කාලයෙන් කාලයට හඳුනා නොගත් නොයෙක් වෛරසයන් අසාදනය වීමෙන් බොහෝ පිරිසක් රෝගී වෙති. එමෙන්ම කාලයත් සමග ඇතැම් වෛරස්වල ස්වභාවය වෙනස් වී රෝග ඇති කරයි. මේ දිනවල අප කතා කරනුයේ දකුණු පළාත තුළ පැතිර යන වෛරස් තත්ත්වය පිළිබඳවය. ඉන්ෆ්ලුවෙන්සා, ඇඩිනෝ හා වෙනස් වෛරස් කිහිපයක් අසාදනය වීමෙන් එම පළාත තුළ දරුවෝ හා වැඩිහිටියෝ කිහිපදෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ. මෙවැනි වසංගත තත්ත්වයක් තුළ මහජනතාවගේ දැනුවත්භාවය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, එම තත්ත්වයෙන් මිදීම සඳහා අප අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියාමාර්ගද, එහි වැඩි බලපෑමක් ඇත්තේ කාහටද, එය අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම අවම කිරීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ වැඩිදුර අදහස් වීමසීම සඳහා වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අදට සම්බන්ධ කර ගත්තෙමු. ඇය ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
මේ වන විට දකුණු පළාත තුළ ඇති වී තිබෙන රෝගී තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?
දකුණු පළාතෙන් වාර්තා වන මෙම තත්ත්වය ශ්වසන රෝග වසංගතයක් ලෙස පැතිර යන ආකාරයක් දැකගන්න පුළුවන්. මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල මේ වසංගත තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණවල සඳහන් වන පරිදි ඉන්ෆ්ලුවෙන්සා, රෙසිපිරටරි සින්සිටිල් (RVS), ඇඩිනෝ ආදී වෛරස් කිහිපයක්ම වාර්තා වෙනවා. කෙසේ නමුත් වැඩිපුරම එයින් පෙනී යන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්.
මේ උණ රෝග, ශ්වසන රෝග ඇති කරන වෛරස් ආසාදන අපේ රටේ වරින්වර ඇති වෙනවා. ලෝකයේ විවිධ රටවලත් එය වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි වෛරස් අසාදන තත්ත්වයක් තුළ දක්නට ලැබෙන රෝග ලක්‍ෂණ මොනවාද?
බොහෝ වේලාවට ශ්වසන ආශ්‍රිත රෝග තත්ත්වයන් තමයි මෙහි පෙන්නුම් කරන්නේ. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනවා, ඇස් රත් පැහැයට හැරීම ආදී බොහෝ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්‍ෂණයි අනෙකුත් ශ්වසන ආසාදනවලයි බොහෝ විට පෙන්නුම් කරන්නේ එකහා සමාන රෝග ලක්‍ෂණයි. නමුත් ඉන්ෆ්ලුවෙන්සාහි රෝග ලක්‍ෂණ අනෙකුත් ඒවාට වඩා උත්සන්න වන අවස්ථා තිබෙනවා.
මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපෑමක් ඇති කරන්නේ කාටද?
අවුරුදු 02කට වඩා අඩු වයසකින් යුතු කුඩා ළමයින්, අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයන්, ඒ වගේම ගර්භිණී මාතාවන්, නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන් හා තවත් එවැනි ඌණතා රෝග තිබෙන අයට මේ ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරසයක් අසාදනය වුණාම රෝග ලක්‍ෂණ උත්සන්න වන අවස්ථාව වැඩියි. අනෙක් වෛරස් පැතිරෙන තත්ත්වයන් තුළදී වුණත්, අපි ඔවුන්ව හඳුන්වන්නේ අවදානම් කණ්ඩායම් ලෙසින්. ඔවුන්ගේ ප්‍රතිශක්තියේ තිබෙන යම් යම් දුර්වලතා හේතුවෙන් රෝගය උත්සන්න වෙන්න පුළුවන්.
මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය මෙරට ඇති වන සාමාන්‍යය රෝගී තත්ත්වයක්ද?
