මෙය අපේ සමාජ ආර්ථික ක්‍රියාවලිය දෙස නැවත බැලීමට අපට උදාවී තිබෙන ස්වර්ණමය අවස්ථාවක්


  • කෝවිඩ් 19 වසංගත තත්ත්වය දකින්නේ තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය අනුවයි
  • මෙය 1900 ඉපදුන කෙනෙකු වසර 14කට පසුව පළමු ලෝක යුද්ධ තත්ත්වයට මුහුණ දෙනවා වගේ දෙයක්
  • ලොව කෝවිඩ් 19 පැතිර ගිය රටවලට සාපේක්ෂව ලංකාව එය පාලනය කිරීම පැසසිය යුතු මට්ටමින් තිබෙනවා
  • බාහිර සාධක මත රදා පවතින නිදහස් වෙළෙඳ පොළ කියන සංකල්පයෙන් අප මිදෙන්න අවශ්‍යයි
  • අපට සියල්ල හදන්න බැහැ. ඒ නිසා අපට පුළුවන් දේ සකස්කොට නොහැකි දේ අප ආනයනය කළ යුතුයි

රටකට, කලාපයකට සීමා නොවී මුළු මහත් ලෝකයම වෙළා පැතිරුණ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ලෝක ආධිපත්‍ය දරන්නා වූ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් පවා ආර්ථික සාමාජීය වශයෙන් අඩපණ වෙද්දී එය තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට කෙසේ ඔරොත්තු දෙන්නේද? එයින් සමාජීය, ආර්ථික වශයෙන්, රටක් වශයෙන් ලොවක් හමුවේ නැඟී සිටින්නේ කෙසේද? යන්න පිළිබඳව ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා 'අද' හමුවේ තැබුවේ මෙවන් අදහසකි.

සමාජ ව්‍යසනයක් වූ කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ රටක් වශයෙන් ලංකාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ගැන සාකච්ඡා කළොත්?

අපේ රට තුළ අනෙක් බොහෝ අවස්ථාවලදී මෙන්ම විශාල පිරිසක් කෝවිඩ් 19 වසංගත තත්ත්වය දකින්නේ තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය අනුවයි. තමන් සිටින දේශපාලන කඳවුර, දේශපාලන මතය හෝ ආණ්ඩු විරෝධී හෝ පක්ෂපාතීත්වය පදනම් කර ගනිමින් ඒ හා සම්බන්ධ කරුණු තමයි බොහෝ විට කතා කරන්නේ. මේ කාරණය දෙස විද්‍යාත්මකව, සන්සුන්ව, සමාධිගතව කතාකරන බවක් දකින්න ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ වුවත් සිදුවන්නේ අනවශ්‍ය කෑකෝ ගැසීමක් පමණයි. මාධ්‍ය තුළ වුවත් දක්නට ලැබෙන්නේ එකී තත්ත්වයයි. ඇතැම් පුවත්පත්වල කෝවිඩ් පිළිබඳ දළ සටහනක් බොහෝ විට දැකගත හැකි නමුත්, ඇතැම් පුවත්පත්වල ශිර්ෂ පාඨ දැමීම තමන්ට තිබෙන දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට දක්වන උත්සාහයක් ලෙස මෙය පෙනී යනවා. නමුත් වඩා පළල් විද්‍යාත්මක, සමාජ, ආර්ථික දෘෂ්ටියකින් මේ දෙස බලන්න අප උත්සාහ කළ යුතුයි.

මෙවැනි සමාජ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට විශේෂඥයන් මත පළකර තිබෙනවා නේද?

