වැලිකන්ද, ත්‍රිකෝණමඩුව රක්ෂිතය හා සෝමාවතිය අවට විල්ලු සහිත ප්‍රදේශයේ අක්කර දසදහසකට වැඩි ප්‍රමාණයක් බහුජාතික සමාගම්වලට ව්‍යාපෘති සිදුකිරීමට යොමු කිරීමේදී සම්පූර්ණයෙන්ම මුඩුබිමක් වන බව සුරකිමු වැලිකන්ද සංවිධානය සඳහන් කරයි. මෙවැනි පරිසර දූෂණයන්ට එරෙහිව සුරකිමු වැලිකන්ද පරිසර සංවිධානය ඉදිරියට පැමිණ සිටින අතර, එහි අනුශාසක දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සමග අපි සාකච්ඡා කළෙමු.
වැලිකන්දට ඇතිවී තිබෙන තත්ත්වය ගැන අපි මුලින්ම කතා කළොත්?
සෝමාවතිය ආශ්රිත තිබෙන විල්ලු පද්ධතිය ලංකාවේ තිබෙන සුවිශේෂිතම විල්ලු පද්ධතියක්. ඒ විල්ලු ආශ්‍රිතව ජෛව විවිධත්වය ඉතාම ඉහළ වනාන්තර පද්ධතියක් තිබෙනවා. මේ විල්ලු පද්ධතිය, වනාන්තර පද්ධතිය කියන්නේ වැලිකන්දේ අපේ ජීවය. ඒ ජීවය නසන්න කොහෙත්ම ඉඩ දෙන්න බැහැ. අපේ ජීවය විනාශ කරනවා කියලා කියන්නේ ආනන්තරීය පාපකර්මයක්. යහපාලන ආණ්ඩු සමයේ එක ඇමතිවරයෙක් විසින් ඉඩම් දුන්නා. එතැනදී කිසිම සැලසුමකින් තොරව අලි කොරිඩෝව පවා අහුවෙන විදිහට ඉඩම් අක්කර විසිපහක්, පනහක් එක එක ආයතනවලට දුන්නා. එතැනදී සඳුන් ගස් හිටවන්න කියලා අක්කර අටදාහක් දීලා තියෙනවා. අපි ඒ ව්‍යාපෘතිය බලන්න ගියා. ඒ ව්‍යාපෘතිය අසාර්ථකයි. මේ ඉඩම් වටා දැවැන්ත විදුලි වැටවල් ගහලා තියෙනවා. ඒ වගේ ඉඩම් දීලා ආරම්භ කරපු ව්‍යාපෘති වලින් ව්‍යාපෘති දහයක්වත් සාර්ථක වෙලා නැහැ. නමුත් ඒ හැම ඉඩමකම පොඩි ගෙයක් හදලා විදුලි වැටක් ගහලා තියෙනවා. මේ නිසා අලින්ගේ ගමනාන්ත සියල්ල ඇහිරිලා තියෙනවා.
මේ නිස අපි පක්ෂ දේශපාලනයෙන් තොරව මේ උරුමයන් රැකගන්න අපි සාකච්ඡා කරනවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හැමදෙනාටමත් අපි මේ ගැන කතා කරන්න රැස් කළා. මම මේ හැමෝටම කියන්නේ දේශපාලනය කරන්න පුළුවන් ඊට කලින් අපි අපේ උරුමය රැකගත යුතුයි කියන කාරණය. මේ ආණ්ඩුව රටට ආදරෙන් වැඩ කරයි කියලා අපේ ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් ඉතාම අත්තනෝමතික විදිහට ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට පරිසය කෙළෙසන්න දෙනවා. වැලි නිධි, රක්ෂිත මේ සියල්ල කිසිදු හෙවිල්ලකින් තොරව විනාශ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒවා දැන් ව්‍යාපාර බවට පත්කරගෙන.
මේ පරිසර පද්ධතියේ වැදගත්කම ගැන පැහැදිලි කළොත්?
