මේ ජීවිතයේ ඔබේ බලාපොරොත්තු දර්ශකයේ, ඔබ ඉන්නෙ කොතැනද?


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...

බලාපොරොත්තු ඔබව ජීවත් කරයි. ඒ බලාපොරොත්තුම ඔබව දුකට පත් කරයි. ජීවිතයම බලාපොරොත්තු ගොන්නක එකතුවකි. ඒ නිසාම බලාපොරොත්තු ඉටුවීම්, නොවීම් යන සියලු දේට ඔබ මුහුණ දෙයි. 'යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං' යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේත්, ඒ ඔබේ බලාපොරොත්තු ඉටු නොවීමෙන් ඔබට පැමිණෙන දුක පිළිබඳවය.


ඔබේ ජීවිතය දෙස මදක් හැරී බැලුවොත්, ඔබට ඔබේ ජීවිතයේ බලාපොරොත්තු හා ඒ සියල්ල ඉටුකර ගැනීමට ගන්නා වෙහෙසද දැකිය හැකිය. ඔබේ කුඩා කාලය ඔබට නිසැකවම මතක ඇත. ඔබේ අනාගත සිහිනය විමසූ බොහෝ දෙනෙක්ට, ඔබේ අනාගත සිහිනය ඔබ කොතෙකුත් පවසන්නට ඇත. කුඩා දරුවෙකුට ඉතා හොඳින් උගන්වන්නේ හොඳ රැකියාවක් කරමින් හොඳින් ජීවත් වීමටය. ඉගෙනගෙන අවසන් කළ කෙනෙකුට ඉන් සැනසීමක් ලැබී නැත. ඔහුට රැකියාවක් අවශ්‍යය.

රැකියාවක් ලැබුණොත් එයින් සැප ලැබේදැයි, ලෙඩක් දුකක්, වැස්සක් අව්වක් නොසලකා රැකියාව සොයන්නෙකුගෙන්ම විමසිය යුතුය. සැපය විවාහය හා දරුවන් නිසා යැයි සිතන්නේ නම්, විවාහ වූ, දරුවන් ඇති අයගෙන්ම, දැන් ඔබට සැනසීම ලැබී ඇත්ද? වෙන බලාපොරොත්තු නැතිද? ඔබ සැනසීමෙන් දැයි විමසිය යුතුය. සැනසීම දරුවන්ට උගන්වා අවසන් කළ පසු යැයි ඔබ සිතන්නේ නම්, මුනුපුරු මිනිබිරියන්ගේ වගකීම් පැවරුණ අයගෙන්ම විමසීම වටී. නොඑසේ නම්, ලෙඩ රෝග ඇති, පෙනීම ඇසීම නැතිව, පසු වයසට පත්වූවහුගෙන්ම විමසීම වටී. ඒ සැමටම බලාපොරොත්තු ඇත.

අවමයෙන් ජීවිතය හෝ බලාපොරොත්තු වෙති. ආරෝග්‍ය හෝ බලාපොරොත්තු වෙති. දුප්පතා ධනවත් වීමටත්, ධනවතා එය තවත් වර්ධනයටත්, ධනය පවත්වන්නටත් බලාපොරොත්තු වෙයි. බලවතාද එසේමය. බලාපොරොත්තුවෙන් ගොඩනැගුණු ජීවිත අතර, බලාපොරොත්තු විරහිත බවක් නම් කිසිදාක නැත්තේමය.

මේ ජීවිතයේ ඔබේ බලාපොරොත්තු දර්ශකයේ ඔබ කොතැනකදැයි ඔබ මදක් සොයා බලන්න. ඔබේ සැනසීමේ මග ඔබ ඉදිරියේ නැති බව ඔබටම තේරුම් යාවි.