දැන් ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 වසංගත තත්ත්වය අපට මේ මොහොතේ පාලනය කිරීමට නොහැකි වූ හේතු නිසා ඇති වූ ස්වාභාවික ව්‍යසනයක්. මෙහි එක් ව්‍යතිරේකයක් තිබෙනවා. මෙවැනි වසංගත අනාගතයේදී ඇති විය හැකි බව වසර 100කට පෙර වසංගත රෝග විශේෂඥයන් අනතුරු හැඟවීම් කර තිබුණා. 1911 එනම් අදට සියවසකටත් පෙර එංගලන්තයේ විසූ සර් එඩ්වින් ‍රේ ලැන් කැස්ටර් යන වසංගත රෝග විශේෂඥයා %ද කින්ඩම් ඔෆ් මෑන්^ යන කෘතිය රචනා කරමින් මනුෂ්‍යයා අසීමිත භෞතික සැප සම්පත් පරිහරණයේ ආශාව නිසා අනුවණ හා විනාශකාරී ලෙස වනාන්තර කපා හෙළීම, මහාපරිමාණ පශු සම්පත් පාලන ගොවිපළ ක්‍රමය ආදිය වසංගත රෝග ඇතිවීමට හේතු වන බව දක්වා තිබෙනවා. අක්කර ගණනක් තුළ එළුවන්, කුකුළන් හා හරකුන් ආදී සතුන් අතිවිශාල ප්‍රමාණයක් එකට ගාල් කර තිබෙන පරිසරය තුළ වරින් වර විෂබීජ හටගන්නවා. මේ ක්‍රමය තුළ වනසතුන් හා මිනිසා එකට සමීප කර තිබෙන නිසා සතුන්ගේ හටගන්නා විෂබීජ මනුෂ්‍යයාගේ ශරීරයට ඇතුළු වන බව ඔහු පවසා සිටියා. ඒ නිසා අප අද ජීවත් වන ගෝලීයකරණය වූ සමාජයක එය ඉතා ඉක්මනින් පැතිර යනවා.

එපමණක් නොව ඊට පසුකාලීනවද බොහෝ විද්‍යාඥයන් මේ ගැන අනතුරු හැඟෙව්වා. ඉතා ඈත අතීතයේ සිටම කලින් කලට මෙවැනි වසංගත තත්ත්වයන් ඇති වී තිබෙනවා. ඇතැම් රෝග ගෝලීයව ව්‍යාප්ත වන අතර, ඇතැම් ඒවා කලාපයකට සීමා වෙනවා. %ඊබෝලා^ ඇති වූයේ අප්‍රිකානු රටවල් කිහිපයකට පමණයි. %සාර්ස්^ නියුමෝනියා උණ විශේෂයක්. එයත් යම් කලාපයකට පමණක් ව්‍යාප්ත වුණත්, ලෝක ව්‍යාප්තියක් ඇති වුණේ නැහැ. කෝවිඩ් තත්ත්වය අප පාලනය කළත්, තවත් කාලයකදී අලුතින් නැවත පැමිණෙනවා. එය ස්වභාවධර්මයේ මල් පිපෙනවා, පැළෑටි හැදෙනවා, ගඟ ගලනවා වගේම සංසිද්ධියක්.  කෝවිඩ් 19 රෝගය මුල්වරට අපට වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්. ලොව චීනයේ විරුද්ධ ආර්ථික කඳවුර විසින් මෙය චීනය නිපදවා සමාජයට මුදාහැරිය බවක් ප්‍රකාශ කළා. ඇමරිකාවේ හිටපු ජනපතිවරයා පවා මේ වෛරසය නිතර හැඳින්වූයේ %චයිනීස්^ වෛරස්, %වූහාන්^ වෛරස්, කොමියුනිස්ට් වෛරස් යන නම්වලින්. එවැනි නිගමනයකට පැමිණීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි ලැබිලා නැහැ. එයයි මෙහි ගැටලුව. මේ වෛරස් තත්ත්වය ඇතිවෙලා ටික කාලයකින් ලොව පුරාම පැතිර ගියා. පැතිරීමේ වේගය කොයිතරම්ද කියනවා නම් රටවල්, නිශ්චිත ආණ්ඩු නොමැති රටවල් සහ භූමි ප්‍රදේශ 215ක මේ රෝගය පැතිර ගොස් තිබෙනවා. රෝගයට මුහුණ දීමට සූදානමින් නොසිටි නිසා පෙර සිට එයට මුහුණ දිය හැකි යාන්ත්‍රණයක් තිබුණේ නැහැ.

කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ලොව මුහුණ දී ඇති ආර්ථික, සමාජීය අර්බුදය ගැන කතා කළොත්?

මෑත කාලයේ ලොව ධනවත් බොහෝ රටවල සෞඛ්‍ය සේවය සකස් වී තිබුණේ මෙවැනි වසංගත තත්ත්වයකදී ජනතාව සුවපත් කිරීම පදනම් කරගෙන, නොව ලාභ ඉපයීම පදනම් කරගෙන. ඒ නිසා තමයි මෙහි දරුණු පීඩාවට මුහුණ දීමට ධනවත්ම රටවලට අද වන විට සිදුව තිබෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය ලොව තවමත් ධනවත්ම රට. ජර්මනිය යුරෝපයේ ධනවත්ම රට. මේවායේ කෝවිඩ් 19 තත්ත්වය විශාල ව්‍යාප්තියක් දකින්න ලැබෙනවා. දැනට ලෝකයේ ආසාදිත සංඛ්‍යාව හත්කෝටිය ඉක්මවා ගොස් තිබෙන අතර, මරණ සංඛ්‍යාව දාසය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ තත්ත්වය නිසා පෙර නොවූ විරු පරිදි ආර්ථිකයට, සමාජ ජීවිතයට, සංස්කෘතියට, මානව සම්බන්ධතාවලට මෙන්ම මනුෂ්‍යයන්ගේ මානසික තත්ත්වයන්ට දැඩි අනර්ථකාරී බලපෑමක් කර තිබෙනවා. මේ ඇති වී තිබෙන අනර්ථකාරී තත්ත්වය අප සංඛ්‍යාත්මකව සඳහන් කළොත්, ලෝක බැංකුව පසුගිය ජුනි මාසයේ ප්‍රකාශයට පත්කළ ආර්ථික පුරෝකථනයන්ට අනුව ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනය 2020 වර්ෂයේ -5.4෴ක්.  අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2020 ගෝලීය ආර්ථික වර්ධනය 4.5෴ක් ලෙස සඳහන් කළා. ලෝක වෙළෙඳ සංවිධාන වාර්තා අනුව මේ වර්ෂයේ ගෝලීය වෙළෙඳාමේ හැකිළීම 36෴ක්. ලෝක කම්කරු සංවිධානය පවසන පරිදි මේ වර්ෂයේ සැප්තැම්බර් 1වැනිදා වන විට කෝවිඩ් වසංගතය නිසා ලොව පුරා අහිමි වූ රැකියා සංඛ්‍යාව මිලියන 305ක්. ලොව අාදායම් උපයන මිනිසුන් ගත් විට 10දෙනෙකුගෙන් 06ක්ම අවිධිමත් රැකියා කරන අය. ඒ නිසා මේ සංඛ්‍යාලේඛනවලට යම් පිරිසක් මගහැරෙනවා. ඉදිරි කාලයේ ආහාර හිඟයක් පවා ඇති ඇතිවන බවට විශේෂඥයන් බොහෝ පිරිසක් මත පළ කර තිබෙනවා.