හිතක් පපුවක් තියෙන මනුස්සයෙකුට මේ විල්ලු පද්ධතිය විනාශ කරන්න බැහැ. ඒ තරම් සංවේදී කලාපයක්. පසුගිය දවසක මේ ගැන කතා කරන්න සිංහපුර සාකච්ඡාවක් තිබ්බා. එතකොට ඒ අය කියනවා මුල් කාලේ අඩි පහ හයක් හාරද්දි වතුර හොයාගන්න පුළුවන් වුණා කියලා. ඒත් දැන් අඩි විසිපහක් විතර හාරන්න ඕනෙලු වතුර හොයාගන්න. මේ ග්‍රාමීය මට්ටමේ මිනිස්සු කියන කතා. සෝමාවතිය වනාන්තරයෙන් අක්කර 10,000ක කොටසක් මිනුම් කටයුතු අවසන් කරලා ව්‍යාපාරිකයන්ට දෙන්න සැලසුම්කර තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අදාළ සියලුදෙනා සමග සාකච්ඡා කරනවා. නමුත් ඒවලින් විසඳුමක් නැති වුණොත් අපි ක්‍රියාත්මක වෙනවා. මේ ගමේ මිනිස්සු අක්කරයක් දෙකක් ගන්න ගියාම අඩුම තරමේ පර්චස් දහයක, පහළොවක ඉඩම් කෑල්ලක් ගන්න ගියාම ඒවා දෙන්නෙ නැහැ. ඒවට දහසක් කතා කියනවා. නමුත් මේ අක්කර දහස් ගණනක් ගජ මිතුරන්ට, සල්ලිකාරයන්ට දෙන්න හදනවා. ඒ කියන්නේ ගජමිතුරන්ට එක නීතියක්, දුප්පත් මිනිස්සුන්ට තව නීතියක්. යහපාලන ආණ්ඩුවේදී මේ ඉඩම් වලින් කොටසක් දුන්නා. ඉතිරිය දැන් මේ ආණ්ඩුව බෙදන්න හදනවා. මේ කට්ටිය ගජමිතුරන්ට ඉඩම් දෙන්නේ ගෙදරින් ගෙනත් වගේ. මෙහෙම ගියොත් අපිට අනාගතයේදී ඔක්සිජන් ගන්න වෙන්නේ සල්ලි වලට. ඒ වගේම මේ පළාත සංස්කෘතික වටිනාකමකින් යුතු පළාතක්. ඒ ගැනවත් හිතන්නේ නැතිව තමයි මේ විනාශය කරන්නේ. මේ පළාතේ දෙවැනි, තුන්වැනි පරම්පරාවේ අනාගතයයි මේ නැති කරන්නේ.
අපි වැලිකන්දට ආවේ 1991 අවුරුද්දේ. මිනිස්සු පුංචි පැල් හදාගෙන ජීවත් වුණේ. මේ ගමේ ඉන්නේ අහිංසක මිනිස්සු. මේ ගමේ මනුස්සයෙකුට පොඩි ඉඩම් කැබැල්ලක් ගන්න බැහැ ඒකට දහසක් නීති. කොහොම වුණත් සෝමාවතිය කැලේ කාටවත් දෙන්න බැහැ. මේ වනාන්තරය අනිවාර්යෙන්ම රැකෙන්න ඕන. ඒ වගේම මහවැලිය, මහවැලිය කිව්වට මහවැලියට ප්‍රධාන සැලසුමක් නැහැ. අලි යන පාර අලි කොරිඩෝව කියලා තියෙව්වා. ඒකත් දැන් වගාවලට දීලා. එහෙම ගියාම අලින්ට යන්න පාරක් නැති වෙනවා. අලි ගම මැද්දෙන් යනවා. මේ නිසා රජයක් විදිහට මේ දේවල් සැලසුම් සහගතව සිදුකළ යුතුයි. මේ ඉඩම් අරගෙන ඒවායේ තිබෙන වටිනා ගස් කපල දාලා දැව ජාවාරමක් කරනවා. මේ තත්ත්වය තුළ ඉඩම් ජාවාරමක් සහ දැව ජාවාරම් කියන මේ දෙකම කරනවා. මේක කරන්න ඉඩ දෙන්න හොඳම නැහැ. ඒ වගේම දකුණු ඉවුරේ අක්කර 50,000ක් මඤ්ඤොක්කා හිටවන්න දෙන්න යනවා.
