මෙම වසරේ ඔක්තෝබර් මාසයට වප් පුර පොහෝ දින දෙකක් යෙදී ඇත. එයින් පළමු වන අධි පසළොස්වක පොහෝ දිනය ඔක්තෝබර් පළමුවැනිදාටත්, වප් පුර පොහෝ දිනය එම 30 දිනටත් යෙදී ඇත.
වප් මාසය බෞද්ධ සැදැහැතියන්ට සුවිශේෂී වූ මාසයකි. ඒ පෙරවස් සමාදන් වන භික්ෂූන්වහන්සේලා වස් පොහොය දින වස් පවාරණය කරන නිසාත්, පසු වස් සමාදන් වන භික්ෂූහූ ඉල් පොහෝ දින වස් පවාරණය කරන නිසාත්ය. කඨින චීවර පූජාව වප් පොහෝ දින ආරම්භ වන අතර, එම පින්කම් ඉල් පොහෝ දින දක්වා පැවැත්වේ.
වප් මාසය තුළ සැදැහැතියන්ට වැදගත් කථින චීවර පින්කම අනුව එහි අගය සලකා අස්ගිරි මහා විහාරයේ මහා විහාර මහා පිරිවෙන විසින් %සිවුරක වරුණ^ නමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා 2010දී ප්‍රකාශිත සටහනක් ඇසුරෙන් උපුටා දැක්වීමකි.
සිවුරේ ආරම්භය
සියවස් 25ක් ගතවුවද කිසිදු වෙනසකට පත් නොවූ ලොව පැරණිම ඇඳුම ලෙස සිවුරට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එයින් පැවසෙන තවත් දෙයක් වන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවූවන්ගේ පරමාදර්ශී උත්තම සංකේතයද චීවරය බවකි. එසේම සුවහසක් දනන්ගේ අප්‍රමාණ වන්දනාවට මෙන්ම ගරු බුහුමනටද තවත් විටෙක ගැරහුමටද ලක්වූ අකම්පිත බවේ සලකුණ බුද්ධ චීවරය ලෙස සැලකේ. කසට වස්ත්‍ර දරා සිතේ කෙළෙස් කසට සෝදා හරින්නට හැකි බව ලොවට පසක් කළ ඒ අරහත් ධජය සම්බුද්ධ වීවරය ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
චීවරය අර්ථ දැක්වීම්
සංස්කෘතයෙන් චීර හෙවත් ගස්වල පට්ටාවලින් තනාගත් ඇඳුම යන අදහසින් පාලි චීවර යන වචනය නිපන් බව රිස් ඩේවිඩස් වියත්හු දක්වති. ඒ අනුව බෞද්ධ භික්ෂුවගේ සාම්ප්‍රදායික ඇඳුම වන සිවුරට දිය හැකි සරල අර්ථකථනය රෙදි කැබලි එක්කොට සකස් කරගත් විශේෂ වස්ත්‍රය යන්නය. පාලි භාෂාවේ චීවර යන්නෙන් සිවුර අර්ථවත් වන බව පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමියෝ දක්වා ඇත. චීවර යනුවෙන් කසාවත හෙවත් කසට පෙවූ වස්ත්‍රය කියැවෙන බව පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ පවසති. පොදුවේ චීවර යනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේගේ චීවරය පමණක් අර්ථ ගැන්වෙයි.
ශ්‍රමණ සම්ප්‍රදාය සහ බ්‍රාහ්මණ සම්ප්‍රදාය යනුවෙන් භාරතයේ ආගමික සම්ප්‍රදායයන් දෙකක් විය. එයින් ශ්‍රමණ සම්ප්‍රදායයට චීවරය අදාළ වෙයි.
තුන් සිවුර
සඟ සසුන මුල් ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ තුන් සිවුර පමණක් අනුදැන වදාළහ. එනම්,
තනිපට සිවුර (උත්තරාසංඝය)
දෙපට සිවුර (සංඝාටිය)
අඳන සිවුර (අන්තරාවාසිකය) යනුවෙනි.
සිවුරු වර්ග
ඒ අතර මතු දැක්වෙන සිවුරු වර්ග බුදුරජාණන් වහන්සේ විසින් වරින් වර අවශ්‍යතා අනුව පනවන ලද සිවුරු අතර වෙයි.
