ශ්‍රී ලංකාවේ ඉපැරණි රාජධානි ආශ්‍රිත පුරාවිද්‍යාත්මක උරුමයන් මෙරට අභිමානවත් ඉතිහාසය හොඳින් කියාපාන අතර, ශ්‍රී ලංකාවට නොමඳ සංචාරක ආකර්ෂණයක් ලැබීමටද මෙම පුරාවිද්‍යා උරුමයන් ප්‍රධානතම හේතුවක් වී තිබේ. මෙම සාකච්ඡා සටහන තුළින් ගෙන එන්නේ ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරයේ පතුලේ සැඟවී ඇති ශ්‍රී ලාංකික සමුද්‍ර පුරාවිද්‍යා උරුමයන් ලෝකයට නිරාවරණය කෙරෙන සමුද්‍ර පුරාවිද්‍යාවේ ආගමනය පිළිබඳවයි. ඒ සඳහා අප ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ, සමුද්‍ර පුරාවිද්‍යා නිලධාරී ඩබ්. එච්. රුක්‍ෂාන් ප්‍රියන්දන මහතා අදට සම්බන්ධ කරගතිමු.
පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයෙහිම අනුවිෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව හඳුන්වන්න පුළුවන්. ලොව බොහෝ රටවල් මෙම විෂය හැඳින්වීමට විවිධ වූ නම් භාවිත කරනවා. දිය යට පුරාවිද්‍යාව, මුහුදු පුරාවිද්‍යාව සහ නාවික පුරාවිද්‍යාව ඒ අතර ප්‍රධාන වෙනවා. මේ අතරින් අර්ථවත් වචනය ජලාශ්‍රිත හෝ ජලගත පුරාවිද්‍යාව වුණත් වඩාත් ප්‍රචලිත යෙදුම වෙන්නේ සමුද්‍ර නැතහොත් මුහුදු පුරාවිද්‍යාවයි.
නාවික පුරාවිද්‍යාව යටතේ නාවික යාත්‍රා තැනීම, භාවිතය හා ශිල්ප ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරනවා. යාත්‍රා ඉදිකිරීමේ ඉපැරණි සම්ප්‍රදායන් අඛණ්ඩව රැකගත් හා වර්ධනය කරගත් යුරෝපීය රටවල් ඇසුරෙන් මෙම විෂය වර්ධනය වෙලා තියෙනවා. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ බිඳී ගිය ජලාශ්‍රිත පුරාවිද්‍යාව මුහුදු, ගංගා, වැව්, අමුණු, ඇළ, දොළ හා වගුරු බිම් ආදී ස්ථානයන්හි ජලයෙන් වැසුණු පුරාවිද්‍යා අවශේෂයන් හා ඒ ආශ්‍රිත කටයුතු හැඳින්වීම සඳහා භාවිත කරනවා.
ජලාශ්‍රිත පුරාවිද්‍යාව කියන්නේ මුහුදුබත් වුණු නෞකා ආශ්‍රිත ක්‍රියාකාරකම් පමණක්ම නොවෙයි. පැරණි ජනසමාජයේ පැවැත්ම සහ වර්ධනයට ගෙන ගිය ක්‍රියාවලියේදී ජලය සමග සිදුකළ සියලුම ක්‍රියාකාරකම් මේ යටතේ අධ්‍යයනය කරනවා. එය සමහරවිට දේශාටනය හෝ වෙළෙඳාම සඳහා යාත්‍රා කළ නෞකාවක් වෙන්න පුළුවන්. තවත් විටක මසුන් මැරීමට භාවිත කරපු කුඩා ධීවර යාත්‍රාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රාග් ඵෙතිහාසික මානවයා ජීවත් වුණු වර්තමානයේ ජලයෙන් යටවෙලා තියෙන ජනාවාසයක් හෝ වෙරළාශ්‍රිත කුඩා ධීවර ගම්මානයක් හෝ වරායක් වෙන්න පුළුවන්. ඒ අනුව ද්‍රව්‍යමය අවශේෂ විතරක් නෙවෙයි පැරණි යාත්‍රා ගොඩනැගීමේ තාක්ෂණයත්, ජලය ආශ්‍රිතව ජීවත් වුණු හා ජීවත්වන ජන කොට්ඨාසයන්වල සංස්කෘතික අනන්‍යතාවයන් හා දැනුම ජලාශ්‍රිත පුරාවිද්‍යාව යටතේ අධ්‍යයනය කරනවා.