මේ ප්‍රදේශය අලි මිනිස් ගැටුම උග්‍රව තිබෙනවා . වනාන්තර ප්‍රමාණය අඩු උනොත් සිදුවෙන බලපෑම ගැන කතා කළොත්?
වනඅලි ඉන්න මේ කැලය කොටස් කරලා දෙන්න ගියාම වනඅලින්ට ඉන්න තැනක් ඇත්තෙම නැහැ. දැන් හවස් වෙන්න කලින් වැලිකන්ද නගරයට අලි එනවා. කුඹුරු ගොවිතැන් කරන මිනිස්සු ගොයම් කපන කාලය ළං වෙද්දි රෑටත් ඉන්නෙ කුඹුරෙ. අස්වනු ටික ගෙදර ගෙනාවත් රැකගන්න බැහැ අලි ඇවිත් ඒවා කනවා. මේ විදිහට දිගින්දිගටම වන විනාශය උනොත් අලි මිනිස් ගැටුම කොහෙත්ම නතර කරන්න බැරිව යනවා.
ආණ්ඩු කියනවා සංවර්ධන වැඩ කරන්න යද්දි විරුද්ධ වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. මීට කලිනුත් විවිධ ව්‍යාපෘතිවලට ඉඩම් දීලා තියෙනවා. එහෙනම් අලුතින් ඉඩම් දෙන්න කලින් ඒ ව්‍යාපෘති සාර්ථකද කියලා බලන්න ඕන. ඒ කිසිවක් සාර්ථක වෙලා නැහැ. ඒ දීලා තියෙන ඉඩම්වල අලි වැටවල් ගහල විතරයි . වෙන කිසිම දෙයක් සිදුවෙලා නැහැ. කිසිම සැලැස්මකින් තොරව අත්තනෝමතිකව ගජමිතුරන්ට රටේ සම්පත් තෑගි දෙන්න යන නිසා මිනිස්සු ආණ්ඩුවෙන් ඈත් වෙනවා.
අලි මිනිස් ගැටුමට මේ ආණ්ඩුව විසඳුම් දෙයි කියලා අපි හිතුවා. ගම්වලට අලි එන තැන් තිබෙනවා. කෙටිකාලීන විසඳුමක් විදිහට සිවිල් ආරක්ෂක නිලධාරීන් හෝ දාලා මේ ටික රකියි කියලා අපි හිතුවා. ඒක වෙන්නෙ නැහැ. අගල් කැපීමේ අමත්යාංශයකුත් තිබෙනවා. නමුත් දැන්ම අගල් කැපෙන්නේ නැහැ. අලිවැට ගැහුවත් ඒක නඩත්තුවක් නැහැ. ඒවට අවශ්‍ය පිරිස නැහැ. අලි මිනිස් ගැටුමට කඩිනමින් විසඳුමක් ගේනවා කියලා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පවා තිබුණා . එයට විසඳුමක් ගේනවට වඩා දැන් කරන්නේ තිබෙන කැලයත් විනාශ කරන එක. මිට කලින් දීපු ඉඩම් වලිනුත් කිසිම තේරුමක් නැහැ. කිසිම ආදායමක් නැහැ. ඒවා ක්‍රමයෙන් මුඩුබිම් වෙමින් තිබෙනවා.