එය ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙනුත් මිනිසාට දැඩි බලපෑම් එල්ල කළා. යම් පවුලක ආසාදිතයෙකු සිටි විට ඔහුව කොන් කිරීමක් සිදුවෙනවා. අම්මට, තාත්තාට, බිරිඳට හා දරුවන්ට ඔහුට සමීප විය නොහැකියි. ළමයෙකුට ආසාදනය වූ විට ඒ ළමයා මුහුණ දෙන තත්ත්වය ශෝකජනකයි. එසේම කෝවිඩ් 19 නිසා මිය ගිය විට එය සිදුකරන්නේ සෞඛ්‍ය රීතීන්ට අනුවයි. මේ අයුරින් දැවැන්ත බලපෑමකට අප ලක්ව තිබෙනවා. නූතන තරුණ පරපුර මෙවැනි ගෝලීය අර්බුදයකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. නමුත් 1900 ඉපදුන කෙනෙකු වසර 14කට පසුව පළමු ලෝක යුද්ධ තත්ත්වයට මුහුණ දෙනවා වගේ දෙයක්. 1920 ලොව දරුණුම ආර්ථික කඩාවැටීම සිදුවෙනවා. 1939 වන විට ඇතිවන දෙවන ලෝක සංග්‍රාමය තුළින් මිලියන 62ක් පමණ මිනිසුන් මිය යනවා. මේ ආකාරයට ගෝලීය අර්බුදයන්, වසංගත තත්ත්වයන් වරින් වර ලොව තුළ ඇති වී තිබෙනවා. කෝවිඩ් වංසගත තත්ත්වයත් එලෙසම ඇතිවූ ස්වාභාවික සංසිද්ධියක්.

මුළු ලෝකයේම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් 19 වසංගතයට රටක් වශයෙන් ලංකාව මුහුණ දෙන ආකාරය පිළිබඳ ඔබේ මතය කුමක්ද?

අප ජීවත් වන්නේ ගෝලීයකරණය වූ ලොවක නිසා මෙම වසංගත තත්ත්වය අපේ රටට පැමිණීම වළක්වන්න හැකියාවක් නැහැ. එහිදී අපේ වගේ රටවල් ධනවත් රටවල්වලට වඩා සාර්ථකව එයට මුහුණ දුන්නා. දෙවැනි රැල්ලේදී මරණ සංඛ්‍යාවේ වැඩි ව්‍යාප්තියක් තිබෙනවා. පරීක්ෂණවලින් මීට වඩා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින බව හඳුනාගන්න පුළුවන්. නමුත් අපේ රටේ තිබෙන ආර්ථික ශක්තීන් අනුව යම් මට්ටමින් පරීක්ෂණ කිරීමේ අපහසුවක් තිබෙනවා. ලොව කෝවිඩ් 19 පැතිර ගිය රටවලට සාපේක්ෂව ලංකාව එය පාලනය කිරීම පැසසිය යුතු මට්ටමින් තිබෙනවා. ජනගහණයට සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාව, ජනගහණයට සාපේක්ෂව මරණ සංඛ්‍යාව, මිය ගිය අයගේ වයස් සංඛ්‍යාව ආදිය බැලුව විට එය මනාව පැහැදිලි වෙනවා. මෙය ඉන්ෆ්ලුවෙන්සා උණ තත්ත්වයක්. වෙනත් රෝගයක් ඇති පුද්ගලයෙකුට මෙය වැලඳුණහොත් විවිධ සංකූලතා ඇති වී මිය යාමේ ඉඩකඩක් පවතිනවා. ඇතැම් විට තරුණ අයෙකුට ඔහුගේ ප්‍රතිශක්තිය අනුව නොදැනුවත්වම වෛරසය ඇගේ තිබිලා සුව වෙන්න පුළුවන්. තවමත් අප රටේ ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 90ක්. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 24යි. නමුත් එවැනි වූ දැවැන්ත ආර්ථිකයක් ඇති ඇමරිකාවට පවා මෙම වසංගත තත්ත්වයට අපට තරම් මුහුණ දෙන්න බැරි වුණා. මොකද ඒ රටවල ආර්ථික සමාජය සකස් වී තිබෙන්නේ ලාභ ඉපයීම සඳහා. 1974දී බලයට පැමිණි මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව නවලිබරල් මාදිලිය පිළිගත් නිසා එතෙක් පැවැති මහජන සෞඛ්‍ය සේවාව බරපතළ ලෙස අද වන විට කඩා වැටීමකට ලක්වෙලා තිබෙනවා.