අපේ රටේ ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සෑම වර්ෂයකම දෙපාරක් වගේ ඇති වෙන දෙයක්. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි වැනි කාලවල මේ තත්ත්වය දැකගන්න පුළුවන්. නැවතත් නොවැම්බර්, දෙසැම්බර් වැනි කාලයේ මේ තත්ත්වයේ වැඩි වීමක් දැකගන්න පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයන් තිබෙන බව අපි හැමදාම දන්නවා. අවුරුදු 10ක පමණ සිට අපි මේ තත්ත්වය නිරීක්‍ෂණය කරනවා. ඒ නිසා මේ පිළිබඳ පෙර සූදානමක් අනිවාර්යයෙන් තිබෙන්න ඕන.
මෙවැනි හදිසි රෝග තත්ත්වයකදී රටක් වශයෙන් ක්‍රියා කළ යුතු වන්නේ කෙසේද?
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඇති වුණාම අවශ්‍ය වන ඖෂධ, මෙවලම් යනාදී සියලු දේ පිළිබඳ පෙර සූදානමක් අපට තිබෙන්න ඕන. ඒ වගේ දේවල් පිළිබඳ සුවිශේෂී අවධානයක් අප යොමු කරන්න අවශ්‍යයි.
අනෙක් පැත්තෙන් ජනතාව විසින් මෙය වසංගතයක් සේ පැතිරී යෑම වළක්වා ගැනීමට කළ යුතු දේවල්, රෝහල්ගත වන විට කරන්න අවශ්‍ය දේවල් වගේම, රෝගය ආසාදනය වූ විට කළ යුතු දේවල් මොන වගේද කියලා පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.
මෙවැනි වසංගත තත්ත්වයක් තුළ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?
විශාල පිරිසක් එනම්, සෙනඟ ගැවසෙන තැන්වලට නොයෑම වඩාත් හොඳයි. ඒවගේම නිවස තුළ රෝගී පුද්ගලයන් සිටිනවා නම් රෝගියාව මඳක් ඈත්කර තැබීම කළ යුතුයි. රෝග ලක්‍ෂණ තිබේ නම් විවේක ගෙන නිවසේ රැඳී සිටීම කළ යුතුයි. මුඛය, නාස් ආවරණ පැලඳීම. පිරිසුදු ලේන්සුවක් පාව්ච්චි කිරීම, ටිෂූ භාවිත කරන්නේ නම් එය භාවිතයෙන් පසු විෂබීජ පැතිරීම අවම වන සේ නියමිත ස්ථානවලට බැහැර කිරීම, කිවිසීමෙන් හා කැස්සෙන් පසු විෂබීජ දෑත්වල තැවරී යන බැවින් සබන් ගා අත් සෙදීම වැනි කාර්යයන් කිරීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. මෙවැනි දේ හරහා ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් තවකෙකුට ශ්වසන මාර්ගයෙන් ගොස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ළඟින් ඉන්න, එකට ආශ්‍රය කරන අයට මෙය ඉක්මනින් බෝවෙනවා. ඒ නිසා කාර්යාල, පාසල් තුළ මෙවැනි වෛරස වේගයෙන් පැතිර යන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය අවම කර ගන්නත් අප කටයුතු කළ යුතුයි.
මෙවැනි වසංගත තත්ත්වයක් තුළදී අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?
මුල් දින කිහිපයේ විවේකී සුවයෙන් සිටීම ප්‍රමාණවත්. නමුත් රෝග ලක්‍ෂණ වැඩි වන්නේ නම්, වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම සඳහා රෝහලකට යෑම වඩාත් සුදුසුයි. අපි සෙම්ප්‍රතිශ්‍යාවක්, උණක් ඇති වූ පමණින් රෝහල්ගත වෙන්න අවශ්‍ය නැහැ. එවැනි අවස්ථාවක ඇඳ විවේකය, වැඩිපුර දියර වර්ග පානය කිරීම හා පෝෂ්‍යදායී ආහාර ගැනීම ඉතා වැදගත්.
කැස්ස, නොනවතින උණ, හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ වේදනාව වැනි රෝග ලක්‍ෂණ තිබේ නම්, රෝහලකට යෑම ඉතා වැදගත් වෙනවා. රෝහලේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න රෝහල කටයුතු කරන්න ඕන. බොහෝ අයට උණ තත්ත්වය බැස යන නමුත් ටික දෙනෙකුට මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. අවදානම් කණ්ඩායම්වල සිටින රෝගීන් මේ තත්ත්වය යටතේ මිය යනවා. වේලාවට ඖෂධ ලැබෙනවා නම්, නිසි අවස්ථාවේ රෝග තත්ත්වය හඳුනා ගනිමින් ප්‍රතිකාර කරන්නේ නම් රෝගය ඉක්මනින්ම වළක්වා ගන්න පුළුවන්.