බලාපොරොත්තු තරම් ඔබව පීඩාවට පත්කරන තවත් දෙයක් නැත. එය දුප්පතාගේ සිට පොහොසතා දක්වාත්, දුබලයාගේ සිට බලවතා දක්වාත් නොවෙනස්ව ගලායයි. සැමට %බලාපොරොත්තු^ වෙහෙස ගෙනාවද, මිනිස්සු පුදුමාකාර ලෙස බලාපොරොත්තුවලට ලොබ බඳිති. අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය, එකිනෙකා පරයායෑමේ නොතිත් ආශාව, මේ සියල්ල තුළ මිනිසුන් මොනතරම් සිරවී ඇත්ද? ඒ දේවල්වලින් ඔබ්බට යමක් සිතන්නට නොහැකි වන තරමට ඔවුන් ඒ තුළ සිරවී ඇත. මානසික පීඩනය (Stress) සිත වෙලා, ගත අප්‍රාණික කරන්නට තරම් සමර්ථ වන්නේ, තමාම සකසා ගත් ඒ සිර කූඩුවේ තරම පෙන්වීමටය. සංකීර්ණ සමාජ ප්‍රවාහයට හසුවූ ඔබට, ඉන් මිදීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම පමණ වටිනා වෙනත් දෙයක් ලෝකයේ තවත් නැත.

මනස සියල්ල කේන්ද්‍ර කොට පවතී. මානසික නිදහස අහිමි තැන කිසිම දෙයකට වටිනාකමක් නැත. දිනක් අශෝක රජුගේ සොහොයුරෙකු විමසා සිටියේ, 'නිකන් කා බී සැපසේ සිටින භික්ෂූන්ට ඔබ මෙතරම් සලකන්නේ බහුමාන කරන්නේ මන්දැයි*'කියාය. ඊට පිළිතුරු නොදුන් රජු තම සොහොයුරුට සත් දිනකට සියලු සැපත් සහිත රජකම ලබාදුන් අතරම, සත් දිනකින් පසු ඔහුව මරණයට පත්කරන බවටද නිවේදනය කළේය. සත් දිනකින් පසු ඔහු ගෙන්වූ රජු, කෘෂව ගොස් සිටි ඔහුගෙන් විමසුවේ, 'සැපසේ සත් දිනක් රජ සැපත් වින්දේද යන්නයි.

'සත් දිනකින් එන මරණය සිහි කරන මට, ආහාරයද අප්‍රසන්නව ගිය කල, කුමන නම් සැපක්දැයි' සොහොයුරා පිළිතුරු ලබාදුනේය. 'දින සතකින් එන මරණය ගැන සිහිකර ඔබ දුක් වින්ඳාට, ඊළඟ මොහොතේ එන මරණය ගැනද සිහිකර ප්‍රසන්නව, තෘප්තිමත්ව වසන භික්ෂූන්ට මා ගරු කළ යුතු නොවේදැයි' සොහොයුරා නිරුත්තර කරමින් අශෝක රජු පැවසීය. රජ සැපතටත් වඩා මානසික නිදහස වැදගත් බව ඔබටද මනාව මින් තේරුම් ගත හැකිය. ඒ නිසා මානසික නිදහස ලැබීම හා මානසික නිදහස අහිමිකර ගැනීම පිළිබඳව අප විමසා බැලිය යුතුය. අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය ආදී නොයෙක් සන්දර්භ යටතේ, ඔබ කොතෙක් දුරට මානසික නිදහස අහිමිකොට ගෙන ඇත්දැයි අප දීර්ඝව කල්පනා කළ යුතු වුවද, සියල්ලටම පොදු දේ පමණක් මෙහි සාකච්ඡා කරමු.

'ද්වෙමෙ, භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ඉමෙඛො, භික්ඛවෙ, ද්වෙ බාලා' බුදුරජාණන් වහන්සේ මෙලොව සිටින බාලයන් දෙදෙනෙක් පිළිබඳව වදාළහ.

1. කෙනෙක් නොපැමිණි බර උසුලයි.

2. කෙනෙක් පැමිණි බර නොඋසුලයි.