ලංකාවේ ඇතැම් අවස්ථාවල යාන්ත්‍රණයේ පැවති දුබලතාවන් නිසා දෙවැනිවර ව්‍යාප්ත වීමේදී මේ වසංගත තත්ත්වයට කඩිනම් පියවර ගත්තේ නැහැ. හැබැයි විශාල ජාතික ආදායමක් නැති ධනවත් නොවන රාජ්‍යයක මේ ප්‍රශ්නය පාලනය කිරීම අතින් බොහෝසෙයින් සතුටුදායක තැනක අපි ඉන්නවා. මෙවැනි තත්ත්වයකදී අපි සැවොම මෙය ජාතික උවදුරක්, සමාජ උවදුරක් සේ සලකා මිදෙන්නට කටයුතු කළ යුතුය. ආණ්ඩුව ලකුණු එකතු කර ගැනීමට නොවේ මෙයට විසඳුම් සෙවිය යුත්තේ. මාධ්‍ය ක්‍රියා කළ යුත්තේද ඒ තත්ත්වය තුළ තමන්ගේ පුවත්පත් අලෙවිය හෝ රූපවාහිනිය, ගුවන් විදුලියේ ප්‍රේක්ෂක ග්‍රාහක ආකර්ෂණය වැඩි කර ගැනීමට නොවේ. ඒ අතින් අපේ ක්‍රියාපටිපාටිය එතරම් සතුටුදායක නැහැ කියලා මට හැඟෙනවා. ඇතැම් විද්‍යුත් මාධ්‍ය කෝවිඩ් ආසාදිතයෙකු හමු වූ විට ඔහු පසුපස හඹා ගොස් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පවා කෙළෙසනවා. මෙය ඇත්තෙන්ම නින්දනීය තත්ත්වයක්. කෝවිඩ් ආසාදිතයෙක් කියන්නේ අපරාධකාරයෙකු නොව රෝගියෙකු බව අප අවබෝධ කරගත යුතුයි.

විශේෂයෙන්ම අප රටේ ආර්ථිකය බාහිර සාධක මත  පදනම් වී තිබෙනවා. අප බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා වසර 70කට අධික කාලයක් ගමන් කළත් අපේ රටේ ආර්ථිකය විදේශ විනිමය ආදායම් මාර්ග කිහිපයක් මත රඳා පවතිනවා. එයින් ප්‍රධාන වන්නේ විදේශ රැකියා. එය මේ වසංගතයත් සමග කඩා බිඳී ගියා. අනෙක සංචාරක ව්‍යාපාරයයි. එය අපේ රටේ අතු ඉතිවලට පවා කිදා බැස පවතින්නක්. එසේම ඇඟලුම් නිෂ්පාදනය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. එයද කෝවිඩ් තත්ත්වය තුළ දැවැන්ත අභියෝගයන්ට ලක්වුණා. එවැනි ආර්ථික පසුබෑමකට තමයි අපි මේ මුහුණ දී සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ආර්ථිකයේ කඩාවැටීම ගැන මහා හඬින් කතා කළද, මේ අවස්ථාව තුළ ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකය තුළම ආර්ථිකයේ කඩා වැටීමක් දක්නට ලැබෙනවා. එකී කඩා වැටෙන ආර්ථිකය කළමනාකරණය කරමින් ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ යුතුකමක් හා වගකීමක්.