අලි මිනිස් ගැටුම ගැන කියද්දී මීට දින කිහිපයකට කලින් විදුලිය වැදිලා අලි මැරුණු සිද්ධි දෙකක් මට දැනගන්න ලැබුණා. අලින්ට විදුලි සැර වද්දපු ඒ මිනිස්සු රිමාන්ඩ් කරලා තියෙනවා. අලින්ගෙන් බේරෙන්න බැරිම තැන මිනිස්සු විදුලි කම්බි අදිනවා. ඒවට අහුවෙලා අලි තුන්දෙනක් පසුගිය සතියේත් මැරුණා. මේ කාරණාවලදී විනාශ වෙන්නේ අහිංසක මිනිස්සු ටිකයි, වනසත්තු ටිකයි. මේ සියල්ල ගැන හිතන්න අවශ්‍යයි. අලියි, මිනිස්සුයි දෙකම ආරක්ෂා කරන්න නම් කරන්න තිබෙන එකම දේ වනාන්තර ටික ආරක්ෂා කරගන්න එකයි. නමුත් මේ අය කිසිකෙනෙක් බලයට එනකම් කියන කතා නෙවෙයි බලයට ආවාට පසුව සිද්ධ වෙන්නේ.
රට පුරා දැවැන්ත වන විනාශයක් සිදුවන බව පැහැදිලියි. මෙහෙම ගියොත් රටේ අනාගතයට කුමක් වේවිද?
දැන් රට පුරා කැලෑ කපනවා. දැව ජාවාරම් කරනවා. මෙහෙම ගියොත් අන්තිමට රට කාන්තාරයක් වෙයි. මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇවිත් වැලිකන්දේ වඩමුනේ වැලි ගොඩ දානවා. මේ නිසා දිස්ත්‍රික්ක දෙකක අරගලයක් ඇතිවෙලා. ඉවක්බවක් නැතිව වැලි ගොඩ දැමීම නිසා පාලම් ගිලා බැහැලැ තියෙනවා. මේ සියල්ල ජාවාරම් මට්ටමට ඇවිත් තියෙනවා. ආණ්ඩුව බලයට ආපු ගමන් කළේ වැලි බලපත්‍ර ඉවත් කරපු එක. ඒ නිසා තමන්ට ඕනතරම් එක එක්කෙනා වැලි ඇදගත්තා. මේ වගේ දේවල් නිසා සෝමාවතිය ආරක්ෂා කරගන්න දැන් පෙළගැහිලා ඉන්නේ මේ ආණ්ඩුවට වැඩ කරපු අයමයි. පක්ෂ භේදයෙන් තොරව අපි හැමෝම මෙයට විරුද්ධයි. ආණ්ඩුව මෙය නතර කළ යුතුමයි. දේශපාලන වාසි ගන්න අපිට අවශ්‍ය නැහැ. නමුත් අපේ දේ රැකගන්න අපි හැමෝම මහන්සි වෙන්න අවශ්‍යයි.
මේ ගම්වල ඉන්න අපි හැමෝම යුද්දෙ තියෙද්දි බංකර් රැක්කා. මේ දේවල් රකින්න අපි කැපවුණා. එහෙම කරපු අපි මේ වනාන්තර විනාශ කරනකම් බලාගෙන ඉදියි කියල හිතනවද . කවදාවත් ඒක වෙන්නෙ නැහැ. ආණ්ඩුව තවදුරටත් අපිට ඇහුම්කන් දෙන්නේ නැතිනම් අපි ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න පසුබට වෙන්නේ නැහැ. වනාන්තරයට පොඩි හානියක් වෙන්නවත් අපි ඉඩ තියන්නේ නැහැ. මිනිස්සුන්ගේ තීන්දුවත් එක්ක ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි මේ උත්සාහ කරන්නේ අපේ ගමේ දෙයක් රැකගන්න නෙවෙයි. මේක රටක අවශ්‍යතාවයක්. පරිසරය විනාශ වුණා කියල කියන්නේ රට කාන්තාරයක් බවට පත්වුණා කියන එකයි. ආණ්ඩුව අපිට ඇහුම්කන් නොදුන්නොත් අපි පාරට බහිනවා.