Underwater Archaeology, Maritime Archaeology, Nautical Archaeology කියන වදන් භාවිතයට මූලික හේතුවක් වී තියෙන්නේ, මේ විෂය ආශ්‍රිත සාධක සහ අවශේෂ විවිධ ස්ථානයන්ගෙන් හමුවීමයි. ඒ නිසා වචනාර්ථය පිළිබඳව සලකද්දි වඩා උචිත යෙදුම වෙන්නේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව යන්න.
මේ ජලයෙන් යටවී තියෙන නොදුටු ලෝකය පිළිබඳව කුතුහලය මානව ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නක්. බාහිර ආධාරකයක් නැතුව මිනිසාට දිය යට රැඳී ඉන්න පුළුවන් සුළු කාලයයි. මෙම දුෂ්කරතාවට පිළියම් සෙවීමට විවිධ උපාය සෙවීම, අත්හදා බැලීම් ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී සිදුවෙලා තියෙනවා. නොගැඹුරු දියෙහි බැස හිස් නළයක් ආධාරයෙන් වාතය ලබාගනිමින් සතුරු නාවික යාත්‍රාවලට පහරදීම සිදුකළ බව හෙරඩෝටස් කියන ග්‍රීක ඉතිහාසඥයා ක්‍රි.පූ. 500දී පමණ සඳහන් කරනවා. ඒ වගේම ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍රවල කිමිඳුම් කට්ටලයක අංගෝපාංගයන් සහිතව කිමිඳුම්කරුවක් දක්වා තිබෙනවා.
මුල්කාලීනව ජලාශ්‍රිත පුරාවිද්‍යාවේ ආරම්භය ජලයේ සැඟවුණු කෞතුක වස්තූන් ගොඩගැනීම සහ එක්රැස්කිරීම මූලික කරගත්තක්. නාවික ගමනාගමනයේදී වටිනාකමක් තියෙන වෙළෙඳ ද්‍රව්‍ය සහ භාණ්ඩ සහිතව ගිලී ගිය යාත්‍රා සෙවීම වගේම එම වටිනා වස්තූන් ගොඩගැනීම මේ ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණ වුණා. 15 වන සියවසේදී යුරෝපයේ ගිලුණු නෞකා වලින් කෞතුක වස්තු ගොඩගන්න කිමිදුම් කටයුතු කළ බව වාර්තා වෙනවා. ඉතාලි ගෘහනිර්මාණ ශිල්පීන් වුණු Battista Albert සහ Francesco Demachi රෝමයට නුදුරු Nemi විලේ ගිලුණු කෞතුක වස්තු ගැනීමට කරපු කිමිදුම් කටයුතු මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. කෞතුක වස්තු ගොඩගැනීම හා නිධන් සෙවීම විදිහට ක්‍රමයෙන් පැතිරුණු මේ කටයුතු, 1950 දශකයේදී මධ්‍යධරණී ප්‍රදේශයේදී Jacques Coudtean හා George Bass වැනි අයගේ ක්‍රමානුකූල පුරාවිද්‍යා ප්‍රවේශයන් සමග විද්‍යානුකූල පදනමක් ඔස්සේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව තවත් වර්ධනය වුණා.