මානසික වියවුල්වලට හා මානසික ආතතියට හේතු විමසන කල, ඉහත ප්‍රස්තුථ අපට දක්නට ලැබේ. බොහෝ ආතතීන්ට හේතුව පළමු කරුණයි. හෙවත් නොපැමිණි බර ඉසිලීමයි. අධ්‍යාපනය ලබන දරුවෙකුට ආවරණය කිරීමට විශාල විෂයය පද්ධතියක් ඇත. නමුත් ඔහු කිසිදා ඒ සමස්ත විෂයය එක දිනක පාඩම් නොකරයි. එක දිනක ආවරණය කළ හැකි සීමාවක් ඇති අතරම, උපරිමයෙන් කළද ආවරණය කරන සීමාවක් ඇත. නමුත් ඔහු මානසිකව 'මම කොහොමද මේ ඔක්කොම කරන්නෙ' යනුවෙන් පසුතැවෙයි. 

කළ යුත්ත නම්, එදිනෙදා කළ හැකි සීමාව පිළිබඳව සිතීම වුවත්, ඔහු මානසිකව සමස්ත විෂයයේම බර උසුලයි. එය නොපැමිණි බර ඉසිලීමයි. අධ්‍යාපනය තුළ දරුවන්ට උරුම වන මානසික ආතතියට ඇති ප්‍රධානම හේතුව මේ නොපැමිණි බර ඉසිලීමය. භික්ෂූන් වහන්සේලා ලෙස ඇතැම් විටක අපි බොහෝදුර පා ගමනින් යමු. එහිදී ඊළඟ පියවර යනු විනා, කිලෝ මීටර් ගණනක් දුර මානසිකව නොයන්නට අපි පුහුණු වෙමු. ගමන නිමා කිරීමට ඇති කිලෝ මීටර් ගණන, ඉදිරියට ඇති පියවර නොතබා කිසිදු කලෙක සම්පූර්ණ කළ නොහැකිය.

ජීවිතයේ බොහෝ අවස්ථාවන්හි ඒ පුහුණුව අපට ඉතාමත් වැදගත්ය. කිලෝ මීටර් ගණනක් දුර යෑම සිතනවාට වඩා, මීළඟ පියවර ඉදිරියට තැබීම වඩා ප්‍රායෝගික වනවා මෙන්ම, මානසික නිදහසද ලබාදේ. යෑමට ඇති දුර පිළිබඳව සිතීම ලතැවිල්ල හා මානසික අසහනය පමණක්ම උරුම කරයි. නොපැමිණි බර උසුලන්නාට ඒ මානසික අසහනය කොතෙකුත් ගොඩ නැගේ. ඔබ ඔබේ ජීවිතය තුළ විමසුවොත්, ඔබට ගොඩනැගෙන බොහෝ මානසික ආතතීන්ට ඇති මූලික හේතුව නම් නොපැමිණි බර මානසිකව ඉසිලීම බව ඔබට පෙනී යනු ඇත.

ඔබ මානසික අවපීඩනයකට යොමු කිරීමට සමත් අනෙක් ප්‍රධාන හේතුව නම්, පැමිණි බර නොඉසලීමයි. විධිමත් ලෙස මානසික බර කළමනාකරණය නොකළොත් එය ඔබ අවුලට පත් කරයි.

එක් විරැකියාවෙන් පෙළුණු මිනිසෙකුට දිවි ගැටගසා ගැනීමට රැකියාවක් අවැසි විය. ජීවත් වීමට රැකියාවක් සොයමින් සිටි ඔහුට ලැබුණේ නගරයේ කානු සෝදා නගරය පිරිසිදු කරන රැකියාවයි. ඔහු තම රැකියාව ඉතාමත් කැපවීමෙන්ම සිදු කළේය. විධිමත්ව කාලය බෙදාගෙන එක් දිනක කොටසක් පිරිසිදු කොට, සවස හොඳින් ඊළඟ දිනයේ පිරිසිදු කිරීම් පිළිබඳව සිතා කටයුතු කරයි. කොටින්ම කිවහොත් ඔහුගේ වෘත්තීය කළමනාකරණය අතිවිශිෂ්ට විය.