පංසුකූල චීවරය (පසුල් සිවුර)
ගහපති චීවරය (ගැහැවි සිවුර)
කඨින චීවරය ( කඨින සිවුර)
සිවුරේ ආකෘතිය සහ සැකසුම
බුද්ධකාලීන ශ්‍රමණ සම්ප්‍රදායන්ට හෝ වෙනත් ආගමික කණ්ඩායමකට අයත් නොවන සිවුර බුදුදහමටම ආවේණික වූවකි. සසර බිය දැක නිවන් පසක් කරනු පිණිස පිළිවෙත් පුරණ මහා සංඝයාවහන්සේ මුල් කාලයේදී සිවුර ලෙස පෙරවූයේ මිනී එතූ වස්ත්‍ර වැනි වටිනාකමක් නොමැති රෙදි කැබලි එකතුකොට අපිළිවෙළට මැසූ වස්ත්‍රයකි.
පසුකලෙක බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට දක්ඛණාගිරියට වැඩමවන අවස්ථාවේ මගධයේ කෙත්යාය දැක එහි ලියැදි සහ නියරවල් බෙදා ඇති අයුරු පෙන්වා ඒ අනුව සිවුර සකස්කර ගන්නා ලෙස පැවසූ බව විනයපිටකයට අයත් මහාවග්ග පාලියේ සඳහන් වෙයි.
විනය මහාවග්ගපාලියෙහි ඡීවරක්ඛන්ධකයට අනුව සිවුරක කොටස් නවයකි.
එහි දිග නුවාව යනුවෙන් දික් අතට ඇති සිවුරේ වාටියත්
කෙටි නුවාව යනුවෙන් පහළට ඇති සිවුරේ වාටියත්
ලොකු කඩ යනුවෙන් සිවුරේ ඇති විශාල කොටු සහ
කුඩාකඩ යනුවෙන් සිවුරේ ඇති කුඩා කොටුත් දක්වා ඇත.
තවදුරටත් වස් අතු යනුවෙන් සිවුරේ මැද කොටසද
ඇළ අතු ලෙස වස්අත්තේ දෙපස ඇති කොටස්ද
ගීවෙය්‍ය යනුවෙන් බෙල්ල ළඟට සිටින පටියත් සඳහන් වෙයි.
ජංසෙය්‍ය යනුවෙන් පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසද,
බාහන්ත යනුවෙන් දෙවුර පෙරවීමේදී වම් අතෙහි අත්ල මත පිහිටින කොටසද අයත්ය.
ඒ අතර පහළොස්කඩ සිවුරද වෙයි. එය මෙහි පහත සටහනෙහි දැක්වෙයි.
ඒ අනුව දෙපට සිවුර දිග රියන් පහ හමාරකි. පළල රියන් හතර හමාරකි.
තනිපට සිවුරද දිග රියන් පහ හමාරකි. පළල රියන් හතර හමාරකි.
අඳන සිවුර දිග රියන් පහයි. පළල රියන් දෙකකි.
පඬු පෙවීම
සිවුරක් විනයානුකූල වීම සඳහා පඬු පෙවීම අත්‍යවශ්‍ය දෙයකි. බුදුරදුන් සිවුරු පඬු පෙවීම සඳහා පඬු වර්ග 06ක් අනුදැන වදාරා ඇත.
i. මුල් (කහ හැර සියලු මුල් වර්ග)
ii. කඳ ( පතග හා වල් මදටිය හැර සියලු අරටු)
iii. මල් (වනුක් මල් හා කෑල මල් හැර සියලු මල් වර්ග)
iv. පොතු (කැටකෑල හා ලොක් පොතු හැර සියලු පොතු)
v. කොළ (කසා කොළ හා නෙල්ලි කොළ හැර සියලු කොළ)
vi. ගෙඩි (සියලු ගෙඩි වර්ග)
ලංකාවේදී පඬු සකසා ගැනීම සඳහා මහෝගනී ගසේ පොතු/කඳ/මුල්, වරකා අරටු/මුල්, දමන පොතු, නුග පොතු, කුඹුක් පොතු/මල්, දඹ පොතු හා සේපාලිකා මල් බහුලව භාවිත කර තිබේ.
පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ලෙස නිල්, කොළ, කළු, තද කහ, දම්, රෝස, තද රතු යන වර්ණ දක්වා ඇත.
පඬු ගැන්වීම
සියලු පඬු වර්ග සිහින්ව කපා අව්වේ වියළා හැලියක දමා හොඳින් තම්බාගත යුතුය. පසුව පෙරා තද උණුසුම පහවූ පසු පඬු පෙවීමට ගත යුතුය. පඬු පෙවීමට ලීයෙන් තැනූ පඬු ඔරුවක් නියම කර තිබේ.
පඬු පොවන ක්‍රම දෙකකි.