එවැනි තත්ත්වයන් අවම කිරීමට දැනුවත් කිරීම් හා උපදේශන සේවා ක්‍රියාත්මක වෙනවාද?
විශේෂයෙන්ම ශ්වසන ආබාධයක් පැතිරෙන එක අවම කරන්න ටිකක් අපහසු දෙයක්. මොකද එයට ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට තිබෙනවා. රොගීන්, රෝහල්වල සිටින නිලධාරීන් හා නිවාරණ අංශයේ සිටින නිලධාරීන් මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කරන එක, මිනිස්සුන්ට කියලා දෙන එක ඇත්තෙන්ම ගොඩක් වටින දෙයක්.
මෙම වෛරස් තත්ත්වයන් වෙනත් රටකින් පැමිණි ඒවාද?
මෙවැනි අවස්ථා මීට පෙරත් වාර්තා වී තිබෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක අපේ රටෙත් තිබෙනවා. ඒ වගේම කාලයත් එක්ක වෛරස් වෙනස් වෙනවා. වෙනත් රටවලින් වෛරසයක් පැමිණීමේ හැකියාවත් තිබෙනවා. මේ තිබෙන ජීවන රටාව හා ආර්ථික රටාව තුළ අප රට තුළට ඕනෑම කෙනෙකුට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපේ රටට පැමිණෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අලුත් එකක් වෙන්න පුළුවන්. එය අනෙක් වෛරස්වලට වඩා වේගයෙන් පැතිර යන එකක් වෙන්න පුළුවන්. නමුත් අපට එවැනි දෙයක් නතර කරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි. නමුත් මේ තත්ත්වය එසේ ඇති වූවක් නොවේ.
වෙනත් රටවල මෙවැනි වෛරස් තත්ත්වයන් ඇති වී තිබෙනවාද?
වෙනත් රටවල මෙවැනි තත්ත්වයක් තුළ වැළැක්වීමේ ක්‍රම, ප්‍රතිකාර වගේම එන්නත් ක්‍රම පවා භාවිත කරනවා. එවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන විට පෞද්ගලික අංශයෙන් හෝ අවශ්‍ය එන්නත් ලබා ගැනීමට ඔවුන්ට හැකියි.
දැනට මෙම තත්ත්වය වාර්තා වෙන්නෙ දකුණු පළාතේ පමණයි. ඉදිරියේදී මේ තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලටත් ඇති වීමේ අවදානමක් තිබෙනවාද?
ඔව්. අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා. ඇත්තෙන්ම ශ්වසන රෝග තත්ත්වයක් නිසා ඉක්මනින් ව්‍යාප්ත වීමේ ඉඩකඩක් පවතිනවා.
මෙවැනි තත්ත්වයක් තුළ රෝහලක් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?
රෝහලට පැමිණෙන රෝගීන් අනෙකුත් රෝගීන්ගෙන් වෙන්කර තබා ගැනීම කළ යුතුයි. ඒ වගේම රෝගීන් බැලීම සඳහා එන ප්‍රමාණය හැකිතාක් අඩු කරන්න ඕන. ඒ පිළිබඳ නියමිත ක්‍රමවේදයක් අප අනුගමනය කළ යුතුයි. ඒ වගේම රෝහලට එන අයට, බාහිර රෝගී අංශවවලට එන අයට, රෝහලේ අනෙකුත් වාට්ටුවලට හා කාර්යමණ්ඩලයට දැනුවත් කිරීම් කරන්න පුළුවන්.
ළමයින්ටයි, ගර්භිණී මවුවරුන්ටයි මෙය වැලඳීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඔවුන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුද?
අවදානම් මට්ටමේ සිටින අය තුළ අපි දැක්වූ ශ්වසන ආබාධ තිබෙනවා නම් වහාම ඔවුන් වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔවුන්ට ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න ඕන.
මීට පෙර මෙවන් වසංගත තත්ත්වයක් ඇති වූ විට රජය අනුගමනය කළේ කුමන ක්‍රියාපටිපාටියක්ද?