වර්තමානයේ භාවිත කරන ස්කූබා (SCUBA) (Self Contained Underwater Breathing Apparatus) කිමිදුම් උපකරණ කට්ටලය නිර්මාණය කිරීමත් එක්ක සාගර ජෛව අධ්‍යයනයන් වගේම පුරාවිද්‍යාත්මක උරුමයන් ගවේෂණය කිරීම කියන විෂයයන් බොහෝමයක ශීඝ්‍ර වර්ධනයක් සිදුවුණා. භාවිතය පහසුවීම, දිය යටදී නිදහසේ අවශ්‍ය ආකාරයෙන් ගමන් කිරීමට හැකිවීම සහ සැහැල්ලු බව එයට හේතුවයි. 1961දී Vasa නැවේ සහ 1982දී Mary Rose නැවේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ වීම ජලාශ්‍රිත පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන බවට හඳුන්වන්න පුළුවන්. මේ සිදුවීම්වලින් පස්සේ කිමිදුම්කරුවන්ගේ සහ කෞතුක වස්තූන් එක්රැස් කරන්නන්ගේ විධානයන් අනුව සිදුවූ කටයුතුවලට පුරාවිද්‍යාඥයන් සහභාගී වුණා. ඒ නිසා විනාශකාරී කටයුතු සහ කෞතුක භාණ්ඩ සොරාගැනීම් වෙනුවට බොහෝ ප්‍රදේශවල පුරාවිද්‍යා අවශේෂ අධ්‍යයන සිදුවුණා. වාණිජමය සහ කෞතුක වටිනාකමකින් යුක්ත රත්රන්, රිදී හෝ දුර්ලභ කලාකෘති වගේම ඒ ඒ ස්ථානවලින් මතුකරගන්නා පුරාවිද්‍යා දත්තද එක්රැස් කිරීම මේ සමග ආරම්භ වුණා.
ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණවල ඉතිහාසය 1960 දශකය දක්වා අතීතයට යනවා. 1960 වසරේදී ආතර් සී ක්ලාක්, මයික් විල්සන් සහ රොඩ්නි ජොන්ක්ලස් ඇතුළු කණ්ඩායම විනෝදය හා කෞතුක වස්තු එක්රැස්කිරීමට මහා රාවණපුරය ආශ්‍රිතව කිමිදුම් කටයුතුවල නිරත වුණා. ඔවුන්ට රිදී කාසි නැව හා බෝතල් නැව ලෙස හඳුන්වපු මුහුදුබත් වුණු නෞකාවන් පිළිබඳව සාධක අනාවරණය කරගන්න පුළුවන් වුණා. පසුව ලෝක ප්‍රකට මුහුදු පුරාවිද්‍යාඥයෙක් වන පීටර් ත්‍රොක්මෝටන්ගේ සහයෝගය සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත ප්‍රථමවරට විද්‍යානුකූල පර්යේෂණයක් ඒ ආශ්‍රිතව සිදුකිරීමට ඔවුන් කටයුතු කළා. එය ශ්‍රී ලංකාවේ දියත් කරපු දිය යට පුරාවිද්‍යා පර්යේෂණයන්වල ආරම්භය විදිහට පෙන්වාදෙන්න පුළුවන්. පර්යේෂණ කණ්ඩායම රිදී කාසි නැව ආශ්‍රිතව සිදුකරපු ගවේෂණයේදී අවශ්‍ය දත්ත හා මිනුම් ලබාගැනීම, පුරාවස්තු එක්රැස්කිරීම, කුඩා පර්යේෂණ කැණීමක් සිදුකිරීම, සැලසුම් නිර්මාණය හා ඡායාරූපමය වාර්තාකරණය සිදුකළ අතර, Treasure of the Great Reef ග්‍රන්ථයෙන් එම තොරතුරු ප්‍රකාශයට පත්කෙරුණා. මේ පර්යේෂණයෙන් පස්සේ නිර්මාණය වුණු රන්මුතු දූව චිත්‍රපටය නිසා ශ්‍රී ලාංකේය දිය යට උරුම පිළිබඳව තිබුණු අවධානය තවත් වර්ධනය වුණා. 1960 දශකයට පස්සේ 1990 දශකය දක්වා දිවයින ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ මුහුදු පුරාවිද්‍යා ක්‍රියාවලියක් සිදුවූ බවට වාර්තා වෙලා නැහැ. 1982 වර්ෂයේ පිහිටුවපු ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනය ලංකාවේ සාගර සම්පත් හා සම්බන්ධ නීති සම්පාදනය කළා. එම නීති මගින් සාගරය ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සිදුවුණා. 