අවාසනාව නම් ජීවත් වීමට රැකියාවක් සොයා ගිය තැනැත්තා, කාලයත් සමග රැකියාව කිරීමට ජීවත් වන්නෙකු බවට පත් වීමය. නොඑසේ නම්, ජීවත් වීමට කානු සේදූ තැනැත්තා කාලයත් සමග කානු සේදීමට ජීවත් වන තත්ත්වයට පත්ව තිබීමය. ඔබ මදක් නැවතී, ඔබ ජීවත් වීමට කානු සෝදනවාද, කානු සේදීමට ජීවත් වනවාදැයි සිතා බැලිය යුතුය. බොහෝ මිනිසුන් කාලයත් සමග කානු සේදීමට ජීවත් වන තත්ත්වයට පත්වේ. ඒ නිසාම රැකියාව නිසා ඔවුන් මානසික පීඩනයකට ලක්වේ. ඒ ඒ අවස්ථාවට අවශ්‍ය ප්‍රශ්නය ගෙන, එය නිරාකරණය කිරීමට තරම් විවේක බුද්ධියක් බොහෝ දෙනෙකු ඇතිකර නොගනී. ඒ පැමිණි බර පමණක් ඉසිලීමට නොදන්නා බාල ලක්ෂණය නිසාය.

මෙලොව බාලයන් දෙදෙනෙක් මෙන්ම, නුවණැත්තන්ද දෙදෙනෙකි.

1. කෙනෙක් නොපැමිණි බර නූසුලයි.

2. කෙනෙක් පැමිණි බර පමණක් උසුලයි.

නුවණැත්තෙක් වන ඔබ ඉසිලිය යුත්තේ පැමිණි බර පමණෙකි. එසේ නම් පැමිණි බර තේරුම් ගැනීමට තරම් ඔබ සැලකිලිමත් විය යුතුය. කානු සේදීමට ජීවත් වූවහු සේ නොවී, පැමිණි බර කළමනාකරණය කරගත යුතුමය. ඇතැම් ප්‍රශ්න හමුවේ ඇත්තේ නිශ්චිත එකම පිළිතුරකි. නමුත් බොහෝදෙනා වමාරා කන ගොනෙකු මෙන්, ප්‍රශ්න තලු මරමින් නැවත වමාරමින්, කමින් දුක් විඳිති. ඔබේ රැකියා ස්ථානයේ ගැටලුවක් විය හැකිය. නොඑසේ නම් හිතාදරයෙකුගෙන් ඔබ කරා ආ අමනාපයක් වන්නට පුළුවන. එයට නිශ්චිත විසඳුම පසෙක තිබියදී, ඔබ එය මානසිකව දැඩිව අල්වා ගනී.

ඒ ගැනීමේ ප්‍රතිවිපාකය නම් ඔබ කරා දුක පැමිණීමයි. කෙනෙකුගේ බැණුමක්, දොස් කීමක් ඇති විට තමා ළඟ බැණුමට සකාරණ බවක් තිබුණේ නම්, එය නිවැරදි කර ගැනීම වැදගත්ය. තමා අත වරදක් නැතිනම් එය මානසිකව අත්හැරීමට තරම් ඔබ නුවණැති විය යුතුය. කුණු නම් තිබිය යුත්තේ කුණු දමන කුණු ගොඩේ මිස, ඉදිරි මේසය මත නොවේ. නමුත් බොහෝ දෙනෙක්, කුණු ඉදිරි මේසය මත තබාගැනීමට ප්‍රිය කරති. රැකියාවේ හෝ ආදරණීයකුගෙන් එන රෝෂයක්, ඔබ ජීවිතයේ ඉදිරියෙන්ම තබා ගනී. අනෙක්වා අතපසුකොට දමයි. ඒ මතම යැපෙයි. ඔබ විසින් කළ යුතුදේද, ඔබ මගහැර දමයි. සිනහව වියැකී යයි. මෙය ඔබ බොහෝවිට කරන බරපතළ වරදකි.