මෙවැනි ශ්වසන කාරක රෝගයක් හෝ හඳුනා නොගත් රෝගයක් පැමිණෙන විට අපි විශාල පෙර සූදානමකින් කටයුතු කළ යුතුයි. අපි ඉබෝලා, සීකා වැනි රෝග ජනතාව අතර ව්‍යාප්ත වන විට ඒ පිළිබඳ සැලැස්මක් සකස් කර ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහි ව්‍යාප්තිය වැඩි කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග ගන්න ඕන. මුල් අවස්ථාවේදී එම රෝගීන් එළියට යන විට එය ව්‍යාප්ත වීම යම් මට්ටමකින් හෝ අවම කරන්නට තිබුණා.
රෝහල තුළ රෝග තත්ත්වයන් මර්දනය කරන්න රෝහලටත් සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට මෙවැනි අවස්ථාවලදී සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා. ඔවුන්ටත් ඉක්මනින් ක්‍රියාත්මක වීම සඳහා සැලැස්මක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.
මෙම තත්ත්වය අවම කිරීම සඳහා මහජනතාවට දෙන්න කැමැති මොනවගේ පණිවුඩයක්ද?
තමන්ට ශ්වසන ආබාධයක් තිබෙනවා නම්, යම් හෙයකින් රෝග ලක්‍ෂණ උත්සන්න වුවහොත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සැලැස්මක් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේම එය අනෙක් අයට බෝ නොවෙන්නත් තමන් වගබලා ගත යුතුයි. එවිට රෝගය අසාධ්‍ය වී මිය යන ප්‍රමාණය අවම කරගන්න පුළුවන්.
ඉන්ෆ්ලුවෙන්සා සමාන්‍යයෙන් මිනිස් ජීවිතයට කුමන ආකාරයේ බලපෑමක්ද සිදු කරන්නෙ?
මෙය එතරම් භයානක රෝග තත්ත්වයක් නෙමෙයි. සෑම වර්ෂයකම ඉන්ෆ්ලුවෙන්සා තිබෙනවා. ඒ නිසා හොඳ සූදානමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඇඩිනෝ වෛරසයත් එතරම් භයානක එකක් නෙමෙයි.
මේ ආකාරයට මිනිසුන් රෝගී කරවන වසංගත ආකාරයෙන් පැතිරෙන වෛරස් වර්ග ගැන කතා කළොත්?
වෛරස් වර්ග රාශියක් තිබෙනවා. ඒ වගේම වෛරස් කාණ්ඩ තිබෙනවා. ඒ වෛරස් ඛාණ්ඩවලින් එක එක කාලයට රෝග ඇති කරනවා.
ඉන්ෆ්ලුවෙන්සා වැනි දෙයක් සතුන්ගෙන් ඇති වීමේ අවදානමක් තිබෙනවාද?
ඇත්තෙන්ම සතුන් අතරත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තිබෙනවා. ඒවා තමයි කලාතුරකින් මිනිසුන්ට එන්නේ. කුරුලු උණ කියන එකත් ඒ වගේ රෝගී තත්ත්වයක්. නමුත් දැන් තිබෙන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය සතුන්ගෙන් බෝ වෙන්නේ නැහැ.
සතුන්ගෙන් බෝවෙන වෛරස් ගණනාවක්ම තිබෙනවා. %නීපා^ වෛරසය, Japanese encephalitis වෛරසය ආදිය සතුන්ගෙන් බෝවෙන්න පුළුවන්.
මේ පිළිබඳ මහජනතාවට දැනුවත් වීම්, උපදේශන සේවා ක්‍රියාත්මක වෙනවාද?
මේ දිනවල මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් පවතිනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන්, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන් යනාදී කණ්ඩායම් ඒ ප්‍රදේශවල සිටිනවා. ඒ නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පුහුණුවක් ලබා දී තිබෙනවා. ඔවුන් සියලු දෙනා ක්‍රියාත්මක විය යුත්තේ දිස්ත්‍රික්කය හරහා වන අතර, එය වසංගත රෝග විද්‍යා අංශයෙන් ඔවුන්ට දැනුම් දීමක් ප්‍රථමයෙන් කරන්න අවශ්‍යයි. ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් ඔස්සේ මෙය සිදු කරනවා.