ජපානය ලොව ආර්ථිකය අතින් තුන්වැනි ස්ථානයේ සිටින රටක්. රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි එහි කෝවිඩ් ආසාදිතයෙකු ගිලන් රථයකින් රෝහල් 80කට අධික ප්‍රමාණයකට ගෙන ගියත්, ඔහුව ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් උද්ගත වී නැහැ. කොපමණ අත්හදාබැලීම් කළත් මේ රෝග තත්ත්වය ඉක්මනින් සමාජයෙන් ඉවත්ව යන්නේ නැහැ. ලෝකයට මේ සඳහා සාර්ථක එන්නතක් සොයා ගන්නට තවත් සෑහෙන කලක් ගතවේවි. එකී එන්නත් අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කිරීමට තවත් සෑහෙන කාලයක් ගත වෙනවා. එසේම එහි අතුරු ප්‍රතිඵල නිගමනය කරන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා කෝවිඩ් පාලනය කරන ගමන් ආර්ථිකය යථා පරිදි අප සකස් කරගත යුතුයි. බාහිර සාධක මත රදා පවතින නිදහස් වෙළෙඳ පොළ කියන සංකල්පයෙන් අප මිදෙන්න අවශ්‍යයි. 2015 යහපාලන ආණුඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා ලංකාවේ වී නිෂ්පාදය වැඩියි, ඒ නිසා අඩු කරන්න කියලා. නමුත් ඒවා එලෙස ක්‍රියාත්මක වූවා නම් කෝව්ඩ් තත්ත්වය යටතේ මිනිසුන්ට කුසගින්නේ මියයන්න සිදුවෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගනිමින්, නැතිව ගිය රැකියා නැවත උත්පාදනය කර ගනිමින් අපට පමණක් නොව සෑම රටකටම ඉදිරියේදී ජීවත් වෙන්න සිදුවෙනවා. මෙවැනි උවදුරක් සමනය කිරීමේදී ආණ්ඩුවට ප්‍රධාන වගකීම් තිබෙනවා සේම නිලධාරී තන්ත්‍රයට හා ජනතාවටත් ඒ වගකීම එලෙසම තිබෙනවා. චීනයේ මේ වෛරසය හඳුනාගත්තද ඔවුන්ගේ දැඩි පාලනය යටතේ එම උවදුර අවම වූවා. දකුණු කොරියාව, නවසීලන්තය, වියට්නාමය යන රටවල්වල කෝව්ඩ් තත්ත්වය සාධනීය ලෙස පාලනය කිරීමට ජනතාවගේ සහයෝගයත් නොමඳව ලැබී තිබෙනවා. කෝවිඩ් නිසා හුදෙකලා කළ ප්‍රදේශවල මිනිසුන්ට ප්‍රමාණවත් ලෙස කන්න නැහැ. එය ඇත්ත. ඔවුන් ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා. නමුත් කුසගින්නේ ජනයා මහා මාර්ගයේ වැටී සිටියේ නැහැ. ලොව වෙනත් රටවල කෝවිඩ් නිසා එවැනි දේ සිදුවුණා. ඉක්වදෝරයේ පාරවල් ගානේ මළ මිනී ගොඩගසා තිබුණා. එවැනි තත්ත්වයකදී ආර්ථික ව්‍යසනයක් ජාතික ව්‍යසනයක් සේ සිතා අප සැවොම එකට එක්ව කටයුතු කළ යුතුයි.

මහර බන්ධනාගාරය තුළ සිදු වූ හදිසි තත්ත්වය තුළ රැඳවියන්ගේ අයිතීන් කඩවූවා යැයි ඔබ සිතනවාද?

මහර බන්ධනාගාරයේ රැඳවියන් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේදී 185කට වැඩි පිරිසක් ආසාදනය වී ඇති බව ඉදිරිපත් කළ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් වී තිබුණා. ඒ තත්ත්වය තුළ ඇතුළෙ සිටි පිරිස් යම් ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න දායක වී තිබුණා. එවැනි තත්ත්වයකට ආණ්ඩුව හෝ බන්ධනාගාර නිලධාරීන් සූදානමින් නොසිටි නිසා එය මර්දනය කිරීමට ඔවුන්ට බලය පාව්ච්චි කරන්න සිදුවුණා. මානව හිමිකම් ගැන කතා කරන පිරිස් පවා උත්තර නොදෙන කාරණාවක් වන්නේ එම රැඳෙව්වන් 2000ක් පමණ පාරට ආව නම් මොකද වෙන්නේ යන කාරණය. එවැනි අවස්ථාවක දෙපැත්තම සලකා බලන්න අවශ්‍යයි.