සිවුර දික් අතට අඟල් 06ක් වනතුරු නවා වෘත්තයක ආකාරයට ඔතා එහි කෙළවරේ සිට පඬු පෙවීම.
සිවුරේ කොණක සිට ක්‍රමානුකූලව පඬු පෙවීම යනුවෙනි.
පසුව බෝඹු කොළ තැම්බූ වතුරෙන් සෝදා මඳ පවනේ වේළා ගත් සිවුරේ නුවා කෙළවර මොනර ඇසක් තරම් ප්‍රමාණයට කප් බින්දු තැබූ විට සිවුර සම්පූර්ණ වෙයි. ඉන්පසු චීවර නාමයෙන් හෝ පරික්කාර චෝල නාමයෙන් අධිෂ්ඨානකොට භාවිත කළ හැකිය.
සිවුරු පෙරවීම
සිවුරු පෙරවීම සම්බන්ධයෙන් පැරණි ක්‍රම දෙකකි. ඒකාංසකරණය හෙවත් එක් උරයක් වැසෙන සේ සිවුර පෙරවීම එක් ක්‍රමයකි. අනෙක උභයාංසකරණය හෙවත් දෙවුරම වැසෙන සේ සිවුරු පෙරවීමයි.
සිවුරු පෙරවීමේ අරමුණු
සිවුරු පෙරවීමේ අරමුණු කීපයක් චීවර ප්‍රත්‍යවේක්ෂාවේ දක්වා ඇත.
උෂ්ණයෙන් සහ සීතලෙන් ආරක්ෂා වීම සඳහා
මැසි, මදුරු, සුළං, අව්ව, සර්ප ආදීන්ගෙන් සිදුවන පීඩාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා
විළි වසා ගැනීම සඳහා වශයෙනි.
ථේරවාද සිවුරු
ථේරවාද සම්ප්‍රදායේ සිවුරු ගණනාවකි. ඒවා දොළාස්කඩ සිවුරු, පහළොස්කඩ සිවුරු, තිස්පස්කඩ සිවුරු, හැත්තෑපස්කඩ සිවුරු, සියස්කඩ සිවුරු, දහස්කඩ සිවුරු වශයෙනි.
මෙහිදී සිවුරක් සකස් කිරීම සඳහා භාවිත කරන එක් කොටසක් කඩක් වන අතර, එකී කඩවල ප්‍රාමාණික එකතුව අනුව ඉහත සඳහන් අයුරින් සිවුරු වර්ග කර ඇත.
සිවුර සඳහා සුදුසු රෙදි වර්ග
එවැනි රෙදි වර්ග 06ක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත.
i. බෝම ( කොමු ගස්වල කෙඳිවලින් වියන ලද රෙදි)
ii. කප්පාසික (කපු නූලෙන් වියන ලද රෙදි)
iii. කෝසෙය්‍ය (පටනූලෙන් කළ වස්ත්‍ර)
iv. කම්බල (මිනිස් ලොම් වලස් ලොම් හැර සෙසු ලොමින් කළ වස්ත්‍ර)
v. ඝානං (හණ වැහැරියෙන් කළ වස්ත්‍ර)
vi. භංග (මිශ්‍ර නූලෙන් කළ වස්ත්‍ර)
සිවුරු පරිහරණය
සිවුරු පරිහරණය කළයුතු ආකාරයද බුදුන්වහන්සේ දක්වා ඇත.
තමන් පෙරවන සිවුර ඉරුනු විට අණ්ඩය අල්ලාගත යුතු බව බුදුරදුන් වදාළහ. සිවුරු භාවිතය පිළිබඳව චුල්ලවග්ග පාලියේදී අනඳ හිමියන් උදේන රජුට කළ විස්තරය ඉතා වැදගත්ය. ආනන්ද තෙරුන් උදේන රජ්ජුරුවන්ට විස්තර කළ පරිදි,
දිරා ගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගනියි.
දිරා ගිය ඇතිරිලිවලින් බිසිඋර(කොට්ටඋර) තනා ගනී.
දිරා ගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගනී.
දිරාගිය බිම් ඇතිරිලිවලින් පාපිස්නා බිසි තනා ගනී.
දිරාගිය පාපිස්නාවලින් පොළොවෙහි දූවිලි පිස දමයි.
පොළව පිස දැමූ රෙදි කැබලි මැටි සමග මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි.
දෙදහස් පන්සිය වසරක් ගෙවුණු තැනද අදටත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සනාථ කරනු වස් මෙම සිවුරට ඇති බලයත් ශක්තියත් අමුතුවෙන් විස්තර කළයුතු නැත.
සටහන සහ සේයාරූ -ලාල් ජයසුන්දර