් සන්සුන් වූ විට ළමුන්ට සන්සුන් වීම පහසු වේ. ඒ නිසාම දෙමාපියන්ද ආතතියෙන් තොර වීමට අනුගමනය කළ හැකි උපක්‍රම සිදුකිරීමට උත්සාහ කරන්න.

 



Recommended Articles