මෙය එක් අතකින් අපේ සමාජ ආර්ථික ක්‍රියාවලිය නැවත බැලීමට අපට උදාවී තිබෙන ස්වර්ණමය අවස්ථාවක්. මේ රටේ බන්ධනාගාරවල විශාල තදබදයක් තිබෙනවා. ඔවුන්ව අමානුෂික ලෙස නොසලකා හැරීමකට ලක්කර තිබෙනවා. එම නිසා යම් දෙයක් තනි සිද්ධියක් ලෙස සලකා තීන්දු තීරණ ගැනීමට නොහැකියි. සිරකරුවන්ද මනුෂ්‍යයෝ. ඔවුන්ටත් අයිතිවාසිකම් තිබෙනවා. සූක්ෂම විචල්‍ය එකින් එක ගෙන විස්තරාත්මකව සලකා බලා තීරණ නිගමනවලට එළඹිය යුතුයි. සමාජ යාන්ත්‍රණයේ යම් යම් අඩුපාඩු මේ මගින් හඳුනාගත හැකි අතර, ඒවා වෙනස් කර අප ගමන් කළ යුතුයි. කෝවිඩ් වසංගතය විසින් මිථ්‍යාවන් ගණනාවක් අනාවරණය කර තිබෙනවා.

මේ වසංගත තත්ත්වය තුළ අප රට තුළ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් ඒ ඔස්සේ ඉදිරියට යා යුතු බව ඔබ සිතනවාද?

ට්‍රිලියන 24ක ආර්ථිකයක් තිබුණු රටක නොදුන් සහන රැසක් බිලියන 9ක ආර්ථිකයක් තිබෙන රටකදී ලබා දී තිබෙනවා. 1977 දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගෙමින් තිබුණා. කුමන පුද්ගලයන් නිෂ්පාදන ආර්ථිකයක් ලෝකයේ නොමැති බව පැවසුවද අප ඒ නිෂ්පාදන ආර්ථිකය  තවදුරටත් ශක්තිමත් කළ යුතුය. වසූරිය, පෝලියෝ වැනි රෝග ලොවෙන් තුරන් කළද බොහෝ රෝග තවම තිබෙනවා. ඒඩ්ස් වැනි රෝගවලට නිට්ටාවටම තවම ඔසු සොයාගෙන නැහැ. අපට සියල්ල හදන්න බැහැ. ඒ නිසා අපට පුළුවන් දේ සකස්කොට නොහැකි දේ අප ආනයනය කළ යුතුයි.

ආණ්ඩුව මේ වන විට රැකියාලාභීන් විශාල පිරිසක් බිහිකර තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කළොත්?

කෝවිඩ් තත්ත්වය තුළ වුවද ආණ්ඩුව මේ වන විට විශාල රැකියාලාභීන් පිරිසක් බිහිකොට තිබුණා. අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති රටේ තරුණ පරපුරේ උපාධිධාරීන් 60,000කට අධික පිරිසක් මෙතෙක් අපේක්ෂාභංගත්වයෙන් සිටියේ. ඔවුන් රැකියාගත කිරීම මේ අතරතුර සිදුවුණා. එමෙන්ම අඩු ආදායම්ලාභී පිරිස්ද වෘත්තීමය රැකියාගත කිරීම තුළින් ඔවුන්ට සමාජ තත්ත්වයක්, යහපත් ආර්ථිකයක් ලැබීම තුළින් අහිතකර සමාජ ක්‍රියාවන්ට යොමු වීම ආණ්ඩුව විසින් අවම කර තිබෙනවා. මේ සියල්ල සිදුකරන්නේ ලෝකයක්, රටක් මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයක් හමුවේ. එම නිසා නොයෙක් පටු දේශපාලන දෘෂ්ටි අනුව මෙය විවේචනය කර කර සිටිනවාට වඩා සමාජ ව්‍යසනයක් ලෙස සිතා ආණ්ඩුව, නිලධාරී තන්ත්‍රය හා මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළයුතු වෙනවා.

 



Recommended Articles