එක් දිනෙක අපගෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මා සමග දැඩි අමනාපයකින් පසුවූහ. කවරෙකු විසින් හෝ වරදවා කී කතාවක්, තතු නොවිමසා පිළිගැනීම එයට හේතු විය. මා හට ඉතාමත් සාවද්‍ය නමුත් බරපතළ චෝදනාවන් කිහිප දෙනෙක් වෙතද කියා තිබිණි. නොපැමිණි බර නූසුලා සිටි මට, එය නිවැරදි කිරීමට හෝ සාධාරණ වීමට කරුණු ඉදිරිපත් කිරීමටද, කිසිදු අවශ්‍යතාවක්ද නොවීය. යටත් පිරිසෙන් මම ඒ පිළිබඳව හා ඔවුන් පිළිබඳව දන්නා බවක්ද නොහැඟවීමි.

ඔවුන් වෙනුවෙන් ඉගැන්විය යුතුදේද, ඉතා ආදර මෛත්‍රියෙන් ඉගැන්වීමි. ඉතා පසු කාලයේ මා ඒ පිළිබඳව දන්නා බව යම් විදියකින් ඔවුන් තේරුම් ගත් අතරම, හඬමින් ඔවුන්ගේ වරද පිළිගැනීමට තරම් ඔවුහු අනතිමානී වූහ. මේ ප්‍රවෘත්තිය කීවේ මා පිළිබඳව ලිවීමකට නොව, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සැනසීම, සියල්ලන්ටම සැනසිල්ල පිණිස පවතින ආකාරය පෙන්වා දීමටය. කුණු ඉදිරිපස මේසයෙන් නොතැබීමත්, කුණු කූඩයෙන් පමණක් තැබීමත් නිසා, නොපැමිණි බර නූසුලා පැමිණි අධ්‍යාපනය ලබාදීම් ආදී බර ඉසිලීමත් පමණක්ම කළ හෙයින්, අමූලික චෝදනා හමුවේ මම නොසැලී මානසික ආතතියකින් තොරව සිටියා පමණක් නොව, ඔවුන් වෙනුවෙන් කළ යුතුදේද නොපිරිහෙළා කිරීමට හැකි විය. ඔබේ ජීවිතයේදීත් එබඳු සිදුවීම්වලට ඔබට කොතෙකුත් මුහුණ පාන්නට සිදුවනු ඇත. නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඔබට එය බොහෝ ප්‍රශ්න නිරාකරණයට මගක් වනු නොඅනුමානය. අනුන්ගේ වචන, චෝදනා, පීඩා කිරීම් කළමනාකරණයට එය පහසු මගක් වනු ඇත.

ඔබ ඔබේ නිවස පිරිසිදු නොකර, අතු නොගා සිටියොත් ටික දිනකින් වැලි දුහුවිලි පිරී එය අපවිත්‍ර වී යනු ඇත. කෙනෙකු ඔබෙන් දූවිලි ටිකක් හෝ වැලි කැටයක් පෙන්නා, මෙය පැමිණියේ කුමන වෙලාවේ දැයි විමසා සිටියහොත්, ඔබ නිරුත්තර වනු ඇත. ඔබට ඇත්තෙන්ම එය පැමිණි වෙලාවක් පෙන්විය නොහැකි වුවද, අපිරිසිදු ගෙයක් දැන් ඔබට ඇත. ඔබේ නිවස ඔබේ මනස ලෙස දකින්න. එය අපිරිසිදු කරන දුහුවිලි හා වැලි ඔබ අකැමැති දේවල් හා සිදුවීම්ය. ඒ සියල්ලේම එකතුව නම් අපිරිසිදු ගෙයයි. එනම් දුකෙන් පිරුණ පීඩනයකින් යුතු ඔබේ මනසයි. ඔය අපිරිසිදු ගෙය ඔබ නිතර පිරිසිදු කළ යුතුය. නිතර නිතර අතු නොගා, නොපිසා සිටින ඔබේ මනස තරම් අයහපතක් ඔබට වෙනත් දෙයක් සිදු නොකරයි.