1986 වර්ෂයේදී ප්‍රසන්න වීරවර්ධන ඇතුළු කිමිදුම් කණ්ඩායම විසින් %ශ්‍රී ලංකා සබ් ඇක්වා ක්ලබ් (SLSAC) නම් ආයතනය පිහිටුවා ගනු ලැබුවා. 1989 වසරේදී එම ආයතනය ක්‍රියාත්මක කරපු මුහුදු පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා මූල්‍යමය සහය ලබාගැනීමට Maritime Heritage Trust (MHT) ලෙසින් අරමුදලක් පිහිටු වූවා. SLSAC ගාල්ල වරාය ආශ්‍රිතව A අක්ෂරයෙන් හඳුන්වන නෞකාව පිළිබඳව පර්යේෂණ සිදුකළා. 1990 වසරේදී පවත්වපු පුරාවිද්‍යා ශත සංවත්සරික සමුළුවේදී මුහුදු පුරාවිද්‍යා අංශයක් ශ්‍රී ලංකාව තුළ බිහිවිය යුතු බවට යෝජනා වීමේ ප්‍රතිඵලයක් විදිහට 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බටහිර ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය එක්වෙලා ගාලු වරාය ආශ්‍රිතව ගෙනගිය මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන්ගේ පසුබිම මත මුහුදු පුරාවිද්‍යා ඒකකය ආරම්භ වුණා. ඒ අනුව ගාලු වරාය ආශ්‍රිතව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භ වුණා. මේ පර්යේෂණ මගින් දිය යට පුරාවිද්‍යා ක්ෂේත්‍ර 26ක් අනාවරණය කරගන්න හැකියාව ලැබී තියෙනවා. ඉන් 12ක් පමණ නාවික යාත්‍රා. ඒ අතරින් ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට අයිතිව තිබුණු %ඇවොන්ස්ටර්^ නෞකාව හඳුනාගන්න හැකිවුණා.
2001 වර්ෂයේදී ආරම්භ කරපු ඇවොන්ඩ්ස්ටර් විද්‍යාත්මක දිය යට පුරාවිද්‍යා කැණීම හා ස්ථානීය (Insitu) සංරක්ෂණ ක්‍රියාවලිය ලාංකේය මුහුදු පුරාවිද්‍යා ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්. ගොඩනැගෙමින් පැවැති මුහුදු පුරාවිද්‍යා ඒකකය 2004 වර්ෂයේ ඇතිවූ සුනාමියෙන් මුළුමනින්ම විනාශ වුණා. පැවැති භෞතික සම්පත් සියල්ල විනාශ වුණා වගේම කැණිම්වලින් එකතු කරගත්ත පුරාවස්තු සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් අස්ථානගත වුණා. පසුකාලීනව විදේශ ආධාර මත නැවත කටයුතු ආරම්භ කරපු මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වෙද්දි මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වෙනවා. ශ්‍රී ලංකාව වටා ආවරණය වන ආකාරයෙන් ගවේෂණ කිහිපයක්ම සිදුකිරීමටත් ඒ ඔස්සේ විශාල සමුද්‍රීය සංස්කෘතික උරුම ස්ථාන ප්‍රමාණයක් අනාවරණය කරගැනීමටත් පසුව අවස්ථාව උදාවුණා.
සාගරය ආශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ, කැණීම්, සංරක්ෂණ, ප්‍රකාශන, දේශීය-විදේශීය පුහුණු වැඩමුළු, සහයෝගිතා ව්‍යාපෘති, දිය යට සංචාරක ආකර්ෂණ ව්‍යාපෘති, දේශීය විදේශීය සම්මන්ත්‍රණයන්වල පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම, පොදු මහජනතාව හා කිමිදුම් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අන්තර්ජාල වෙබ් අඩවි නිර්මාණය සහ විද්‍යුත් සඟරා කලාප ආදී විවිධ ක්ෂේත්‍ර පුරා විහිදුණු ක්‍රියාකාරකම් සමූහයක් සිදුකරන්න මුහුදු පුරාවිද්‍යා ඒකකයට මේ වනවිට හැකියාව ලැබී තියෙනවා.
නදුන් ශාමෙල්