මනස පිරිසිදු කිරීමේදී මනස අපිරිසිදු කරන මූලධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. ලෝභය ඔබේ මනස අපිරිසිදු කරයි. ආදරය, රාගය, කැමැත්ත, ඇලීම කුමක් කීවද එය ලෝභයයි. ලෝභය අත්හළ යුතු ධර්මයකි. එය අත්හල යුතු දෙයක් වුවත්, එයටද ප්‍රමාණ පවතී. ඔබට හෙට වනවිට ඔබ සතු සියල්ල අත්හැර දැමීමට නොහැකිය. නමුත් අත්හැරීමට වඩා අත්හැරෙන මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අත්හැරීම හා අත්හැරෙන බව අතර වෙනසක් ඇත. භික්ෂුවක් සාසනයට එන්නේ තමා සතු භෞතික සියල්ල අත්හැරීමෙනි. ශක්තිවන්තයෙකුට ඒ බැම්ම එසේ සිඳවිත් සිත සකසාගත හැකි වුවද, දුර්වල නම් එය පහසු නොවේ. නමුත් එයින් ඔබට ධර්මය අහිමි නොවේ.

බුදුරජාණන් වහන්සේ කාමභෝගී අයටත් අදාළ දහමක් දේශනා කොට ඇත. ආයාසයකින් තොරව අත්හැරෙන තැනට ඔබේ මනස ගැනීමට අවැසි මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ මග නම් ක්‍රමානුකූලව ඉන්ද්‍රිය වැඩෙන මගකි. දානය, සීලය එහි මුලට සිටී. සිතේ දියුණුව හෙවත් භාවනාවට ඉන් පසු ඔබට ප්‍රවිෂ්ට විය හැකිය. එහිදී ඔබ සිහියට හා නුවණට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. සිහිය යනු ඔබේ මනස තුළ පවත්නා සිහිවත් බවයි. ඔබට ඔබ පිළිබඳවම සංජානනය වන මට්ටමෙන් එහි ආරම්භ වේ. "චිර කතම්පි චිරභාසිතංපි සරිතා අනුස්සරිතා* බොහෝ කල් සිට කළාවූ දේද, කීවාවූ දේද සිහි කරන බව සිහියයි. එසේ පවත්නා සිහිය ඔබ නුවණ සමග භාවිත කළ යුතුය. ඔබේ සිත ප්‍රියමනාප ලෙස පෙන්වා දෙන තැන ඇති යථාර්ථය ගැන ඔබ මෙනෙහි කිරීම මෙහිදී ඉතා වැදගත් වේ.

දරුවා හෝ මව, පියා යන තැනක ඇති යථාර්ථයට ඔබ සිත යොමු කළොත්, දරුවා හෝ මව, පියා නොවන කොටස් පමණක් ඔබට හමුවේවි. ඒ අනාත්ම ලක්ෂණය හොඳින් මනසට ඇතුළත් කොට ඔබේ සිතේ පවත්නා ආදරය කෙස්, ලොම් ආදියෙන් කුමකටදැයි සිතා බලන්න. එසේම තමා යැයි ගත් රූපයටත් එය සසඳා බලන්න. එවිට ඔබට බාහිර පුද්ගල බවින් ගත් රූපයන්ගේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත හැකි වේවි. එමගින් දෘඪ කෙලෙස් යටපත්ව යන බව පමණක් නොව, තමාටත් නොදැනීම ලෝකය අත්හැරෙන අයුරු තමන්ටම ටිකෙන් ටික අත්විඳිය හැකි වේවි. (මෙය මූලිකම අදියර පමණකි.)

සියලු දෙනාටම තෙරුවන් සරණයි..!



Recommended Articles